ලොන්ඩරි වත්තේ ලස්සන ම ළමයින් දෙන්නා ඉන්නේ රිදී ගේ ගෙදර ය. ඒ කාලේ, රිදී ගේ තුරුණු වියෙහි දී ඇය ද හැඩකාර කෙල්ලක වූවා ය. ජුලී හා ඇගේ සැමියා වන බන්දු ද ජුලී ගේ මව් වන සෙදෝනා ද සමග රෙදි සෝදා වේලන සරල සැහැල්ලු දිවියක් ගෙවූ රිදී ගේ ඇසට සිසිර හමු වන්නේ ද වත්තේ දී ම ය. සිසිර ඒ කාලේ ගජ ඉලන්දාරියෙකි. හරියට සිංහල සිනමාවේ එවකට වීරයෙකු වන සනත් ගුණතිලක සේ උස ය. සිහින් ය. රතු ය. කොණ්ඩය බොකුටු ය. ත්‍රීරෝද රියක් පදවාගෙන වත්තට එන ඔහු ඉන් බැසගන්නේ ම සින්දුවකිනි. සිසිර ආවේ තනිව නොවේ. ඔහු ගේ වැඩිහිටි මිතුරා වන ජයතිස්ස සමග සෝදන්නට කිළිටි රෙදි බාර දී අපුල්ලා සෝදා මදින ලද රෙදි අරගෙන යන්නට ය. ජයතිස්සලා ට කළුබෝවිල පැත්තේ ලොන්ඩරියක් තිබිණ. ඔහු වූ කලී රෙදි සේදීම ජීවිකාව කරගත් පවුලකින් පැවත ආවෙකු නොවේ. එහෙම පවුලක තරුණියක වන රංජනී සමග විවාහ වී කඩ කාමරයක් කුළියට ගෙන එහි ලොන්ඩරියක් දමාගෙන සිටියෙකි. රංජනීලාගේ පවුලේ අය හේන කුළයෙන් පැවතෙන්නන් සේ සැලකිණ. ඒ කාලේ ඔවුහු සිය කුළ රැකියාව වන රෙදි ඇපිල්ලීම ජීවිකාව කරගෙන සිටියහ. රංජනී ගේ අම්මා ද ටික කලක් රංජනී ද මල්වර වන දැරියන් ගේ කටයුතු කරන්නට ගමේ ගෙවල් වලින් කැඳවාගෙන යන ලදී. මල්වර වෙත්දී දැරිය පැළඳගෙන සිටිනා රන් අබරණ වල සිට ඇඳුම් පැළඳුම් සියල්ල රෙදි නැන්දාට අයිති වීම සිරිත වූයේ ය. රෙදි නැන්දා දිනපතා ඇවිත් දැරිය ගේ ඇඳුම් මාරු කොට අලුත් ඇඳුම් අන්දවා යයි. ඒ වෙනුවෙන් ඇයට දැරිය ගේ ගෙදරින් පඬුරු පාක්කුඩම් ලැබේ. මල්වර නැකතේදී ද රෙදි නැන්දා ට විශාල වගකීමක් පැවරේ. ඒ කටයුතු අවසන් කොට ඇය ගෙදර යන්නේ බරට පොදියක් හිස මත තියාගෙන ය. හේන මාමාට කුඩා හේන් ඉඩම් කැබැල්ලක් තිබිණි. ඔවුන් රෙදි සේදීම, ඇපිල්ලීම හා වේලීම සිදු කරනා ලද්දේ ප්‍රදේශයේ පහත් බිමක පිහිටි ඒ කුඩා ඉඩම් කට්ටියේ ය. නමුත් රංජනී ගේ මව් පියවරුන් ලෙඩ ඇඳට වැටුණු කල රෙදි ඇපිල්ලීමට සිටියේ ඇය පමණකි. සිය කුළයට පිටස්තර මිනිසෙකු හා විවාහ වී දරුවන් තනාගෙන සිටි රංජනී ට හේනට ගොස් රෙදි ඇපිල්ලීමට කාල වේලාවක් හෝ උවමනාවක් තිබුණා නොවේ. ඒ ලාංකීය සමාජයේ කුළ මළ ක්‍රමය දැඩි විවේචනයකට ලක් වූ සමයකි. කුළහීන පවුල් වල අලුත් පරම්පරාවන් ඒ මඩ ගොහොරුවෙන් ගොඩ වීමට හෘද සංවේදී උත්සාහයක් දරන්නට ගත් සමයකි. ඔවුහු සිය පෙළපත් නාම වෙනස් කරගත්හ. පරම්පරා රැකියා අත්හැර මහා සමාජය සමග පෑහීමට උත්සාහ කළහ. නිදහස් අධ්‍යාපනය ඒ සඳහා ඔවුන්ට අවස්ථාව සලසා දී තිබිණ. ගෙදර රෙදි අපුල්ලන්නට කෙනෙකු නොවත්දී, ලොන්ඩරිය පවත්වාගෙන යනු වස් ඇපිල්ලීම සඳහා රෙදි ලොන්ඩරි වත්තට ගෙන ගොස් භාර දීමට කටයුතු කරන ලදී. රංජනී ලොන්ඩරියේ සිටියදී ජයතිස්ස සිසිර ගේ ත්‍රීරෝද රියෙහි ලොන්ඩරි වත්තට ගියේ ය. එවකට කදිම ඉලන්දාරියෙකු වූ සිසිර, ලොන්ඩරිය ඉදිරියේ ත්‍රීරෝද රිය ගාල් කරගෙන සිට හයර් ගියේ ය. සිසිර හා ජයතිස්ස සම වයස් මිතුරන් නොවුණාට ඔවුන් අතරේ ඇතිව තිබුණේ දැඩි මිත්‍ර බන්ධනයකි.
එසේ ලොන්ඩරි වත්තට ආ ගිය සිසිර අවසන එහි බින්න බැස්සේ රිදී සමගින් ප්‍රේමයෙන් බැඳුණ බැවිනි. නිතර ගී ගයමින් විනෝදකාමී ජීවිතයක් ගෙවූ ඔහු රිදී ගේ පවුලට රෙදි මැද දුන්නේ ය. නමුත් ඒ බන්ධනය ගැටගසා තබාගත හැකි වූයේ රිදී ගේ කුසයට පාරුල් පැමිණෙන තුරු පමණකි.
ගෙයි පඩිය මත හිඳගෙන රිදී ගිමන් හරින්නට වූවා ය. අඹ කොළ විසින් ඇති කරන්නා වූ සුළඟ මිස වෙනත් සුවයක් ඇත්තේ නැත. මීට ටික වෙලාවකට පෙර ඇය වියළී තිබූ රෙදි වැලක් ගෙන රෙදි කාමරයට දැමුවා ය. අනතුරුව, චන්දුල විසින් අපුල්ලා සෝදනු ලැබූ තවත් රෙදි ගොඩක් වැලෙහි වැනුවා ය. ඇගේ මනස තුළ ඇඳෙමින් මැකෙමින් පැවතියා වූ අතීත මතක සිතුවම්, මිය යන තුරු ම ඈ අතැර නො යනු ඇත. පඩිය මත හිඳ සිටින වර්තමාන රිදී සිංගප්පුලිගේ වූ කලී ජීවිතය හරහා හමා යන ලද කාලයේ පිරිපත හා සුළි කුණාටු වලට බැරි බැරි ගානේ මුහුණ දී සම් මස් වියළී කෘෂ වී ගියා වූ ඇට සැකිල්ලකි. නමුත් අතීතයේ එක යුගයක මෙතැන මෙලෙස ම හිඳ ප්‍රේමය ගැන සිහින ඇහිඳි තරුණියක සිටියා ය. ඇය පිරිපුන් ය. සුරූපී ය. ඒ අතීතය තුළ රිදී ට සිසිර කියන්නේ කිසි සේත් සංස්කරණය කළ නො හැකි කොටසකි. ජීවිතය යනු එවැන්නක් ය යන සිතිවිල්ලෙන්, සුසුමක් හෙළා පඩිය මතින් නැගිටින්නට යත්දී පිරිසක් ගෙවල් පේළි අතරින් ඇවිද එමින් සිටියහ. පෙරමුණේ සිටියේ සුදෝ සුදු කමිස හැඳි කලිසම්කාරයන් කිහිප දෙනෙකි. නිසැක වශයෙන් ම ඒ මනාපය හිඟාකන්නට පැමිණෙන ඡන්ද අපේක්ෂකයෙකු හා සහායක පිරිස බව රිදී වටහාගත්තා ය. ලං ලං වත්දී ඔවුන් ගේ මුහුණු කපටි සිනහවන්ගෙන් දෝරෙ ගලන්නට විය. රිදී දනිපනි ගා උළුවස්ස මතින් නැගී සිටියා ය.
“කොහොමද අම්මෙ… විවේක සුවයෙන් ඉන්නව වගේ…”
කට පුරා සිනහ වී එසේ විමසූයේ සුරත් විජයවීර ඇමති තුමා බව රිදී හැඳින්නා ය. සුරත් විජයවීර මේ ලොන්ඩරි වත්තට හිසේ කෙස් ගණනට පැමිණ තිබේ. මැතිවරණයකදී කොළඹ ඡන්ද වලින් වැඩි ප්‍රතිශතය හිමි කරගන්නේ නාගරික නිවාස හා වතු ආශ්රිත ජනතාවගේ ඡන්දයි. ඔවුන් ගේ ජීවිත වසා ගත්තා වූ දරිද්‍රතාවයේ ද නූගත්කමේ ද අඳුර මත, බටහිර පාලනයෙන් නිදහස ලැබූ පසු ඉතිහාසය පුරා ම සිදු වූයේ දේශපාලකයින් විසින් ඔවුන් පාවිච්චි කිරීම හෝ රැවටීමයි.
“ඇමතිතුමාව දැක්ක කල්…”
රිදී නොව පිළිතුරු දුන්නේ ගෙතුළින් මතු වූ ජුලී ය. බුලත් කහට බැඳුණු දත් පෙන්වා සිනහ වී ඒ කෝටු ගැහැනිය දොර උළුවස්සට හේත්තු වූවා ය. ඇගේ සිනහවේ කෙසේ වී ද ස්වරයෙහි වූයේ සමච්චලයක් සේ, සුරත් ට මතු නොව ගඟුල් විජයවීර ට ද මැනවින් දැනිණ.
“අපිට ඉතිං අමාත්‍යාංශවල වැඩ බාරගත්තට පස්සෙ හිතුණ හිතුණ විදිහට කොහේටවත් දුවගෙන යන්න පුළුවංකමක් නෑ අම්ම. මෙහෙම කිව්වට අම්මලට තේරෙන්නෙත් නෑ ඔය වැඩ කෙරෙන විදිහ. මේ තමයි ඉතිං අපිට අම්මල ළඟටම ඇවිත් බලල කතාබහ කරල යන්න ලැබෙන වෙලාව”
සුරත් දත් තිස්දෙක ම විලිස්සා සිනහ වූයේ ය. ඒ සිනහව දකිත්දී වෙන කාට නැතත් ගඟුල් ට ලැජ්ජ ය. තාත්තලා සුදු පිරුවට ගත දවටාගෙන සිටියාට, පිළී කුණු දොවාලන මේ වත්තේ මිනිසුන්ට වඩා ඔවුන්ගේ දෑත් අපිරිසිඳු වග ඔහු දනී.
“ඔන්න අම්මල මේ සැරේ මං ආවෙ මට මනාප දෙන්න කියන්න නෙවෙයි. අම්මල ඉතිං හරි කැමතිනෙ තරුණ පුතාලට. ඔන්න ඉතිං මං මගෙ පුතණ්ඩියව වත්තට අඳුන්නල දෙන්න කැන්දං ආව”
රිදී ගේ ගෙදොරකඩට එක්කාසු වී සිටි වත්තේ ගැහැනු මිනිසුන් ගේ දෑස් ගඟුල් විජයවීර වෙතට කේන්ද්‍රගත විය. ඔහු කට කොනක සිනහවක් ඇඳගත්තේ ය. ඔවුන් ගේ අහිංසක ලෝක වල වීරයින් වන ඉන්දීය සිනමාපට වල සිටිනා කඩවසම් නළුවෙකු වාගේ ගඟුල් කඩවසම් කියා කෙල්ලන්ටත් ගැහැනුන්ටත් සිතිණ.
“මේ සැරේ පලාත් සභාවට අපේ ගඟුල් මහත්තයත් ඉල්ලනව. මේ අම්මල තාත්තල සහෝදර සහෝදරියො දන්නවනෙ ඉතිං. පුළු පුළුවං විදිහට මං ලොන්ඩරි වත්තට උදව් පදව් කරල තියනව. තහඩු දුන්න. කකුස්සි කටවල් දුන්න. කාණු හදල දුන්න. එතකොට මදුරුදැල් දුන්න. තව ඉස්සරහට අපේ මේ ගඟුල් මහත්තය මේ වත්ත ගැන බලාගනී. අම්මලට තාත්තලට සහෝදර සහෝදරියන්ට තියෙන්නෙ ගඟුල් මහත්තයව නාගරික මන්ත්‍රීකෙනෙක් කරගන්න එකයි. එහෙම වුණොත් ඉතිං වත්තෙන් පුතෙක් මන්ත්‍රීකෙනෙක් වුණා වගේ තමයි”
කටමැත දෙඩවූයේ සුරත් ය. ගඟුල් විටින් විට සිනහ පාමින් වටපිට බලමින් සිටියේ ය. දැන් මුළු වත්ත ම වාගේ රිදී ගේ නිවස අභියස පාරට රොක් වී තිබේ. ගඟුල් ට මේ අමුතු අත්දැකීමකි. මීට පෙර ඔහු මෙහි පැමිණ නැත. එක ම භූමියක් මත මේ තරම් සමාජ විෂමතා ඇති වීමට වරදකරුවන් කවුරුන් ද? ගඟුල් ට සිතුණේ එපමණකි.
රෙදි ඇපිල්ලීම අවසන් කොට ගෙදර එමින් සිටි චන්දුල, මේ හදිසි රැස්වීම දැක පාරේ නතර වූයේ ය. සුරත් හා ඔහු ගේ සගයෝ වහසි බස් දොඩති. චන්දුල ඉණෙහි දෑත් ගසාගෙන සෙනඟ පිටුපසට වී බලා සිටියේ ය. ඔහු ට දැනුණේ කෑගසා බැණවැදී මේ අවස්ථාවාදී දේශපාලන හොරුන් එතැනින් පන්නා දැමීමේ උවමනාවකි. දිගින් දිගට ම මේ නාඩගම් වලට රැවටෙන්නට ඔවුන් අඳ ගොළු බිහිරන් නොවේ. නමුත්, වත්තේ ඉපදුණත් මනුස්සකම් කියා දෙයක් ඇති බව විශ්වාස කරමින් ඔහු පසෙකට වූයේ ය.
ඒ මොහොතේ පාරුල් සිටියේ උමා ගේ නිවසෙහි ය. උමා යනු ළමා වියෙහි පටන් පාරුල් ගේ මිතුරියයි. උදේ කෝවිලේ දේව පූජාවෙන් ලබාගත් මුරුතැන් බත් පීරිසියක් උමා විසින් යෙහෙළියට වෙන් කොට තබාගෙන සිටියා ය. පාරුල් මුරුතැන් බත් කන්නට පෙරේත බව ඇය දනී.
“අක්කගෙ කොල්ලගෙන් මේ ටික බේරගෙන තියාගත්තෙ මාර අමාරුවෙන්. හොරෙං කන්න ගිහිං ඌ මගෙන් පාරකුත් කෑව”
උමා ගේ ගෙදර සිට සිය ගෙදරට ඇවිද එන අතරේ පාරුල් ඇඟිලි දෙකට ටික ටික ගෙන මුරුතැන් බත් මුවෙහි ලාගත්තා ය.
“ඇයි අනේ ඉතිං… පොඩි එකාට කන්න දෙන්නනෙ තිබුණෙ”
“පොඩි එකාට වඩා මේ පොඩි එකී මුරුතැන් බත් වලට පෙරේතයි කියල මං දන්නවනෙ”
“ඒ වුණාට… පව්නෙ කොල්ල”
“උං කෑවෙ අප්ප ඇති තරං”
උමා ගේ ආලිංගනය පාරුල් ට සතුටකි. ජාතියෙන් සංස්කෘතියෙන් වෙනස්කම් තිබුණාට ඔවුන් ගේ මිත්‍රත්වයට කිසි දාක එය අයහපත් ලෙස බලපා නැත. ඔවුන් උනුන්ට ආදරේ ය. ළෙංගතු ය. විශේෂ කෑමක් හමු වුණොත් අනෙකාට නොදී එය ගිලෙන්නේ නැත. උනුන් ගැන දෙදෙනා නො දන්නා රහසක් නැත. උමා පෙම් කරනුයේ පාරුල් ගේ අයියා වන චන්දුල ට ය. ඒ වූ කලී ඒකපාර්ශ්වික ප්‍රේමයකි. චන්දුල ගේ පිරිමි හිත කඩා බිඳ දමා නටාෂා වෙන්ව ගියාට පසු ඔහු කෙල්ලක ගැන සිතන්නේ තබා කෙල්ලක දෙස බලන්නේ හෝ නැත. නමුත් උමා ඔහු ගැන උනන්දුවෙන් පසු වන බැව් චන්දුල නො දන්නවා නොවේ.
උමා ගේ හිතේ තිබෙන අදහස ගැන ඇගේ ගෙදර අය ද දනිති. නමුත් ඔවුන් ඇය විවාහ කොට දෙන්නට බලාපොරොත්තු වන්නේ දමිළ පුරුෂයෙකුට ය. වත්තේ ම අයෙකු වන ශිවම් ට රෙදි කාමරයක් හා ගෙයක් හිමි ය. ඔහු ගේ සහෝදර සහෝදරියන් වත්තෙන් ද රෙදි රැකියාවෙන් ද සමුගෙන ගොසිනි. වැල්ලවත්තේත් මරදානේත් දෙමටගොඩ ආශ්‍රිතවත් ඔවුහු පදිංචි වී සිටිති. වත්තෙන් පිටත ද ශිවම් ගේ සබඳතා වේ. ඔහු වත්තේ අනිත් කාටත් වඩා අතමිට සරු තැනැත්තෙකි. රෙදි සෝදන්නේ ද ඔහු නොවේ. කුළියට කවුරුන් හෝ ලවා ය. ඇඳුම් මැදීමට ඔහු ට නිත්‍ය සේවකයෙකු හිඳී. යතුරුපැදියක් ද ත්‍රිරෝද රියක් ද ඔහු සතු වේ. ත්‍රීරෝද රිය දෛනික කුළී පදනම මත හයර් දුවන්නට කොල්ලෙකුට පවරා තිබේ. ඒ අනුව වත්තේ හැටියට ඔහු සල්ලිකාරයෙකි. කෝවිලේ ප්‍රධාන දායකයෙකි. උමාට වැඩිය වයසින් දහ පාළොස් වසරක් වැඩිමහල් වූවාට ඇගේ මාපියන්ට එය පරහක් සේ පෙනෙන්නේ නැත. නමුත් උමා කැමති ඇය දෙස බලන්නේ හෝ නැති චන්දුලට ය.
“ඇයි අර සෙනඟ…”
පාරුල් ගේ ගෙදරට ආසන්න වත්දී තරුණියෝ ඒ රැස්වී සිටි පිරිස දුටහ. ඔවුන් ගේ දෙසට එන වේගය තරමක් අඩාල වූ සෙයකි.
“පොලිටීශන්ස්ල වගේ… ඉලෙක්ශන් ළඟනෙ”
“ඒ වෙලාවට තමයි ඕකුන්ට වත්තෙ අහිංසක මිනිස්සු මතක්වෙන්නෙ. ඡන්ද ටික කඩාගන්න ඕනකමට. නැත්තං මේකෙ ඉන්නෙත් සත්තු නෙවෙයි මිනිස්සුයි කියල නිකමටවත් හිතෙන්නෙ නෑනෙ. අපේ මිනිස්සුත් පව්. හැමදාම රැවටෙනව. අපේ දුප්පත් අසරණ අහිංසක ඡන්ද වලින් පාලිමන්ට් ගිහින් උං සැප විඳිනව. අපේ මිනිස්සු හැමදාම කෝස්ටික් වතුරෙ බැහැගෙන රෙදි හෝදනව. අව්වෙ කර වෙවී වේලනව. රෑට මදුරුවො තල තල එක ගේක පවුල් හත අටක් ගුලිවෙලා නිදියනව”
ආවේගයෙන් කියවාගෙන ගිය පාරුල්, උමාගේ අතින් ඇදගෙන සෙනග අතරින් ම ගෙමිදුල ඔස්සේ දොර උළුවස්ස වෙත ආවා ය. කාගේත් ඇස් ඇය වෙතට යොමු විය. විශේෂයෙන් ම සුරත් හා ගඟුල් විජයවීරලා ගේ ඇස් ඇය දෙසට දැල්වී ගති. යුවතිය විදා ගත් දීප්තිමත් ඇස් හරවා සුදු කමිස කාරයන් විනිවිද බැලුවා ය. ඒ පිරිමි හදවත් වල ගැස්මක් ඇති නො වූවා කීවොත් මුසාවකි.