ප්‍රේමයේ නික්මීම

සුලෝචනා කන්නාඩිය වටේ තවත් වාරයක් කැරකුණේ පැය ගාණක් තිස්සේ තෝරලා ඇඳගත්ත ඇඳුමේ අඩුපාඩුවක් තියෙනවද බලන්නයි. විශානි කාමරේට එබුනේ එතකොට 

” හප්පේ අද මෙයාගේ ලස්සන. චාමික ට පිස්සු හැදුනේ නැත්තං ඇති ” 

විශානි එහෙම කියන ගමන් ඇඳ උඩින් වාඩිවුනා

” මට උඹ එනවා ඇහුනෙත් නෑ ” 

සුලෝචනා ආයෙත් පාරක් සුවඳ විලවුන් තවර ගත්තා 

” කොහෙ ඇහෙන්නද ඉතින් උඹ මෙතන මෙලෝ සිහියක් නැතුව හැඩ වෙනකොට ” 

” යාලුවෝ සෙට් එකකගේ ඩිනර් අවුට් එකකට මේ ඇඳුම වැඩිද බන් ? අනික මම උඹලගෙ සෙට් එකට අලුත්නේ ” 

සුලෝචනා විශානි දිහාට හැරුනා.ඇගේ සුන්දරත්වය කවදාටත් වඩා අද කැපිලා පේනවා කියලා විශානිට හිතුනා

” පිස්සුද බන්. ඔය ඉන්නෙ ලස්සනට. දැන්වත් යමුද ? පරක්කු උනා ” 

සුලෝචනා අත්බෑගය කරට දාගෙන ආයෙත් පාරක් කණ්ණාඩිය ඉස්සරහට ගියා. යන්න හදන ගමන විශේෂ නිසා ඇගේ හිතට දැනුණේ තරමක චකිතයක්.විශානිගේ මෝටර් රථයට නැගුන සුලෝචනා ටික වෙලාවක් නිහඬවම හිටියේ ඒ නිසා.

” මොකද සුලෝ උඹේ කට වැහිලා ? ” 

” චාමික නිකං දෙතුන් පාරක් මං ගැන ඇහුවා කියලා මම මෙහෙම කුලප්පු වෙන එක හරිද බං ? ” 

” අනේ අනේ මේ කෝලං නැතුව හිටපන් . කොල්ලෙක් එහෙම නිකං අහන්නේ නෑනේ. ඌ මගේ යාළුවා හින්දා ඌ හැරෙනකොට මම දන්නවා මොකටද එන්නේ කියලා ” 

ආදරය නිසා කලින් වතාවේ දැනුම පරාජිත හැඟීම හිතේ හංගගෙන හිටපු සුලෝචනාට , මිතුරු හමුවීම් කීපයක දී මුණ ගැහුණු චාමික ගැන දැනුනේ අමුතුම හැඟීමක්. චාමිකත් තමන් ගැන කීප දෙනෙකුගෙන් විස්තර අහලා තිබුන නිසා සුලෝචනා ඒ වෙනකොටත් චාමික ගැන තරමක් උනන්දු වෙන්න පටන් අරගෙන තිබුණා

” උඹ නිකන් බය වෙලා වගේ ඉන්නෙ නැතුව නෝමල් හිටපන් සුලෝ ” 

අවන්හල පේන දුරදි විශානි කිව්වේ සුලෝචනාට තට්ටුවක් දාන ගමන්. 

” මගේ හිතට හරි නෑත් වගේ බන්. ඉසුරුගේ එෆෙයාර් එක බ්‍රේකප් උනාට පස්සේ ජොබ් එක කරගෙන කීයක් හරි ඉතුරු කරගෙන ගෙයක් දොරක් හදාගන්න හිතන් හිටපු මට වෙච්ච දේ බලපන්කො ” 

” හරි හරි තාම මුකුත් උනේ නෑ නේ. උඹ පේන බලන්නෙ නැතුව හිටපන් ” 

රථගාලෙන් මෝටර් රථය නවත්වපු විශානි සුලෝචනා එක්ක අවන්හලට ඇතුළු වුණා. චාමික ඇතුලු මිතුරු මිතුරියන් කිහිප දෙනා ඔවුන් දෙදෙනාව බලාපොරොත්තුවෙන් අවන්හලේ හිටිපු නිසා දෙන්නා ඉක්මනින්  ගිහින් අසුන් ගත්තා 

” සුලෝ.. ඔයා අතනට යන්න. කසුන්. මෙහෙට එන්නකො ” 

චාමික ලඟ අසුන්ගෙන හිටිය කසුන්ව තමන්ගේ ලඟින් වාඩි කරව ගන්න ගමන් විශානි සුලෝචනාව යැව්වෙ චාමිකගෙ අසුන ලඟට.

වෙනදා පුරුදු විදිහටම විහිලු තහලු , ආගිය තොරතුරු එක්ක සුන්දර පැය කිහිපයක් ගතවුනේ හැමෝටම නොදැනීමයි.

” කෝ බලන්න කෙල්ලගෙ මූණ ” 

විශානි සුලෝචනා දිහා බැලුවේ ආපහු වාහනයට නැග්ගට පස්සේ 

” උඹට දැන් ද මගෙ මූණ බලන්න මතක් උනේ ? ” 

සුලෝචනා බොරු තරහක් මවා ගත්තා

” අපෝ නෑ . මම උඹ දිහා හොඳට බලාගෙන හිටියේ. උඹ ලඟ ඉන්නකොට චාමිකගේ මූණේ පැණි බේරෙන හැටි මම නේ දැක්කේ ” 

” අනේ මේ. විහිළු නෙවෙයි විශා.. උඹට හිතෙන්නේ නැද්ද මේක ඉක්මන් වැඩියි කියලා ? ” 

” එතකොට උඹට ඕන අර ගිය එකෙක් ගැන හිත හිත අඬ අඬ ඉන්නද හැමදාම ? විකාර නැතුව හිටපන්.චාමික උඹට කැමතියි .උඹත් ලොකු සීන් දාන්නෙ නැතුව සෙට් වෙයන්.ඌට හොඳ ජොබ් එකක් තියෙනව.ගතිගුණත් හොඳයි. මහලොකුවට නැති උනාට ඌට සාමාන්‍යයෙන් සල්ලිත් තියෙනවා නේ ” 

විශානි එහෙම කිව්වට පස්සේ සුලෝචනා කල්පනාවට වැටුනා. එකපාරක් ආදරයෙන් පැරදුන නිසා ආයෙ පාරක් ආදරේ ගැන හිතන්න සුලෝචනා බයවුනත් මිතුරිය කියන දේවල් නොසලකා හරින්න හොඳ නෑ කියලා ඇයට හිතුනා

දවසින් දවස වැඩි වෙන චාමිකගේ දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ සුලෝචනා ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තු අරගෙන ආවා.

“සමහර තුවාල කවදාවත් හොඳ වෙන්නේ නෑ තමයි. ඒත් අපි පරණ දේවල් ගැන හිත හිත හිටියොත් අපිට අපේ අනාගතය ගැන හිතන්න අමතක වෙනවා සුලෝචනා ” 

චාමික නිතරම කිව්වේ එහෙම. 

” මට අනාගතය ගැන බලාපොරොත්තු ගොඩක් තියෙනවා චාමික. සමහර දේවල් නිසා ඒවා මග ඇරුනත් ආපහු මං ඒ දේවල් ගැන හිතන්න ඕනි කියල මට දැන් හිතෙනවා “

” මොනම තීරණයක් ගන්න වත් මං ඔයාට බල කරන්නේ නෑ සුලෝචනා. ඒක ඔයාගේ කැමැත්ත. ඒත් ඒ ඕනම තැනකදි මම ඔයාට ඉන්නවා කියලා මතක තියාගන්න ” 

විනෝදකාමී තරුණයෙක් කියලා හිතාගෙන හිටපු චාමිකගේ මුවින් ඒ වගේ වචන පිට වෙනකොට සුලෝචනා ට හිතාගන්න බැරි වුණා 

” ඔයා ආදරය කරනවා වගේ මට ආදරය කරන්න බැරි වෙයි සමහරවිට. ඔයාට මාත් එක්ක ගමනක් යන්න පුලුවන්ද කියලා ඔයාම හිතලා බලන්න ” 

චාමිකගේ සමහර වචන අස්සේ තමන් අතරමං වෙනවා කියලා සුලෝචනාට දැනුනා.

” උඹට දැන් මාව මතකත් නෑ නේද  ? ” 

එක දවසක් රෑ විශානිගෙන් ඇමතුමක් එනකොට සුලෝචනා හිටියේ ‍අලුත් ඩිප්ලෝමාවක් ගැන තොරතුරු හොයන ගමන්

” අනේ බං මට මේ ටිකේ ගොඩක් වැඩ. මට උඹව අමතක වෙලා නෙවෙයි. මම මේ ටිකේ මට කරන්න අලුත් ඩිප්ලෝමා එකක් ගැන විස්තර හොයනවා ” 

” උඹ හදන්නේ තවත් ඉගෙන ගන්න ද ? ” 

” නැතුව ඉතින්? මොකද මම උඹ වගේ පෝසත් පවුලක කෙල්ලෙක් නෙමෙයිනේ විශා . මට කරගන්න දේවල් ගොඩක් තියෙනවා ” 

” දැන් චාමික මොකද කියන්නේ ? ” 

” එයා ඉතින් කතා කරනවා. තාම එහෙම හරි තීරණයක් නෑ ” 

” උඹට ඌට කෝල් කරන්න වෙලාව තිබ්බට මට කෝල් කරන්න තමයි නේද වෙලාව නැත්තේ ? උඹට මම ගිය සතියෙත් මැසේජ් එකක් දැම්මා එළියට යන්න හිතාගෙන. උඹ ඒක බලලා රිප්ලයි කළේ නෑනෙ ” 

විශානිගේ හඬේ තිබ්බේ කෝපයක්.

” අනේ සොරි බන්.මේ ටිකේ ඕවර් ටයිම් කරපු නිසා ගෙදර එන්නේ බාගෙට මැරිලා . මෙසේජ් මිස් වෙනවා ඉතින් ” 

විශානි දුරකථන ඇමතුම අවසන් කළේ ඒ තරම් හිත හොඳකින් නෙමෙයි කියලා සුලෝචනාට හිතුනා. 

” මමයි උඹලව සෙට් කලේ. ඒ උනාට අරයට මුල මතක නෑ ” 

විශානි ඊළඟ ඇමතුම ගත්තෙ චාමික ට

” මගෙයෑ යාලුවා. උඹේනේ ” 

” ඒක තමයි මම මේ උඹට කියන්න ගත්තේ.  ඔහොම හිටියට සුලෝචනා මුල මතක තියෙන කෙනෙක් නෙමෙයි. මම අර යාළුකමට සෙට් කළාට ඒකි තනිකරම සුදු චරිතයක් නෙමෙයි ඉතින් ” 

විශානි කියපු ගොඩක් දේවල් නිසා ඇගේ ඇමතුම චාමික ට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරලා තිබුණා. 

ඊට පස්සේ දවසේ ඉඳලා ටිකෙන් ටික අඩුවෙන චාමිකගේ ඇමතුම් වලට හේතුව හිතා ගන්න සුලෝචනා ට බැරි වුණා. ඒ වගේම තමන්ගේ මිතුරිය වෙච්ච විශානිත් තැන් තැන් වල තමන්ගේ නොහොඳ කිය කිය යනවා කියලාත් සුලෝචනා ට දැනගන්න ලැබුණා. ගොඩක් දේවල් දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න ඒ හැමදෙයක්ම සුලෝචනා ට උදව් වුණා. 

රැකියා ස්ථානයෙන් ලැබුන අවස්ථාවකට අනුව සුලෝචනා මාස කිහිපයකට විදෙස්ගත වුණා කියලා මිතුරු මිතුරියන්ට දැනගන්න ලැබුණේ ඇය විදෙස් ගත වෙලා මාස එකහමාරකට විතර පස්සෙ. සුලෝචනා කාටවත්ම නොකියා ගියේ ඇයි කියලා කාටත් ප්‍රශ්නයක් වුණා 

” සුලෝචනා උඹට සෙට් වීගෙන ආවා නේද ? එයා කියන්නෙම නැතුව ගියේ ඇයි කියලා උඹ දන්නවද චාමික ?” 

මිතුරු කවයේ මිතුරියක් උන අනුත්තරා හිටියේ  සුලෝචනාගේ නික්ම යාම හිතාගන්න බැරුව

” අනේ මන්දා බං මට නම් කිව්වේ නෑ. මම ඒකෙන් හෙමින් සැරේ අයින් උනානේ ඒ දවස් වලම ” 

” ඇයි ඒ ? සුලෝචනා එහෙම නරක කෙල්ලෙක් නෙමෙයි නේ ? උඹට විශානි මොනවා හරි කිව්වද ? ” 

අනුත්තරාගේ ප්‍රශ්නයට චාමික නිහඬ වුණා. ඒ නිහඬ බව ඇතුළෙම තමන්ගේ ප්‍රශ්නයට උත්තරය තියෙනවා කියලා අනුත්තරාට හිතුනා 

” ඇත්තටම කිව්වොත් විශානි කියන්නේ තාත්තගේ සල්ලිවලින් එන්ජෝයි කර කර ඉන්න කෙල්ලෙක්.හැබැයි සුලෝචනා ට ටාගට් එකක් තිබුන ගොඩයන්න. විශානි කතා කරන කරන සැරේට පාටි වලට යන්නයි එළියට යන්නයි සුලෝචනා ට බැරි වෙන්න ඇති. හැබැයි එහෙම උනා කියලා එයා නරක කෙල්ලෙක් වෙන්නේ නැහැ චාමික. මම හිතන්නේ ඔයා කොතනක හරි වරද්දගෙන. සුලෝචනා අපි කාටවත්ම කියන්නෙ නැතුව රට යන්න ඇත්තේ ඒකයි ” 

තමන්ට ලැබෙන්න තිබුනු හොඳම දෙයක් තමන් විසින්ම මග ඇර ගත්තා කියලා චාමික ට හිතුනේ එතකොට 

” විශානි සුලෝචනා ගැන ඔයාට මොනව හරි කිව්වා නම් අඩුම ගානෙ ඔයාට තිබුන ඒකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා හොයලා බලන්න. එහෙම නැත්නම් කෙලින්ම සුලෝචනා ගෙන් අහන්න. යාලුකම් වෙනයි ආදරේ වෙනයි චාමික. මුලින්ම ඔයාගේ යාළුවා වුණේ විශානි තමයි. ඒත් එහෙමයි කියලා ඔයා සුලෝචනා ට කරපු වැඩේ හරිද කියලා ඔයාම හිතලා බලන්න ” 

මිතුරගෙන් මදක් ඉවත් උන චාමික දුරකථනය අතට අරගෙන සුලෝචනාට වට්සැප් ඇමතුමක් ගන්න සූදානම් උනේ සුසුමක් හෙලන ගමන්.ඒත් වෙනදට පේන සුලෝචනා ගේ සිනාමුසු ඡායාරූපය වෙනුවට චාමිකට දකින්න ලැබුණේ හිස් රූපයක් විතරයි ! 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles