අක්කා

මල්ෂා කෝපය දරාගන්න බැරි නිසාම  නාන කාමරේට වෙලා පැය භාගෙකට වැඩිය හිටියා. එලියට ආවත් සමන්ට මුහුණ දෙන්නේ නැතුව ඉන්න උත්සාහ කලා. ඒත් හිතේ කෝපය යටපත් කරගෙන ඉන්න පුලුවන් වුනේ නැහැ. කුස්සියේ බඩු සද්දේට එහෙ මෙහෙ වෙනවා ඇහුණා. සමන් ඒ හඬවල් උවමනාවෙන් අහගෙන හිටියා. මල්ශාගේ මේ කෝපයට හේතුවක් හිතාගන්නවත් සමන්ට හැකි වුණේ  නැහැ. ඒත් ආපස්සට කල්පනා කරලා බැලුවම මල්ෂා හවස ගෙදර ආව වෙලාවේ ඉඳගෙනම වෙනදාට වඩා වෙනස් නේද කියලා සමන්ට කල්පනා වුනා.

“මල්ෂා …. “

“ඇයි ?…”

මල්ෂා  සමන්ගේ ඇඟට කඩාගෙන පැන්නා. සමන් මල්ෂා  දිහා බලාගෙන හිටියේ ඉවසීමෙන්. ඇය ලේසියකට මෙහෙම ගුප්ත හැසිරීම් පෙන්වන්නේ නැති වග ඔහු දන්නවා.

“ඇයි මේ ?…”

” ඇයි ?…”

“ඔයා ගෙදර ආව වෙලේ ඉඳන් අමුතුයි නේ ළමයෝ …  දැන් මේ ඉන්නේත් තරහෙන් නේ.. මොකද උනේ .. ඔෆිස් එකේ කේස් එකක්ද ?..”

“නෑ ….”

මල්ෂා තනි වචනෙන් උත්තර දුන්නා. සමන් මල්ෂාට ලං වුනා

“බොරු කියන්න එපා මල්ෂා .. කියන්නකෝ ..ඔයාට මට කියන්න බැරි දෙයක් නෑනේ  .. නේද?..”

මල්ෂා ආපස්සට හැරුණා. ඇයගේ ඇස් රතු වෙලා තියෙන්නේ කියලා සමන් දැක්කේ ඒ වෙලාවේ. එකත් එකටම ඇය හඬලා බව ඔහුට වැටහුණා.

සමන් නිහඬවම මල්ෂා දිහාව බලාගෙන හිටියා.

” ඔව් … මට ඔයාට කියනන් බැරි දෙයක් නම් නෑ.. ඒත් ඔයාට නම් මට නොකිය කරන්න සෑහෙන්න දේවල් තියෙනවා නේ නේද?…”

මල්ෂා ඉතාම කඨෝර හඬකින් කිව්වා. ඒ ස්වරයේ තිබුන ඇනුම් පද ස්වරූපය  හොඳින්ම වැටහුන නිසා සමන් කලේ කිසිත් විමසන්නේ නැතුව මල්ෂාගේ පැහැදිළි කිරීමටම ඉඩ දීලා බලන් උන්න එක.

” ඔයාට දැන් ලොකු ඔයාගේ අර අක්කව විතරනේ..  ඒකනේ ලක්ශ එක හමාරක් දීලා එයාට හොට් වෝටර් එකක් සෙට් කරලා දුන්නේ නේද?… ඔයා මට හොරෙන් ඒක කරන්න ඇත්තේ මම ඕකට අකමැති වේවි කියලා හිතලා වෙන්න ඇති නේද?…. ආහ් … ඔයාට තව කොච්චර හොර වැඩ තියෙනවාද ඔහොම…”

සමන්‍ට මල්ෂාගේ කෝපය වැටහුනේ එවෙලේ. අක්කා වෙනුවෙන් උණු ජල සම්පාදන පද්ධතිය සවි කරපු ආයතනයෙන් නිවසට යම් ලිපියක් ලබෙන්න ඇති කියලා සමන්ට වැටහුනා. එය මල්ෂා දකින්න ඇති කියලා ඔහුට වැටහෙනවා.

“මල්ෂා .. ඔයා හොඳටම දන්නවා මම අක්කට   හොට් වෝටර් සිසිටම් එකක් අරගෙන දෙන්න උන්නේ කියලා…. අයියාගේ  ට්‍රීට්මන්ට්ස් එක්ක ඒක එයාට ප්‍රයෝරිටි එකක් ….”

” ඔව් කිව්වා..  ඒත් අරන් දුන්නා කිව්වේ නෑනේ.. අනෙක එයත්  ජොබ් එකක් කරානේ … අනෙක, එයාට ලොකු අයියාත් සල්ලි එවනවනේ…. ඉතින් ඔයාම ඇයි …”

“අනේ ප්ලීස් මල්ෂා … අක්කා මම වෙනුවෙන් කල කී දේවල් ඔයා දන්නවා… එයා ඔහොම පිච්චුනේ මං පොඩි කාලේ මගේ අතින් පෙරලුණ උණු වතුර එකක් කියලාත් ඔයා දන්නවා… එයා කවදාවත් ආදරේ නොකලේ ඒ නිසා කියලා ඔයා දන්නවා…  අයියා එයාට ආදරේ කරපු එකෙන් එයාගේ ජීවිතේ කොයි තරම් වාසනවකට පෙරලුනාද කියලා ඔයා ඇස් දෙකෙන්ම දැක්කා.. දැන් ඒ අසනීප වෙලා ඉන්නේ මගේ අක්කගේ ජීවිතේට වස්සානේ ගෙනාව මිනිහා.. ඒ  වෙනුවෙන් මම ඔනෑම දෙයක් කරනවා…. ඕනෑම දෙයක්…”

සමන් අවධාරණය කලා. මල්ෂා ගැන දැනෙන නොරිස්සුම සඟවාගෙන ඇයව වටහා ගන්න උත්සාහ කලා. ඒත් මල්ෂාගේ හිතුවක්කාර සහ හිත රිදවන කතන්දර එතැනින් ඉවර වුනේ නැහැ. අය එදා ඉඳන් දිගින් දිගටම සමන්ට තමන්ගේ අප්‍රසාදය පල කරා.

” අක්කා ඔයාට කෝල් කරාම ඇයි කෝල් එක කට් කලේ මල්ෂා…?”

“අනුන්ගෙන් කඩා වඩාගෙන ජීවත් වෙන ගෑණු එක්ක මට කතා කරන්න දෙයක් නැති නිසා…”

මල්ෂා එකපාරටම එහෙම කිව්වම සමන්ට ඒ කතාවේ දිග පලළක්වත් හිතාගන්න බැරි වුණා. අක්කා තමන්ට සහ මල්ෂාට කොයි තරම් උදව් කලාද කියලා මල්ෂාට සිහිපත් කරන්න ආව උවමනාව යටපත් කරගත්තා.  අම්මලා එක්ක රණ්ඩු කරලා මල්ෂාව විවාහ කරගන්න උදව් කලේ අක්කා බව මල්ෂාත් නොදන්නවා නෙවෙයි. ඒ නැතත්, හැම මාසෙකම මල්ෂා වෙනුවෙන් මොනවාම හරි දෙයක් උස්සගෙන ඔවුන් දෙදෙනාව බලන්න එන්නත් අක්කයි අයියයි අමතක නොකල බව සමන්ට මතකයි. එහෙව් එකේ ඔවුන් දෙදෙනාට උදව්වක් අවැසි වුන වෙලාවේ ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම වෙනුවෙන් ඇගේ හැසිරීම ගැන දැන් සමන්ට දැනෙන්නේ  පිළිකුලක්

සමන් එදා රෑ තනිව නිදාගන්න ගියා. පහුවෙනිදා ඉඳන් තනි ජීවිතයකට පුරුදු වුනා. මෝටර් රතය මල්ෂාට  තියලා සමන් කෝච්චියේ වැඩට ගියා. රෑට එනකොට එළියෙන් කාලා ආවා. දවල්ට ගෙදරින් කෑම අරගෙන යන එක නැවැත්තුවා. මල්ෂාගේ කිරි කෝපි වෙනුවට පැකට් කරපු කිරි බොන්න පුරුදු වුනා. මල්ෂාත් ඒ කෝපයෙන්ම ජීවත් වෙන්න හුරු වුනා.

ඒත් මාසයක් වගේ යනකොට මල්ෂාට ඒ   හැසිරීම් වල විඩාව දැනුනා. ඒ ගැන මිතුරියක් එක්ක කතා කලා.

“අනේ මන්දා මල් … මට හිතාගන්න බැහැ ..උඹ ඉස්සරනම් ඔහොම නැහැ.. අනෙක සමන් අයියාගේ අක්කා උබලා දෙන්නා වෙනුවෙන් කොච්චර නම් දේවල් කලාද? මට මතක විදියට සමන් අයියලාගේ ගෙදර අය උබලාගේ ගෙදර එන්න කලින් අක්කා නේද එහෙ ඇවිල්ලා ගෙවල් ඔක්කොම පිළිවෙල කරගන්න  එහෙම උදව් කලෙත් ….  ඒ ඔක්කොම පැත්තකින් තිව්වත්, ඒ සමන් අයියාගේ අක්කා.. උඹට අයිතියක් නෑ නේද ඒ සහෝදරකම් වලට ජජ්මන්ට් දෙන්න… සමන් අයියා උඹට නොකියා ඒක කල එක අවුල් කියල උඹට හිතෙනවා නම් ඒකට හේතුව අහල විසඳගන්න එක වෙනයි .. ඒත් මේ උඹ කරලා තියෙන දේවල් නම් අනේ මන්දා…”

මිතුරිය එක්ක කතා බහෙන් පස්සේ ගෙදර ආව මල්ෂාගේ මානසික නිදහස සම්පූර්ණයෙන්ම පිරිහිලා තිබුනා. ඇය සමන් එක්ක කතා කරන්න උත්සාහ කලත් සමන්ගෙන් ඉඩක් ලැබුනේ නැහැ.

අක්කා සහ සමන්ගේ පොඩි කාලේ කතා ගැන මල්ෂාට සිහි වුනා. තමන් සහ අක්කට කවදාවත් එහෙම ළමා කාලයක් තිබුනේ නැති එක ගැන තමන් කොයි තරම් දුක් වුනාද කියලා සිහි වුණා.  දැනටත් විදෙස්ගත වෙලා ඉන්න අක්කට තමන් කියලා නැගණියක් ගැන මතකයක්වත් නැති බවත් මල්ෂා දන්නවා.

” ඒ ගැන දුක් වෙන්න එපා…  ඔයාට දැන් ඉන්නවනේ අක්ක කෙනෙක් …”

දවසක් අක්ක ගැන කතාව කියලා අඬනකොට, සමන්ගේ අක්ක තමන්ව අස්වසපු හැටි මල්ෂාට මතක් වුනා.

පහුවෙනිදා උදේම මල්ෂා නුවර එළි යන්න පිටත් වුනා. හවස් වෙනකොට මල්ෂා සමන්ගේ අක්කලගේ ගෙදර, මාසයක් තිස්සේ තමන්ව මඟාරින මල්ෂා එකපාරටම තමන්ගේ ඉස්සරහින් මතුවෙනකොට අක්කටත් හිතාගන්න බැරි වුනා.

“එන්න පැටියෝ … කිව්වේවත් නෑනේ .. කෝ අපේ මල්ලී..?”

“එයා ආවේ නෑ අක්කේ.. එයා තරහ වෙලා මා එක්ක .මාසයක් තිස්සේ එයා ඉන්නේ විසිටර්  රූම් එකේ..”

මල්ෂා අඬ අඬා කිව්වා. ඒ තමා  කල කී කිසිවක් නොකියා. අක්කා ඇමතුමක් අරගෙන සමන්ට හොඳටම බැන්නා. ඒ මල්ෂාව තනිව නුවර එළියේ එව්වාටත් එක්කම. සමන් එනකොට පහුවෙනිදාට එළි වෙලා.

අක්කා තමන්ට බනිනකොට අක්කගේ පිටිපස්සට වෙලා තමන්ට විරිත්තන මල්ෂා දිහාවත් නොබලා ඉන්න සමන්  පරෙස්සම් වුනා.

“මේ කෙල්ලව අඬවලා තිබ්බොත් එහෙම හොඳ වැඩ කරන්නෙ මම…”

අක්කා දෙන්නාව තනියම දාලා කුස්සියට ගියේ කිරි කෝපි දෙකක් ගේනකොට දෙන්නාගේ අමනාපකම් ඉවර කරගන්න කියලා කියලාම.

“මට සමාවෙන්න බැරිද?..”

“බෑ …”

“මම ඇයි එහෙම හැසිරුනේ ඇයි කියලා මම දන්නේ නෑ …  ඔයත් හිතනවා ඇති මම මහ ගුනමකු ගෑණියෙක් කියලා .. සඳසරණිත් කිව්වා … මට හරියට දුක හිතුනා එදා,.. ඊට පස්සේ ඒක නිකන් ඉරිසියාවකුත් වුනා…පිළිලයක් වගේ වුනා…”

” හ්ම්ම් ..”

“කමක් නෑ … ඔයාට කැමති දෙයක් කරන්න…”

“දැන් අක්කට කතාව කිව්වේ කොච්චර කෑලි හලලද?…”

සමන් මල්ෂාව තමන් දිහාවට ඇදගෙන ඇහුවා. මල්ෂා ඇස් හීනි කරගෙන හිනා වුනා.

” සොරි … ඔයා වැරදි  කරා මට කියලා  කිව්වේ… මට අක්කව නැති කරන්න එපා සමන් ..ප්ලීස් … එයාට මාව එපා වෙයි …අනේ..”

” ඔයාට ඒ කතාව කියන්න මට අමතක වුනා… ඕක යවපු දවසට පස්සෙන්දා තමා අපි අර ට්‍රිප්  එක ගියේ .. ඒ ගිහින් ඇවිල්ලා ඔයා අසනීප වුනා…. මට ඒක අමතකම වුනා… මං දන්නවා, ඔයා එක්ක කතා කරානම් මේ ප්‍රශ්නේ මෙහෙම වෙන්නෙ නෑ….”

අක්කා කෝපි අරගෙන එනකොට මල්ෂා අඬනවා. අක්කාගේ බැනුම් පටන් ගත්තා. සමන් හිනාවෙවී අක්කාගේ බැනුම් අහගෙන හිටියා.

අපේක්ෂා ගුණරත්න 

More Stories

Don't Miss


Latest Articles