යෙහෙළි ගෙදර ආවේ කවීශ එක්ක සම්බන්ධතාවය ගැන තීරණයක් ගන්න හිතාගෙන. යෙහෙළිගේ යාලුවෝ එක්ක කවීශගේ හැසිරීම් සහ ඔහු ඇයට සලකන විදිය ගැන කතා කරලා තමයි යෙහෙළි මෙතරම් ශක්තිමත් විදියට අද දවස අවසන් කරන්න සූදානමින් ඉන්නේ.
කවීශගෙයි යෙහෙළිගෙයි ප්‍රේම සම්බන්ධතාවයට දැන් අවුරුදු හතරක්. දෙන්නම සරසවි අධ්‍යාපනය අවසන් කරලා රැකියා කරන ගමන් ඉන්නේ. සරසවි කාලය අවසන් වෙනකල්ම දෙන්නාට දෙන්නා එකිනෙකාට උදව් කරගෙන, වගකීමෙන්, වගවීමෙන් ඉස්සරහට ආවා. හැමදේම වෙනස් වෙන්න ගත්තේ යෙහෙලි රැකියාවට එන්න පටන් ගත්තාම. මුලදි මුලදි කවීශ යෙහෙළිගේ වෙනස්කම් නොසලකා ඉන්න පුරුදු වුනත්, පහු වෙනකොට කවීශගේ ඉවසීමත් නැති වුනා.
සිදුවීම් වල ආරම්භය වුනේ කවීශගේ සමාජ මාධ්‍ය ගිණුම් වල මුරපද ඉල්ලන්න පටන් අරගත්ත දවසේ ඉඳන්. මුලදි මුලදි කවීශ විහිලුවෙන් ඒ ඉල්ලීම් බැහැර කලා. කවීශ ඕනෑම සම්බන්ධතාවයක් ඇතුලේ තමන්ගේ පෞද්ගලික ඉඩ ගැන විශ්වාස කල අයෙක්. යෙහෙලි එක්ක තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් බෙදාගන්න කවීශට කිසිම ප්‍රශ්නයක් නොතිබුනත්, මුර පද ඉල්ලමින් කරන අසාමාන්‍ය අරගලය නිසා කවීශ ඇයට එරෙහිවම උන්නා.
” ඇයි ඔයාට මට පාස්වර්ඩ් දෙන්න බැරි…”
” දෙන්න බැරි දෙන්න බැරි නිසා යෙහෙළි …. ඒක තේරුම් ගන්න බැරි තරමට බබෙක් නෙවෙයිනේ ඔයා…..”
” ඇයි ඔයාට මාව විශ්වාස නැද්ද ?.. එහෙම නැත්නම් ඔයාට මොකක් හරි මං දැනගන්නවට අකමැති දෙයක් තියෙනවද හංගන්න …”
“අනේ මේ විකාර කියන්නේ නැතුව ෆෝන් එක තියන්නකෝ අප්පා.. මොන විකාරයක්ද යෙහෙළි … ?”
” නෑ මම ෆෝන් එක තියන්නේ නෑ ..ඔයා කට් කරන්නත් එපා කවීශ.. කට් කලොත් මම ලෑන්ඩ් ලයින් එකට ගන්නවා…”
“මොන කරුමයක්ද ඕයි මේ….”
හැමදාකම ඒ දෙබස් පුරුද්දට ගියා. පහුවෙනිදට කාර්‍යාලයට යන යෙහෙළි ඒ විස්තර ඇගේ සමීප මිතුරීයන් එක්ක කිව්වහම ඔවුන් කලේ යෙහෙලිගේ හිතේ ඇවිලෙන ගින්නට පිදුරු දාපු එක.
ඔවුන්ට තිබුණේ තනිකරම ඒකාධිපති අදහස්. ඔවුන් නිතරම යෙහෙළිගෙන් කවීශ සහ යෙහෙලිගේ සම්බන්ධතාවය ඇතුලේ තියෙන සිදුවීම් ප්‍රශ්න කරන්න පුරුදු වුනා. ඒ ප්‍රශ්න කිරීම් වලින් යෙහෙලි තව අසරණ වෙවී කවීශ එක්කම පැටලුනා. ඒ මිතුරියන් කිසිම කෙනෙක් සාර්තක ප්‍රේම සම්බන්ධතා පවත්වගෙන යන අය නොවුනත්, යෙහෙලිට ඔවුන්ගේ පැහැදිලි කිරීම් වල වරදක්, අඩුවක් පෙනුනේ නැහැ.
” කවීශට ඔයාගෙන් හංගන්න දෙයක් නැත්නම් ටිකකට හරි සෝශල් මීඩියා පාස්වර්ඩ් ඔයාට දෙන්න බැරි නැහැනේ යෙහෙළි .. අනෙක පස්සේ චේන්ජ් කරගන්න වුනත් පුලුවන් නේ.. විනාඩි දහයකටවත් පාස්වර්ඩ් එක දෙන්න බයයි කියන්නේ අනිවාර්‍යෙන් ස්පෙයාර් දෙක තුනක් රන් කරනවා ඇති .. අනෙක කවීශගේ ජොබ් එකෙ හැටියට ඉන්නේම ඔවුට් සෝර්ස් නේ … අනිවාර්‍යෙන්ම එළියෙන් කෑලි රන් කරනවා ඇති …..”
” මට තේරෙන්නේ නෑ අප්පා…”
” ඔයා අහිංසක වැඩියි යෙහෙලි .. ඒකයි කවීශ ඔය විදියට ඔයාව රවටගෙන ඉන්නේ. එයා දන්නවා මොක කරලා වුනත් ආදරෙන් වචනයක් කතා කරාම ඔක්කොම හරි කියලා..ඔයා කවදාවත් එයාව දාලා යන්නේ නැ කියලා එයා දන්නවා ..”
” මට කවීශව දාලා කොහෙවත් යන්න ඕනි නෑ අමාවි .. මම එයාට ඇත්තටම ආදරෙයි ..කැම්පස් කාලේ එයා මෙහෙම නෑ ..කොටින්ම මම අඬනවාටවත් ආස නෑ එයා.. ඒත් දැන් මම අඬද්දීම එයා ලයින් එක කට් කරලා , ලෑන්ඩ් ලයින් එකත් ඕෆ් කරලා නිදාගන්නවා..”
” ඒක තමා කියන්නේ ඔයා අහිංසක වැඩි කියලා.. ඔයාගේ ආදරෙන් කවීශ අයුතු ප්‍රයෝජන ගන්නවා යෙහෙළි….. ඔයාටම තේරෙන්නේ නැතුව ඔයා එයාට යූස් වෙනවා….”
යෙහෙළිට මිතුරියන් එක්ක සංවාද වලින් හැමදාම ලැබුණේ ඒ හරය. එහෙම වුනාම යෙහෙලිට කවීශ ගැන දැනෙන නොසන්සුන් හැඟීම් වැඩි වුන එක විතරයි වුනේ. යෙහෙලි එක දිගටම කවීශ එක්ක රණ්ඩු කලා. කවීශ ජංගම දුරකතනයට පිලීතුරු නොදෙනකොට කවීශගේ කාර්‍යාලයේ මිතුරන්ට ඇමතුම් ගන්න පටන් ගත්තා. ඔහුගේ නිවසේ අයට ඇමතුම් දීල කවීශ තමා රවට්ටන බව කියන්නත් සමහර දවස් වලට කවීශා කටයුතු කලා.
කවීශ යෙහෙලිගේ ඒ හැසිරීම් නිසා වෙහෙසට පත් වෙන්න පටන් අරගෙන හිටියේ. අම්මලාත් යෙහෙලි කියන කතා විශ්වාස කරලා කවීශව ප්‍රශ්න කරන්න ගත්තාම කවීශගේ දවසේ වෙහෙස තව වැඩි වුනා. රාජකාරි මිතුරන් සහ කාර්‍ය මණ්ඩලය අතරේ තමන් විහිලුවක් වෙන බව කවීශට වැටහෙන්න පටන් අරගෙන තිබුනේ. ඒ ගැන යෙහෙලිට කොයි තරම් පැහැදිලි කරන්න උත්සාහ කරත් අන්තිමේදී කතාව නැවතුනේ එකම තැනින්.
” හරි එහෙනම් පාස්වර්ඩ් දෙන්න ඔයාගේ…”
” පාස්වර්ඩ් දෙන එක නෙවෙයි වැඩේ යෙහෙලි … ඔයාට මාව විශ්වාස නෑ… ඔයා මට මගේ ස්පේස් එක දෙන්න ලෑස්ති නෑ …අපි කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ…”
ඒ කතාව පහුවෙනිදා කාර්‍යාලට ඇවිල්ලා කිව්වම මිතුරියන්ගෙන් ලැබුණේ යෙහෙලිගේ ඔලුව කුරුවල් කරන අදහස්.
” තමන්ගේ ගෑනිව විශ්වාස කරලා පාස්වර්ඩ් එකක් බෙදාගන්න බැරි මිනිහෙක් එක්ක ජීවිතේ බෙදාගන්නේ කොහොමද කියලා ඔයාම හිතන්න යෙහෙළි …. මං නම් කියන්නේ එච්චරයි…”
යෙහෙලි කවීශට ඇමතුමක් ගත්තා. පලවෙනි ඇමතුම ට පිළිතුරු ලැබුනේ නැති වුනාම යෙහෙලි දිගින් දිගටම ඇමතුම් ගන්න පටන් ගත්තා. ඒත් ඒ එක ඇමතුමකටවත් පිළිතුරු ලැබුනේ නැහැ. ඊට පස්සේ යෙහෙළි නිවසේ ස්ථාවර දුරකතනයට ඇමතුම් කිහිපයක්ම ගත්තා. ඒත් ඒ එක ඇමතුමකටවත් පිළිතුරු ලැබුනේ නැහැ.
යෙහෙළි නින්දට ගියේ මේ සම්බන්ධතාවය අවසන් බව කියලා පැදුරක් වගේ දිග පණිවිඩයක් කවීශට යවලා.
” මට මෙහෙම කරානේ ඔයා. අමාවිලා හරි. කොල්ලෝ ඔක්කොම එකයි. අපිව යූස් කරන එක තමයි වැඩේ…”
යෙහෙළි නින්දට ගියේ අඬ අඬා. ඒත් පැයක් යන්න කලින් යෙහෙළිට ඇමතුමක් ආවා. ඒ කවීශගේ අයියාගෙන්. අයියා ඉන්නේ විදෙස්ගත වෙලා. එවෙලේ යෙහෙළිට කිසිම දෙයක් හිතාගන්න බැරි වුනත්, ඇය ඉක්මනින් ඇමතුමට පිලිතුරු දුන්නා.
” හෙලෝ…”
“යෙහෙළි නංගී …”
“අයියේ …”
“දැන් ඔහේට රෑ දොළහට ඇති නේද?..”
“ඔව් අයියේ එකොළහ හමාරයි ….”
“කලබල වෙන්නෙපා නංගී. ඒත් මෙවෙලේ ඔයා මල්ලි ළඟට යන්න ඕනි කියලා හිතන නිසයි මම මේ පණිවිඩේ කියන්නේ …….”
යෙහෙළි විදුලි සැරයක් වැඳුණා වගේ කෙලින් වුණා. කවීශ උඩු මහලේ බැල්කනියෙන් පහලට වැටිලා රෝහල් ගත කරලා බවත්, තවම සිහි විසඟ තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ බවත් කියනකොට යෙහෙළිට කෑ ගැස්සුණා. යෙහෙලිගේ සද්දේට මුලු ගෙදරම ඇහැරුණා.
පහුවෙනිදා උදේ වෙනකොට කවීශට සිහිය ආවා. ඒත් ඔහුගේ ප්‍රතිකාර වෙනුවෙන් වැය කෙරෙන්නට නියමිතව තිබුන කාලය ඉතාම දිග වුණා.
” ඔයා බැල්කනියෙන් වැටුනාද පැන්නද?…”
රෝහල් පොලිසියෙන් කවීශව ප්‍රශ්න කලා.
” මම හිත පොඩ්ඩක් කලබලෙන් හිටියේ සර් ,,, මට අමතක වුණා ඒ පැත්තෙන් අත් වැට නැති බව. මම එතැනට හේත්තුවක් දාන්න ගියේ…”
” ඒක නම් සුලු පටු හිතේ කලබලයක් වෙන්න බෑ… තමන් අවුරුදු ගානක් තිස්සේ ඉන්න ගෙදර පිහිටීම අමතක වෙන්න තරම්…”
පොලිස් නිළධාරියෝ එහෙම කිව්වත් වගේම ඇත්තටම ඒ හිතේ කලබලය ලේසි පහසු එකක් නොවෙන බව යෙහෙළිට වැටහුනා. ඒ කලබලයට හේතුව තමන්මද කියලා හැල්මේ හිතෙන්න ගත්තා. යෙහෙළි කවීශගේ ළඟින් වාඩි වෙලා නිහඬවම හිටියා.
එදා හවස යෙහෙළි කවීශගේ අයියාට ඇමතුමක් අරගෙන දෙන්නා අතරේ තිබුන හැමදේම කිව්වා. ගෙවුණ මාස හයේම රණ්ඩු නොවුන දවසක් නොතිබුන බව කිව්වා. අයියා කිසිම දෙයක් කිවේ නෑ
ඒ වෙනුවට යෙහෙළිට අංකයක් එවලා තිබුනා.
ඒ අංකෙන් යෙහෙළිගෙයි කවීශගෙයි ජීවිත වෙනස් වෙන පාර කැපුණා. මනෝ වෛද්‍යවරියගේ උපදෙස් වල විදියට යෙහෙලි ඉස්සෙල්ලාම කරේ රැකියාවේ අංශය වෙනස් කරගත්ත එක. බලෙන්ම පරණ මිතුරියන්ව මඟ හරින්න ඇය කටයුතු කලා. අලුත් අංශයේදී මුණ ගැහුණ අලුත් මිතුරියන් යෙහෙළිට ඇගේ ජීවිතේ නොවැටහුනු තැනක් වටහා ගන්න උදව් කලා
” මේක අපේ හිත ගැන පවා අපිට ස්ථාවරව හිතන්න බැරි කාලයක්. අපිවත් අපිට අවනත නැති කාලයක්. ඉතින් අපි කොහොමද තව කෙනෙක්ගේ හිතක් ගැන වග වෙන්නේ.. අපිට කොටු කරගෙන කිසිම කෙනෙක් නවත්තගන්න බෑ..පාස්වර්ඩ් අරගෙන චෙක් කලා කියලා යන්න ඕනි කෙනා නවතින්නේ නෑ ..එයා යනවා.. ඒ නිසා වඩා වටින්නේ විස්වාසය රකින එක..තමන්ගේ පාර්ට්නර්ට මානසික වදයක් නොවී ජීවිතේ අල්ලන් ඉන්න එක…”
යෙහෙළි කවීශගේ භෞත චිකිත්සක සෙශන් එකට යන ගමන් එහෙම සටහනක් මුහුණු පොතට මුදා හැරියා
| අපේක්ෂා ගුණරත්න |
ReplyForwardAdd reaction |