වයිබ්ස් කැෆේඑකේ නොරැඳී මහිල් ගාලු මුවදොර පිටියට ආවේ තාරා එදා මදක් සැඳැ වනතුරු කාර්‍යාලයේ රැඳී උන් නිසාවෙනි.තාරා එනතුරු ගාලු මුවදොර පිටියේ තණ කොල බිස්ස උඩ වාඩි වී මහිල් අන්දකාරා අහස දෙස බලා උන්නේය. එහෙත් හිත තිබුනේ තාරා ලඟ ය. තමාගේ සිතුවිලි දැන් තාරාගෙන් මදක් හෝ අහකට යන්නේ එහෙමත් වෙලාවක බව මහිල්ට සිතුනි. එය සතුටකි. ඇය ගැන සිතීම සතුටකි. ඇයට ලං වීම සතුටකි. හිමිකරගන්නට තිබුනා නම් එය වඩාත් සතුටුවෙන්නට කාරණාවකි. එහෙත් මේ මොහොතේ විඳින සතුට පවා ඉතාම තාවකාලික බව මහිල් නොදන්නවා නොවේ.
“සොරි අනේ මම ටිකක් පරක්කු උනා”
තාරා ආවේ සමාව ඉල්ලමිනි. ඇය අද හැඳ සිටින්නේ වෙනදාභැඳ සිටිනවාට වඩා වෙනස් වය. කාර්‍යාලයට ඔබින කලිසමත් කමිසයත් වෙනත් සිකුරාදා දිනයක ඇය අඳින ඇඳුමට වඩා වෙනස් ය.
“අද ඔයාගෙ ඇඳුම වෙනස්”
“කැත ද? අද මේ රීජනල් මීටින් එකක් සෙට් උනානෙ එකපාරට. ඒකයි මේ ෆුල්.ඔෆිස් අටයර් එකකින් එන්න උනේ. කකුල් දෙක නෑ වගේ අනේ මේ හීල්ස් දාගෙන” කියමින් තාරා ඇය පැලඳ උන් හමේ පැහැයට ආසන්න අඩි උස සපත්තු දෙක ගැලෙව්වාය.
“මම කකුල් දෙක මසාජ් කරන්නද?”
තණ බිස්ස මත හිඳ තාරා ට වාඩිවෙන්නට අත දිගු කරමින් මහිල් ඇසුවේය.
“තැන්ක්‍යු. අනේ ඒ උනාට එපා මහිල්. පව් නෙ එහෙම කරන එක. මම මෙතන වාඩිවෙන්නද?”
කියා තාරා සැරසුනේ පහත්වී ඉඳ ගන්නටය.
“එපා. ඉන්න ඔයාගේ ඇඳුමෙ මඩ ගෑවේවි බිම ඉඳගත්තොත්”
කියා සාක්කුවෙන් ලේන්සුව අරගත් මහිල් එය බිම එලා තාරාට ඉඳගන්නට ඉඩකඩ සැලසුවේය.
“ඔෆිස් එකක වැඩ කරන එක හරි ජොලි කියල හිතුවට ඔයා මහන්සි වෙන විදිය දැක්කම මටවෙලාවකට පුදුමහිතෙනව ඔයා කොහොමද එච්චර මහන්සිවෙලා වැඩ කරන්නෙ කියල”
මහිල් එසේ කියමින් තණ කොලයක් කඩාගෙන එය අතඇඟිලි අතර රදවාගෙන කරකවන්නට වුයේ තාරා සමග කතා බස් කරමිනි.
“ඔයා වගේ මේ ඔෆිස් එකේ වාඩිවෙලා ප්‍රසන්ටේශන් හදන්න නෙවෙයි තාරා මගේ ජොබ් එකේ තියෙන්නෙ. යූ හෑව් ටු අන්ඩර්ස්ටෑන්ඩ් දැට්” කියමින් වරෙක තමාට බැන වැදුනු චිරායුගේ වදන් මනසට ආවේ නැතැයි කියන්නට නොහැක. ඒ වදන්වල මතකයපවා මනසට මොන තරම් කරදරයක් ද කියා තාරා නොදන්නවා නොවේ.
චිරායු කිසිදිනක තමාව මෙවන් ආකාරයකින් අගය කර නෑ නොවේද? එසේ අගය කරානම් කිසිදිනක තමාට මෙවන් මොහොතක මෙවන්තැනෙක රැඳෙන්නට හේතුවක් නෑ නොවේද?
“කොහෙ හරි ලොකු කල්පනාවක ඉන්නෙ ඔයා”
තාරා යලිත් හදවතින් ගාලු මුවදොර පිටියට ආවේ මහිල්ගේ ඒ වචන ඔස්සේය. මුහුද සිඹ හමාගෙන එන මද නල සිරුර මත හැපෙන්නේ වඩා සිහිලසෙන් ය. එය සනීපය. සිහිලය. තුරුලු වෙන්නට ඇරයුම් කරන්නකි. එහෙත් තමා තනි නොවේද?
“නෑ මං කල්පනා කරේ ඔයා කිව්ව දේ ගැන”
“මොකක් ගැනද?”
“මං මහන්සිවෙලා වැඩ කරනව කියන එක ගැන”
“මං එහෙම කිව්ව එකවැරදිද? මම එහෙම කිව්වෙ ඇත්තටම ඔයා මහන්සි වෙලා වැඩ කරනව කියල මට පෙනිච්ච හන්දා”
“නෑ මහිල් වැරැද්දක් නෑ. ඔයා කිව්ව එක හරි. ඒ උනාට මාව ඇත්තටම එහෙම කවුරුවට්ජ් ඇප්‍රිශියේට් කරල නෑ. ඒ කිව්වෙ මාව ඇප්‍රිශියේට් කරාවි කියල මම හිතපු අය මාව එහෙම ඇප්‍රිශියේට් කරල නෑ”
“ම්ම්ම්”
“චිරායු හැම තිස්සෙම කියන්නෙ මම ඔෆිස් එකටවෙලා ප්‍රසන්ටේශන් හදන රස්සාවක් කරන්නෙ. එයා කරන ජොබ් එක තමයිසීරියස් කියල. මටඑතකොට වෙලාවකට හිතෙනව ඇත්තටම ඒක එහෙමද කියල”
“දැන් එයා මොකද කියන්නෙ? තාම එයාගෙ අම්මලගෙ වෙනසක් නැද්ද?”
“එයාලා නම් එහෙම වෙනස් වෙන මනුස්සයො නෙවෙයි මහිල්. මගෙ එහෙම බලාපොරොත්තුවක්වත් නෑ එයාලා වෙනස් වෙයි කියල. මට ඇත්තටම දැන් කිසිම බලාපොරොත්තුවක් නෑ මහිල් කිසිම දෙයක් ගැන. මේ දවස් ඔහේ ගෙවෙනව කියල විතරයි මට හිතෙන්නෙ”
“අපි ජීවත්වෙන්න ඕන අපි වෙනුවෙන් තාරා. අනිත් අය වෙනුවෙන් නෙවෙයි”
“තනිකඩ මනුස්සයෙක්ට එහෙම කියන්න ලේසියි මහිල්. මාත් කාලයක් එහෙම හිතුවා. ඒ උනාට කසාද බැඳල එකම ගෙදරක ඉද්දිතම කසාද බැන්ද මනුස්සය අතින් තමාව නිග්ලෙක්ට් වෙනව කියල තේරෙද්දි මොනතරම් දුකක්ද ඒක කියන එක කසාද නොබැන්ද මනුස්සයෙක්ට තේරෙන්නෙ නෑ
එදා අර නංගිගෙ ෆන්ක්ශන් එකෙන් පස්සෙත් එයාලගෙ අම්මල මට සෑහෙන දේවල් කිව්ව. මම ඇඳපු ඇඳපු කපල වැඩියිඅරකද මේකද කියල. ඔයා දැක්කනෙ ඒ ඇඳුම. ඒකෙ එහෙම වරදක් තිබ්බෙ නෑනෙ. මට මාර ලැජ්ජ හිතුනා එහෙම කිව්වම. එතන චිරායුගෙ තාත්තයි මස්සිනයිත් ඉඳිය. ඒ මිනිස්සු මොනව හිතන්න ඇති ද?
ඒ උනාට චිරායු හිටියෙ නම් කිසිම ගාණක් නෑ වගේ”
“මම මෙහෙම අහනවට තරහ වෙන්න එපා. චිරායු එහෙම වෙනස් වෙන්න හේතුවක් විදියට ඔයා දකින මොකක් හරි දෙයක් තියෙනවද?”
“චිරායු වෙනස් වෙන්න පටන් ගත්තෙ එයාට අන්තිමට ලැබුණ ප්‍රමෝශන් එකෙන් පස්සෙ. එයාට මම හිතන්නෙ එතනදි තමයි තේරුම් ගියේ එයා සම්පූර්ණ ෆෝකස් එක ජොබ් එකට දුන්නොත් එයාට තව තව උඩට යන්න පුලුවන් කියල.
මගෙත් එතන වැරැද්දක් තියෙනව මහිල්. චිරයු වෙනස් වෙන්න පටන් ගත්ත මුල්.කාලෙ මම එයාට ඇත්තටම ඒකට සපෝට් කරා. මම හිතුවා ආ මෙයා මේ වෙනස් වෙන්නෙ, බෙඩ් රූම් එකටවත් එන්නෙ නැතුවඔෆිස් රූම් එකෙත් නිදාගන්නෙ අපි දෙන්න වෙනුවෙන්මනෙ, අපේ ෆියුචර් එක වෙනුවෙන්මනෙ කියල. මම ඒ දවස්වල රෑට එයාට බොන්න කොෆී, ස්නැක්ස් එහෙම හදල තියෙනව. ඒ මුල් කාලෙ මම දුන්නු සපෝට් එක තමයි අන්තිමේ බූමරැන්ග් එකක් වෙලා මගෙ පැත්තට කැරකිල ආවෙ.
මට තිබුනෙ එයාට එයා වෙනස් වෙන බව කියල දෙන්න එහෙම නැතුව එයා වෙනස් වෙන එකට සපෝට් කරන්න ඒක දැනුනෙ නෑ වගේ ඉන්න නෙවෙයි.
එහෙම බලද්දි මමමයි මහිල් හැමදේම වරදගත්තෙ”
නෙත් වලින් කඳුලක් වැටුනේ අතීතය සිහිපත් වීය. චිරායු එනතුරු නිදන කාමරයේ ඇඳ මත නිදි නැතුව ගෙවූ අනන්ත රාත්‍රීන් මතක් වීය. චිරායුට අමතක වූ ජීවිතයේ වැදගත් අවස්තා, සංවත්සර මතක් වීය.
“ඔයාව ටිකක් රිලැක්ස් වෙන්න මම ඔලුව ටිකක් මසාජ්කරන්නද?”
මහල් ඇසුවේ හඬ වඩා සුමට කර සිත සනසන ස්වරයකිනි.
ඒ හඬෙහි වූයේ වඩා හිතැති රැකවරණයක් ගැන හැඟීමකි.
මහිල්ගේ දෙපා ඉදිරියෙන් අසුන්ගත් තාරා හිස සම්භාහනය කරන්නට මහිල්ට ඉඩකඩ දුන්නාය. ඒ මොහොත තාරාට දැනුනේ කවදාවත් නැති තරම් සුවබරවය. චිරායු තුරුලේ ගෙවූ අනන්ත රාත්‍රීන් වලින් නොලැබුන අන්දමේ සුවබර බවක්, සනීපයක් මහිල්ගේ දිගු ඇඟිලි තුඩු හිස කෙස් අතරින් යද්දී තාරාට දැනුනාය. ඒ සනීපය ජීවිතයේ හැම මොහොතකම විඳින්නට තිබුනා නම් කියා සිතීම වරදක් දැයි නොදන්නා නමුත් එය නොසිතා හිඳින්නට හැකියාවක් තාරාට තිබුනේ නැත.
ජීව්තයවඩා සුවබරව ගෙවන්නට මුදල් උවමන බවත් ඒ වෙනුවෙන් කුමක් හෝ කල ඉතාම මහන්සි විය යුතු බවත් තමා කාලයක් සිතූ බව තාරාට ඒ මොහොතේ මතක් විය. එහෙත් ඒ සිතුවිලිවලට පවා තමා අද වෛර කරන බව තාරා දනී. ජීවිතයට වඩා වැදගත් මුදල් නොව සතුට බව සිතන තැනකට තමා ඇවිදින් හිඳීම පරිණත බව කියා කියන්නට හැකි නම් චිරායුට ඒ පරිණත බව නොලැබුනේ ඇයිද කියා තාරා තමාගෙන්ම ප්‍රශ්න කරාය.
මහිල්ගේ අතැඟිලි වඩා හෙමිහිට එමෙන්ම සුමුදුව හිස මත යද්දී දෙනෙත් තුල කඳුලැලි පිරුණේ මේ මොහොත තාවකාලික බව මතක් වීය. තව මොහොතකින් තමා මේ සුවයෙන් මිදී නිවස බලා යා යුතු බව තාරා දැන උන්නාය.
මේ සුවය විඳිමින්, මේ සිසිල් මුහුදු හුලඟ වැදෙමින් මේ තණ බිස්ස මත නිදියන්න තිබුනා නම්”
හැම රැයකම මේ සුවය විඳින්නට තිබුනා නම් කියා සිතෙද්දී තාරා උන්නේ නින්දත් නොනින්දත් අතරය. වඩා සැහැල්ලු වූ සිරුර මහිල් ගේ පපුවත් උරහිසත් මත හේත්තු වූයේ ඒ වදන් මුවින් පිටවූයේ හේතුකවද අහේතුකවද කියා තාරා දැන උන්නේ නැත.
“මහිල්”
“ම්ම්ම්”
“හැමදාම රෑට මෙහෙම කරන්නකො. හරිම සනීපයි”
එවන් දෙයක්වත් එවන් ප්‍රේමණීය හඬක්වත් තාරාගෙන් මේ මොහොතේවත් කිසි මොහොතකවත් තමා බලාපොරොත්තු නොවූ බව මහිල් දනී.
එහෙත් එයට දිය යුත්තේ එකම පිලිතුරකි. එය පැවසීම හරිද වැරදිද කියා සිතන්නට මහිල් කාලය වැය කලේ නැත.
දෙවරක් නොසිතා ඒ වදන වඩා ප්‍රේමණීයව කියා දැමුවේය.
“අයි ලව් යූ තාරා”