ගෙදර අවදියෙන් උන්නේ සිසිමාධවී පමණකි. ඒ රැයේ නිහඬතාවය බිඳලනු පිණිස නැගී ආ මහන මැශිමේ හඬත්, අන්ධකාරය මකාලනු පිණිස දල්වා තිබුන විදුලි ආලෝකයේ එළියත් හැරෙන්නට සිසිමාධවී තනිකම මකන්නට කිසිවක් එහි තිබුණේ නැත.
බොහෝ බර කල්පනාවක ගිලී සිසිමාධවී මසමින් උන්නේ දෙව්මිගේ පාසලේ විවිධ ප්‍රසංගයේ දරුවන් කිහිපදෙනෙකු කරන නැටුමකට අවශ්‍ය ඇඳුම් කිහිපයක එම්බ්‍රොයිඩර් වැඩ කටයුතුය. මේ ඇඳුම් කිහිපය එලබෙන බ්‍රහස්පතින්දා දින පාසලට භාරදෙන්නට සිසිමාධවී දෙව්මිගේ ගුරුතුමීට පොරොන්දු වුණාය.
අත පය රිදෙමින් ද නිදිමත් දෙනෙත් වසඟ කරගනිමින් උන්නද සිසිමාධවී මොහොතකටවත් නතරකරන්නෙ නැතුව මහන එකම කරගෙන ගියේ කොහොමහරි මේ වැඩ ටික අද එකලාසයක් කරගන්නවා කිය සිතමිනි. අද මේ ඇඳුමේ එන මල් මැස්ම මසා ඉවර කරගතහොත් හෙට අනිද්දා දවස් දෙකේ කොල ටිකත් සමණල රංචුවත් මසා ඉවර කර වෙලාවට ඇඳුම් කට්ටල භාරදෙන්නට හැක. අනික මේ කොච්චර මහන්සි දැනුනද වෙහෙස වී වැඩ කරන්නට හැකි තරුන කාලයයි. අද උපයන දෙයක් හෙට දවසක දරුවන් දෙදෙනාට හෝ පිහිටක් වන්නට හැකි බව සිතන වාරයක් පාසාත් මැශිම පාගන වාරයක් පාසාත් සිසිමාධවී සුමධුරටත් අයිරාංගනී තිලකරත්නටත් හිතෙන් ස්තුතිවන්ත වුනාය. ඒ තමන් වැනි අසරණියකට පිහිට වීම නිසාවෙනි.
“අනේ මන්දා මහත්තය, මහත්තය මට මැශිමත් අරන් දීල, බිස්නස් එකක් කරන විදියත් කියල දීල මං මේවයි ණය කොහොම ගෙවන්නද කියල” සිසිමාධවී කිව්වේ සුමධුර මහන මැශිම ගෙදරට ගෙනවිත් එය සිසිමාධවී අතට පත් කල දිනයේය.
“ණයක් කියල හිතන් දුන්න දෙයක් කියල හිතනවනම් වෙලාව තියෙන වෙලාවක මගෙ කමිසයක් එම්බ්‍රොයිඩර් කරල ගෙනත් දෙන්නකො” කියා සුමධුර කිව්වේ තමන්ගේ මනස්කාන්ත හිනාව නගන අතරවාරයේය.
ඔලුව පහත් කර එය විහිලුවක් යැයි සිතා සිසිමාධවී සිනා සී ආයෙම වරක් තම කෘතඥතාවය සුමධුර තිලකරත්න වෙනුවෙන් පුදකලාය.
“මං දන්නව මහත්තයයි නෝනයි මෙහෙම උදව් කරන්නෙ මං ගැන ඇත්තටම අනුකම්පාවෙන් කියල. ඇත්තටම මහත්තයො කෝසලගෙ අම්මල ඇරුණම මගෙයි කියල මට නෑයෙක් කියල කෙනෙක් ඉතින් නෑනෙ. මට ඇත්තටම මගෙයි කියල කියන්න ඉන්නෙ දැන් මහත්තයි නෝනයි තමයි” කියා සිසිමාධවී කඳුලක් පිසඳා ගනිද්දි සුමධුර ඇය දෙසම බලා උන් හැටි සිසිමාධවීට මේ මොහොතේ මතක් කල හැකිය.
ලයිට් එලිය තිබුනද ඇස් හොයන්නේම නිදිමතය. සාධාරණය. රෑ දොලහට එකට විතර නින්දට ගොස් ආයෙම උදේ පහ පහමාර විතර වෙද්දී අවදි වී උයා පිහා දරුවන්ටත් කවාපොවා, සූදානම් කරගෙන ගෙදරින් පිටවගොස් ආයෙ දවාලයේ විවේකයක් නැතුව වැඩ පල කරන දෙනෙතක් නින්ද සෙවීම අරුමයක් නොවේ. එහෙත් තමන්ගේ අරමුණට යන්නට නින්ද බාධාවක් බව සිසිමාධවී නොදන්නවා නොවේ. දෙව්මිත් චනුකත් ඉගෙන ගෙන රස්සාවකට යන දවස එනතුරු තමා මේ කට්ට කා යුතු බව සිසිමාධවී දනී.
එහෙත් දරුවන් වෙනුවෙන් අම්මලා කරන්නෙ මෙහෙම දේවල් නොවේ.
ටක ටක ටක හඬින් පණ ගැහෙමින් තිබූ මහන මැශිමේ හඬ පරදා “ස්ස් ස්ස්” ශබ්ධයක් නැගෙනු සිසිමාධවීට දැනුනේ අහම්බයකින් වගේය. මුලින් ඒ කුමනාකාරයේ ශබ්දයක්ද කියා හිතාගන්න සිසිමාධවීට පුලුවන් උනේ නැත. මෙතෙක් දවසක් පුරාවට ඇහුනේ නැති ශබ්දයක් ඇහෙන්නට හඬක් නැති බව සිසිමාධවී සිතුවාය. ඇය හැරී ගෙතුල බැලුවේ ඒ ගෙතුලින් එන ශබ්දයක් යයි සිතා නමුත් දෙවන වරටත් “ස්ස් ස්ස්” හඬ ඇසෙද්දී ඒ ඇසෙන්නේ නිවසින් බැහැරව බව සිසිමාධවීට තේරුණාය. හිත බය වුණෙ ඒ නිසාය. අන්දකාර රාත්‍රියක නිවසින් එලියේ කාන්තාවකට පමණක් නොව පිරිමියෙකුට උනත් බොහෝ අනතුරු තිබෙන්නට හැකි බව දන්න නිසාම ඒ බය සාදාරණය.
හඬ එන්නේ ජනේලයෙන් පිටත සිට බව පැහැදිළි කරගත්ත ගෙතුල වූ මන්දාලෝකයට එළියේ වූ අඳුර කපා දමා එහි හිඳින්නේ කවුදැයි පැහැදිළිවම පෙන්වාලන්න හැකියාවක් තිබුනේ නැත. ලංවී බැලීම බයානක බව දන්නා නිසාම සිසිමාධවී මැශිම ලඟින් නැගිට හිටගත්තාය.
තිගැස්ම බය හිත ඩිග් ඩිග් ගගා ඇසෙන්නට සැලැසුවද තමාට මේ මොහොතේ තමා හැර වෙන සරණක් නැති බව සිසිමාධවී දනී. පිටිපස්සේ දොර හැරගෙන මහගෙදරට දුව යන්නට ඉඩ තිබුනද එලියේ හිඳින මිනිසාගේ දෙපාවලට ඇති හයිය ගැන තක්සේරුවක් නැතුව එය කරන්නට බැරිය. අනෙක දරුවන් දෙදෙනා මෙහි දමා තමාට කොහෙත්ම එලියට පනින්නට නොහැක.දරුවන් දෙදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් මරු කටට හෝ පනින්නට සූදානම් විය යුතු බව සිතමින් සිසිමාධවී රෙදි කපන කතුර එක් අතක තද කරගෙන අඩියක් ඉස්සරහට තබා කවුද කියා සෙමෙන් ඇසුවේ වැරදිමකින් හෝ දරුවන් දෙදෙනාට මේ ශබ්ධ ඇසී ඔවුන් ඇහැරේ යැයි බියකිනි.
“කවුද?”
“නංගි මම” කියා ඒ නැගුනේ තම දෙසවන් රවටමින්ද කියා සිසිමාධවී ආයෙ පාරක් හිතුවාය. උත්පලා අක්කා විවාහ කරගත් නිලන්ත අයියාට මෙවන් වෙලාවක මෙවන් ගමනක් එන්නට කිසිත් හේතුවක් නැති බව සිසිමාධවී දනී. එයම මේ ගැන බොහෝ සැක සහිත දේ හිතන්න ඉඩක් සලසයි.
“ඇයි අයියෙ?”
“නංගි වැඩ කරනව දැකල මම මේ ආවෙ නංගි” දෙනෙත් අඳුරට පුරුදුවෙද්දි සිසිමාධවී එළියේ හිඳ ජනේලයේ එල්ලී තමා දෙසම බලන නිලන්තගේ දෙනෙත්වල වූ ජාගර සිතුවිල්ල දුටුවාය. පිරිමියෙක් නැති තැනක, පිරිමියෙක් මළ තැනක දරුවන් සමග අසරණ වූ ගැහැණුන්ට පිහිටවන්නට මෙන් වෙස් මුහුණු බැඳගෙන එන පිරිමින්ගේ සිත් වල හැංගී තිබෙන ජාගර, අපිරිසිදු සිතුවිලි මුහුණෙන් පෙනෙන්නේ මෙයාකාරයෙන් විය හැකි බව සිසිමාධවී තේරුම්ගත්තේ නිලන්තගේ අඳුර මැදින් පෙනෙන මුහුන දෙස බලමිනි.
“පොඩ්ඩක් කතා කරන්න ඕන නංගි. තරහ නැත්තම් හොඳ ළමයා වගේ දොර ඩිංගක් අරින්න” නිලන්ත ආයාචනයෙන් මෙන් ඒ වචන කියද්දී තමන්ට දැනුනේ කුමනාකාරයේ හැඟීමක්ද කියා කියන්න සිසිමාධවීට හැකි වුනේ නැත. ඒ කෝපයක්ද, බයක්ද, පිලිකුලද යනාදී බොහෝ හැඟීම් එකතු වූවකි.
නිවසේ තිබුනේ එක පලක ජනෙල් පමණි. ඒ එක් පියන්පතක් ගෙතුලින් වසා දමන්නට හැකි අන්දමෙන් නිසා සිසිමාධවී එක මොහොතක් නිලන්ත දෙසම බලා හිඳ වේගයෙන් නිලන්තගේ මුහුණේ වදින්නට මෙන් වසා දැම්මාය.
අනතුරුව රෙදි කපන කතුර අතේ තියාගෙන වෙව්ලමින් සාලයේ මැද හිටගෙන කල්පනා කරන්නට වුනාය. කඳුලු ඉස්සර වුනේ බයත් අසරනකමක් හින්දාය. තමන් දරුවන් දෙදෙනෙකු සමග අසරණ වූ ගැහැණියක බව දැන දැනම තම පිහිටට ඉන්නවා යැයි සිතූ මිනිසුන් මෙසේ කරාවිද කියා හිතද්දී ඒ කඳුලු වලක්වාගන්න සිසිමාධවිට පුලුවන් උනේ නැත.
සෙමෙන් වෙව්ලමින් මෙන් කෝසලගේ ජායාරූපය තබා තිබූ මේසය අසලට ගිය සිසිමාධවී පුටුවක් ඇද එහි වාඩි වුනාය. මේසය මත තබා තිබූ දරුවන්ගේ පොත් පත් මදක් එහාට කර හිස ගසාගෙන ඉකිගසා හැඬුවාය.
“අනේ කෝසල, මං කොහොමද කෝසල මේ හැමදේම තනියෙන් විසඳගන්නෙ?” කියා අසමින් හඬ හඬ උන් සිසිමාධවීට එදා රැයේ හඬමින්ම නින්ද ගියේ මේසය උඩමය.
එදා උදෑසන එලාමයේ පිහිටක් නැතුවම සිසිමාධවීට ඇහැරුනේ නුපුරුදු තැනක අපහසු ඉරියව්වකින් නිදාගෙන හුන් නිසාවෙන් ඇඟට දැනුන අපහසුව සහ වේදනාව නිසාමය. ඒ වෙනකොටත් වෙලාව පාන්දරය. ඒ නිසා ආයෙම ඇඳට ගොස් නිදාගන්න එක පසෙක තබා දරුවන් වෙනුවෙන් කෑම සූදානම් කරන්න සිතුවාය. වෙනදාටනම් මේ වනවිට අම්මාද ඇහැරි ඉන්න බව දන්නා නිසා පිටිපස්සෙ දොර හැරගෙන වැඩ කරද එදා සිසිමාධවී බයටම සියලුම දොර ජනෙල් එලිවන තුරු වසාගෙන උන්නාය. සුපුරුදු ලෙස ගෙදර වැඩ පල පුරුද්දෙන් මෙන් කරද හිත තිබුනේ ඊයෙ රැයෙ අනපේක්ෂිතව සිදු වූ දෙයින් තෝන්තු වීමෙනි.
සිසිමාධවීව පෙළමින් උන් ඒ වේදනාව දුටුවේද වඩා හොඳින් අඳුරගත්තේද අයිරාංගනීය.
“සනීප නැද්ද මාධවී?”
ඉස්තෝප්පුව අතුගා දමා එන්නම් යැයි කියා කොස්සද රැගෙන ගිය සිසිමාධවී එකම තැන බොහෝ වෙලා අතුගාමින් ඈත කල්පනාවක නිමග්න වී ඉන්නා බව දුටු අයිරාංගනී රෝද පුටුව හෙමින් තල්ලු කරගෙන ඇය ළඟටම ආවාය. එහෙත් ඈතම ඈත කල්පනාවක ගිලී උන් සිසිමාධවීට එබවක් දැනුනේ නැත. ඇය තිගැස්සුණේ අයිරාංගනීගේ මව්වත් කටහඬ විත් සවන්පත් මත පතිත වෙද්දීය.
“අනේ නෑ නෝන. ඇඟට ටිකක් අපාසුයි වගේ දැනුනා” හිතේ වූ කලබල කරදර එලියට නොපෙන්වන්නට මෙන් සිසිමාධවී ආයෙ අතු ගාන්නට පටන් ගන්නා අතර ඇත්තකුත් නොවන බොරුවකුත් නොවන දෙයක් අයිරාංගනීට කියා පෑවාය.
“ඇඟටද හිතටද?”
අයිරාංගනී ඇසුවේ රෝද පුටුවේ හිඳම වඩා සුපරීක්ශාකාරීව සිසිමාධවී දෙස බලමිනි. එහෙත් සිසිමාධවී එයට සිනාසුණා පමණි. හැම කරදරයක්ම මේ මිනිසුන්ට කීම ඔවුන් තමන්ව වරදවා වටහාගන්නට හේතුවක් කරගනු ඇතැයි හිතුන හන්දා මෙන්ම, කටක් ඇර අයිරාංගනී වන් අතිශය විශ්වාසවන්ත මවක් බඳු තැනැත්තියට පවා කියන්නට බැරි ලැජ්ජාබරිත හැඟීමක් හිතේ විය. ඒ සියල්ල වසා දමන්නට හැක්කේ ත් සඟවාලන්නට හැක්කේත් සිනාවකින් පමණක් බව ඇය සිතුවාය.
“වෙලාවකට මට හිතෙනව මං මැරිලා කෝසල ඉතුරු වුනානම් හොඳයි කියල්ල නෝන”
“ඇයි මාධවී එහෙම කිව්වෙ?”
“තනිවෙච්ච ගෑණුන්ට කොච්චර දේවල් නම් උහුලන්න වෙනවද කියල හිතද්දි මට එහෙම හිතුනා නෝන”
“මාධවී හිතනවද ගෑණු වෙච්ච අපිට තරම හැමදේම උහුලගෙන දරාගෙන ඉන්න පිරිමින්ට පුලුවන් කියල? කෝසල වෙනුවට මාධවී මැරුණනම් මාධවී අද දරුවොයි පවුලයි වෙනුවෙන් කරන දේවල් කෝසලට කරන්න පුලුවන් වෙයි කියල මාධවී හිතනවද?”