කදෝකිමි ඇස් -22

0
3620
කදෝකිමි ඇස්

මේකලා සිටියේ ඇගේ ලියන කුටියට වැදී ලියමනෙහි ය.මධ්‍යම රාත්‍රිය උදා වී තිබිණ.ඈ සිහින දුටු අන්දමේ ලියන කාමරයක් උඩු මහලෙහි තනා දුන් පසු ජාලියට කියන්නට සරදම් සහගත කතාවක් තිබිණ.

“තරු බලන්නයි හඳ බලන්නයි කණා මැදිරියෝ අල්ලන්නයි කිය කියා ඔයා ඔහොම ලයිබ්‍රි රූම් එකක් හදා ගත්තට ඒකෙ ඉන්නෙනම් නෑ මැණිකේ..”

ජාලිය එය ස්ථිර කර පැවසුවා සේම තනි රකින්නට ද සිදු විය.දැන් ඒ කාලය නිම වී ඇත.සඳරැස් අම්මාට තනි රකින්නට පටන් ගෙන ය.ඉංජිනේරුවෙකු වීමට සිහින දකින යෞවනයා පාඩම අතහැර විශාල වීදුරු ජනේලයකින් පිටත බලා හිඳින අන්දම මේකලාගේ ඇස ගැටිණ.

“ගණ කළුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණයගැතියි
ලොව දුන්නු දේවල් අද අපට හෙට ලොවට පෙරලා දිය යුතුයි..
ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි..”

ආරණ්‍යාට ද සඳරැස්ට ද ඒ ගී පද නුහුරු නොවේ.මේකලා ඔවුන් නැලවූයේම ඒ ගීය ගයමිනි.අඳුරට ඇස අලවා ගත් නව යෞවනයා මේකලාට ඒ ගී පද සිහි කළේ ය.

“පුතු..මොකද පාඩම් කරන්න කම්මැලිද?”

ඇය පුතුගෙන් එසේ ඇසී ය.යෞවනයා ඈ වෙත හෙළුවේ ලැජ්ජාශීලි බැල්මකි.අම්මාට යමක් කියන්නට ඇති පන්නයේ සිනාවක් පළ කරමින් සඳරැස් අම්මා දෙස බලා සිටියේ ය.ආරණ්‍යා මෙන් හැඟීම් ඇසිල්ලකින් මුදා හරින පුරුද්දක් සඳරැස්ට නොවේ.ඔහු බොහෝවිට සති ගණනක් පරණ වෙන්නට හැර සිදුවීම් අම්මා සමඟ බෙදා ගනියි.

“අප්පච්චිගෙම පුතා.රහස් ගුහාවක්..”

මේකලා එසේ කියන්නේ ජාලියටත් ඇසෙන්නට ය.නමුත් සඳරැස් හෝ ජාලිය ඒවා ගණනකට නොගනියි.

“මම හඳ දිහා බලන් හිටියා.”

යෞවනයෙකුට සඳ දෙස බලමින් මවන්නට අප්‍රමාණ සිහින ඇති බව මේකලා දන්නී ය.නිවසේ ස්ථාවර දුරකථනයට අමතා “හඳ බලන්නකො.අද ලස්සනට පායලා” කියන යෞවනයෙකු ඇයට සිහියට නැගේ.ඈ ඒ මතකය අමතක කරන්නට යත්න දරමින් පුතු ඇමතී ය.

“හඳ දිහා බලන් හිටියට කමක් නෑ පුතු.හඳට අහසෙම ඉන්න දෙන්න හොඳද.හඳ අතට ගන්න හදන්න එපා..”

කතාව කියන්නටත් පෙර අම්මා තමන්ව කියවා ගත් බව යෞවනයාට වැටහිණ.ඔහු අම්මා දෙස මොහොතක් බලා සිටියේ ය.ගැහැනු ළමයෙකු කෙරෙහි ආකර්ෂණයක් ඇති බව මිතුරෙකුට කියනවාට වඩා ඔහුට විශ්වාස අම්මාට කීම ය.අක්කා ඒ කතාව ආයුධයක් ලෙස පාවිච්චියට ගන්නට ඉඩ ඇතත් අම්මා හේතු විරහිතව ඔහුට සවන් දෙන බව සඳරැස්ට විශ්වාස ය.

“මම ඉතින් කොහොමත් හඳ එළියනෙ අම්මා.මොකටද අතට ගන්නෙත්..”

සඳරැස් එසේ කියමින් දැනෙන අපහසුතාවය පාලනය කරන්නට උත්සාහ කළේ ය.නමුත් අම්මා සමඟ එවැනි මාතෘකා වලින් බේරී යාම ද පහසු නොවේ.ඇය දරු දෙදෙනා පමණක් නොව මෝක්ෂව පවා ඉතා ඉක්මනින් කියවා ගන්නට සමතියකි.මෝක්ෂ අයියා මේ පුස්තකාල කාමරයට වී ආදරය වෙනුවෙන් හැඬූ හිනැහුණු අවස්ථා කොපමණදැයි සඳරැස් සිතී ය.ප්‍රේමවන්තියක හමුවන ඕනෑම මොහොතක අම්මා සොයා පැමිණ ඇයට ඒ ගැන කියන්නට තරම් මෝක්ෂ ද ඔහුගේ මේකලා නැන්දාව විශ්වාස කරයි.

සඳරැස් කතාව කියන්නට අර අඳින්නට විය.අම්මාගේ ජංගම දුරකථනය නාද වන්නට පටන් ගත්තේ ය.

“පිටරට ඉන්න අම්මගෙ ෆෑන් කෙනෙකුට දැන් වෙලාව රෑ දොළහයි විස්සයි කියල අමතක වෙලා..”

සඳරැස් හිනැහෙමින් එසේ කියා නැවත පොතකට ඇස යොමු කළේ ය.ඇතැම්විට අම්මාගේ ඔය දුරකථන සංවාදය පැය දෙක තුනකට දික් ගැසෙනු ඇත.දුරකථන ඇමතුම විදෙස් අංකයක් නොවන හන්දා මේකලා එයට පිළිවදන් දෙන්නට මඳක් කල් මැරුවා ය.

“පුතා මේක රෝන් නම්බර් එකක්ද බලන්න..”

සඳරැස් ඒ ඉල්ලීම පිළි ගත්තේ ය.එහා ඉම ඇති වැදගත් කටහඬ අම්මාව විමසයි.ඔහු අම්මා අත දුරකථනය තැබුවේ ය.

“මේකලා..”

තාරකා සිය දහස් ගණනක් පොලොවට කඩා වැටෙන වගක් මේකලාට දැනිණ.ඇය වීදුරු ජනේලයක් විවර කරගෙන සඳැල්ලට ගියේ අසිහියෙන් වාගේ ය.පොළෝ මට්ටමට සැකසුණු ජනේල විවෘත කරගෙන සඳැල්ලට යාම අරුමයක් නොවුණ ද අඳුරට බිය අම්මා අඳුර වෙත යාම සඳරැස්ට අමුත්තක් රැගෙන ආවේ ය.ඔහු වහා සඳැල්ලේ විදුලි බුබුළ දැල්වූයේ ය.විදුලි ආලෝකය නැතිව අඳුරේ සිටීමට උවමනා බව පුතුට කෑගසා කියන්නට මේකලාට සිතෙයි.තමන් පනස් විය ද ඉක්මවු ගැහැනියක බව අමතකව ගිය ඇගේ හදවත විසි වයස් කෙල්ලකගේ රිද්මයෙන් ගැහෙන්නට පටන් ගෙන තිබිණ.ඇමතු පුද්ගලයා තවම අනන්‍යතාවය හෙළි නොකළ ද ඇය සිටියේ වචන අමතකව ය.

ඒ ඔහු ය! ඔහු නම කියන්නට ද අවශ්‍ය නොවේ.සුසුමක් හෙළීම පවා ප්‍රමාණවත් ය.පපුවට අත තබා ගත් මේකලා කිසිත් නොකියා අසා හුන්නා ය.

“මේ මහ රෑ ඇහැරෙව්වට සමාවෙන්න.ඒ කතා කළේ සඳරැස් ද?”

ඔහු අසයි.දුරකථනය විසන්ධි කළ යුතු වුව ද මේකලා ඔහේ අසා හුන්නා ය.තමන් නින්දේ නොවූ බවත් ලියමනෙහි සිටි බවත් කියන්නට තොල් සෙලවූව ද වචන පිට නොවේ.

“ඔයා මාව අඳුනා ගන්න නැතුව ඇති මේකලා.කටහඬින් අඳුනන්න මම ජෝතිපාල නෙවෙයිනෙ.”

ඔහු එසේ කියයි.මිතුරන්ගේ ජංගම දුරකථනවලින් අතීතයේ ඇමතූ තරුණයෙකු සිහිව එද්දී සුසුමක සරින් ඔහු හඳුනා ගන්නට මේකලාට හැකි වෙද්දී අද ඔහු මෙසේ අනුවණ කතා පැවසීම ද විහිළුවකි.

“මහේන් බව මම දන්නව.”

වයස්ගත කටහඬ පවා හඳුනා ගත්තේ කෙසේදැයි මහේන් නෑසුවේ ය.ඔහු ඒ වෙනුවට තත්පරයක නිහැඬියාවක් රකින්නට විය.මේකලා හා එක්ව මිස මේ ගැටළුව නොවිසඳිය හැකි බව ඔහු දනියි.එය ඔහුට මහත් අසීරුවක් ඇති කළ ද තවදුරටත් මුනිවත රකින්නට ද නොහැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here