ස්මාර්ට් අම්මා.

මේනකා හිනා වෙවී දුරකථන සංවාදයක් කරන්න ගෙඋද්‍යානයේ කෙළවරම තෝරා ගත්තේ මොකද කියලා දිල්හානි බැලුවේ කෙටි තාප්පෙන් එබිලා.ෂෙහාන් පේන්නත් නෑ.කාර් එක පේන්නත් නෑ.ඒ කියන්නෙ ඉතින් මෙතන රහසක් තියනවා.ඕපාදූපේ හොඳට හොයන්න හිතාගෙන තාප්පෙන් එබෙනකොට තමයි දිල්හානි දැක්කේ මේනකා ඉන්නේ වීඩියෝ ඇමතුමක කියලා.

“ඔයා හිනා වුණාට මං මේ විහාර පිච්ච පැළේ හදා ගත්තා.මේං බලන්න මල්..”

මල කෝලං! දිල්හානි උගුර පෑදුවේ මේනකාට ඇහෙන්නමයි.

“ආ ඔයා කෝල් එකක නේද? නිවාඩු දවසේ ශෙහාන් එක්ක වැඩ කියලයි මම හිතුවේ.”

කතා කරන්නේ කොල්ලෙක් එක්ක නම් මේනකාට ලැජ්ජා හිතෙන්න දිල්හානි එහෙම කිව්වේ ටිකක් හයියෙන්.මේනකාගේ හිනාව තවත් පුළුල් වුණා.මෙන්න ඒ ගමන මෙයා ෆෝන් එකත් උස්සගෙන තාප්පේ ගාවට ආවා.

“අම්මේ මේ..දිල්හානි.”

දුරකථන තිරයේ හිනා කටක් පුරවාගෙන හිටියේ මේනකාගේ අම්මා.දිල්හානි ඒ දිහා බලාගෙන හිටියේ පුදුමයකින් වගේ.පස්සේ කතා කරන්නම් කියලා මේනකා ඇමතුම විසන්ධි කරනකොට දිල්හානිට ප්‍රශ්නයක් තිබුණා.

“මල්ලිලා ගමේ ගිහින්ද?”

මේනකා ඔලුව වැනුවේ නෑ කියන්න.ගමේ ඉන්න ඥාති ළමයෙක් අම්මාට් වීඩියෝ ඇමතුමක් අරන් දුන්න්ද කියල දිල්හානි අහනකොටත් මේනකා හිනා වුණේ නෑ කියන් ගමන්.

“ඔය අම්මාගේ ෆෝන් එක අනේ.එයාට දවසකට පාරක් හරි මගෙයි මල්ලිගෙයි මූණු බලන් කතා නොකර ඉන්න බෑනෙ..”

අම්මා ස්මාර්ට් දුරකථනයක් පාවිච්චි කිරීම ගැන මේනකා සැහැල්ලුවෙන් කතා කරනකොට දිල්හානි ඒ දිහා බලාගෙන හිටියේ අවඥාවෙන් වගේ.

“ඔයා ඒ මොන විනාසයක්ද කරලා තියෙන්නේ මේනකා.මතකයි නේද අර කුමාරි අක්ක..දැන් අර පදුමා ආන්ටි.ඔය වයසක මිනිස්සු අතට තාක්ෂණේ දුන්නම වෙන්නේ එහෙම විකාර කියලා ඔයා දන් නැද්ද? ළමයින්ට දුන්නට හපන්.මොකෙක් හරි ඔයාලගෙ දේපලත් ලියා ගත්තම තමයි ඔයාගෙයි මාලක මල්ලිගෙයිත් ඇස් ඇරෙන්නෙ..”

දිල්හානි ලොකු දේශනාවක් දුන්නට මේනකා හිනා වෙවී තාප්පේ දිගේ යන මල් වැල කප්පාදු කරන්න ගත්තා.

“අම්ම යූ ටියුබ් එහෙමත් යන්න දන්නවද?”

දිල්හානි අහන්නේ අමුතුම හඬකින්.අම්මා යූ ටියුබ් ගිහින් එක එක අලුත් කෑම වර්ග එහෙම හදන හැටි,එක එක අත්කම් නිර්මාණ කරන හැටි,පරණ ටෙලි නාට්‍ය බලන හැටි මේනකා කිව්වේ ආදරේ පිරුණු හඬකින්.

“පෝන් සයිට් එහෙමත් සජෙස් වෙනවා හොඳේ..”

දිල්හානි ආයෙම අනතුරු ඇඟෙව්වා.

“අවුරුදු තිස් පහක විතර කසාද ජීවිතයක් ගෙව්ව අපේ අම්මා ඒවට බය වෙනවද අනේ.එයත් වැඩිහිටි මනුස්සයෙක්නෙ.අපි අම්මාට ෆෝන් එකක් ගෙනිහින් දුන්නෙම අපිට නිතරම ගෙදර යන්න නැති නිසා.මමයි මල්ලියි අම්මයි තාත්තයි ලංකාවේ තුන් තැනක.අම්මආ හරි ආසයිනෙ අපිව දකින්න.ඒත් කොහෙද නිවාඩුවක්.අම්මයි තාත්තයි අපේ බබාට වීඩියෝ කෝල් එකෙන් කතන්දරත් කියා දෙනවා.මල්ලියි නංගියි දෙන්නා එයාගේ චූටි පැටියා බඩ ඇතුළේ දඟලනකොට අම්මට කෝල් කරලා පෙන්නනවලු.දුර හිටියට ළඟ ඉන්නව වගේ දිලූ.තිස්සෙම වට්ස් ඇප් වලින් අම්මා මැසේජස් පවා එවනවා..”

මේනකාගේ කතාව අහගෙන ඉඳලා දිල්හානි එයාගේ අම්මා ගැන කල්පනා කළා.අම්මා කතා කරන්නේ ගෙදර තියන ලෑන්ඩ් ෆෝන් එකෙන්.මේනකාගේ අම්මට නම් තාත්තවත් ඉන්නවා.දිල්හානිගේ අම්මා අර මහ විසාල ගේ ඇතුළේ තනියම තමයි ජීවත් වෙන්නේ.

“මොකද අම්මේ ෆෝන් එක වැඩ නැත්තෙ..”

සමහර දවසට ගෙදර ටෙලිෆෝන් එක වැඩ නැතුවම එහා ගෙදර වින්ද්‍යා නංගිට ෆෝන් එකත් අරන් අම්මලගෙ ගෙදර යන්න කියන්න දිල්හානිට සිද්ධ වෙනවා.එතකොට වෙන්නේ අම්මාගේ නෝක්කාඩු අහන්න.

“මොකද කියල ඇවිල්ල බලන්න ඉතින්.මං කොහොමද දන්නෙ.දැකලා නෑ මාස ගාණකින්.කටහඬ හීනෙන් වගේ ඇහෙනව විතරයි.”

අම්මා එහෙම කිව්වට නිවාඩුවක් ඇත්තෙම නැති තරම් කියල දිල්හානිත් අම්මට සැර වෙනවා.

“එච්චර ගණන් නැති ෆෝන් එකක් බලලා අම්මට අරන් දෙන්න දිලූ.ඔයාලව බලන්න පුලුවන්නෙ අම්මටත්..”

මේනකා එහෙම කියනකොට දිල්හානි හිනා වුණේ අවඥාවෙන්.

“අනේ අපේ අම්මා ඉන්න විදිය මට හොඳයි මේනු.ඒ අහිංසක ජීවිතේ එයා ගෙවපුවාවෙ.ස්මාර්ට් ෆෝන් තියාගෙන විකාර කරන්න එයා කෙල්ලක් නෙවේනෙ..පුලුවන් වෙලාවට ගිහින් එනවා මිසක් එයාට වීඩියෝ කෝල්ස් ඕන නෑ අපිව බලන්න.”

මේනකා මොකුත්ම නොකියා ගෙට ආවා.දිල්හානි හිතන විදිය වෙනස් කරන්න බැරි බව එයා දන්නවා.ඒත් අම්මලාට අහිංසක විදියට ජීවත් වෙන්න ස්මාර්ට් ජංගම දුරකථනයකින් තියන බාධාව මොකක්ද කියලා මේනකා දවස් ගාණක් තිස්සේ කල්පනා කළා.

“දිල්හානි අඬනව නේද ඇහෙන්නේ..”

එක දවසක් උදෙන්ම රැකියාවට යන්න ලෑස්ති වෙමින් හිටිය ශෙහාන් එහෙම කියනකොට මේනකා ඒ හඬට ඇහුම්කන් දුන්නා.ඔව් දිල්හානි අඬනවා තමයි.සාරියත් බාගෙට පටලවගෙන මේනකා දිල්හානිගේ ගෙදරට දිව්වේ

“අනේ මේනු මගේ අම්මා..”

දිල්හානි අඬාගෙන මේනකාව බදා ගත්තා.

“අද උදේ එහා ගෙදර වින්ද්‍යා කැඳක් හදාගෙන බලන්න ගියාට දොර ඇරලා නෑ.ඒ ගමන එයා සුදේව එක්ක ඇවිල්ලා දොර කඩලා.අම්ම නින්දෙන්මලු.”

දිල්හානිගේ සැමියා එහෙම කියනකොට දිල්හානිගේ හැඬුම සෑහෙන්න වැඩි වුණා.

“අනේ මාවයි පුතාලවයි බලන්න ආසයි කියල අම්මා ඊයෙත් කිව්වා මේනු…”

දිල්හානි ඉකි ගහනකොට මේනකා මොකුත්ම නොකියා දිල්හානිව වැළඳ ගත්තා.දැන් මොකුත් කියලා මොකටද කියලා මේනකාට හිතුණේ හඬන දිල්හානිව සනසන අතරේ.

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content