මයුමි බසයෙන් බැස්සාය. මාතර මුහුදු තීරය තෙක් ඇවිද ගියාය. සවස පහට ආසන්න නිසා වෙරල තීරය යම් කාර්‍යබහුල කමකින් පිරෙමින් පවතියි. එහෙත් ඇයට එහි වගක් වූයේ නැත. වෙරලේ සිසිලස නොදැනෙන තරමේ දැවීමක් ඇය තුල ඇත. වසරක් තිස්සේ තමාට පෙම් කරන බව අඟවමින්, දනවමින් උන් තිසර අද දිනයේ දකින්නට වූ ආකාරය ගැන මේදාට තවම සිතා ගන්නට නොහැක.
මයුමි දවල් ආපනශාලාවකට ගොඩ වූයේ දැඩි තිබහක් දැනුන නිසාය. ඒ යන ගමන තිසරට කියන්නට ඇයට සිහි වූයේ නැත. එහෙත් ආපනශාලාවට ගොඩ වී චොකලට් මිල්ක් ශේක් එකක් ඇණවුම් කර බලා සිටි ඇයට මුහුන දෙන්නට සිදුවූයේ කෙලෙසකින්වත් බලාපොරොත්තු නොවූ සිදුවීමකටය. ප්‍රධාන දොරෙන් ඇතුළු වී මුදල් අයකැමි වෙත ඇවිද යමින් උන් යුවල දුටු මයුමි මොහොතකට හුස්ම හිරවී මෙන් අඩපන වූවාය.
එහි සිටි තරුණයා වූයේ තිසරය. අනෙක් යුවතිය මයුමිට දැක පුරුදු වුවද, කවුරුන්දැයි සිහිපත් වූයේ නැත. මයුමි වහා තිසරට ඇමතුමක් ගත්තාය තිසර එය ඔහු සමඟ උන් යුවතියටද පෙන්වනු ඇය දුටුවාය. ඒ පසුව ඔහු ජංගම දුරකතනය සාක්කුවේ රුවා ගත්තේය. නැවත ගත් එක ඇමතුමක්වත් ඔහුට නෑසෙන්නට වන සේ යෙදවුම සකසා තිබුනි.
තිසර සහ තරුණිය මේසයේ හිඳ ගත් පසු මයුමිගේ ඉවසීම ඉක්මවා ගියේය. ඕ වහා ඔවුන් දෙදෙනා වෙත ඇවිද ගියාය. මේදා දකින වට තිගැස්සුනේ නැති තිසරගේ දෑස් නිසා මයුමි සියල්ල වටහා ගත්තාය. අනිවාර්‍යයන්ම ඔහු මෙවැනි සිදුවීමකට මුහුණ දෙන්නට සූදානමින් සිටින්නට ඇත. එනිසාම ඔහුට මේ අවස්තාව පසු කිරීම අපහසු නැත. එහෙත් ඒ උදා වූයේ තමන් සිහිනෙකින්වත් මුහුණ දෙන්නට සූදානමින් සිටි දෙයක් නොවේය. එනිසාම එයට මුහුන දෙන සැලැස්මක් තම හිසෙහි වූයේ නැත.
මයුමි තිසරට කෑ ගසන්නට වූයේ ඔහු සමඟ සිටින තරුණිය කවූරුන්දැයි විමසමිනි. තමා මේ ලෙසින් රවටන්නට තමා කල වරද කුමක්දැයි විමසමිනි. එහෙත් තිසරවත්, ඔහු සමඟ සිටි තරුණියවත් බිඳක්වත් කලබල නොවී තම සන්සුන් කර ගැනීමට උත්සාහ දැරූඋ බවත් මයුමිට මතකය. එතෙකින් නොනැවතී එහි උන් තරුණිය තමාව අල්ලාගෙන ඉන්දවූ බවත්, ඇණවුම් කල මිල්ක් ශේක් එක ගෙන්වා ගෙන එය පානය කරන ලෙස කියු බවත් ඇයට මතකය.
” ජීවිතේ මෙහෙම තමයි හලෝ ..මට ඔයාගේ වේදනාව තේරෙනවා.. ඒ වගේම තිසරටත් තේරෙනවා…. තමන්ගේ ලෝකෙම වෙලා උන්න කෙනා එක පාරටම තමන්ගේ ඇස් ඉස්සරහ නැති වෙන එක දරාගන්න ලේසි නැහැ…. ඒත් ඔයා දැන් තේරුම් ගන්න ඕනි, තිසර කියන්නේ ඔයාගේ බෝයි වගේ කෙනෙක් මිසක් එයා නෙවෙයි කියලා….මේ වැඩේ හැමදාම කරන එක තිසරටත් ලේසි නෑනේ බබෝ ..ඔයාගේ ඩොක්ටර් කිව්ව නිසා තමා එයා මේකට එකඟ වෙලා තියෙන්නේත්… ඔයා දැන් ඩොක්ටර්ව මුන් ගැහිලා මේක සෝර්ට් අවුට් කරගන්න බලන්න ..හරිද…”
ඉන් පසුව තිසර සහ යුවතිය පිටව ගිය බවත්, තමා දෙස අනුකම්පාවෙන් සහ සරදමින් බලන ඇස් වෙතින් මිදෙන්නට තමා හැකි ඉක්මනින් එතැනින් පිටව ආ බවත්, මයුමි සිහි කරද්දී ඇගේ දෙනෙත් කඳුලින් පිරී ඉතිරුනේය.
මයුමි පාවහන් යුවල ගලවා මුහුද දෙසට ඇවිද ගියාය. රැල්ල දෙපා තෙමාගෙන ඉදිරියට ආපස්සට ඇදෙද්දී මයුමි කඳුලු වලටද එලෙසින්ම පහලට ගලා හැලෙන්නට දුන්නාය. තිසර සහ තමා මුලින්ම මුණ ගැසුනේ මාතර වෙරළේ වග ඇයට මතකය. එම වෙරළේදීම ඔහුගෙ මුලාව නිසා දැනෙන වේදනාවේ කඳුලු හෙලන්නට සිදුවීම දෛවයේ කිනක් සරදමක්දැයි ඕ සිතුවාය.
එහෙත්, මියෙන්නට නොහැක. තමා වටා තමා වෙනුවෙන් ජීවත් වන ආදරණීයන් හඬවන්නට නොහැකිය.
මයුමි නිවෙසට ගියේ වෙනදා වෙලාවට මදක් පසුවීගෙනය. අම්මාට මුහුන සඟවාගෙන නාන කාමරයට ගිය මයුමි උණු වතුරින් නා ගත්තාය.
“ඔලුව කැක්කුමක් ඇවිල්ලා අම්මේ…. උණුවට මොනවා හරි බොමුද?…”
ඒ මුවාවෙන් ඕ ඇඳට වැටුණාය. හොඳින් පොරවාගෙන නිදාගත්තාය. රාත්‍රී ආහාර වේලද මඟ හැරියාය. මයුමි රැය මැද ඇහැරුණේ තිගැස්සීගෙනය. ඕ වහා යහනේ හිඳගෙන විදුලි පහන් දල්වා කල්පනා කලාය. මේ හදවත කඩාගෙන යන වේදනාවට හේතුව කුමක්දැයි ඇය යළි යළි සිතුවාය. තිසර…, මේ වේදනාව ඔහු නිසාවෙන් නොවේද?.
මයුමි මුහුන කොට්ටයේ ඔබාගෙන හැඬුවාය. පසුදින උදෑසන වන විට ඕ උන්නේ දැඩි ලෙස රෝගාතුරවය. මයුමිට උණ ගැනී තිබුණි.
“මම තිසර අයියාට ගත්තා ෆෝන් එක වැඩ කරන්නේ නෑනේ අක්කේ…”
නැගණිය පවසන විට මයුමිට හැඬුම් නැඟුනි. ඕ නැගණියට සමීපයට කතා කලාය.
” මේක අම්මලාට කියන්න එපා දැන්ම .. මමම ඒක ශේප් එකේ කියන්නම් … “
“මොකද්ද අක්කේ..?”
නැගණියගේ බියපත් දෑස් අභියස නැවත නැවතත් ජීවත් වීමට හයිය ගත යුත්තේ ඇයි දැයි මයුමි වටහා ගත්තාය’
” කලබල වෙන්න එපා ඉතින් .. මම තිසර එක්ක අෆෙයාර් එක නැවැත්තුවා.. ආයේ එයාව පාරක තොටක දැක්කත් කතා කරන්න යන්න එපා..”
” දෙයියනේ අක්කේ ….”
මයුමි නංගිට සියල්ල පැවසුවාය. ඇය දෙවන වසර වෛද්‍ය සිසුවියකි. ඇයට මේ සියල්ල වටහා ගත හැක. නැගණිය මයුමි වැළඳගෙන හැඬුවාය.
“අඬන්න එපා අක්කේ … යන අය යන්නම ඕනි .. මගේ අක්කා ජීවිතේ ඉස්සරහට යමු ..”
මයුමි දින දෙකක් නිවාඩු දැම්මාය. දෙවන දිනයේ න්ගණියද කැටුව මනෝ උපදේශකවරියක මුණ ගැහුණාය.
” අමතක කරන්න උත්සාහ කරන එකම වේදනාවක් මයුමි . මතක් වෙන්න දෙන්න.. ඒ මතක් වෙන වෙලාවට ඒ මතක අවුස්සන්න උත්සාහ නොකර ඉන්න … තේරුනාද?… ඔයා ඔයාගේ දේවල් වලට ෆෝකස් කරන්න .. අලුතින් ලස්සන දේවල් පටන් ගන්න … “
මයුමි ඇය පැවසූ සියල්ල අසා උන්නාය. ඇයට දැනෙන දේ මනෝ උපදේශකවරිය සමඟ බෙදාගත්තාය.
ඊළඟ දිනයද නිවාඩු දැමූ ඕ අම්මා සහ තාත්තා සම්ඟ සියල්ල කතා කලාය. ඒ වනවිට මයුමිගේ නැගණියගෙන් සියල්ල දැනගෙන උන් ඇගේ දෙමාපියන් ඇය ශක්තිමත් කරමින් කතා කලහ.
“මේ ලෝකේ හරිම චංචලයි ලොකු පුතා … තනි අපිටවත් අපේ ජීවිත වල එක තීරනයක ඉන්න අපහසු එකේ අපිට තව කෙනෙක් පාලනය කරන එක කොහොමටත් කරන්න අපහසුයි….. තිසර පුතාට යන්න දෙන්න .. එයාට ඉන්න බැරි නිසානේ ඔය ගියේ… ලොකු පුතාගේ බැඳීම අදාල කාලෙදි ගැලපෙන විදියට ලැබේවි ..”
මයුමිගේ පියා කීවේය. මයුමි අම්මා සමඟ එක්ව දවාලට ඉව්වාය. කුස පිරෙන්නට ආහාර ගත්තාය. කලකට පසුව ගිටාරයද ප්ලේ කලාය.
තිසර සමඟ සිදුවීම පිළිබඳව ඕ කීවේ කාර්‍යාලයේ හිතවතම දෙඩ්දෙනෙකුට පමණි.
“ඔව්වා රට වටේ කිය කිය යන්න ඕනි නෑ… “
ඔවුන් දෙදෙනා මයුමි ශක්තිමත් කරමින් සිට ගත් හ.
ඉන් පසු මයුමි සංක්‍රාන්තික සමය ඇරඹුවාය. දිනය පුරා තිසර සමඟ වූ මතක තරනය පහසු වූයේ නැත. එහෙත් ඕ උත්සාහයන් අත් නොහැරම උන්නාය. උත්සාහ කලාය. සතිය, දෙක, තුන ගෙවුනි. මාස දෙකක් වන විට ඕ බෑග් පින්තාරු කරන ඔන්ලයින් ව්‍යාපාරයක් ඇරඹුවාය. ඇය නොසිතූ තරමින් ඇණවුම් ගලා එන්නට පටන් ගත්තේය.
සියල්ල හෙමි හෙමින් නිවැරදි වෙමින් තිබුණි
” ජීවිතේ ලැබෙන පලවෙනි අවස්තාව කියන්නේ අහම්බයක් බව ඇත්ත … ඒත් දෙවෙනි අවස්තාව කියන්නේ කිසිම වෙලාවක අහම්බයක් නෙවෙයි .. ඒක සම්පූර්නයෙන්ම සැලැස්මක් … ඒ සැලැස්ම හදන වැඩේ තියෙන්නේ ඔබේ අතේ…”
පින්තාරු කරන ලද බෑගයක සකසන ලද සේයාරුවක් සමඟ ඕ මුහුණු පොතට එලෙස ගලපා මුදා හැරියේ, හිත කොනිති ගහන සන්තෝසයක්ද සමඟිනි.
ජීවිතයේ අමාරුම දවස් කොහොමම හරි පහු කර ගැනීමේ සැනසීම ඔබටත් ලැබේවා..
අපේක්ෂා ගුණරත්න