(අ)හිමි සිහින -227

කලින් වතාවේ පොලිස් ස්ථානයට ගියේ අපහාසයක් ගැන පැමිණිල්ලකට වුවත් මෙවර ඔවුන් දමා තිබූ පැමිණිල්ලේ හැටියට නඩු මාර්ගයට බැසීමට උවත් මා සූදානම් විය යුතු බව මම දැනගෙන හිටියා.නීතිඥයෙකු එයට මට අනිවාර්යයෙන්ම සිටිය යුතුයි.මම ඒ සඳහා දිල්හානි බොරු පැමිණිලි දමා සුධාරකට නඩු දැමූ අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් කතාකළ මගේ නීතිඥයා අමතා ඒ ගැන ඔහු දැනුවත් කළා.

පොලීසි ගමන ගැන දැනගන්නට ඔබ උනන්දු බව මා දන්නවා. නමුත් මේ මගේ අත්දැකීම් ඔබ හා බෙදාගනිමින් ජීවිතයේ අසීරුවෙන තැන් වලට මා මුහුණදීමේදී දී කාන්තාවක් ලෙස මට මුහුණදෙන්නට වුන සිදුවීම් ගැනත් ඔබව දැනුවත් කරමින් කියන කතාවක්.මේ සියලු සිද්ධි වලට නොවුමත් මේ හා සමාන සිද්ධි වලට ඔබට කවදා හෝ මුහුණ දෙන්නට වන්නටත් පුලුවන්.ඒ නිසා මගේ කතාවෙන් ගත හැකි ආදර්ශයක් ලබා ගැනීම ඔබට බාරයි.

ඔබට අසනීපයක් ලෙඩක් දුකක් වූ විට නිතර ප්‍රතිකාර ලබාදෙන හුරුපුරුදු වෛද්‍යවරයෙක් ඉන්නට පුලුවන්.එසේම ඔබට නඩු මගට බසින්නට යමක් වුවහොත් ඒ සඳහා ද ඔබ වෙනුවෙන් කතාකරන්නට නීතිඥවරයෙක් සිටිය යුතුයි. ඔබ මේවා ගැන යම්තරමක් හෝ දැන සිටීම ඔබට ජීවිතය අසීරු තැන් වලදී පහසුකරාවි.ගැහැනියක් වුනාම දැනගත යුත්තේ ඉවීම පිහීම දරුවන් වැදීම හා කරන රැකියාව පමණක් නොවේ.ඔබ වඩාත් ජවයකින් ඉදිරියට යන්නට නම් මේ සමාජයේ අපට ගැටෙන්නට සිදුවන දෑ ගැන ද අප දැනගෙන සිටිය යුතුයි. විශ්වාසකරන්න.ඒ දැනුම ඔබව කවදාවත් පරාජිතයෙක් කරන්නෙ නෑ

කියමනක් තිබෙනවා කාට බොරු කීවත් තම වෛද්‍යවරයාට හෝ නීතිඥයාට කිසිදා බොරු නොකියන ලෙස. එය පරම සත්‍යයක්.ඔබේ රෝගයට නියම ප්‍රතිකාර කරන්නට වෛද්‍යවරයා සියලු රෝග තත්වයන් දැනගතයුතු සේම ඔබ වෙනුවෙන් උසාවියක පෙනී සිට ඔබ වෙනුවෙන් කරුණු දක්වන්නට නම් ඔබේ නීතිඥයා ඔබ වරදක් කලා නොකලා ඒ සියලු සත්‍ය තොරතුරු දැන සිටිය යුතු වෙයි.වෛද්‍යවරයාට හෝ නීතිඥයාට බොරු කියා හෝ සත්‍ය වසන්කර කවදාවත් ඔබට ජයගන්නට බැරිබව පමණක් සිතේ තබාගන්න .

එසේම ඔබේ සියලු නීත්‍යනුකූල ලියකියවිලි සහ ඉදිරිපත්වීම් හැකි සෑම විටම එක් පාර්ශවයක් මගින් කරගැනීම ඔබට වඩාත් පහසුවක් වේවි.නීති වේදීන් පවා එක් එක් විශයට දක්වන දක්ෂතා විවිධයි.ඒ නිසා නීතිඥවරයෙකු ගේ උවත් උපදෙස් ලබාගැනීමේදී ඔබටත් ඒ ගැන යම් දැනුමක් තිබේනම් එයා ඉතා වැදගත් වේවි.නැතිනම් සමහරවිට ඔබේ මරණයෙන් මෙපිට කිසිදා තීන්දුවක් නොලැබෙන නඩු ඔබේ ජීවිතයේදී කියන්නට සිදුවන්නටත් පුලුවන්.

මේ නිසාම මා සුධාරකගේ නඩු කටයුතු කතාකල මගේ නීතීවේදින් හමුවට ගොස් මේ පොලීසි ගමන ගැන ඔවුන් දැනුවත් කලා.මුල සිට අගට අපේ කතාවේ සත්‍ය තොරතුරු දන්නා ඔවුන්ටද එය මට මෙන්ම ලොකු ගැටලුවක් ලෙස පෙනුනේ නෑ. ඒ නිසා හැමවිටම නීතියට පිටු නොපා ඇත්ත සමග ජීවත් වූ මම කලින් සැරයේ වගේම එදා ද පොලීසියට ගියේ බොහොම නිරවුල් මනසකින්.

මා වෙනුවෙන් ඉදිරිපත්වන නීතිවේදීන් දෙදෙනා ද සමග මා කියූ වේලාවට පොලීසියට යනවිට සුධාරකගේ වැඩිමහල් සහෝදරියත් දෙවන සහෝදරියගේ සැමියා වන විශ්‍රාමික හමුදා නිලධාරියාත් දිල්හානිගේ මාමණ්ඩියත් ඔවුන් වෙනුවෙන් පැමිණ සිටි නීතිඥයාත් එහි පැමිණ සිටියා.මට ඇත්තටම ඔවුන් දකිනවිට ඇති වූයේ තරහක් නොවෙයි අනුකම්පාවක්.සාපරාධී ලෙස මනුෂ්‍යයෙක් ඝාතනයකරන්නට කුමන්ත්‍රණය කල මේ මිනිසුන් ඒ පාපයට කෙදිනක දී හෝ මෙලොවදීම දැවෙන තැවෙන බව නියත බව නොදැන මේ තවදුරටත් නටන නැටුම් වල හරයක් නැති බව පමණයි මට වැටහුනේ.

දිල්හානිගේ මාමණ්ඩිය ඉතා කුඩා කෙසඟ සිරුරක් තිබූ අහිංසක පෙනුමක් තිබූ කෙනෙක්.සුධාරක ගේ සහෝදරියත් මස්සිනාත් දෙස නොබලා සිටියත් දිල්හානිගේ මාමා හා නීතිඥයා දෙස බලා මා සිනාසුණා.මිනිසුන් සමග කුලියට තරහාවීමේ සිරිතක් මා තුල නැහැ.අවශේෂ මිනිසුන් ප්‍රධාන චරිතවල අතකොලු නොවෙයි.

දිල්හානි වෙනුවෙන් කතාකරන නීතිඥයා කරන්නේ ඔහුගේ රැකියාවයි.මම ඇය වෙනුවෙන් කතාකරනවා කියා ඒ පුද්ගලයා සමග වෛර බැඳගන්නවානම් එය විශාල මෝඩකමක්.මේ පැමිණිල්ල දිල්හානි වෙනුවෙන් කතාකරන ඔහු හෙට වෙනත් නඩුවක් මා වෙනුවෙන් කතාකරාවි.යථාර්ථය එයයි.අපට නොගැලපෙන මිනිසුන් සමග සිටින සියලු මිනිසුන් අත්හැර ජීවත්වන්නට ගියොත් එය ප්‍රායෝගික වන්නේ නැහැ. ඒ නිසා තමන්ට සෘජුවම නොගැලපෙන්නන් සමග හැර අවශේෂ මිනිසුන් සමග කුලියට තරහාවෙන්නට යන්න එපා.

නීතිඥයා මා සමග සිනාසුනත් දිල්හානිගේ මාමා සිනාසුනේ නෑ.වයස්ගත ඔහුගේ මුහුණේ තිබුනේ බොහොම විඩාබර බවක් ඒ ඇස්වල මම දැක්කේ බියක්.ඒ මට තිබූ බියක් නොවෙයි.නොකැමති ගමනක් බලෙන් දක්කාගෙන යනවිට ඇතිවන අසරණකම මුසු බිය ඒ වයෝවෘද්ධ මිනිසාගේ ඇස්වලින් මා දුටුවා. එසේම ඔහු හැකිපමණ සුධාරකගේ සහෝදරියත් මස්සිනාත් මගහැර අතන මෙතනට වී දුරකථනයෙන් මොනවාදෝ කතාකරමින් සිටියා.ඔහු ඔහුගේ උවමනාවට ආ ගමනක් නොව මේ බලෙන් එක්කගෙන හෝ එන්නට සැලැස්සුව ගමනක් පැමිණ සිටින බව ඒ හැම දෙයකින්ම කියවුණා.

ඒ කාලයේද කොරෝනා උවදුර දැඩිව තිබූ හෙයින් පොලීසිය පිටත කූඩාරම් ගසා පැමිණිලි ඇසූවේ පොලීසියෙන් පිටතයි.තවත් බොහෝදෙනා රැස්ව සිටි හෙයින් උස් හඬින් කතාකර අසන දෑ අවට සිටි සියල්ලන්ටම ඇසුනා.නමුත් කරන්නට දෙයක් නැහැ.මනුෂ්‍යයන් ලෙස ඉපදුනා නම් මනුෂ්‍යයෙකුට මුහුණදෙන්නට සිදුවෙන ඕනෑම දෙයක් අභියෝගයක් යැයි සිතා එයට මුහුණදිය යුතු බව මම වටහාගෙන හිටියා.

පැමිණිල්ල ඇසීමේ අපේ වාරය පැමිණියා.එය විභාග කලේ ස්ථානාධිපතිවරයාමයි.

“කෝ…කවුද මේ පැමිණිල්ල…හරි… විත්තිය පාර්ශවය ඇවිත් ඉන්නවද?”

“හරි කට්ටියම ඉන්නවා.එහෙනං මේක විභාග කරමු.කෝ මොකක්ද පැමිණිල්ල”

ඔහු පොතේ සඳහන්වූ පැමිණිල්ල කියවා හිස ඔසවා බැලුවා

“හොඳයි දැන් මොකක්ද මෙතන වෙලා තියෙන්නේ.කවුද පැමිණිලි පාර්ශවය…හරි …එතකොට දැන් මෙතන මොකක්ද සිද්ධවුනේ කියලා කෙටියෙන් කියන්න”

එවිට ඉදිරිපත්වුනේ සුධාරකගේ මස්සිනා.

“මගේ වයිෆ්ගෙ අයියා ජෙනරල් කෙනෙක් එයා අසනීපයන් මාස අටක් විතර ඉඳලා දැන් සතියකට උඩදී මැරුණා.එයා ගේ මරණයෙන් පස්සෙ කොහේද ඉඳලා ආපු අපි දන්නෙ අඳුරන්නෙ නැති ගෑණියෙක් දැන් ඒ මස්සිනාගේ ගෙදර දොරවල් කඩාගෙන බලෙන් ගෙට රිංගලා ගේ අයිතිකරගෙන ඉන්නවා “

ඔබට එක්වරම සිනාගියාද? ඔබ පුදුම වුනාද?….මට වුන් කුමක්දැයි අපි හෙට බලමු

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles