අනෝරා මල් වැහි 40

“ඔයා කෑව නේද? චිරාඋට දැන් කොහොමද බබා? ඔයා වැඩිය මහන්සිවෙන්නත් එපා මැණිකෙ ඔයා ලෙඩ වෙයි ඊලඟට”

“ඔයාගෙ වැඩ ඉවර උනාම පුලුවන් නම් මට මැසේජ් එකක්වත් දාන්න බබා. ඔයාගෙන් කිසිම පණිවිඩයක් නැති උනාම මට බය හිතෙනව. අයි ලව් යූ”

“චිරායුට දැන් හොඳද බබා? ඔයා ආයෙ ඔෆිස් යන්නෙ කවද්ද? ඔයාව බලන එන්නද මම? ගොඩක් දවසකින් දැක්කෙ නෑනෙ. මට පාලුයි ඔයාව දකින්නෙ නැතුව”

මහිල්ගෙන් ආ වට්සැප් පණිවිඩ රැසකින් වට්සැප් ගිණුම පිරී තිබුනද ඒ කිසිවකට දිය යුතු පිලිතුර කුමක්ද කියා සිතාගන්නට තාරාට පහසු වූයේ නැත. ජීවිතය තමාව ගෙනවිත් ැත්තේ දෙමංසලකට බවත් තමා එයින් එක් මගක් තෝරාගත යුතු බවත් තවදුරටත් මේ දෙමංසලේ නතර වී යා යුත්තේ කුමන පාරේද කියා තීරණය කරන්න්ට බැරි බව තාරා දැන උන්නාය.

එහෙත් ඒ මාර්ගය තමා තෝරාගත් බවත්, ඒ ඔහු නොවන බවත් මහිල්ට කියන්නේ කෙසේද යන්න ගැන හිතමින් තාරා උන්නේ උභතෝකෝටියකට මැදිවීය. 

මහිල්ට ආදරය කරන්නට පටන් ගත්තේ තමා නොවන බව ඇත්තකි. එහෙත් ඔහුගේ හිතේ තමා ගැන ආදරයක් ඇතිවන අන්දමට තමා හැසිරුණ වග අමතක කරන්නට තාරාට නොහැක. ඔහු ආදරය කියූ මොහොතේ එය ප්‍රතික්ශේප නොකර එය පිලිගැනීමෙන් තමා කලේ වරදක් බවත් තාරාපිලිගත්තාය.

මේ මොහොතේ මහිල්ව අමතක කර චිරායුව පිලිගැනීම නොඑසේනම් යලිත් මේ සබඳතාවයට අවස්තාවක් ලබා දීම මහිල්ගේ පාර්ශ්වයෙන් කොපමණ සාදාරණීකරණයකරන්නට හැකිද යන්න ගැන තාරා නොදනී.

ජීවිතයේ තමා තීරණ ගත යුත්තේ තමන්ට හානියක් නොවන  අන්දමට නොවේද? ඒ අනුව තමන්ගේ පැත්තෙන්ගත් කල තමා විසින් ගත් තීරණය සහමුලින්ම වරද තිබේයැයි කියන්නට නොහැකි නොවේද?

තාරාගේ නිහඬතාවය මහිල්ගේ සිත මත දහසක් වේදනාබර සිතුවිලි වලට පණ පොවන්නක් විය.

තාරාගේ නිහඬතාවය කුමක් හෝ වේදනා සහගත පණිවිඩයක පලමු රතු සලකුන බව මහිල්ට තේරුම් යමින් තිබුනි. ඒ වේදනාව කුමක්ද කියා නොපැහැදිලි සිතුවිල්ලක් සිත මත ඇඳී යනු දැනුනද එය එසේමැයි කියා පිලිගන්නට හැකියාවක් මහිල්ට නැත. තාරා තමාට කතාකරන්නේ නැත්තේ ඇය චිරායුගේ සාත්තු සප්පායම් වැඩ කටයුතු වල මහනසි වී කාර්‍යබහුල වී හිඳින නිසාවෙන් විය හැක. 

මහිල් එසේ සිතුවේ සිත සනසාගනු පිණිසය. තාරාගේ ෆේස්බුක් ගිණුමත් ඉන්ස්ටග්‍රෑම් ගිණුමත් පිරික්සා බැලුවද එහි කිසිත් යාවත්කාලීන කල විස්තරයක් තිබුනේ නැත.

තාරා සහ චිරායු අතර කුමන අන්දමේ කතාබහක් ඇතිවීද එහි ප්‍රතිපලය කුමක් විය හැකිද යන්න ගැන නොසිතා හිඳින්නට හැකියාවක් නැත.

කියන්නට කොතෙක් අපහසු වුනත් තමා විසින් මහිල් සමග මේ සියල්ල කතා කල යුතු බව තාරා දැන උන්නාය. ඒ ආදරයක් ඇරඹිය යුත්තේත් අවසන් විය යුත්තේත් ඒ ආදරය ඇරඹුන සහ පැවතුන ගෞරවය එකිනෙකා කෙරෙහි හිත්වල දාරගෙන් යන සංකල්පය නිසාවෙන් නොව මහිල් සමග සබඳතාවය නැවැත්වුවායින් පසුවත් තමා චිරායු සමග ජීවත් විය යුතු බව දන්නා නිසාවෙනි තමා විසින් කිසිවක් නොකියාම මහිල්ගෙන් සමුගැනීම අනාගත ප්‍රශ්න රැසකට මුල පිරිය හැකි හේතුවක් වනබව තාරා සිතුවාය. එනිසාම සිදු වූ සියල්ල මහිල්ට එයාකාරයෙන්ම පවසා තමාට සමාව දෙන මෙන් ඉල්ලා හිඳින්නටත් මහිල් වන් අපූරු තරුණයෙකුට තමාට වඩා යහපත් හොඳ තරුණියක හිමිවිය යුතු බව පවසන්නට තාරා සිතාගත්තේ ඒ ඇතිවිය හැකි ප්‍රශ්න මද පමණකින් හෝ වලක්වා ගන්නට සිතාය. 

තමන් මේ ගන්නේ ආත්මාර්තකාමී සිතුවිල්ලක් බව තාරා නොදැන උන්නා නොවේ. එහෙත් ජීවිතයේ එන බොහෝ ගැටලුකාරී තත්ත්වයන් හිදී බොහෝ දෙනා තීරණ ගන්නේ තමා ගැන පමණක් සිතා නොවේද?

අනෙක් අතට තමා ආත්මාර්තකාමී වී ගත් තීරණය බොහෝ දෙනෙකුගේ සිත් රිදවන්නට බිඳවන්නට තිබූ කාරණා මගහරවාලන්නක් නොවේද?

මහිල් සහ තමා අතර ප්‍රේමයක් වූ බවත් එයට හේතුව වූයේ චිරායුගේ නොසැලකිල්ලබවත් තමන් චිරායුට කිව යුතු බවද තාරා ඒ මොහොතේ සිතුවාය. එය ඊලඟ මොහොතේද කියන්නද නොඑසේනම් නිවැරදි වෙලාව එනතුර බලා හිඳ කියන්නද කියාත් නැවත සිතුවාය.එයින් විය හැකි අතුරු ප්‍රතිපල ගැන නැවත වාරයක් සිතුවාය.

ඒ සිතුවිලි ගංගාව අවසානයේ දුරකතනය අතට ගෙන වට්සැප් යෙදවුමේ මහිල්ගේ ප්‍රොෆයිලය ඕපන් කරගත්තාය.

දහසක් සිතුවිලි හිතට ආවද ඒ සියල්ල සුන්දරව ගලපාලිය යුතු බව නැවත නැවත සිතුවාය.

“මහිල්,

මුලින්ම ඔයා එවපු මැසේජස් වලට රිප්ලයි කරන්න බැරි උනාට මට සමාවෙන්න. ඇත්තටම මට වෙලාවක් තිබුනෙ නෑ වගේම ඔයා එක්ක මේ ගැන කතා කරන්නෙ කොහොමද කියල මට හිතාගන්න බැරුව උන්නෙ. 

මට ඔයාට තරම්.ලස්සනට දේවල් ලියන්න කියන්න බෑ. ඒ උනාට ඔයා වගේ ලස්සන මනුස්සයෙක් මට දුන්න ලස්සන හිතවත්කම ගැන මම මේ වෙලාවෙ නොකිය ඉන්න එක වැරදියි.

ඔයා මගේ ජීවිතේට ආවද මම ඔයාගේ ජීවිතේට ආවද කියලහරියටම කියන්න බැරිඋනත් පුංචි කාලයක් වුනත් ඔයා එක්ක මම ගත කලේ හරිම ලස්සන කාලයක්. ඒක හරියට වස්සාන කාලයක් වගේ. ඒ වසන්ත කලාය තුල මම ඇත්තටම පුදුම තරම් සන්තෝසෙන් නිසංසලේ ඉඳියත් අවුරුදු තිස් ගාණක ගෑණියෙක්ට, කසාද බැඳපු ගෑණියෙක්ට එහෙම ඉන්න බැරි වග මම තේරුම් ගත්තෙ ටිකෙන් ටික.

ඔයාට පොරොන්දු වෙච්ච විදියට චිරායුගෙන් ඈත්වෙලා ඔයා එක්ක එකතුවෙන්න මම හිතුවත් හිතුවෙවත් නැති විදියට මේ වෙච්ච දේවල් එක්ක මට තවදුරටත් ඒ දේ කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙ මට තියෙනව. මොන දේ උනත් චිරායු දැන් ලෙඩෙක්. එයාට මගේ උදව්ව මේ වෙලාවෙ වගේම ඉස්සරහටත් ඕන වන බව මම දන්නවා.එහෙම තැනකදි මම මගේ සතුට ගැන විතරක් හිතන ආත්මාර්තකාමී මනුස්සයෙක් වෙලා චිරායුව අතෑරල එන එක සමහරවිට ඔයා උනත් වැරදියට හිතන්න පුලුවන් බව මම දන්නවා.

ජීවිතේට සතුට අරගෙන ආව ඔයාව අතෑරල චිරායු ලඟම නතර වෙන්න ගත්ත තීරණය අපි දෙන්නටම මොන අන්දමේ වේදනාවක් අරගෙන ආවත් ඔයාට ඒ වේදනාවෙන් ඉක්මනට ගැලවෙන්න ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා.

ඔයා හොඳම හොඳ මනුස්සයෙක් මහිල්. මම දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා ජීවිතේ පුංචි කාලෙකට හරි ඔයා වගේ ලස්සන,  සුන්දර මනුස්සයෙක් ලඟ ඉන්න මට අවස්තාව ලබා දුන්නට.

මම ඔයාට මෙහෙම මේ හැමදේම ටයිප් කරල එවන්නෙ ඔයාගෙ මූණ බලාගෙනවත්, ඔයාගෙ කටහඬ අහගෙනවත් මේ දේ කියන්න මට හයියක් නැති හන්දා.මම ඔයාට කලේ ලොකු වරදක් බව ඔයාමේ පණිවිඩේ කියවද්දිහිතාවි. ඒත් කාලයක් ගියාම ඔයාට තේරේවි මහිල්මම මේ වෙලාවෙ මේ තීරණේ ගත්තෙ ඔයා ගැන හිතල ඔයාගෙම හොඳට බව.

මං වගේ කෙනෙක් එක්ක ජීවිතේ ඉතිරි කාලය ගෙවෙන්න තිබුන නම් සමහරවිට ඔයා මං ගැන අහිතක් හිතන්න ඉඩ තියෙන බව මට හිතුනා.මොන දේ උනත් ඔයා වගේ තරුණ කොල්ලෙක්ගෙ අනාගතේ මං වගේ වයසක, කසාද බැඳපු ගෑණියෙක් නිසා විනාස වුනා කියල ඔයා හිතන්න ඉඩ තිබුනා. එහෙම තැනකටඅපි  දෙන්නව අරගෙන එන්නෙ නැතුව මේ අගේ අතරමගින් නතරවෙන්න ලැබුන එක මට කෙසේ වෙතත් ඔයාට හොඳක් බවයි මම හිතන්නෙ.

ආදරේ කියන්නෙ අයිතිකරගන්න එකම නෙවෙයි කියල මට කිව්වෙ ඔයා මහිල්. ඒ කතාව සම්පූර්ණ ඇත්ත. අද මෙහෙම වෙන් වෙලා ගියත් ජීවිතේ ඉස්සරහ කාලෙ පුරාවටම මම හිත ඇතුලෙන් ඔයා‍ට ආදරය කරාවි.

ඉතින්,

මට සමාවෙන්න මහිල්.මම ඔයාව රැවැට්ටුව කියල හිතන්න එපා මහිල්. මම මේ තීරණේ ගත්තෙ වැඩියත්ම ඔය ගැන හිතලා.

ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙන්න ඕන. යූ ඩිසර්ව් මච් බෙටර් දෑන් අයු ඩූ .

මට වෛර කරන්න එපා මහිල්. මගෙන් පලිගන්නත් එපා. මට දහස් වාරයක් සමාව දෙන්න. ඊලඟ ආත්මෙක මේ වගේ අතරමගක හමු නොවී ඔයාව මුලින්ම හමුවෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා.

ඔයාගෙ ලස්සන හිතත් ආදරයත් තවත් ඒ වගේම ලස්සන කෙනෙක් වෙනුවෙන් දුන්න දවසක මාව සහමුලින්ම අමතක කරල දාන්න මහිල්. 

මං ඒකට කවදාවත් තරහ වෙන්නෙ නෑ.

ඒත් මුලු ජීවිත කාලය පුරාවටම මම ඔයාව මතකෙ තියාගෙන ඉන්නවා.

අන්තිමට මෙහෙම කියන්නම්,

ඇරඹුම කෙලෙසද අවසන කොතැනද

නැත කිසිවකු දන්නේ

මා එක් තැනකය ඔබ තව තැනකය

කෙලෙසද හමුවන්නේ

ගත වන මොහොතක් පාසා හද තුළ

ආදරෙ ලියලන්නේ

සෙනෙහස පමණකි හිතවත ඔබගෙන්

මා උදුරා ගන්නේ

මට සමාවෙන්න

❤️

මීට,

තාරා”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles