“තාත්තගෙ පැත්තෙ නෑයෝ කියන්නෙ නම් සර්පයො”
තිශානා එහෙම කිව්වෙ තමන්ගෙ අම්මා වෙච්ච චන්ද්‍රාට. ඒ ඉතින් හැමදාමත් වගේ තාත්තා ජීවත්වෙලා ඉන්න කාලෙ තිබ්බ වගේ දහ ගුණයකින් වැඩිවෙච්ච කරදර තාත්තා නැතිඋනයින් පස්සෙ තාත්තගෙ පැත්තෙ නෑයන්ගෙන් එන්න පටන් ගත්ත හන්දා.
“අනේ අපේ මල්ලිව මරාගත්තා මේ ගෑණි, ඕකිව කසාද බඳින්නම යද්දි මං කිව්වා කම්මුලේ උපන්ලප තියෙන ගෑණු කියන්නෙ මහ සාප කියල. කොහෙද ඇහුවෙ නෑ අනේ බුදු මල්ලියේ, පවුලට ඉඳපු එකම පිරිමියා උඹ නේද?” කියල නැන්ද තාත්තගෙ මරණෙ දවසෙ ඇඬුවෙ තිශානාටයි අම්මටයිත් වඩා සද්දෙට. ඒ උනාට ඉතින් අන්තිම කාලෙ ලෙඩ වෙල ඉද්දිවත් බලන්න තියා නිකමට කෝල් එකක් දීල දුක සැප අහපු ගෑණියෙක් නම් නෙවෙයි තිශානාගෙ නැන්දා.
ඉස්සර තිශානාගෙ අම්මයි තාත්තයි හරි ආදරෙන් ඉන්නව දකිද්දි කීයක් කතා කිව්වද. තාත්තා මැරෙන්න කලිනුත් හම්බෙච්ච වෙලාවක, “හිතාගෙන ඉඳියෙ ජෝඩුව නාකිවෙලා විනෝදෙන් ඉන්නනෙ, මං නම් කියන්නෙ අපෙ මල්ලි ඉක්මනටම සෙත්තපෝච්චි වෙන්න ඕන චන්ද්‍රට මුලු ජීවිත කාලෙම දුක්විඳ විඳ ඉන්න” කියලත් තියෙනව.
හැබැයි මරණෙ වෙලාවෙනම් චන්ද්‍රට වඩා ජීවන්දරට ආදරේ කර ලෙවල් එකකින් තමා ජීවන්දරගෙ අක්ක වෙච්ච වසුන්දරා හැසිරුණේ.
අම්මයි තාත්තයි යාලුවෙච්ච කාලෙ ඉඳල දහසක් කරදර කරපු, දේවාල වලට ගිහින් පොල් පවා ගස්සවපු මනුස්සයෙක් විදියට තිශානා නම් අර නෑකමට කතා කරා මිසක්ක අම්මටත් කියල තියෙනව ඕනවට වඩා කරන්න යන්න එපා, කොච්චර කිරි පොවන්න හැදුවත් ඉතින් සර්පයා සර්පයාමයි කියල.
මරණෙ වෙලාවෙදි බැන්න කරාට ප්‍රශ්න ඔක්කොම ලොකුවට පටන් ගත්තෙ අවූරුදු විසි ගාණක් තාත්තා වැඩ කරපු තැනින් තාත්තට හම්බෙන්න ඕන ග්‍රැටිවිටි එක අම්මට ලැබෙන විත්තිය ආරංචි උනයින් පස්සෙ.
“එහෙම කොහොමද ඒ ගෑණිට ඒව හම්බෙන්නෙ? ඒව අපෙ මල්ලිගෙ සල්ලි” කතාව ආවෙ ඔන්න ඔහොම
“එහෙම වෙන්නෙ නෑනෙ, කෙනෙක් කසාද බැන්දට පස්සෙ ඒ මනුස්සයගෙ සියලුම දේවල අයිතිය පැවරෙන්නෙ නීත්‍යානුකූල බිරිඳටයි දරුවන්ටයි. ඔන්න දරුවො ඉඳියෙ නැත්තම් තමා ඔයාල ගැන බලන්න තිබුනෙ”
“මාර කතාවක් නෙ ඒක, අනික මේ ලේසි පාසු ගාණක්ද? කෝටි දෙකක් කියන්නෙ. අපේ අම්මයි තාත්තයිනෙ මල්ලිට ඔය ගානට උගන්නල ඔහොම රස්සාවකට යැව්වෙ. ඉන්පස්සෙනෙ ඔය ලංවෙච්ච ගෑණු ඔක්කොම ලංවුනේ. එහෙම එකේ අපිටනෙ ඉස්සෙල්ල හම්බෙන දෙයක් හම්බෙන්න ඕන.
මං කොහොමහරි ෆයිට් කරනවා. ඔය සල්ලි ටිකෙන් එක සතයක් දෙන්නෙ නෑ මම ඕකිට ගන්න. ඒව අපේ” කියාගෙන නැන්ද එද්දි අම්මා බයවෙච්ච එක සාධාරණයි.
“අනේ මන්දා පුතේ, තාත්තා නැතිඋනයින් පස්සෙ අපිට ජීවිතේ ඉස්සරහ ටික ගෙවන්න තියෙන්නෙ ඔය ලැබෙන සල්ලි ටික විතරයි. පහුගිය මාස ගාණටම ඔයානෙ වියදම් කරේ ගෙදර වැඩවලට, හැමදාම ඒක කරන්න බෑනෙ. ඔයාට කියලත් ජීවිතයක් තියෙන්න ඕනනෙ.
මට හරි බයයි මේ සල්ලි ගන්න බැරිවෙයි කියල”
“එහෙම වෙන්නෙ නෑ අම්මෙ, ලීගලි ඔයාට අයිති දෙයක් එහෙම වෙන කෙනෙක්ට ගන්න බෑනෙ”
“ඒක හරි ඒ උනාට ඕක ලැබෙන එක පරක්කු කරන්න හරියට කරදර කරාවි අපිට”
කොහොමහරි දන්න අයගෙ හිතවත්කම් ඇඳුනුම්කම් එක්ක ග්‍රැටිවිටි එකේ වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන් උනාට, ඒ සන්තෝසෙ භුක්ති විඳින්න පුලුවන් උන්නේ හරිම පොඩි කාලයයි. නැන්ද තමන්ගෙම සහෝදරය ගැන ලියපු කැලෑ පත්තර ලියුමක් ගම පුරාම ලියල තිබ්බෙ මහ අශෝබන කතා තොගයක් එක.
ජීවන්දරට තව තැන්වල ගෑණු උන්නා, චන්ද්‍රාවත් තියාගෙන උන්නු එක කරේ, ඔය විවාහ සහතිකෙත් වලංගු නෑ, චන්ද්‍රත් එහෙමයි, තිශානාත් වෙන කාගෙද ළමේක් වගේ අහස පොලොව නුහුලන කතන්දර මහ තොගයක් එක්ක ගිය ලියපු අන්තිමේ චන්ද්‍රා අතට ලැබෙද්දි ගමේ හැමෝම වගේ ඒ ලියුම කියවලා.
“අනේ පුතේ, මොකද්ද පුතේ මේ වෙච්ච ලැජ්ජාව” කියල ඉතින් චන්ද්‍රා කොච්චර කල් ඇඬුවද. ගමේ මිනිස්සු නම් ඔය ගැන කතාකරන්න නාවට මිනිස්සු මොනව හිතනව ඇද්ද කියල නොහිත ඉන්න පුලුවන්ද තනිවෙච්ච ගෑණු දෙන්නෙක්ට?
තිශානාටයි චන්ද්‍රටයි තිබ්බ ලොකුම හයිය උනේ තිශානාගෙ බෝයිෆ්‍රෙන්ඩ් වෙච්ච මධුරංගගෙ පවුලෙ අය. මධුරංගට වඩා හොඳයි ඒ අම්මයි තාත්තයි අක්කයි. ඒ මිනිස්සුන්ගෙ උදව්වෙන් තමයි තාත්තා නැති උනයින් පස්සෙ තිශානා උනත් හයියට උන්නෙ.
වෙච්ච හැමදේම එක්ක තිශානා වෙඩින් එක ගත්තෙත් පොඩියට. “නැන්දට නම් මං කියන්නෙ නෑ අම්මෙ, තරහ වෙන්න එපා” කියලා තිශානා කියද්දි චන්ද්‍රත් ඇත්තටම විරුද්ධ උනේ නෑ.
වෙඩින් එකෙන් පස්සෙ වසුන්දරා හිටියේ භූමිතෙල් වැදිච්ච ගැරඬියා වගේ සලිත වෙලා.
ජිවන්දරගෙ අවුරුදු දෙකේ දානෙ වෙලාවෙ බලෙන්ම පන්සලට ආව වසුන්දරා වෙඩින් එක නොකිව්ව කතාව දානෙට ඇවිත් උන්නු අය එක්ක කුටු කුටු ගාණව ඇහුනත් උත්තර දෙන්න ගියේ තිශානාවත් චන්ද්‍රවත් නෙවෙයි.
හැබැයි කට පියන් ඉන්න බැරි වසුන්දරාට නම් අහන්න දෙයක් තිබ්බා.
“අපිට මගුල නොකිව්වෙ මොකෝ අපි මොන වරදක් කරාටද?තමන්ගෙ අය නේද අපි? මොක උනත් තාත්තගෙ පැත්තෙ නෑයො නැතුව එහෙම මගුල් ගන්නවද?” කියල අහද්දි නම් තිශානාට කියන්න දෙයක් තිබුණා.
“තාත්තගෙ පැත්තෙන් කියල හැම නරක දෙයක්ම ඉතින් ජීවිතේට දාගන්න බෑනෙ නේද?”
“ආ මොකද්ද තාත්තග පැත්තෙන් ඔයාලගෙ ජීවිතේට ආව නරක දේවල්?”
“නෑයො තමයි නැන්දෙ”
ReplyForwardAdd reaction |