කුඩා මිදුල මායිමේ වන අඹ ගස විසල් ව වැඩී තිබේ. එහි පත් වියන නිසා විශාල වපසරියක් සෙවන වී ඇත. ආමර් වීදියේ කාෂ්ටක කාන්තාර අව් රශ්මිය මුවහ කරවන ඒ සෙවන දිව්‍යමය තිළිණයක් සේ ය. වහළ සිංහල උළු සෙවිලි කරනා ලද්දේ වී ද උසින් පහළ නිසා ගෙවල් ඇතුළ පෝරණු සේ උණුහුම් ය. ඒ හින්දා දවල් කාලයේ හැකි තාක් ගෙතුළින් බැහැර ව හිඳීම වත්තේ මිනිසුන් ගේ පුරුද්දයි. කොහොමටත් ලොන්ඩරි වත්තට අව්ව යනු දේවාශීර්වාදයකි. වස්සාන සමයේ දී රෙදි වියළාගත නොහී ඔවුන් විඳිනුයේ අපමණ දුකකි. අතට මුදලක් මිට මෙළවෙනුයේ රෙදි සෝදා වියළා මැද දුන් විට කෑලි ගණනට ය. එසේ නොවත්දී එය දැනෙන්නට ගන්නේ ඔවුන් ගේ බඩවල් වලට ය. රෙදි හේදීමෙන් ලැබෙන්නේ දෛනික ආදායමක් වන බැවිනි.
මිණිපිරියට බත් කැවීමෙන් පස්සේ ජුලී පනාවත් නො උස් පුටුවකුත් ගෙන අඹ සෙවණට ආවා ය. පුටුව පාරුල්ට ය. ඇය අඹ සෙවණේ ඉදි කළ ලෑලි බංකුව මතින් හරිබරි ගැහී හිඳගත්තා ය.
“පාරෝ… වරෙං ඔළුව ටිකක් බලන්න. හුඟ දොහකින් බලන්න බැරිවුණා”
පාරුල් මහජන පුස්තකාලයෙන් ගත් වෛද්‍ය විද්‍යාවට අදාල වූ පොතක් ද සමගින් විත් බංකුව මතින් හිඳගත්තා ය. ඇගේ හිසේ උකුණන් නොවේ. නමුත් මිණිපිරියගේ හිසේ උකුණන් ඇත්දැයි පිරික්සීම ජුලී සිය වගකීමක් වශයෙන් සලකා සිදු කළා ය. හැන්දෑවට අඹ තුරු සෙවණේ හුළඟක් වැදෙමින් ජුලී අත්තම්මා හිස කේ අතරේ අතැඟිලි යවත්දී පාරුල් ට සනීපයට ඇස් පියවේ. උකුණන් නැත ද අත්තම්මා හිස පිරිමදිමින් ඉන්නවාට ඇය ආස ඒක ය. එවිට එහෙම ම අත්තම්මා ගේ උකුලට හිස බරවෙන්නට හැරීම පාරුල් ගේ සිරිතයි. ජුලී එතකොට මිණිපිරියගේ හිස පරෙස්සමට සිය උකුලෙහි හොවාගෙන උකුණන් බලයි. වත්තට පේන්නට මෙහෙම මිණිපිරියට ළෙංගතුකම් පෑම ජුලී ට ආඩම්බරයකි. පාරුල් වූ කලී කිළිටි රෙදි සෝදන්නට ඉන්නා වත්තේ තවත් කෙල්ලක නොවේ. ඉතිහාසය පුරාවට ඉන් බිහි වන එක ම වෛද්‍යවරිය ඇය වන්නී ය. ඇගේ අත්තම්මා ජුලී වන්නී ය.
“මයෙ ඇස්දෙක පියවෙන්න කලියෙං අපෙ මැණික් කැටේගෙ අතිං බෙහෙත් උගුරක් බොන්න ලැබුණොත් ඇති. මං උදේ හවා කෝවිලට ගිහිං කාලි මෑණියංගෙං ඉල්ලා හිටින්නෙ එච්චරයි. මට තව ටිකක් කල් ඉන්ඩ අරින්ඩ කියලයි”
පාරුල් ගේ හිස කේ අතරේ දෑසත් අතැඟිලිත් දුවවන ගමන් ජුලී හෙමිහිට මුමුණයි. නමුත් ඇගේ පපුවේ සැබවින් ම සුසුමක් සුළි සුළඟක් සේ කැරකෙයි.
“දැම්ම ඔයා යන්නෑ අනේ. ඔයාට එහෙම යන්න බෑ. හ්ම්”
පාරුල් නින්දෙන් ම නෝක්කාඩු කියයි.
“පාරෝ… මෙන්න මේ සිංහලෙං ඇවිත් තියන ලියුම කියවාංකො තංගච්චි”
කියාගෙන අසල්වැසි රාජේශ්වරී නගර සභාවෙන් පැමිණ තිබූ ලියමනක් රැගෙන ආවා ය. හැමදාමත් ඔහොම ය. ගෙදර ඉන්නවා නම් විනාඩි දහයක් එක දිගට ඇයට ඇස් පියවා විවේක ගන්නට ලැබෙන්නේ නැත. කවුරුන් හෝ ඇවිත් කතාකරයි. නමුත් පාරුල් තුළ ඒ ගැන අමනාපයක් නැත. වත්තේ හැම දමිළ මනුෂ්‍යයෙකුට ම සිංහල කතා කළ හැකි ය. නමුත් දමිළ නොව සිංහල මිනිසෙකුට වුව සිංහල ලිපියක් ලියාගන්නට හෝ කියවා වටහාගන්නට තරම් අවබෝධයක් නැත. කවුරුත් එවැන්නක් ගෙන දිව එන්නේ පාරුල් වෙතට ය.
“නැන්දා ගෙවල් කුළියයි රෙදි කාමරේ කුළියයි ගෙවන්න දීපු කාලෙ පහුවෙලා කියලයි කියල තියෙන්නෙ. ඉක්මනට මේක ගෙවල දාන්න”
“මුරුගන්!! සල්ලි සල්ලි සල්ලි. මීසිපල්ලෙක ඉල්ලන්නෙම සල්ලි. අපි කියල සල්ලි ගස් වලින් කඩන්නද තංගච්චි…කොල්ලට ඩෙංගු හැදිල හොස්පිටලෙකේ. අයියෝ සාමි”
ලොන්ඩරිවත්තේ ගෙවල් හා රෙදි කාමර වෙනුවෙන් පදිංචිකරුවන් නගර සභාවට කුළියක් ගෙවිය යුතු වේ. මාසිකව එය සුළු මුදලකි. නමුත් වාර්ෂිකව එකතු වෙත්දී එය ද ගෙවාගත නො හැකි කෙනෙකු සිටිත හැක. එදා වේල පිරිමසාගන්නා මිනිසුන් ගේ ජීවිත වූ කලී එබඳු නරකාදියකි. ඔවුන්ට ඉන් එතෙර වීමට මාර්ගයක් නැත. ඔවුන්ගේ ජීවන තත්වය වඩා ඉහළට එසවීමට හෝ සුරක්ෂිත කිරීමට බලධාරීන්ට මතක් වෙන්නේ මැතිවරණ සමයේ දී පමණකි. පාරුල් හුස්මකින් පපුව පුරවාගත්තා ය.
ලියුම් කඩදාසිය ගෙන රාජේශ්වරී ඉක්මන් ගමනින් පාරට ගියා ය.
“නන්රි පාරෝ”
කියා ඕ කෑගෑවේ මගදී ය. නාසය දෙපසට ලොකු බාල රත්තරන් කරාබු ජෝඩුවක් දමා, කනෙහි අරුංගල් එල්ලාගෙන, නළලත තිලක තියා, විචිත්‍ර වර්ණ වල සාරි හැඳ, නූපුර වළළු සලමින් ඇවිද යන වත්තේ දමිළ ස්ත්‍රීන් යනු විචිත්‍ර බවෙහි සංකේතයකි. බුලත් සැපීම නිසා ඔවුන් ගේ මුව රතු වී දත් කළු ගැහී තිබේ. රණ්ඩුවක දී දබරයක දී ජාතියේ පැත්තට බර වී ද, දෛනික ජීවිතයේ දී ජාති ආගම් භේදයකින් තොර ව වත්තේ ගෑනු මිනිස්සු එකට වැටී සිටිති. ජීවිතය තව දවසකින් ඉදිරියට දමාගනු වස් එකිනෙකාට උදව් කරගනිති. අතීතයේ පටන් ම දේශපාලකයන්ට රැවටුණු බව ජාති භේදයකින් තොරව දැන් දන්නවා වුණත්, දැන් ඔවුන්ට කරන්නට යමක් ද නැත. මේ සමාජ ආර්ථික හා දේශපාලන ධාරාව තුළ උඩුගං බලා පිහිනිය නො හැකි නිසාවෙන් සිය ඉරණම කුමක් වනු ඇත්දැයි ඔවුහු අසරණ ලෙස බලා හිඳිති.
රාජේශ්වරී මග නතර වී තවත් කාන්තාවක සමග ලියුම පෙන්වා යමක් කියවන්නට වූවා ය. පාරුල් යන නම සුළඟේ ගසාගෙන ආවේ ය. ඇය දෙව්රූ වන්නේ පස්වැන්නේ පටන් බාලිකා පාසලට හා වෛද්‍ය පීඨයට පමණකි. වත්තට ඇය පාරුල් ය. නැත්නම් පාරු ය. ඒත් නැත්නම් පාරෝ ය. සිය දියණිය කුසයේ සිටියදී රිදී ඒ නම සිහියේ රඳවාගෙන ම සිටියා ය. ඒ දුවක ලැබුණොත් තබන්නට යි. රිදී ඒ නම අහුලා ගත්තේ ඉන්දියානු සිනමා පටයකිනි. වත්තේ ගැහැනුන්ට තිබෙනා ලොකු ම වින්දන මාර්ගය රූපවාහිනියේ විකාශය වන ඉන්දියානු චිත්‍රපට නැරඹීමයි. ඒ කතාවේ පාරුල් නමැති කුළහීන තරුණිය එක අවස්ථාවකදී සිය සීමා අතික්‍රමණය කරමින් සමාජ විෂමතා වලට එරෙහි ව හඬක් නගන්නී ය. තමන්ගේ පාරුල් ද දිනෙක මේ නරකාදියෙන් එතෙර වනු ඇතැයි දැරිය කුසයේ සිටියදී ම රිදී සිංගප්පුලිගේ ප්‍රාර්ථනා කළා ය. ඇය සිය පියාගේ අතැඟිල්ලකින් අල්වාගෙන රාජා ද සමග ලොන්ඩරි වත්තෙන් පිට ව යනු දකින්නට සිහින දුටුවා ය. දෙව්රූ කියා නමක් සිය ජීවිත කාලයේ දී රිදී කනින් අසා හෝ නැත. බිළිඳු පාරුල් ට ඒ නම දුන්නේ ‘ද සොයිසා කාන්තා රෝහලේ’ එවකට සේවය කළ වෛද්‍යවරියකි.
“ලයින්හෝම් එකේ දොස්තර නෝනා ඇහුව… බබා දේවතා රූපයක් වගෙයි අම්ම, ඒක නිසා අපි දෙව්රූ කියල නම තියමුද කියල. මට ඕව තේරෙන්නෑනෙ. ඒ ගමන නෝනාම තමයි මං හදං හිටිය පාරුල් කෑල්ලත් දාල ඔය නම ලියලම දුන්නෙ”
අලුත් ම කතාවක් සේ සලකාගෙන රිදී කී වතාවක් නම් ඔය කතාව කියන්නට ඇත්ද? එය අසනා හැම වතාවක ම නාඳුනන හැඟීමක් මත පාරුල් ගේ ඇස් තෙත් වේ. ඒ දොස්තර නෝනා දැන් කොහේ සිටිනවා ඇත්ද? කවදා හෝ දවසක ඇය හමුවිය හැකි නම්! පාරුල් ගේ ළමා වියෙහි දී ම, දොස්තර නෝනා කෙනෙකු වීමේ ආශාවෙහි බිජුවට ඇගේ හදවත මත වපුරන්නට නිමිත්ත වූයේ ඒ දොස්තර නෝනා ද? පාරුල් ඇස් තදකොට පියා මොහොතක් හිඳ, ” ඇති අත්තම්මෙ” කියාගෙන නො උස් පුටුවෙන් නැගිටගත්තා ය.
වතුර ටැංකියෙන් ගොඩ එන විට චන්දුල ගේ දෑත් දෙපා පෙඟී රැලි නැගී තිබිණ. වියළුණ ඇඳුම් රෙදි කාමරයට දැමූ රිදී “රාජා”යි කියමින් පුතු වෙතට ආවා ය.
“පාරු මොකටද මේ පැත්තට ආවෙ…”
“නිකං. අපි මේ පැත්තෙ ඇති කියල හිතිල ආවලු. මං කිව්ව ගෙදර ගිහිං බත් කන්නයි කියල. යං. රාජාටත් බඩගිනි ඇති”
චන්දුල කිසිත් කීවේ නැත. ඔහු රෙදි සෝදනු වස් වතුර ටැංකියට බැස්සේ ඔහුගෙන් ම පලිගන්නට මිස, කුසගින්න මට්ටු කරන්නට වෙන අතක් බලන්නට නොසිතී තිබූ හින්දා නොවේ. ත්‍රීරෝද රියක් හෝ අටවාගෙන වත්තෙන් එළියට යන්නට ඔහු ද සිහින දුටු යුගයක් තිබිණ. නමුත් එළියට ගිහින් පැළවෙන්නට තරම් බිමක් ඔවුන්ට නැත. වත්තට පිටතින් පැමිණි මිනිසෙකු වන තාත්තා ඉතිරි කොට ගිය කැළල නිසාවෙන්, වත්තේ උන් රත්තරං යයි චන්දුල ට සිතී තිබේ. නමුත් යළිදු පිටත ලෝකයට පියැඹීමේ ආශාව තටුසලන්නට ගත්තේ මැදි විදුහලේදී හමු වූ නටාෂා නිසා ය. ඇය ඔහු ට සිහින ගොඩක් පෙන්වූවා ය. නමුත් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ දවසේ,
“මේ සම්බන්දෙ නවත්තමු චන්දු. ඔයා ලොන්ඩරිවත්තෙ නිසා… අපේ අම්ම කිව්ව ඕක කීයටවත් වෙන්න දෙන්නෑ කියල” යයි කීවා ය.
චන්දුල ගේ ලෝකය දෙදරා ගියේ එදා ය. නටාෂා ද ලොන්ඩරි වත්තට ආසන්න තදාසන්න පරිසරයක ජීවත් වූවා ය. ඔහු රෙදි සෝදන පවුලක කොල්ලෙකු වීම ඒ ඇසුර අවහිර කරනා හේතුවක් වනු ඇතැයි ඒ වනතුරු ම චන්දුල සිතා තිබුණේ නැත. ඊට මාස දෙකකට පසු නටාෂා කුප්පියාවත්තේ කොල්ලෙකු සමගින් ගොස් තිබිණ. ටික කලක් ගත වනතුරු චන්දුල කම්පිත ව සිටියේ ය. වත්තෙන් නික්ම යාමේ හීන හකුළා ගත් ඔහු වතුර ටැංකියට බහින්නට තීරණය කළේ ඊටත් පස්සේ ය. නමුත් ඒ හිත් රිදීම ඇති කළා වූ සියල්ල මුළුමනින් පහව ගියේ නැත.
“දැං කසාදයක් කරගන්න කාලෙ හරි රාජා”
කියා රිදී විසින් කියනු ලබන හැම මොහොතක ම චන්දුල නො රිස්සුමෙන් එතැනින් නික්ම යයි.
“කෑවද පාරු…”
කියාගෙන අයියා නංගී වැතිර උන් යහනෙහි කොනක බත් පත අනමින් හිඳගත්තේ ය. ගෙදර මැද කෑල්ලෙහි තිබෙනා මේ යහනෙහි හරස් අතට පාරුල් ද රිදී ද ජුලී ද නිදති. හැරෙන්නටවත් එහි ඉඩක් නැත ද එක්කෙනෙකු බිම නිදනවාට අනිත් දෙදෙනා කැමති නැත. සැබවින් බිම නිදන්නට බැරි ලෙස රිදී ගේ ද ජුලී ගේ ද කැහැටු ශරීර වල ඇටකටු බිම ඇනේ. ඇනී රිදේ. බෙදා හදාගන්නට බැරි දුකක් සතුටක් මේ පුංචි ගේ ඇතුළේ ඔවුන් සිව් දෙනාට නොවන තරම් ය.
“කෑව. කටක් කවන්නකො”
“කෑවනං මොකටද මං කවන්නෙ…”
“කවනවකො අයියෙ”
පාරුල් චන්දුල ට වඩාත් සමීප වූවා ය. ඔහු ළඟින් හමන්නේ අලුතෙන් ම සේදූ රෙදි වලින් හමනා පිරිසිදු සුවඳ ය. චන්දුල බත් කටක් අනා නංගී ට කැව්වේ ය. ඇය තරම් වටිනා වස්තුවක් ඔහු ට තවත් නැත. පොඩි කාලේ පටන් ඔහු ඉගෙනීම ගැන උනන්දුවක් නො දැක්වූ අතර පාරුල් ඒ ගැන අධික උවමනාවෙන් යුතු වූවා ය. චන්දුල සාමාන්‍ය පෙළින් පාසලට ආයුබෝවන් කීවේ නංගී ට ඉගෙන ගන්නට පුළුවන් උදව්වක් කරනා අරමුණෙනි. නමුත් ඇය මේ තරම් දුරක් යාවියි ඒ දවස් වල ඔහු සිහිනයෙන්වත් සිතුවේ නැත.
“මුකුත් අඩුපාඩු තියනවද නංගි…”
“හ්ම්”
පාරුල් ගත් කටට ම එසේ කීවෙන් චන්දුල හිස හරවා නැගණිය දෙස බැලුවේ ය. යුවතිය දේවතා දෑසින් සිනහවක් පෑවා ය. චන්දුල වගේ උස මහත කඩවසම් තරුණයෙකු ලොන්ඩරි වත්තට ම නැත. ඔහු සිය පියා වන සිසිර ඇල්ලගේ දෙස බලාගෙන තැනූ පිළිරුවක් යයි කිහිප විටක් ම රිදී විසින් කියනු පාරුල් ට ඇසී තිබේ.
“මොනාද අඩුපාඩු… ම්…”
“කිව්වොත් ගෙනත් දෙනවද…”
“තමුසෙ දන්නවනෙ මං බෙල්ල කඩාගෙනහරි කරනව කියල. තාත්ත කියන මිනිහ නෑ කියල… තමුසෙගෙ ගමන යන්න මං දශමෙකවත් අඩුවක් තියන්නෑ. මට ඕනෙ දවසක තමුසෙ මේ නරකාදියෙන් තොලොංචි වෙලා ලස්සන ලෝකයක් හදං යනව දකින්න විතරයි නංගි”
පාරුල් අයියා ගේ උරහිස මතින් නිකට තබා ගත්තා ය. චන්දුල ගේ කතාවට සංවේදී විය නො හැකි තරමට ඇය සිනහවකින් පිරී සිටියා ය.
“දැං මට තියන ලොකුම අඩුව නෑනා කෙනෙක්. ඔයා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන තවත් පරක්කු නොකර”
පාරුල් ගේ ඉරියව්වෙහි වූයේ දඟකාර බවකි. චන්දුල හෙමිහිට ඇගෙන් ඇස් ඉවතට ඇදගත්තේ ය.