හැර යෑම

තේජ් එක්ක රණ්ඩු වෙන එක අනුරාධාට නුහුරු දෙයක් නෙවෙයි. අනුරාධා කෑවත් ඒක තේජ්ට වැරදියි. අනුරාධා බීවත් ඒක තේජ්ට වැරදියි. අනුරාධා ඇන්දත්, පැලැන්දත් තේජ්‍ට එතනත් පෙනුනේ මොකක්ම හරි වැරැද්දක්. ඒ තියා අනුරාධා නිහඬව පාඩුවේ ඉන්න එක ගැන පවා තේජ්ට තිබුණේ කුරිරු සිතුවිලි.

සරසවි ජීවිතේ අවුරුදු හතරම තේජ්ගේ මේ තාඩන පීඩන එක්ක ගෙවලා දාන එක ඇත්තටම අනුරාධාගේ තීරණයක්. තේජ්ව අත ඇරලා දාලා, තනියෙන් ඉස්සරහට යන්න  හිතන හැම රැයකටම පස්සේ උදෑසන තේජ් වඩා සෞම්‍ය ප්‍රේමවන්තයෙක් වෙලා අනුරාධාගේ ඉස්සරහට ආවා.

” ඔයාට මගෙන් ඈතට  යන්න ඕනි නම් යන්න අනූ .. මම සියයට සීයක්  නිවැරදි මිනිහෙක් නෙවෙයි කියලා හිතාගන්න ඔයා අකමැති නම්, ඔයා මාව දාලා යන්න .. ඒත් ඔයා මතක තියාගන්න,  ඔයා යන්නේ මේ තේජ්ගේ පපුව කෑලි කෑලි වලට ඉරලා දාලා බව… තේජ්ට ඉන් පස්සේ හුස්ම ගන්නවත් බැරි වේවි .. සිහි කල්පනාවක් නැති වේවි … මගේ ජීවිතේ මට පේන එකම එළිය ඔයා විතරයි අනූ .. ඒක මම එදත් ඔයාට කිව්වා .. අදත් ඔයාට කියනවා…”

තේජ්ගේ ඒ කෙටි පණිවිඩ වලට පස්සේ නියමයක් නැතිව, පුරුද්දට වගේ පේරාදෙණියේ කොහේම හරි හුරු තැනක දෙන්නා මුණ ගැහෙනවා. තේජ් කිසි දෙයක් නොකියා ඈතක් බලාගෙන ඉන්නවා. අනුරාධා තේජ්ගේ අතක එල්ලෙනවා.

” ඔයාව දාලා , තනියෙන් ඉස්සරහට යන්න පුලුවන් කමකට එහෙම කිව්වා නෙවෙයි තේජ් .. ඒත් ඔයා කට්ටිය ඉස්සරහ මට එහෙම කෑ ගැහුවම මට හොඳටම දුකහිතුනා.. ලැජ්ජත් හිතුනා… අනෙක ඔයා මාව එතන දාලා බයික් එකෙන් යන්න ගියාම මට ඇඬුනා…”

සමහර දවස වලට අනුරාධා කේතු කිව්වා.

” මං දන්නවා.. එවෙලේ මට මොන යකා වැහුනාද මන්දා .. ඒක නම් ඇත්තටම කරුමයක් …”

තේජ් දෙපාරක් නොහිතා ඒ සමහර වෙලාවල් වල වරද සාධාරිණීකරණය නොකරම ඉන්නවා. සමහර වෙලාවට ඔහුට එවෙලේ එහෙම හැසිරෙන්න සිදු වුනේ ඇයිද කියන එකට බොහොම සෞම්‍ය පැහැදිලි කිරීම් හදලා, ඒවා අනුරාධාගේ ඔලුවටත් දානවා.

එහෙම දවස් වලට පස්සේ අනුරාධා ආයේම සුපුරුදු , හුරු පුරුදු රවුමේම යනවා.

අනුරාධා රැකියාවට ආවාට පස්සේ තේජ්ගේ මානසික හිංසන වල දිග පළල තේජ්ටම අමතක වුනා. අනුරාධා හීනෙකින්වත් නොහිතපු වැරදි වල චූදිතයෙක් වෙන්න අනුරාධාට  සිද්ද වුනා.

” ඒ මිනිහාගේ අස්සටම වෙලා හිටියේ මොකටද ඉතින් ෆොටෝ ගහනකොට …”

කාර්‍යාලයේ යම් කාර්‍යයක් අවසානේදී මිතුරෙක් විසින් මුහුණු පොතට එකතු කරලා තිබුන සේයාරුවක අනුරාධාගේ පසෙකින් උන්න තරුණයා ගැන තේජ් ගැටුමක් හදාගත්තා. අනුරාධා මුලදි උත්සාහ කලේ  බොහොම නිවීමෙන් ඒ ප්‍රශ්නය මඟ හරින්න. ඒත් ඒ නිවීම පවා තේජ් දැක්කේ ඇවිලෙන ගින්නක් ගානට.

” මට හිතාගන්න පුලුවන් දැන් ඔෆිස් ඔෆිස් කියලා නටන නාඩගම … මට ඇහැට නොපෙනෙන්න පැනගෙන නුවරටම ගියේ ඕකට තමයි ..”

තේජ් ආයේ ආයේම එකම කතාව කියවන්න ගන්නකොට අනුරාධාත් නිහඬව, නොසැලකීමෙන් ඉන්න හදන සීමාව කඩලා දැම්මා.

” මොකද්ද අනේ තේජ් ඔයා ඔය කියන්නේ ?..”

අනුරාධා කඩාගෙන පැන්නා. අනුරාධාගෙන් ඒ තරම් උච්ච ස්වරයක් බලාපොරොත්තුවෙන් නොඋන්න තේජ් එකපාරටම නිශ්ශබ්ද වුනා. විනාඩියකින් ආයෙම ඇවිලුනා.

” ආහ් .. ඒ  කොහේ තිබුන කටේ හයියක්ද … ඇයි ඔෆිස් එකේ මිනිහා කිව්වාද මාත් එක්ක කට ගහගෙන යන්න කියලා…”

තේජ් තව ඉමකට පැටලුණා.

” අනේ විකාර කතා කියන්න එපා තේජ් .. මොන විකාරයක්ද මේ … ඔයාට මම මොන දේ කලත් වැරදියි නේ .. ඔහොම ගියොත් මට වෙන්නේ ඔයා හදලා දෙන වීදුරු කූඩුවක් ඇතුලට වෙලා හෙල්ලෙන්නෙවත් නැතුව බලාගෙන ඉන්න … ඇයි අනේ .. හරි වදයක් නේ .. අද හරි යාවි .. හෙට හරි යාවි කියලා කොච්චර ඉවසුවාද .. මේක  හරියන දෙයක් නෙවෙයි .. මට තවදුරටත් මේක කරන්න බැහැ …”

අනුරාධා කෝපයෙන් වගේන යම් තීරණයක් වෙනුවෙන් සූදානමිනුත් එක්කම එහෙම කිව්වා. ඒත් තේජ් උන්නේ ඇයට ඇහුම්කන් දෙන්න සූදානමින් නෙවෙයි. අවසානේදි අනුරාධා තනියෙන්ම තමන්ගේ තීරණේ ගත්තා. ගෙදර අයටත්, කාර්‍යාලේ හිතවතුන්ටත් තමන්ගේ ජීවිතේ ගත්ත ඒ අසීරු තීරණය ගැන කිව්වා.

” උඹ ඒ මිනිහාගේ හැසිරීම් ගැන කියපු මුල්ම දවසේමයි මම හිතුවේ උබ ඔය විහින් වධකාගාරයක වැටෙනවා කියලා… “

එක් අයෙක් කිව්වා.

” මෙවෙලේ අනුරාධා අරගෙන තියෙන්නේ හරිම තීරණේ .. ඔය සැකේ තියෙන මිනිහෙක් එක්ක ඔච්චර කල් ජීවත් වෙලා ඔයා ඔයාවමයි විනාශ කරගෙන තියෙන්නේ .. ඒත් මේ වෙලාවේ  හරි  අඩියක් පිටිපස්සට  තියලා මේ තීරණේ ගන්න ඔයා තීරණය කරපු එක ඇත්තටම හොඳයි .. හැබැයි තේජ් කොහොම ආවත් ඔයා ආයේ හැරෙන්නේ නැතිව නම් ඉන්නෝනි …”

තවකෙක් කිව්වා. අනුරාධා උන්නේත් ආයේ නොහැරෙන්න.

ඊට පස්සෙන්දා ඉඳගෙනම තේජ් පුරුදු දෙබස් කියවන්න ගත්තා. අනුරාධා කලේ ඒ කිසිවකට ප්‍රතිචාර නොදක්වපු එක. දවස් දෙකකට පස්සේ තේජ් අනුරාධාව හොයාගෙන කාර්‍යාලයට ආවා. එතනදී අනුරාධා   කලේ ඔහු  හමුවට ගිහින් , ඍජුවම තීරණය කියලා ආයෙම ආව එක. ඉන් පස්සේ අනුරාධාගේ අම්මලා මුණ ගැනිලා අනුරාධාගේ හිතුවක්කාරකම් ගැන  කේලම් කියන්නත් තේජ් පසුබට වුනේ නැහැ.

” අනූරාධා ඒ ඔෆිස් එකේ මිනිහෙක් එක්ක පැටලිලා අම්මේ.. ඒ හින්දා තමයි මේ මාව එපා වුනේ ..”

දෙවතාවක් නොහිතාම අනුරාධා ගැන අනුරාධාගේ අම්මාටම කේලම් කියන්නත් තේජ් පෙළබුනා. ඒත් අනුරාධා ඒ ගත්ත  තීරණේ වෙනස් කරන්න පොඩිවත් සූදානමක් පෙන්නුවේ නැහැ.

ඊට පස්සේ තේජ් කලේ සමාජ මාධ්‍ය වල සැබෑ ප්‍රේමය, චපල වීම වගේ කාරනා ගැන පෝස්ට් ශෙයාර් කර කර ඔහු වින්දිතයා බවට පත් වුන බව පෙන්වීම. ඒත් තේජ් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා දැනගෙන උන්න බොහෝ අය ඒවාට ඌණපූරණ තිව්වේ නැහැ.

අනුරාධා ආයෙම නොහැරෙන බව වැටහෙනකොට තේජ් ක්‍රම ක්‍රමයෙන් උමතු වෙන්න ගත්තා. යන එන මඟ අනුරාධාට තර්ජනය කලා. කාර්‍යාලයට මඩ පුවත්පත් එවන්න ගත්තා.

” දැන් මට ආයේ ආයෙම තේරෙනවා.. මම ගත්තේ කොයි තරම් නිවැරදි තීරණයක්ද කියලා…  තේජ් කවදාවත් යහපත් බව වැඩිපුර තියාගන්න  කැමති මිනිහෙක් නෙවෙයි ..ඔය එයා මඩ ගහන්නේ එයා අවුරුදු පහක් ආදරේ කල කෙල්ලට .. මට කමක් නැහැ.. එයා කැමති විදියට , කැමති දෙයක් කරපු දෙන් …”

අන්තිමේදි අනුරාධා කාර්‍යාලය  හරහා සකසා ගත්ත අවස්තාවකින් විදෙස්ගටහ් වෙනකොට තේජ් ගේ යාලුවෙක්ට ඒ කෙටි පණීවිඩය යැව්වේ, තේජ් එක්ක ආයේම එකතු වෙන්න එකම එක අවස්තාවක්වත් නැතිද කියලා ඒ  මිතුරා එවලා තිබුන කෙටි පණිවිඩයකට උත්තර විදියට.

අන්තිමේදි අනුරාධා නිදහසේ අහසට පියෑඹුවා. 

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles