“ඔය ඇඩ් ඒජන්සි වල වැඩ කරන කෙල්ලන්ට ඔච්චර සල්ලි හම්බෙනවද අනේ? කුඩු බිස්නස් කරනවද දන්නෙ නෑ”
මාලතී එහෙම හිනා උනේ ඉස්සරහ ගෙදර රිශානා ගැන කියලා. රිශානායි මාලතීගෙ දුව ආලියායි එකම වයස්වල. එකම ඉස්කෝලෙට ගියේ. ඒලෙවල් කරද්දි ආලියා බයෝ කරද්දි රිශානා කරේ ආට්ස්. ආලියා ෆස්ට් ශයි එකේ බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එක නොලැබුන හන්ද සෙකන්ඩ් ශයි කරල ඊටපස්සෙ තර්ඩ් ශයිත් කරද්දි ෆස්ට් ශයි එකෙන්ම කැලණියෙ ඉංග්රීසි ඩිග්රි එකකට සිලෙක්ට් වෙච්ච රිශානා කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකත් ඉවර කරල උන්නෙ.
කොහොමහරි ආලියා බලාපොරොත්තු උනාට තර්ඩ් ශයි එකෙනුත් මෙඩිසින් යන්න පුලුවන් උනේ නෑ. ඒ නිසා තමයි ආලියා ජපුරෙ බයෝ සයන්ස් ඩිග්රි එකක් කරන්න ගියේ. කොහොමහරි ආලියා ස්පෙශල් ඩිග්රි එකටත් තේරිලා කැම්පස් ෆයිනල් ඉයර් යද්දි රිශානා ජොබ් එකට ගිහින් අවුරුද්දකට වැඩියි.
ඉංග්රීසි ආයෙ මව් බාසාව තරම්ම හොඳට පුලුවන් හන්දයි, උපාධියත් තියෙන හන්දයි රිශානාට ලංකාවෙ ප්රසිද්ධම ඇඩ් ඒජන්සි එකක ඉන්ග්ලිශ් කොපි රයිටර් තනතුරකට යන එක මහ ලොකු දෙයක් උනේ නෑ. හැබැයි ආලියායි ආලියාගෙ අම්මා මාලතී නම් ඒ රස්සාව නිකන් තුට්ටුවට දාලා තමා කතා කරේ.
“මහ ලොකුවට ඉංග්රීසි උපාධියක් අරගෙන කන්තෝරුවල ලියන්න යනවා” කියල අම්මයි දුවයි එක්කහු වෙලා හිනා වෙච්ච වාර අනන්තයි.
“කොහෙන්ද මන්ද ඔච්චර ස්ටයිල් කරන්න සල්ලි? මට නම් ඇත්තටම සැකයි” කිය කිය අම්මයි දුවයි කුටු කුටු ගාද්දි ඕකට මුලින්ම උදැල්ල දැම්මෙ ආලියගෙ අක්ක සාන්වි.
“මොනවද අනේ ලැජ්ජ නැද්ද මේ අනුන්ට කතා හදන්න?” සාන්වි කිව්වේ තේක බොන්න කුස්සියට එද්දි කුස්සියෙ ජනේලෙන් රිශානලගෙ ගෙදර දිහා හැංගිලා, රිශානා යාලුවො කට්ටියක් එක්ක කතා කර කර ඉන්න දිහා ඇස් කටේ දාන් බලන් උන්නු මාලතීටයි ආලියාටයි.
අක්කගෙ සද්දෙට තිගැස්සුණාට මොකෝ ආලියා ටක් ගාලා ඉතින් කට හදාගත්තා.
“අහ් ලැජ්ජ වෙන්නෙ මොකටද?”
“අනේ කියල වැඩක් නෑ, අපි දැනගන්න එපාය අපෙ අහල පහල ඉන්න උන් මොනවද කරන්නෙ, මොනව කරලද සල්ලි හම්බ කරන්නෙ කියල, නැත්තම් අන්තිමේ ඔය හොර වැඩ අහුවෙල ටීවි එකේ පෙන්නද්දි තමා අපි දන්නෙ මොනවද වෙලා තියෙන්නෙ කියල”
“ඔය කියන විදියට ඉතින් එහෙනම් ඒ මිනිස්සු අපේ දිහත් ඔහොම බලනව ඇති නේද අපේ හොර අල්ලගන්න?”
“අපේ මොනවද තියෙන හොර, අල්ලන්න?”
“ඇයි අර ෆස්ට් ශයි ෆේල් වෙච්ච වෙලේ හැමෝටම කිය කිය ගියේ සී තුනයි කියල. ඒවත් ඉතින් වටේ මිනිස්සු දැනගන්න ඕන ඇත්ත නේද?” කියල සාන්වි කියද්දි තමා අම්මයි දුවයි දෙන්න කටවල් වහගෙන දෙපැත්තට විසිර ගියේ. හැබැයි ඉතින් සාන්වි ගෙදර නැතිවෙලාවට ඉඩ ලැබිච්ච ගමන් එහා ඉඩමට බෙල්ල දාන්න කට්ටිය අමතක කරේ නෑ. ඒ විතරක් නම් මදෑ රිශානලට හිතවත් ගෙවල් වලින් “එහෙ දූ මොනවද කරන්නෙ?” කියල අහන්නත් මාලති අමතක කරේ නෑ.
“රිශානා ජොබ් එකෙන් අයින් වෙලා” කියන ආරංචිය ආවෙ ඔන්න ඔය අතරවාරෙ. මාලතී උඩ පැන්නෙ නැති ටික විතරයි.
“හොඳ වැඩේ, මං කිව්වෙ නැද්ද අන්තිමට ඔය ට්ක තමා වෙන්නෙ කියල. මහ ලොකුවට ඉංගිරිසියෙන් හුටස් පටස් ගගා වත්තෙ ඉඳන් කෝල් ගත්තෙ හරියට අපිට කෝචෝක් එකට වගේනෙ” කියලා මාලතී හිනා උනේ ආලියාවත් එක්කහු කරගෙන.
“රිශානා ජොබ් එකෙන් අයින් වෙලා නේද?” කියාගෙනම තමා සාන්වි එදා වැඩ ඉවර වෙලා ගෙදර ආවෙ.
“කොහොමද දන්නෙ?” කියලා ආලිය පුදුමෙන් වගේ ඇහුවෙ අක්කා ඉතින් ඔය ඕපදූප හොයන්නෙ නැති මනුස්සය නිසා අම්මගෙන් ඔය විත්තිය දැනගන්න විදියක් නෑනෙ කියල දන්න හන්දා.
“එයා ෆේස්බුක් දාලා තිබ්බා”
“ලැජ්ජ නැතුව ඒවත් ෆේස්බුක් දානවද?” කියල මාලතීත් කතාවට එක්කහු උනේ හිනා වෙවී.
“ලැජ්ජ වෙන්නෙ මොකටද?”
“රස්සාවෙන් අස්වෙන ඒව ඔහොම ලෝකෙට අඬබෙර ගහල කියන්න ලැජ්ජ වෙන්න ඕන නැද්ද? ශුවර් එකට මොකක් හරි හොර වැඩක් කරන්න ඇති. නැත්තම් ඔහොම ඉස්ටයිල් කරන්න සල්ලි හම්බෙනවද සාධාරණව රස්සාවක් කරන මනුස්සයෙක්ට”
ඒ කතාවට නම් ඔක්කොටම වඩා හයියෙන් හිනාඋනේ සාන්වි. මාලතියි ආලියයි උන්නෙ මෙයා මොකද මේ කැකිරි පලන්නෙ කියල හිතාගන්න බැරුව.
“අනේ අම්මේ මේ, නොදන්න ඒව ගැන කතා හදන්නෙ නැතුව ඉන්නවද? රිශානා මේ ඔයාල හිතනව වගේ හොර වැඩ කරලවත් කුඩු විකුණලවත් නෙවෙයි සල්ලි හම්බු කරේ. ඒ ලමයා වැඩ කලේ ග්ලෝබල් ඒජ්න්සි එකක. ඔයාලා දන්නෙ නැති උනාට ඒ ලමය මාරම හොඳ රස්සාවක් කරේ.
රස්සාවෙන් අස් වෙලා තියෙන්නෙ මේ නිකන් ගෙදර ඉන්නවත්, හොර වැඩක් අහුවෙච්ච හන්දවත් නෙවෙයි ඒ ළමයගෙ වැඩ හොඳ හන්දා ඒ ඒජන්සි එකෙන් ඒ ලමයව වෙන රටක ඒජන්සි එකකට ප්රමෝට් කරල. රිශානා ලබන මාසෙ රට යනවලු” කියල සාන්වි කියද්දි නම් මෙච්චර දවස් අනුන්ගෙ ඕපදූප හොය හොය උන්නු අම්මගෙයි දුවගෙයි කටවල් දෙකනම් වක්කඩ වගේ ඇරිලා තමයි තිබුනෙ.