අවුරුදු පහක් ගුටි කන විවාහ ජීවිතයක හිර වී උන්න චරිතාගේ කතාව

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“ලියෝගෙ ගෙදර ලියෝගෙ බඩුවලින් පත්තර කෑල්ලක් පවා එයා දුන්නොත් මිස ගන්න තරම් හයියක් මට නෑ. අන්තිමේදි මම මුලු පොළොවම පිහදැම්මෙ මගෙ ඇඳුම්වලින්. තෙල්වලට මගෙ අත් ගිනි ගන්නවා වගෙ දැනෙද්දිත් මම දිගටම බිම පිහ දැම්මා. හිතේ හැටියටම අඬන්න නිදහසක් මට නොතිබ්බට බිම පිහදාන ගමන් ලියෝට නොපෙනී කඳුලුවලට ගලාගෙන යන්න ඉඩ දෙන්න මට පුලුවන් වුණා. එදා මම පොළොව හෝදන්න වතුර පාවිච්චි කරාට වඩා කඳුලු පාවිච්චි කරන්න ඇති කියලා අද හිතෙනවා”

නිලූකා බ්‍රැන්ඩන් තමන්ගෙ රෝජා පොතේ ලියලා තියෙන්නෙ රෝජගෙ ජීවිතේ ගැන නෙවෙයි තමන්ගෙ ජිවීතේ ගැන කියල හිතන තරමට චරිතා උන්නේ පොතට ඇබ්බැහි වෙලා. රෝජා ගිම්හානිට ලියෝ කොච්චර වද දුන්නද තමන් මේ ගෙවන්නෙත් ඒ වගේම ජීවිතයක් නේද කියල පොතේ පෙරලෙන පිටුවක් ගානෙ නොහිත ඉන්න චරිතට පුලුවන් වුනේ නෑ. අඩුම ගානෙ මෙහෙම නිදහසේ පොතක්වත් කියවගන්න ලැබෙන්නෙ මලිත් ගෙදර නැති දවසක විතරයි. චරිතා තමන්ගෙ ගේ ඇතුළෙම සැනසීමෙන් ඉන්නෙත් මලිත් ගෙදර නැති දවසක විතරයි.

“ප්‍රපෝසල් එකකින් බැන්දනම් මලිත් මොනව කිව්ව කරත් මට දුකක් නොදැනෙන්න තිබුනා. එයාව අතෑරල දාල යන්න තිබුණා. ඒත් අවුරුදු හයක් ආදරේ කරල, කසාද බැඳලත් අවුරුදු පහක් එයා එක්ක ජීවත් වෙලා මම කොහොමද එයාව දාලා යන්නේ? එයා මට ආදරේ නොකරට මම ආදරෙයිනෙ? අනික හොඳ වෙලාවට මලිත් මට කොච්චර ආදරේද?”

කිසිම  හේතුවක් ඇතුවත් නැතුවත්, ලේ එන්න, අත පය හීරෙන්න තුවාල වෙන්න, දත් හෙලවෙන්න මලිත්ගෙන් ගුටි කාපු දවසකට චරිතා හැමදාම මලිත්ගෙන් පළිගන්න, එයාව දාලා යන්න හිතෙන හේතු හිතෙන් අයින් කරගත්තෙ ඔන්න ඔහොම හිතලා.

“එයා මට ආදරේ නොකලට මම එයාට ආදරෙයිනෙ. ආදරේ නම්  මට පුලුවන් වෙන්න ඕන එයා මොනව කරත් ඉවසන් ඉන්න”

දාහක් තුවාල හිතෙයි ඇඟෙයි තියාගෙන, ඒ වේදනාව මුලු ලෝකෙන්ම හංගගෙන බොරුවට හිනාවෙන වෙස් මූණක් පැළඳගන්න ගමන් චරිතා හැමදාම ඔහොම හිතුවා.

කොටින්ම අම්මල පවා හිතාගෙන හිටියෙ මලිත් – චරිතා ජෝඩුව හරි අපූරුවට ජීවත්වෙනව කියල. මොකද ගේ ඇතුලෙ චරිතා ඉස්සරහ මොන විදියෙ යක්ශ චරිතයක් රඟපෑවත් එළියෙදි “සුවච කීකරු, යහපත් ස්වාමිපුරුශය” විදියට රඟපාන්න මලිත් අමතක කරේ නෑ. මලිත් තරම් හොඳ හස්බන්ඩ් කෙනෙක් මේ ලෝකෙ කිසිම ගෑණියෙක්ට නෑ කියල පේන විදියට තමයි මලිත් එලියෙදි හැසිරුණේ.

චරිතා මේ හැමදේම නොදැක්කා නෙවෙයි. ඒත් “මේ තමයි ආදරේ, ආදරේ කියන්නෙ ඉවසන් ඉන්න එක” කියල හිත හිත අවුරුදු පහක් ගුටි කකා උන්නු චරිතට මානසික උපදේශනයට යන්න ඕන කියල හිතුනෙ කණ්ණාඩියෙන් දවසක් දැක්ක, තැලිච්ච, ඉදිමිච්ච තමන්ගෙම මූණ දැක්කට පස්සෙ.

හිත රිදුනෙ ඒ මූණෙ පිරිල තිබිච්ච තැලුම් පාරවල් හන්ද නෙවෙයි. මේ අවුරුදු පහට කළින් තමන්ගෙ ඇස්වල පිරිල තිබ්බ සන්තෝසෙ, දිලිසෙන ගතිය තව දුරටත් දකින්න නොලැබිච්ච එක.

මේ ඉන්නෙ තමන් හොඳටම දන්න “චරිතා ගුණරත්න” නෙවෙයි කියල තේරුම්ගන්න පුලුවන් වෙච්ච එක.

“මලිත් මට හොඳටම ගහනව. එයාට මට ගහන්න හේතුවක් ඕන නෑ. හරියට වෙන කෙනෙක් එක්ක තියෙන තරහක් මගෙන් පිටකරගන්න හදනව වගේ මම එයා එක්ක හිනා උනත් එයා කරන්නෙ මට ගහන එක. මම ඇත්තටම දන්නෙ නෑ මම මොකද්ද කරන්න ඕන කියල”

මනෝ උපදේශකවරිය ඉස්සරහදි චරිතා එහෙම කිව්වේ ඇත්තටම ජීවිතේ ගැන පුදුමාකාර කලකිරීමකින්.

“මොකද්ද කරන්න ඕන කියල ඔයා නොදන්නෙ නෑ. ඔයා දන්නව නේද මෙහෙම සබඳතාවයකදි ඔයා කරන්න ඕන දේ මොකද්ද කියල?”

මනෝ උපදේශකවරිය එහෙම අහද්දි චරිතාට ඒ කතාවට එකඟ නොවී ඉන්න බැරිවුනා.

ඇත්ත තමන් දන්නවා තමන් කරන්න ඕන, ගන්න ඕන පියවර මොකද්ද කියල. ඒත් එයාව අතාරින්නෙ නැතුව ඉන්නෙ තාමත් එයාට ආදරේ හන්දා නේද?

ඉතින් මේ වගේ ගැටලුවක ඔයත් හිරවෙලා ඉන්න පුලුවන්. නාසිසිටික් පෞරුෂ ආබාධය තියෙන සහකරුවන් දැන් ඇත්තටම දුර්ලබ නැහැ. මනෝ උපදේශනයෙදි අපිට නිතරම මෙහෙම අයව හමුවෙනවා. කොච්චර ගුටිකකා, වේදනාකාරී ජීවිතයක් ගත කරත් සමහරු මේ වගේ සබඳතාවයකින් මිදී යන්න හරිම අකමැතියි වගේම “මෙහෙම තැනකදි මම මොකද කරන්න ඕන?” කියල ගැටලුව ගොඩක් අයට තියෙනවා.

ඉතින් ඔබේ සහකරුවත් මේ නාසිසිටික් පෞරුෂ ආබාධයෙන් පීඩා විඳින කෙනෙක් නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

නාසිස්ටික් පෞරුෂ ආබාධය (Narcissistic Personality Disorder) සහිත සහකරුවෙකු සමඟ ජීවත් වීම ඉතා අභියෝගාත්මක විය හැකි අත්දැකීමක්. මෙවන් ගැටලුකාරී සබඳතාවයකදී, ඔබගේ මානසික සහ භෞතික සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා විශේෂ අවධානයක් දක්වන එක හරිම වැදගත්. එවැනි අවස්ථාවකදී, අනිවාර්‍යයෙන්ම අනුගමනය කළ යුතු කරුණු තුනක් මෙහිදී විස්තර කරනවා.

1. මෙවන් ගැටලුකාරී සබඳතාවයකදී තවදුරටත් ඔහු සමග ජීවත් වනවාද කියා තීරණය කරන්න

නාසිස්ටික් පෞරුෂ ආබාධය සහිත සහකරුවෙකු සමඟ ජීවත් වීමේදී, ඔබේ සෞඛ්‍යය, සතුට සහ සුරක්ෂිතතාව පදනම් කර ගනිමින් තීරණ ගැනීම අත්‍යාවශ්‍ය වේ. ඔබේ සහකරුවාගෙන් වාචික හෝ භෞතික පහරදීම් සිදු වන අතරවාරයේත්, ඔහු සමඟ තවදුරටත් ජීවත් වීමට ඔබ තීරණය කළද, යම් ආරක්ෂාවන් සැපයීමට අදාළ ක්‍රියාමාර්ග ගත යුතුය. එසේ නොමැති නම්, ඔහු සමඟ ජීවත් වීම ඔබගේ ජීවිතය හා සෞඛ්‍යය අවදානමට පත් කරනවානම්, එවැනි සබඳතාවකින් ඉවත් වීම හොඳ තීරණයක් විය හැකිය.

ඔහුව හැරයාම ප්‍රමාද නොකරමින් කටයුතු කරන්න. නමුත් ඔබට ඔහුව හැරයාමක් ගැන අදහසක් නොමැති නම්, අවම වශයෙන් ඔහු පහර දෙන අවස්ථාවක ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න. පළමුවෙන්ම, ඔබේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂිත ස්ථානයක් සොයා ගන්න. නීතියේ ආධාර ලබාගැනීමද ඔබේ ආරක්ෂාව සඳහා වැදගත් වේ.

2. ඔබේ ළඟම හිතවතෙකුට හෝ කිහිපදෙනෙකුට තමන්ගේ ගැටලුකාරී සබඳතාවයේ සත්‍ය පැහැදිළිව පවසා තිබීම ඉතාම වැදගත්

නාසිස්ටික් පෞරුෂ ආබාධය සහිත සහකරුවෙකු සමඟ ජීවත් වන විට, ඔබේ ගැටලුකාරී අත්දැකීම් සඳහා හිතවත් මෙන්ම යහපත් අයගේ සහාය ලබා ගැනීමේ වැදගත්කම අතිශය වේ. ඔබේ ළඟම හිතවතෙකුට හෝ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුට ඔබේ සබඳතාවේ සිද්ධීන් පැහැදිළිව පැවසීමෙන්, ඔබට මානසික සහ භෞතික සුරක්ෂිතතාව සහාය ලබාගැනීමට ඉඩ සැලසෙනු ඇත. මෙම සහාය ලබා ගැනීමෙන්, ඔබට ගැටලුකාරී අවස්ථාවන්වලදී ප්‍රයෝජනවත් පියවර ගැනීමට හැකියාව ලැබේ.

3. පවුල්/මානසික උපදේශනයට යාම ඉතාම වැදගත්

නාසිස්ටික් පෞරුෂ ආබාධය සහිත සහකරුවෙකු සමඟ ජීවත් වීමේදී, පවුල් සහ මානසික උපදේශනයට යාම ඉතා වැදගත් වේ. මානසික උපදේශනය මඟින් ඔබට ඔබේ අත්දැකීම් සහ හැඟීම් තහවුරු කර ගැනීමට සහ ඒවාට මූලික වන්නේ කෙසේද කියා තේරුම් ගත හැකිය. පවුල් උපදේශනය මඟින්, ඔබේ සහකරුවාගේ හැසිරීම් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රම විදියන් සොයා ගැනීමට හැකිය.

සමහරවිට, නාසිස්ටික් පෞරුෂ ආබාධය සහිත පුද්ගලයෙකුට වෛද්‍ය හා මානසික ප්‍රතිකාර ලබා ගැනීමට උත්සාහ කිරීමද සාර්ථක විය හැකිය. එමඟින් ඔවුන්ගේ හැසිරීම් සහ කාරණා යම් ප්‍රමාණයකින් යථා තත්ත්වයට පත් කර ගැනීමට ඉඩක් ලැබේ.

අවසන් වශයෙන්, ඔබේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පවත්වා ගැනීමට මෙවන් ගැටලුකාරී සබඳතාවයකදී අවශ්‍ය පියවර ගත යුතුය. එසේ නොවන්නේ නම්, ජීවිතයේ සියලු කාර්යයන් හා සම්බන්ධතා සඳහා අහිතකර ප‍්‍රතිඵල ඇති විය හැක.

මෙම කරුණු තේරුම් ගනිමින්, නාසිස්ටික් පෞරුෂ ආබාධය සහිත සහකරුවෙකු සමඟ ජීවත් වීමේදී අවශ්‍ය කටයුතු ගන්නා ලෙස ඔබව දැනුවත් කරන්න අප කැමතියි. එමෙන්ම ඔබට මනෝ උපදේශන සහය අවශ්‍ය ඕනෑම විටක Smartlady Admin වරියක සම්බන්ධ කර ගැනීමෙන් ඒ පහසුකම ලබා ගන්නට හැකි බවත් දැනුම් දෙන්න අප කැමතියි!

Related Articles

Don't Miss


Latest Articles