නිලන්ත එදයින් පසුව එසේ රාත්‍රියේ තම නිවසට රහසේ එන ගමන් නතර කරාවියැයි සිසිමාධවී හිතුවද ඒ සිතුවිල්ල හිත අස්සේ තබාගන්න ඇයට පුලුවන් වුනේ ඉනුත් දවස් දෙක තුනක් යනතුරු පමණකි. හවස ආ හැටියේ මැහුම් ගෙතුම් ඉවර කර ඉක්මනින් නින්දට ගිය සිසිමාධවී වෙනදා මෙන් රෑ වන තුරු ගෙතුල පහන් දල්වා තිබුනේ නැත. එහෙත් බදාදා රාත්‍රියේ ඇයට රෑ දෙගොඩහරියක් වනතුරු අවදිව ඉන්නට සිදුවුනේ පසුවදා, එනම් බ්‍රහස්පතින්දා භාරදෙන්නට පොරොන්දු වු දෙව්මිගේ පාසලේ විවිධ ප්‍රසංගයේ පිළිගැනීමේ ගීතය ගයන දරුවන් පස් දෙනාගේ ඇඳුම් කැඩුම් සකසන්න වූ නිසාවෙනි.
ගෙතුල කෙතරම් රස්නෙ වුවද සිසිමාධවී ජනෙල් හැරියේ නැත. එදා එතරම් දෙයක් වූ පසුවත් තමා ජනෙල් හැර තැබීම නිලන්තට ව්‍යංගාර්තයෙන් මෙහි එන්න කීමක් ලෙසඔහු වරදවා වටහා ගනු ඇතැයි ඇය බිය වුණාය. “ලැජ්ජාවක් ඇති මිනිහෙක්නම් ආයෙ එන එකක් නෑනෙ” කියා සිසිමාධවී සිතුවේ පසුගිය දින දෙකේ ජනේලයට තට්ටු දමන සද්ද නෑසුණ බැවිනි.
එහෙත් නිලන්ත උන්නෙ හිතේ උපන් සිතුවිලි වලට එසේ පහසුවෙන් මැරෙන්නට ඉඩ දෙන අරමුණක නොවේ. නිලන්තගේ හිතේ සිසිමාධවී ගැන හැඟීමක් උපන්නේ සිසිමාධවී කෝසල අසනීපව, ඔත්පලව ඉද්දිත් ඔහුට දෙවියකුට මෙන් සලකන ආකාරය දකිද්දීය. නිරත්තරයෙන්ම කුමක් හෝ හේතුවකට කෝපගෙන, වයසට වඩා වැඩිමහල් පෙනුමක් පෙන්වන, හැමදෙයක්ම දිහා සැකයෙන් බලන උත්පලාව විවාහ කරගෙන උන්නද තමා වන් පිරිමියෙකුට වඩා උචිත වන්නේ සිසිමාධවී වන් ළඳ බොලඳ, සුකුමාල ස්ත්‍රියක බව ඇයව දකින හැම මොහොතකම ඔහු ඇතුළාන්තයෙන් සිතුවාය.
නිදි යහනේදි උත්පලා සමග එක්වන සැම මොහොතකම නිලන්ත ඒ හැඟීම් වින්දේ මේ ඉන්නේ උත්පලා නොවේ සිසිමාධවී යැයි සිතමිනි. බොහො සුන්දර නිලියන් ද ස්ත්‍රියන්ද ඇසුරු කරන්නට ඉඩ ලැබෙන අංශයක සේවය කරමින් උන්නද නිලන්ත කිසිම විටක තම හොඳ නම ඔවුන් ඉදිරියේ නරක් කරගත්තේ නැත. එනිසාම බොහෝ තරුණියන් නිලන්ත සමග වැඩ කරන්නට මනාප වුනහ.
“නිලන්ත අයියනම් ජරා වචනයක්වත් කියන මනුස්සයෙක් නෙවෙයි” කියා නිලන්ත විසින් තම සිතුවිලි හිත අභ්‍යන්තරයේ සඟවාගෙන කර ගෙන රඟපෑම පසුපස බොහෝ අය නොදන්නා රහස් කතන්දර තිබෙන බව දැන උන්නේ නිලන්තත් ඔහුගේ ළඟම හිතවතුනුත් කිහිප දෙනෙක් පමණි.
සැමියාද මියගොස් දරුවන් දෙදෙනෙකු සමග අසරණව හිඳින සිසිමාධවී එදා රැයේ තමා කතා කරද්දි දොර වැහුවේ අනපේක්ශිතව තමා දුටු විට ඇති වූ තිගැස්ම නිසා පමණක් බව සිතූ නිලන්ත දෙවන තුන්වන වර ඇයව යටත් කරගන්නට කැමති වේයැයි සිතුවේය.
ඒ වනාහී ආදරයකින්වත්, අනුකම්පාවකින්වත් නොවේ.හුදෙක් “තවත් ගැහැණියක සමග ශාරීරිකව වෙළෙන්නට” ඇති පහත් ආශාව පමණකි.
බදාදා රැයේ සිසිමාධවී ඇහැරී ඉන්නා බව නිලන්ත දුටුවේ ඒ නිවසේ ජනේලයෙන් පෙරී ආ මන්දාලෝකය මිදුල මත රටා මවමින් තිබෙනු දුටු විටය.
එදා කරගන්නට බැරි වූ දේ අද කරගන්නවාය යන අදහසින් නිලන්ත අන්ධකාරයේම සිසිමාධවීලාගේ නිවස පැත්තට අඩිය තිබ්බේය.
මැශිම ඩක ඩක හඬින් නද දෙද්දී සිසිමාධවීගේ හිතත් එක්තරා දුරකට ගැහෙමින් තිබුනේ අදත් නිලන්ත ආවොතින් කුමක් කරනවාද යන අදහසිනි. ඔහු නේනු ඇතැයි සිතේ එක පැත්තක් කීවද අනෙක් පැත්ත කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.
මැශිමේ වේගයට සාපේක්ශව සිසිමාධවීගේ අතත් පයත් ඉක්මන් වුණේ බොහෝ රෑ බෝ වන්නට පළමුව සමණල රෑණ මසා අවසන් කර නින්දට යන බලාපොරොත්තුවෙනි.
“ටක් ටක්” හඬ එක් වරක් නැගෙද්දී සිසිමාධවී තිගැස්සූණාය. ඒ තිගැස්සීමට අනුකූලවම මැශිමේ වේගයද කෙමෙන් අඩු වී මදකට පසු නිහඬ වුනාය. ගෙතුල වූයේ ඇල්පෙනෙත්තක් බිම වැටුණද ඇහෙන තරමේ කෑලි කපන්නට හැකි නිහඬතාවයකි. සිසිමාධවී නොසෙල්වී හිඳ ගෙන් උන් තැනම ගල් වී සිටියේ ඒ හඬ ඇසුනේ සැබැවින්ම එළියෙන්ද නැතිනම් මෙවන් දෙයක් වියහැකිය යන කුතුහලයෙන් පිරී තිබුන තමන්ගේ හිත ඇතුලෙන්ද කියා සිතමිනි.
“ටක් ටක්” හඬ දෙවනි වරටත් නැගෙද්දී ඒ හඬ එන්නේ හිත ඇතුළෙන් නොව ජනේලයට පිටතින් හිඳින කිසිවකු කරන නාදයක් නිසා බව සිසිමාධවී තේරුම් ගත්තාය.
නිහඬව හිඳියහොත් ඔහු මදක් රැඳී හිඳ යනු ඇතැයි සිතා සිසිමාධවී නොසෙල්වී උන්නාය.ජනේලය දෙසත් දොරේ අගුල දෙසත් හොඳින් බැලුවේ වැරදීමකින් හෝ එය තල්ලුවකින් ඇරෙන්නට ඉඩක් තිබේදැයි සැක හැර දැනගනු පිණිසය.
සිසිමාධවී ගෙතුල හිඳින බවත් තමාගේ ශබ්ධය ඇසුණ බවත් එනමුත් නිහඬව ඉන්නා බවත් නිලන්ත තේරුම්ගත්තේය. ඇයගේ බිය තුරන් කරනු පිණිස තමා කුමක් හෝ කිව යුතුය යනුවෙන් සිතා නිලන්ත උගුරේ රැල් බුරුල් හැරියේය.
“නංගි මම නිලන්ත අයියා”
එහෙත් එයට පිළිතුරු දුන්නේ සිසිමාධවී නොවේ.
කළ යුත්තේ කුමක්ද කියා සිතාගන්නට අපහසු වුනත් එක මොහොතකටවත් ජනේලය අරින්නේ නැතැයි සිසිමාධවී සිතුවාය. එසේ කිරීම ඔහුගේ අපේක්ශාවන් ඉටු කරගැනීමට ව්‍යංගාර්තයෙන් අනුබල දීමක් විය හැකි බව ඇය සිතුවාය. මේ මිනිසා මෙහි හිඳින ආකාරය කවුරුන් හෝ දුටුවහොත් තමාට බොහෝ අපවාද අසන්නට හේතු වන බව තේරුම්ගත් නිසාවෙන්ම සිසිමාධවී ක්ෂණිකව සාලයේ විදුලි පහන නිවා දැමුවාය.
“නංගි කලබල වෙන්නා එපා, මම ටිකක් කතාකරන්න කියල හිතාගෙන ආවෙ. හොඳ ළමයා වගේ ජනේලෙ ටිකක් අරින්න. මම මෙහෙම ඉන්න එක ඔයාට වගේම මටත් හොඳ නෑනෙ කවුරුවත් දැක්කොත්” කියා නිලන්ත නැවත වරක් පිණ්සේන්ඩු වුණත් ජනේලය අරින්නට හිතුවේ සිසිමාධවී නොවේ.
මේ වනාහී මහා විනාශයක පෙර නිමිත්තක් බව සිසිමාධවී දැන උන්නාය. එහෙත් මේ විනාශය මගහරවාගන්නට තමාට යන්නට වෙන තැනක් හෝ කියන්නට වෙන කෙනෙක් නැති බව දන්න නිසාවෙන්ම මේ විනාශය මගහරවාගත යුත්තේ තමා විසින්ම මෙහි රැඳීමෙන්ම පමණක් බව ඇය දැන උන්නාය.
“මධූ නංගි දොර අරින්නකො. මම දන්නව ඔයා ඉන්නෙත් පාලුවෙන් බව. මම ඒකයි ආවෙ. ඔය ඇස්වල ඇඳිල තිබ්ච්ච දුකයි පාලුවයි මම ඇඳින්න නංගි. මම මේ කියන ඒව ඔයා තව වචන ටිකක් විතරයි කියල හිතනවද දන්නෙ නෑ. ඒ උනාට මට උත්පලා එක්ක ගෙවන ජීවිතේ ඇත්තටම එපා වෙලා නංගි තියෙන්නෙ. හැම මනුස්සයටම ඔයා වගේ ගෑණු හම්බෙන්නෙ නෑ. කෝසල එහෙම බැලුවොත් පුදුම වාසනාවන්තයෙක් නංගි. ජනේලෙ ටිකක් අරින්න නංගි. මම ආවෙ පොඩ්ඩක් කතා කරල යන්න විතරයි”
ජනේලයෙ එපිට රැඳී නිලන්ත විසින් කරනු ලබන මුණු මුණුව අසා ඉන්නට බැරි තරම් අප්‍රසන්න වුවත් සිසිමාධවී වචනයක්වත් නොකියා නිහඬවම උන්නාය. තමන්ගෙ එක වචනයක් තමා වරදකරුවෙකු කිරීමට බොහෝ හේතුවන්නට හැකි බව සිසිමාධවී දැන උන්නාය.
හිස හරවා බලා මේසය මත තිබූ කෝසලගේ ජායාරූපය දෙස බැලු සිසිමාධවී “අනේ මට පිහිට වෙන්න කෝසල” කියා කියද්දීත් කෝසල කරේ ජායාරූපයේ හිඳ සිනාවෙමින් හිඳීමය.
සිසිමාධවිගෙන් කිසිත් අනුබලයක් තියා වචනයක් වත් නොඇසුන තැන නිලන්ත ආපසු හැරී මහගෙදර බලා යන්නට සිතුවේ තවත් දිනයක සිසිමාධවීව ඩැහැගන්නට එන බලාපොරොත්තුවෙන්, අද රැයේ අපේක්ෂාබංගත්වයට පත් කරගෙනය.
උත්පලා උන්නේ තද නින්දකය. එහෙත් රාත්‍රියේ වූ රස්නය නිසාවෙන්ම උත්පලා ඇහැරුණේ වතුර ටිකක් බොන අදහසිනි. නිදිමරගාතේ ඇඳේ එහා මෙහා හැරෙද්දි තමන්ගේ එහා පැත්තෙන් රැයේ නින්දට ආ මිනිසා ඇඳේ නොමැති බව දැනෙද්දී උත්පලාගේ හිතට මුලින් ආවේ බයක පෙර නිමිතිය.
ඒ පෙර නිමිති සැකයකට තුඩු දෙන්නට වූයේ නිලන්ත නාන කාමරයේත් නැති බව සැක හැර දැනගත්තයින් පසුවය.
උත්පලා තමන්ගේත් නිලන්තගේත් නිදන කාමරයේ හිඳ හෙමින් අඩි තියා එළියට ගියේ හෙරක මෙනි. නිවසේ කිසිම තැනක නිලන්ත නොමැති බව සැක හැර දැනගත් පසු ආයෙ ආලින්දයට ආ උත්පලා නිවසේ ඉදිරිපස දොර බාගෙට විවර වී ඇති බව දුටුවේ සඳ එළියේ මද ආලෝකය ඒ දොරටුව අස්සෙන් පෙරී අවුදින් නිවස තුලට වැටී තිබෙනු දුටු විටය.
මේ මහ රෑක නිලන්තට එළියට යන්නට සාධාරණ හේතුවක් නැති බව දන්නා නිසාම උත්පලා බොහෝ දේ සිතුවාය.
බාගෙට ඇර තිබූ දොරෙන් සිසිමාධවීගේ නිවසේ ජනේලය අසලින් නික්ම එන නිලන්ත දුටු මොහොතේ උත්පලාට දැනුනේ තම දෙපා වෙව්ලනවාය. සිසිමාධවීගේ නිවසෙන් නික්මෙන්නට නිලන්ත මේ රැයේ ඇති එකම හේතුව කුමක්ද කියා වටහාගන්නට උත්පලාට හැකි වුනේ නැත.
හෙමින් සැරේ හොරෙකු මෙන් ඇවිද ආ නිලන්ත ගෙතුලට විත් දොර වසා හැරෙද්දී අකුණු පහරක් ලෙස ආ අත්ලක් කම්මුලේ වැදී නතර වනුත් කම්මුලෙන් මහා රස්නයක් පිටවෙද්දී ඒ හා සමගාමීව දැවෙන උත්පලාගේ දෙනෙතත් දැක දැවුණේය. පසුතැවුණේය. ලැජ්ජාවුණේය.