රිදුණු තටු පිරිමදිමි -11

අංජන නීලවතුර රිය පදවා ගෙන ආවේ සිහිනයකින් සේ ය. වරින් වර ඔහු ගේ ඇස් රිදී තෙතමනයක් පැතිරී ගියේ ය. වේගවත්ව ඇස් තටු ගසා ඔහු සිය දෘශ්‍ය පථය පැහැදිලි කර ගත්තේ ය. හැන්දෑව නිසා වාහන තදබදයත් වැඩි වූයෙන් මනා සිහිය රඳවා ගත යුතු ව තිබිණ. 

වින්දි ගේ මහ ගෙවල් තියෙන්නේ පිළියන්දල ය. අංජන වින්දි හා සදෙව්මා සමග වසර දහ තුනක් ම ජීවත් වූයේ මත්තේගොඩ නිවාස සංකීරණයට යාබදව ඔහු විසින් මිල දී ගන්නා ලද නිවසක ය. සදෙව්මා නුගේගොඩ බාලිකාවකට පාසල් ගියා ය. පිළියන්දල සිට ද නුගේගොඩට දියණියව පහසුවෙන් පාසල් එවිය හැකි වූයෙන් මහ ගෙදර නතර වීම ගැන දෙවරක් හිතන්නට වින්දි ට ඕනෑ වූයේ නැත.

රිය පදවන අතරේ දී වෙන කිසි දා ක වින්දි ගැන හිතේ ඇති නොවූ කේන්තියකින් අංජන ඇවිලෙන්නට වූයේ ය. මේ තරම් කාලයක් සියල්ල ඉවසා ගනිමින් ඇය නීත්‍යානුකූල බිරිඳ වශයෙන් තබා ගැනීම ගැන ප්‍රථම වතාවට කේන්තියක් ද ඔහු ට දැනිණ. ඒ සියල් කැප කිරීම් කළේ සදෙව්මා වෙනුවෙන් වී ද එයත් ගඟට කැපූ ඉණි සේ අපතේ ගිය කැප කිරීමක් නොවේද යන සිතිවිල්ල ඔහු ව වඩාත් වේදනාත්මක කරන්නට හේතු විය.

මත්තේගොඩ පසු කොට රිය කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබි බව හෝ අංජනට දැනුණේ නැත.

වින්දි දියණිය ගේ කොණ්ඩය කපන්නට හා ඇගේ රූපලාවන්‍ය කටයුතු සඳහා කොට්ටාවේ රූපලාවන්‍යාගාර වෙත එන්නට පුරුදු ව සිටියා ය. බොහෝ විට දෙතුන් වතාවකට වඩා ඇය එක රූපලාවන්‍ය ශිල්පිනියක ගේ සහාය ලබා ගත්තේ නැත. ඇගේ කුමක් හෝ වරදක් අඩුපාඩුවක් දකින්නට ගන්නා බැවිනි. රූපලාවන්‍ය පමණක් නොව වෙනත් ඕනෑම දේකදී ඇගේ පිළිවෙත එසේ විය. වැඩි දවසක් ඇයට කිසිවෙකු ‘හොඳ’ වන්නේ නැත. නමුත් කොට්ටාව නගරයෙහි අලුතෙන් අරඹන ලද ‘සැලෝන් සන්තු’ වෙතට ඉන් පසු කිහිප වතාවක් ම ඇය පිවිසියා ය. සිය ඇහි බැම හැඩ කර ගැනීමත් සදෙව්මා ගේ කෙටි කොණ්ඩය කපා සකසා ගැනීමත් ඇයට කර ගන්නට තිබූ දේ ය. පිළියන්දල පදිංචියට ගිය පසුත් සැලෝන් සන්තු වෙත එන්නට සදෙව්මා ට උවමනා වී තිබුණත් වින්දිට එය මගහැරිණි. කොණ්ඩය කපන්නට ඒ තරම් දුරක් එනවා කියන්නේ කොයි තරම් කාලය නාස්ති කර ගැනීමක් දැයි සිතූ ඕ ඇගේ ඇහි බැම සකසා ගන්නට පිළියන්දල අවට  ඕනෑ ම රූපලාවන්‍යාගාරයකට ගියා ය. ඊළඟ වතාවේ වෙන තැනකට ගියා ය. ඒ අනුව සදෙව්මාටත් එසේ කරන්නට සිදු විය.

“සැලෝන් සන්තු යංකො අම්මි. මටනං එතන තරං හරියන්නෑ කොහෙවත්”

වරක් නොව කිහිප වරක් ම ඇය ඒ ඉල්ලීම කළ ද ඊට කන් දෙන්නට වින්දි සූදානම් ව සිටියේ නැත. එක තැනකට බැඳෙන්නට, ඇලෙන්නට, ගැලෙන්නට ඈ තුළ වන බිය ගැන වින්දි සදෙව්මාට කීවේ ද නැත. සදෙව්මාට සැලෝන් සන්තු අහිමි වූයේ ඒ අයුරිනි.

කොට්ටාව වටරවුමේ කැරකුණු අංජන ට, ඔහු මත්තේගොඩ ගෙදර පසු කොට කොට්ටාවට ම පැමිණ ඇති බව සිහි විය. නැවතත් වට රවුමේ කැරකී හයිලෙවල් පාරේ ඉස්සරහාට ගිය ඔහු ඉඩ කඩ තිබූ තැනක රිය නවතා සුක්කානමෙහි හිස තබා ගත්තේ ය. මහත් හිස් කමක් ඔහු ට දැනෙයි. එය වූ කලී අතීතයත් වර්තමානයත් අනාගතයත් එකට සම්බන්ධ කරන්නා වූ ශුන්‍යත්වයකි. එහෙව් හිස් කමක් දැනෙත්දී තවත් ජීවත් වෙන්නේ කුමටද කියා සිතේ. ජීවත් වුණා ඇති ය කියා සිතේ. ජීවත් වීම වදයක් සේ දැනේ. මේ මොහොතේ අංජන පත් ව සිටියේ එහෙව් තත්වයකට ය. 

රූපලාවන්‍යාගාරයෙහි භාවිතා වන නිෂ්පාදන කිහිපයක් ම නිමා වෙමින් තිබි නිසා ඒවා මිල දී ගන්නට නුගේගොඩ ගිය සන්තුෂී ආපසු එමින් සිටියේ ඒ වෙලාවේ ය. රිය පදවා ගෙන එන අතරේ පාරේ අනිත් පස නතර කොට තිබූ අංජන ගේ රිය ඇගේ නෙත ගැටුණේ ඉතා අහම්බෙනි. ඔහු සුක්කානම මත හිස තියා සිටිනයුරුත්, රිය පසු කරත්දී ඇය ඉතා සුළු මොහොතකට දුටුවා ය. කිසිත් සිතා ගත නො හැකි ව ඉදිරියට රිය ධාවනය කළ ඕ මන්සන්ධියේ වට රවුමෙන් හැරී නැවතත් විරුද්ධ දෙසට රිය හරවා ගෙන ගියා ය. අංජන ගේ රියට ඉදිරියෙන් සිය රථය නතර කළ සන්තුෂී ඉක්මනට ඉන් බැස ඔහු වෙතට පැමිණ, වසා තිබූ වීදුරුවට අතැඟිල්ලෙන් තට්ටු කළා ය. අංජන හිස එසවූයේ දෙතුන් වරක් තට්ටු කළ ඉක්බිති ය. මඳ පමාවකින් ඇය ව හඳුනා ගත් හෙතෙම පැති වීදුරුව පහත් කළේ ය.

“ඇයි මේ..”

සන්තුෂී එසේ ඇසුවේ ඒ වෙලාවේත් අංජන ගේ ඇස් වල පරණ නොවූ කඳුළු පැල්ලම්  වූ නිසා ය. ඒ කඳුළු ඇස් වලින් හෙතෙම සිනහ වෙන උත්සාහයක් ගත්තේ ය.

“ඔයා…මෙතන…”

“ඔයා මෙතන ඇයි…”

ඇගේ ස්වරයේ වූ තරවටුවට ඔහුට අලුතෙන් සිනහනක් නැගිණ. 

“මට මැරෙන්න ඕන සන්තුෂී”

කියා කියත්දී ඒ සිනහව අතුරුදන් වෙමින් අංජන ගෙන් මහා හැඬුමක් පිට වූයේ ය. එය කිසි සේත් ඔහු ට පාලනය කර ගත නො හැකි වූ එකකි. දෙනෝදාහක් ගැවසෙන මහ මග මන් සන්ධියක ඒ විදිහට හඬා වැටීම ගැලපෙන්නේ නැත. ඊටත් වඩා පිරිමියෙකුට එය ගැලපෙන්නේ නැත. මේ සමාජය පිරිමි කඳුළු ප්‍රතික්ශේප කරන්නා වූ එකකි. පිරිමි කඳුළු විවේචනය කරන්නා වූ එකකි. පිරිමි කඳුළු හෙළා දකින්නා වූ එකකි. කඳුළු යනු ස්ත්‍රීත්වයේ ලක්ෂණයක් කියා සිතනා එකකි. කඳුළු අයිති ගැහැනුන්ට ය කියා සිතනා එකකි. එහෙව් සමාජයක පිරිමියෙකුට හැඬිය නො හැකි ය.  ප්‍රසිද්ධියේ කොහෙත් ම හැඬිය නො හැකි ය. නමුත් පිරිමින්ටත් කඳුළු තිබේ!

සන්තුෂී එක නිමේෂයකට පාෂාණිභූත වූවා ය. මොනවා කළ යුතු ද මොනවා කිව යුතු ද කියා එක වර ඇගේ මනසට ආවේ නැත. ඔහු හඬයි. වැඩිහියි පිරිමියෙකු ඈ ඉදිරියේ මැරෙන්නට ඕනේ කියමින් හඬයි. මතක නිවැරදි නම් මේ වැඩිහිටි පිරිමියෙකු ඇය ඉදිරියේ හඬනා පළමු වතාව ය. සන්තුෂී කල්ප එක්ක රහසා පලා ගොස් විවාහ වූ දිනයේ සිරිවර්ධන හැඬුවේ ය. ඉකි ගගහා සිය බිරිය ඉදිරියේ හැඬුවේ ය. නමුත් ඒ සන්තුෂී දුටුවේ නැත. පසු කලෙක ඇය එය දැන ගත්තේ ස්වර්ණකාන්ති වෙතිනි. නමුත් මේ වෙලාවේ සිය පියා හා අංජන යනු දෙදෙනෙකු නොව එක් අයෙකු වාගේ සන්තුෂී ට දැනිණ. දෙදෙනා ම පියවරුන් ය. දෙදෙනා ම හඬන්නේ සිය දියණිවරුන් නිසා උපන් හද ගින්නෙනි. 

“අනේ ඉතිං ඇයි මේ…”

සන්තුෂී ගේ හඬත් හැඬුම් බර විය. නමුත් එසේ දුර්වල නොවී ශක්තිමත් වන්නට ඇයට ඕනා විය.

“මට කියනවද මොකද වුණේ කියල…”

“ඔයා යන්න සන්තුෂී…මං අඬනකොට හරි කැතයි කියල මං දන්නව”

ඇය වෙත ක්ෂණික සිනහවක් ආවේ ය. 

“මං කියන්නද…අපි කොහෙට හරි ගිහිං ටිකක් කතා කරමු. එන්නකො. කා එක ලොක් කරල මගෙ කා එකේ යං”

අංජන සිටින්නේ රිය පැදවීමට සුදුසු මානසික තත්වයක නොවන බව දැනුණ නිසා ම සන්තුෂී එවන් ඇරයුමක් කළා ය. නමුත් එතැන මග අයිනේ රිය දමා යා නො හැකි වූයෙන් අංජන එය තවත් ඉදිරියට ධාවනය කොට ඉඩ ඇති තැනක නතර කළේ ය.

ඔහු රියට ගොඩ වෙත්දී හදවතේ ගැස්මක් ඇති වෙනවා සන්තුෂී ට දැනිණ.  ගැහැනු ඇසක් නතර වන උසකින් යුත්, ගැහැනු හිතක් සසල වන පෞරුෂයකින් යුත් පිරිමියෙකු ගේ ඇස් කඳුළු සැලීම නිසා රතු වී තිබෙත්දී එතැන විද්‍යමාන වන්නේ වෙනස් ම හැඟීමකි. ඔහු ගැල්වූ විලවුන් වල අවසාන සුවඳ පොද පවා පිරිමි පුසුඹක් දැනවී ය. වැලමිට ළඟට නැවූ සුදු කමිස අතින් නිරාවරණය වන අත් බාහු ඝණ රෝම වලින් වැසී තිබිණ. දිගු ඇඟිලි වල මිහිදුම් පටලයක් සේ දහදිය බින්දු නැගී තියේ. නියපොතු වඩාත් පිරිසිඳු රෝස පැහැයක් දරයි. සන්තුෂී තත්පර කිහිපයකදී ඒ සියල්ල සිය දෑසින් උරා ගත්තා ය.

සදෙව්මා දොර වසා ගැනීම ගැනත් ඉනික්බිති සිදු වූ කතා බහ ගැනත් ඔහු උගුර යටින් කියා ගත්තේ ය.

“මේක හරි අමාරුයි සන්තුෂී. තාත්ත කෙනෙක් වෙන එක මං හිතපු තරං ලේසි දෙයක් නෙවේ. ඒක හරි බරක්. පපුව පලල දාන්න හදන රිදුමක්. දුවත් එහෙම කළාට පස්සෙ..මං කවුරු වෙනුවෙන් ජීවත් වෙන්නද සන්තුෂී…”

“මේ..”

ඇය එක වරකට පමණක් හිස හරවා දැඩි තරවටු බැල්මක් හෙළනා ගමන් දබරැඟිල්ල ද ඔහු වෙත පෑවා ය.

“මැරෙන කතානං ආයෙ කියන්න බෑ හරිද…එහෙම කොහොමද මැරෙන්නෙ…ජීවිතයක් නැති කරල දාන්න සොබා දහම කාටවත් අවසර දීල නෑ. තමන්ගෙම ජීවිතේ වුණත්..ප්‍රශ්න තියෙන්නෙ විසඳගන්න. බැරිමනං ප්‍රශ්න වලින් පැත්තකට වෙන්න. නැතුව ප්‍රශ්න නිසා මැරෙන්න නෙවෙයි”

“ජීවත් වෙන්න තවත් හේතුවක් ඉතුරු වෙලා නෑ කියන තැනට ආවට පස්සෙ…මරණය කොච්චර සැනසීමක්ද කියල ඒ තත්වෙට පත් වෙච්ච නැති කෙනෙක්ට හිතා ගන්න බෑ”

එවර සන්තුෂී ගේ දෙතොල් අතරට ආවේ සාවඥ සිනහවකි. 

ජීවිතේට එන ප්‍රශ්න නිසා මැරෙන්න තීරණේ කළානං…මං මැරිල වළලපු තැන් වල වැවිච්ච මල් ගස් වල මලුත් පිපිල”

එතෙක් හිතේ නො තිබි දැවිල්ලක් ඒ වෙලාවේ උගුර දිගේ පපුව තෙක් රූරා යන බවක් සන්තුෂී ට දැනෙන්නට විය. ඇය මොහොතකට යටි තොල් පට සපා ගත්තා ය. අංජන ගේ ශෝකයෙන් තඩිස්සි වූ පිරිමි ඇස් ඇය වෙතට ම හැරිණි. පිටස්තර පිරිමියෙකු ඉදිරියේ සිය පෞද්ගලිකත්වය අනාවරණය කළ යුතු නැතැයි සිහි වූ ගමන් ඇය ගැස්සී ගිහින් වචන ගිල ගත්තා ය.

“එක සැරෙන්ම පරාජය බාරගන්න හදන්නෙපා. සදෙව්මා තාම පොඩි දරුවෙක්නෙ. පොඩි ළමයෙක්ගෙ බ්‍රේන් එක හරියට බ්ලොටින් පේලර් එකක් වගේ. ටක් ගාල ඕන දෙයක් උරා ගන්නව. එයා මේ වෙලාවෙ දකින්නෙ අම්ම කියන දේ විතරයි. අම්ම ඔළුවට දාන දේ. ඒත් ඒක හරි දේ නෙවෙයිනෙ. ඔයා කොච්චර හොඳ තාත්ත කෙනෙක්ද…”

එසේ කියමින් සන්තුෂී අංජන ගේ මූණ බැලුවේ ‘මගෙ දරුවන්ට එහෙම තාත්ත කෙනෙක් හම්බුන්නෑ. ඒක අපේ අවාසනාව’ වාගේ කතාවක් ලියැවුණ ඇස් දෙකකිනි. නමුත් ඒ වෙලාවේ අංජන හිටියේ ඒ ඇස් කතන්දර කියවා ගත හැකි මානසික තත්වයක නොවේ.

“තමන්ගෙම දුවගෙන් රිජෙක්ට් වුණ තාත්ත කෙනෙක් කියන්නෙ..”

“ළමයෝ…ඇයි මේක තේරුං ගන්නෙ නැත්තෙ…ඒ එයාගෙ ඇත්ත ෆීලිංස්වත් ඇත්ත රිඇක්ශන්ස්වත් නෙවෙයි. අපි එයාගෙ හිත වෙනස් කරමු. කොහොම හරි ඒක කරමු. ම්…මං ඉන්නවනෙ…”

ඇගේ ස්වරයෙහි වූයේ තරු ඉල්ලා අඬන පොඩි කොලුවෙකු වුණත් සනසාලන විදිහේ මව්වත් ස්නේහයකි. අංජන ඒ මව්වත්කමට කැමැත්තෙන් ම අවනත වෙමින් සිටියේ ය.

පන්නිපිටිය දෙසට වන්නට මග අයිනෙහි වන බොජුන් හලක් ඉදිරියේ සන්තුෂී රිය නතර කළා ය. මීට පෙර ඇය මේ වාගේ ගමනක් ඇවිත් තිබුණේ ම නැත. කල්ප එක්ක මොන විදිහේ අර්බුධ පැවතුනත් තවත් පිරිමියෙකුට කවර හේතුවක් මත හෝ සමීප වීමේ නැඹුරුවකින් තොර ව පවතින්නට ඇයට හැකි විය. ඇය ඕනෑ ම ගමනක් ගියේත් ඕනෑ ම දෙයක් කර ගත්තේත් තප්ති සමග ය. නැත්නම් තනිව ය. කොහොමටවත් පිරිමින් විශ්වාස කරනා මනසක් නොවූ ඇය අංජන වෙත මේ තරමින් බැඳුණේ ඇයි දැයි ඇයට සිතා ගත හැකි වූයේ නැත.

බොජුන් හලට ගොඩ වත්දී අංජන පෙරට වූයේ ය. ඒ වෙලාවේ හද බිත්ති මත පෙරළීමක් සිදු වනු සන්තුෂී ට දැනිණ. ඒ ඇයට කාලයක් තිස්සේ අහිමි වෙමින් පැවති යමක් සිහිපත් කරවනා උත්සාහයක් ගත්තේ ය. නමුත් කිසිත් නිරවුල් ව සිහි වූයේ නැත. අංජන කොත්තු ද කෝක් ද ඇනවුම් කළේ ය. කුඩා මේසයක් අස හිඳ ගත්දී මහාමෙරක බර හද මත පැටවී ඇති ආකාරයක් සන්තුෂී ට දැනිණ. අංජන ගේ හිත හදන්නට තබා සිය හිත සනසවා ගන්නටවත් සැනසිලි වදනක් හොයා ගත නො හැකි තරමට සිතිවිලි විසිරී තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles