“මං අද මේඝාව හම්බෙන්න ගියා.”
මන්දස්මිතා ඒක කිව්වෙ හරිම සාමාන්‍ය හඬකින්. හරියට නිකන් කාළගුණේ ගැන කියනවා වගේ. හැබැයි ඒ වචන ටික මගේ ඔළුව ට ඇවිත් වැදිච්ච තප්පරේ මගේ ඔළුව කෑලි දාස් ගාණකට කැඩිලා බිඳිලා යනවා වගේ තමයි මට දැනුනේ.
“මොකක්?” මං එයා දිහා කෙලින් බලලා ඇහුවෙ නිකන් ගැස්සිලා වගේ.
මන්දස්මිතා සෝෆා එකේ අයිනට හේත්තු වෙලා උන්නා. එයාගේ මූණෙ තිබ්බෙ මහ අමුතු සංසුන් ගතියක්. ඒ සංසුන් ගතිය තමයි මට තවත් කේන්ති ගස්සවන්නෙ. හැමදාමත් මාව තරහා ගැස්සුවෙ ඒ සංසුන් ගතිය. මන්දස්මිතාට පුලුවන්කමක් තිබ්බා ලෝකෙ අනිත් පැත්ත හැරුණත් කිසි ගාණක් නෑ වගේ ඔන්න ඔහොම සංසුන් වෙලා ඉන්න. අනිත් පැත්තට මට ඕන උනේ මාත් එක්ක පැටලෙන ගෑනියෙක්ව. රණ්ඩුවෙන ගෑනියෙක්ව. පිස්සියෙක් වගේ මගෙ ඇඟේ එල්ලිලා ආදරේ ඉල්ලන ගෑනියෙක්ව.
“මං කිව්වෙ,” එයා ආයෙ හෙමින් කිව්වා, “මං මේඝාව හම්බෙන්න ගියා කියලා.”
මට ඊළඟ තත්පරේ මොකද වුණේ කියලා හරියටම මතක නෑ.මං එකපාරටම එයා ගාවට ගියා. එයා රියැක්ට් කරන්නත් කලින් මගේ අත එයාගේ කොණ්ඩෙ අස්සට ගිහින් තිබුණා කියලා මට මතකයි. මොකෝ මම එයාගෙ කොණ්ඩෙ තදට ඇදලා ගත්ත පාර එයා “ඌයි” කියලා කෑගැහුව විත්තිය මට නිකන් ලාවට වගේ මතක තිබ්බා.
“තමුසෙට පිස්සුද යකෝ?” මං කොණ්ඩෙන් ඇදලා එයාව උස්සලා මගේ පැත්තට ඇදලා ගන්න ගමන් කෑගැහුවා.
“ඇයි තමුසෙ ඒකි ගාවට ගියේ?”
“අහ් මතින්ද්‍ර මාව අත අරින්න!”
“මොනවද තමුසෙ ඒකිට කිව්වෙ?” මං එයාගේ මූණටම ලං වෙලා ඇහුවා. “තමුසෙ ඒකිට බැන්නද?” මං ඇහුවෙ පුදුමාකාර කේන්තියකින්.
මන්දස්මිතා මගේ අත තල්ලු කරන්න හැදුවා.
“අත අරින්න මට රිදෙනවා!”
“උත්තර දෙනවා!” මං තවත් කොණ්ඩෙන් ඇද්දා. “තමුසෙ මොන මගුලකටද ඒකිව හම්බෙන්න ගියේ?”
මට ඒ වෙලාවෙ ඇත්තටම හිතාගන්න පුළුවන් වුණේ නෑ මං මොනවද කරන්නෙ කියලා. මගේ ඔළුව ඇතුළේ එකම එක සිතුවිල්ලක් විතරයි තිබුණේ. ඒ මන්දස්මිතා මේඝාට මොනවහරි කියලා ඇති. මේඝාව අඬවලා ඇති. බය කරලා ඇති. දැන් කොහොමත් ආයෙ මට මේඝට ලංවෙන්න බෑ. මට එයාව සදහටම නැතිවෙලා ඉවරයි. මන්දස්මිතා මට මේඝව සදහටම නැති කරලා ඉවරයි කියලා හිතෙද්දි මට දැනුනෙ ඒ සිතුවිල්ලම මාව පිස්සු වට්ටනවා වගේ.
“මතින්ද්‍ර!” මන්දස්මිතා එකපාරටම මගේ අත ගසා දැම්මා. “තමුසෙට මොකද වෙලා තියෙන්නෙ?”
මං හුස්ම ගන්නෙත් කේන්තියෙන්.
“මට මොකද වෙලා තියෙන්නෙ?” මං හිනා වුණා. “තමුසෙ ගිහින් මගේ ජීවිතේ තවත් අවුල් කරලා ඇවිත් දැන් මගෙන් අහනවද මට මොකද වෙලා තියෙන්නෙ කියලා?”
“තමුසෙගේ ජීවිතේ?” මන්දස්මිතාගේ ඇස් එකපාරටම වෙනස් වුණා. “මතින්ද්‍ර, තමුසෙට තේරෙනවද තමුසෙ කියන දේවල්?”
“ඔව් තේරෙනවා!” මං කෑගැහුවා. “තමුසෙට තිබ්බෙ මගේ දේවල් වලට ඇඟිලි නොගහා ඉන්න!”
“තමුසෙගෙ දේවල්?”
එයා ඒ වචන ටික රිපීට් කරේ හරියට විශ්වාස කරන්න බැරි විදියට.
“ඔව්” මං දත් මිටි කාගෙන කිව්වා.
“තමුසෙ දන්නෙ නෑ ඒකි මොන තරම් ෆ්‍රජයිල් ද කියලා. ඒකි මේ දවස්වල මෙන්ටලි වැටිලා ඉන්නෙ. තමුසෙ ගිහින් මොනවහරි කියලා ඒකිව තවත් බ්‍රේක් ඩවුන් කරලා තිබ්බොත්”
“තමුසෙ පිරිමියෙක්ද ඕයි?” මන්දස්මිතාත් එකපාරටම කෑගැහුවා.ඒ පළවෙනි වතාව මන්දස්මිතා මට එහෙම කෑගැහුව මං හිතන්නෙ? ආ නෑ දෙවනි වතාව. පලවෙනි වතාව එදා අර මම පොලිසියෙ ඉඳන් පිස්සුවක් නටපු දවසනෙ.
“තමුසෙට තේරෙනවද තමුසෙ මේ වෙලාවෙ ඩිෆෙන්ඩ් කරන්නෙ කාවද කියලා?”
“මං දන්නවා මං ඩිෆෙන්ඩ් කරන්නෙ කාවද කියලා”
“නෑ තමුසෙ දන්නෙ නෑ” එයා දැන් ඇත්තටම වෙව්ලනවා කේන්තියෙන්. “තමුසෙට තේරෙන්නෙවත් නෑ තමුසෙ කොච්චර පිස්සෙක් ද කියලා!”
මං ඒ වචනෙ ඇහුණ ගමන් එයා දිහා කෙලින් බැලුවා.
“පිස්සෙක්?”
“ඔව් පිස්සෙක්” මන්දස්මිතා මගේ පපුවට ඇඟිල්ල දික් කරා. “සාමාන්‍ය මනුස්සයෙක් එකම ගෑනු දෙන්නෙක්ව මෙහෙම මෙන්ටලි ඩිස්ට්‍රෝයි කරන්නෙ නෑ මතින්ද්‍ර!”
“කට වහගන්නවා” මං එයාගේ අත හයියෙන් අල්ලගත්තා. ඒකි කොහොමද මට එහෙම ඇඟිල්ල දික්කරන්නෙ. ඒකි තමයි මගෙ ඉස්සරහට ඇවිත් දිලිසි දිලිසි ඉඳලා මෙතන මගෙ ජිවිතේ අවුල් කරන්න පටන් ගත්තෙ. මේඝාවයි මාවයි ඈත් කරේ. මට මේඝාව එපා කෙරෙව්වෙ. මට මාවම එපා කෙරෙව්වෙ.
“ඇයි? රිදුණද?” එයා හිනා වුණා. “ඔයාට ඇත්ත අහන් ඉන්න බෑ නේද?”
“තමුසෙ මාව නරක මිනිහෙක් කරන්න එපා.”
මං හෙමින් කිව්වා. හැබැයි ඒ හඬ ඇතුළේ තිබ්බ තරහා මටම දැනුණා. “මං මේ හැමදේම කරේ මං ඇත්තට ආදරේ කරපු හින්දා.”
“ආදරේ?” මන්දස්මිතා ඒ වචනෙට හිනා වුණේ හරිම කැත විදියට. මන්දස්මිතා කියන්නෙ කොහොමත් මාරෙට හිතලා හිනාවෙන මනුස්සයෙක්. නිතරම ෆොටෝ වලට පෝස් කරන නිසාද මන්දා මන්දස්මිතාට පුදුමාකාර පුලුවන්කමක් තිබ්බා ඕන වෙලාවක මාරම ෆොටෝජෙනික් විදියට හිනාවෙලා ඉන්න. හැබැයි එයා මෙච්චර කැත විදියට හිනාවෙනවා මේ අවුරුදු දෙක තුනට මම මේ දැක්කමයි.
“මේකටද තමුසෙ ආදරේ කියන්නෙ?”
මං උත්තරයක් දුන්නෙ නෑ.මොකද ඒ වෙලාවෙත් මගේ ඔළුව ඇතුළේ තිබුණේ එකම එක දෙයයි.
ඒ මන්දස්මිතා මේඝාට මොනවද කිව්වෙ කියන එක විතරයි.
“තමුසෙ මොනවද ඒකිට කිව්වෙ?”මං ආයෙත් ඒකම ඇහුවා. මේ පාර හෙමින්.හැබැයි ඒ හෙමින් හඬ ඇතුළේ තිබුණ තරහා මන්දස්මිතාටත් දැනෙන්න ඇති.
එයා මගෙන් අත උදුරගත්තා.
“තමුසෙට තේරෙන්නෙ නැද්ද මේකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ මොකද්ද කියලා?”
“මට ලෙක්චර්ස් දෙන්න එන්න එපා.” මං දත් මිටි කාගෙන කිව්වා. “මං අහපු දේට උත්තරේ විතරක් දෙනවා.”
“මං මොකුත් කළේ නෑ.”
“බොරු කියන්නෙපා” මං මේ පාර කෑගැහුවා. “තමුසෙ ඒකි ගාවට ගිහින් නිකන් ඉඳලා ආවෙ නෑනෙ”
මන්දස්මිතා ටිකක් වෙලා මං දිහා බලන් හිටියා. හරියට එයා ඉස්සරහ ඉන්නෙ මනුස්සයෙක්ද නැත්තං වෙන මොකෙක්ද කියලා තේරුම් ගන්න ට්‍රයි කරනවා වගේ.
“ඔයා දන්නවද මතින්ද්‍ර”එයා අන්තිමට හෙමින් කතා කරන්න ගත්තා.“මං අද එයාව දකිද්දි මට බය හිතුණා.”
මගේ පපුව ඇතුළේ නර්ව් එකක් එකපාරටම තද වෙනවා වගේ මට දැනුනෙ මන්දස්මිතා කිව්ව ඒ වචන එක්ක.
“ඇයි?”
“මොකද ඒ ළමයා පුදුමාකාර බයකින් වෙව්ලන ගමන් මතින්ද්‍ර හිටියෙ. මට මාර පව් කියලා හිතුනා.ෆෝන් එක අල්ලගෙන අඬ අඬ හිටියේ. මිනිස්සු දිහා බලන්නවත් බයයි. සෙකියුරිටි එකෙන් කවුරුහරි ඇවිල්ලා කියද්දි එයා හිතලා තියෙන්නෙ ඒ ඔයා කියලා. ඒ ළමයා පුදුමාකාර බයකින් පල්ලෙහට ආවේ”
මං උත්තරයක් දුන්නෙ නෑ.
“ඒ ඇස් දෙක මං දැක්කා.” මන්දස්මිතා හෙමින් කිව්වා. “ඒක ආදරේ පිරිච්ච ඇස් නෙවෙයි මතින්ද්‍ර. ඒක බය වෙච්ච ගෑනියෙක්ගෙ ඇස් දෙකක්”
“කට වහගන්නවා.” මං ඒක කිව්වෙ හරිම හෙමින්. හැබැයි ඒ හඬ ඇතුළේ තව දුරටත් තිබුනෙ අර ඊගෝ එක පිරිච්ච පිරිමිකම නෙවෙයි. මොකක් හරි බයක්, බයගුලු කමක්.
“මං ඒකිට අතක්වත් තිබ්බෙ නෑ”
“මෙන්ටල් ප්‍රෙශර් කියලා දෙයක් තියෙනවා”මන්දස්මිතා එකපාරටම කෑගැහුවා.
“තමුසෙ හිතනවද ගෑනියෙක්ව කන්ට්‍රෝල් කරන එක ෆිසිකලි විතරයි වෙන්නෙ කියලා?”
මං එයා දිහා බැලුවා.
“තමුසෙ දන්නෙ නෑ ඒකි මට මොනවද කළේ කියලා.”
“අනේ මේ අහිංසකයා, වික්ටික් වගේ රඟපාන එක දැන්වත් නවත්තනවද?” මන්දස්මිතා හිනා වුණා. “දෙන්නවම රවට්ටලා දැන් මෙතන එනවා අහිංසකයා වගේ රඟපාන්න.”
“මං රඟපාන්නෙ නෑ යකෝ”
“එහෙනම් මේ මොනවද තමුසෙ කරන්නෙ? ඔයාට මේඝාව නැතිවෙයි කියලා බයයි. මාවත් නැතිවෙයි කියලා බයයි. ඒක ආදරේ නෙවෙයි මතින්ද්‍ර. මේක පිස්සුවක්.”
මට ඒ වෙලාවෙ දැනුණෙ මගේ ඇඟ ඇතුළේ මොකක්හරි පුපුරන්න යනවා වගේ.
“තමුසෙ හිතනවද මේ ලෝකෙ මිනිස්සුන්ට ෆීලින්ග්ස් එක පාර හිතිච්ච හිතිච්ච විදියට ඔන් ඔෆ් කරන්න පුළුවන් කියලා?” මං කෑගැහුවා. “මං ට්‍රයි කරා හරිද? මං ට්‍රයි කරා මේ හැමදේම නෝමල් කරන්න!”
“නෝමල්?” මන්දස්මිතා පුදුමෙන් වගේ මං දිහා බැලුවා. “ඔයාට මේක නෝමල් ද?”
“ඔව්” මං කිව්වෙ නිකන් කෑගහලා වගේ. “මං ඒකිට ආදරේ කරා! තාමත් කරනවා! ඒක වැරදිද?”
“එහෙනම් මාව බැන්දෙ ඇයි?”
ඒ ප්‍රශ්නෙත් එක්ක කාමරේ ඇතුළේ හැම සද්දයක්ම නතර වුණා වගේ මට දැනුණා.
මං උත්තරයක් නොදී එයා දිහා බලන් හිටියා.
“කියනවා.” මන්දස්මිතාගේ ඇස් දැන් තෙමිලා. “මේඝා ඉද්දි මාව බැන්දෙ ඇයි? මේඝාට ඔච්චර ආදරේ කරා නම් මාව බැන්දෙ ඇයි?”


