අන් අය නිතරම සමච්චලයට ලක් කළ තරුණියට සිදු වූ ඛේදවාචකය

“ඊයා මොකද්ද ඔය ඇඳගෙන ඉන්නේ?”

චාමර එහෙම අහනකොට උවනි චාමර දිහා බැලුවේ අප්‍රසාදයකින්.කැමති ඇඳුමක් අඳින්න ඕනෑම කෙනෙකුට නිදහස තියනවා.අනිත් කාරණාව මේ ඇඳුම ප්‍රශ්නයකට බඳුන් විය යුතු ඇඳුමක් නොවන බව ඇය දන්නවා.ඉතින් එහෙම ඇසීමේ තේරුම මොකක්ද?

“මෙයාලා මේ කොල්ලො අල්ලගන්නනෙ මෙහෙම අඳින්නේ”

විජිනි එහෙම කියාගෙන එතනට එනකොට උවනිට ඇති වුණේ දරාගන්න බැරි කේන්තියක්.චාමරට දෙන උත්තරය හිතමින් ඉන්නකොට විජිනිත් ඔහුගේ පැත්ත ගැනීම හරිම නරක බව ඇයට හිතුණා.

“කැත කතා කියන්න එපා.”

උවනි කාර්යාලීය මිතුරියට කිව්වේ කෝපයෙන්.නමුත් විජිනි එය නෑසුණු ගානට හඬනගා හිනාවෙන්න ගත්තා.ඊට පස්සේ ඇය කියපු කතාව නිසා තමන්ගේ කෝපයට කොහොමත් සීමා නැති වෙයි කියලා උවනිට හිතුණේ.

“කොල්ලන්ට විහිළු කරන්න හිතෙන විදිහට ජීවත් වෙනවට ඔයාලටත් හොඳ වැඩේ.”

කවුරුවත් කාටවත් විහිළු කරන්නේ ඇයි කියලා උවනිට තේරෙන්නේ නෑ.මිත්‍රත්වය වෙනුවෙන් බොහොම සුන්දර සරදම් කර ගැනීම එක් කාරණාවක්.නමුත් අඳින ඇඳුමක් ගැන ජීවිතයේ සමහර දේවල් ගැහැනිය පාගා දාන්න පිරිමින්ට හිතෙන කාරණාව තේරුම් ගන්න ඇයට අමාරුයි.ඒ කාරණාව කොහොමහරි තේරුම් ගත්තත් ඔවුන්ට එකතුවෙලා අනිත් තරුණියන්ට හිනාවෙන විජිනි තේරුම් ගන්න උවනිට කොහොමටත් බෑ.

මීට පස්සෙ ටිකක් කොටට අඳින්නේ නෑ කියලා උවනි හිතුවේ නැහැ.නමුත් මීට පස්සේ මේ වගේ තැනකදි මීට වඩාත් සැරට කතා කරනවා කියලා ඇය හිතාගත්තා.

ඒ එක දවසක්.

දිවා ආහාර ගන්න වෙලාවේ ජීවන් මහ හයියෙන් වාදනය කරමින් හිටියේ තරුණ නිළියකට රූපවාහිනී වැඩසටහනකට සිදුවුණු යම් වරදක්.ඒක හෝද හෝදා මඩේ දැමිය යුතු දෙයක් නෙමෙයි.දවස් ගාණක් පරණ කතාවක්.

“මේ..මෙයාගේ වීඩියෝ එකක් ලීක් වෙලාද?”

විජිනි එහෙම අහනකොට උවනි සහ මිතුරියන් මුහුණට මුහුණ බලා ගත්තා.එවැනි කාරණාවක් සිදුවෙලා ඇති බව ඔවුන් දන්නේ නැහැ.නමුත් විජිනි තමන්ට වඩා දේවල් දන්නවා කියන එක ඔවුන් හොඳටම දන්නවා.එහෙම දේවල් නම් වෙලා නැති බව කවුදෝ කියනකොට විජිනි පාරේ ඉන්න සාස්තර  ආච්චිලාට වඩා හොඳට සාස්තරයක් කියන්න පටන් ගත්තා.

“එහෙනම් ලඟදිම එහෙම එකක් වෙනවා.බලන්නකෝ.තියන නැටිල්ලට ඔය ගෑනි එහෙම එකක් කරගත්තේ නැත්නම් තමයි පුදුම.”

කටකාර ලෙස කතා කිරීමත්, පෙම්වතකු අත්හරින්නට තිබූ හේතු කාරණා ගැන පැහැදිලිව රූපවාහිනී වැඩසටහනක පැවසීමත් ඇයව ලිංගික ශ්‍රමික කාන්තාවකට සමාන කරමින් බොහෝ දේ කියන්නට හේතුවක් ද කියලා උවනි කල්පනා කළා.කිසිම කෙනෙක්ව ඒ ආකාරයට විනිශ්චය කරන්නේ කොහොමද? හරියට නොදන්නා ගැහැනුන්ට පවා මේ විදියට ලෙහෙසියෙන්ම නරක කතා කියන්නේ කොහොමද කියලා විජිනිගෙන් කෙලින්ම අහන තරමට තරහක් උවනිට ඇතිවෙනවා.

“ඔයාලට හිතෙන්නෙ නැද්ද එයාට ඕන කොල්ලො අතර වීරවරියක් වෙන්න කියලා.”

නදී එහෙම ඇහුවේ විජිනිට නෑහෙන්න.යාළුකමට ගැහැණු පිරිමි කියලා භේද තිබිය යුතු නැති බව ඇත්ත.හැමෝටම හොඳ යාලුකම් ඕනෑ තරම් තිබෙනවා.නමුත් ගැහැනුන්ගේ මොකක් හෝ වරදක් හොයාගන්න පිරිමි මිතුරන් කිහිප දෙනෙක් එක්ක උදේ රෑ නැතුව හිනාවෙන විජිනි ගැන මිතුරියන්ට ඇතිවුණේ අනුකම්පාවක්.

රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙන කෙනෙක්,ගී ගයන රියැලිටි තරුවක්,අලුත් රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි,කාර්යාලීය මිතුරියකගේ ඉඳලා මහා මාර්ගය හමුවන ගැහැණු ළමයෙක් දක්වාම විජිනිගේ නිර්දය විවේචනයට භාජනය වුණා.ඒ හැම අවස්ථාවකම ඒ අය ගැන විහිළු කරන්න මිතුරන් වත් සහභාගිකර ගන්න ඇය අමතක කරන්නෙම නැහැ.

“ෆේස්බුක් එකේ තියෙනවා දැන් ගෑනු මොනතරම් මෝඩයිද කියලා පෝස්ට් එකක්.”

චාමර එහෙම කෑගහලා කියනකොට කාටත් හයියෙන් හිනාවෙන්න පටන් ගත්තු විජිනි මිතුරියන් දිහා සමච්චලයට බැලුවේ තමන් ගැහැණියක් කියන එක අමතක කරලා.

“ඇයි දැන් මිනිස්සුන්ගේ අයිකිව් එක එන්න එන්න අඩු වෙනවද?”

එරන්දි නම් එහෙම අහන ගමන් තමන්ගෙ රාජකාරිය කළේ චාමරව සත පහකට ගණන් ගන්නේ නැතුව.චාමර සමච්චලයට ලක් වුණාද කියන හැඟීමෙන් වැඩිපුරම රිදුනේ විජිනිට.

“මේ පෝස්ට් එක ඔයා දකින්න නැතුව ඇති.තිබ්බේ ඇත්ත තමයි.දැන් ගෑනු අයට හැමදේටම හස්බන්ඩ්ගේ සපෝට් එක ඕනි.කඩේ යන්නත් ඕනි හස්බන්.උයන්නත් උදව් වෙන්න ඕන.බබෙක් හම්බෙන්න ඉන්නකොට ඒ මනුස්සයව දාසය කරගන්නවා.ඔය මොකුත් විකාර ඉස්සර තිබ්බේ නෑනේ.දැන් ගෑනුන්ට අමුතුම පිස්සුවක් හැදිල තමයි.”

විජිනි විස්තර කරගෙන යනකොට විවාහය ගැන දන්නෙ මොනවද කියල අහන්න තරම් කේන්තියක් උවනිට ආවා.ඊටත් වඩා විජිනි ගැන අනුකම්පාවක් දැනෙන්න ඊළඟ මොහොත හේතු වුණේ ඇය කියපු ඊලග කතාව නිසා.

“ජොබ් කර කර ලොකු සීන් දාන්න නෑනෙ ගෑනියක් උනාම කතාවෙන් පස්සේ ගෙදර නවතින්න ඕන.”

කාන්තා විමුක්තිය ගැන කතා පසෙකින් තිබ්බත් මේ කාලේ ආර්ථිකයේ හැටියට රස්සා දෙකක් කරන්න තිබ්බනම් හොඳයි කියලා උවනි හැමතිස්සෙම හිතන්නේ.තමන් රස්සාවක් නොකර ගෙදරට වෙලා ගෙදර වැඩ බලාගෙන හිටිය නම් සමීරට ජීවිතය මොන තරම් අපහසු වෙයිද කියලා හිතන්නවත් උවනි කැමති නැහැ.නමුත් රැකියාව කියන්නෙත් වෙහෙසකර දෙයක්.ඒ ගැන සමීර හොඳින්ම දන්නවා.ගෙදරදි උවනිගේ වැඩ සමීරගේ වැඩ කියලා කිසිම දෙයක් වර්ග කරලා නැත්තේ ඒ නිසාමයි.චාමර මේ කියවන විදිහට ඒක කවදාවත්ම සමීරට පීඩාවක් වෙලා කියලා නම් උවනිට දැනිලා නැහැ.එහෙම වෙන්න ඉඩ නොමැති බව ඇය දන්නවා.

 “එක එක තැන්වල දී ෆේස්බුක් එකේ වික්ටිම් වෙලා ඉන්න ගෑනු ළමයින්ට හිනා වෙන්න එපා කියලා විජිනි ට කියන්න තරම් මට හිතෙනවා.”

සමහර වෙලාවට එරන්දි එහෙම කියන්නේ බොහොම කේන්තියෙන්.බලු වලිගේ ඇදය උණ පුරුකේ දාලා අරින්න බැරි බව කියමින් අනිත් මිතුරියන් ඇයව වළක්වනවා.නමුත් බලු වලිගයටත් ඇද අරින දවසක් එන බව ඒ කවුරුත්ම හිතාගෙන හිටියේ නැහැ.

දවසක් කාර්යාලයට එනකොට පිරිමි පාර්ශවයේ අය හිටියේ තැන තැනට වෙලා හිනාවෙමින්.”කෝ විජිනි”කියලා අහන හැමෝගෙම කටහඬ සමච්චලයට බර වෙලා තිබුණු බව කාටත් තේරුම් ගියා.ඒ ඇයි කියන කාරණාව දැනගත්තේ නදීගෙන්.

“විජිනි බෝයි ෆ්‍රෙන්ඩ්ට යවපු ෆොටෝ වගයක් ඒ මනුස්සය ඉන්ටනෙට් එකට දාලා”

ඉතා නරක විදියට රැවටීමට ලක් වූ ගැහැනුන්ට විජිනි පහුගිය කාලේ හිනා වුණු හැටි  උවනිට මතක් වෙන්න පටන් ගත්තා.ආදරයේ නාමයෙන් සහ විශ්වාසය නාමයෙන් ගැහැණු රැවටීමට ලක් විය හැකි බව පැහැදිලි කරලා දෙන්න දරපු හැම උත්සාහයකදී ම විජිනි ඒවා ප්‍රතික්ෂේප කරමින් හිනාවුණු හැටි උවනිට මැවී පේන්න පටන් ගත්තා.කාලයක් ගිහිල්ලා ඒ සිදුවීම් සමහරුන්ට අමතක වෙන වෙලාවටත් ඒ ගැන පළ වුණු සමහර ෆේස්බුක් සටහන් විජිනි නැවත ශෙයාර් කරන අන්දම වගේම, ජීවිතයේ සමහර තැන් වැරදීම් වලට ලක්වෙලා ඉන්පසු ඉතා දක්ෂ ලෙස නැගී සිටි රංගන ශිල්පිනියන්ගේ ජයග්‍රාහී තැන්වල පරණ සිදුවීම් ගැන කමෙන්ට් කරන්න අමතක නොකරන විජිනි සිහිපත් වෙනකොට මේ වුණු දේ ගැන හීන් සතුටක් පවා දැනෙන බව නදී කිව්වේ සමාව අයදින හඬකින්.

“විජිනි මොනවා කරගනීවිද?”

ඒ ප්‍රශ්නය මිතුරියන්ට ඉතුරු වුණා.අනිත් අයට හිනා වෙමින් හිටපු අය මේ වෙලාව මොන විදිහට දරා ගනීවිද?

“එයා අපට හිනා වුණු බව ඇත්ත. ඒ හිනාවෙන වටින්නේ නැති හරි පුංචි හේතුවලට.එහෙමයි කියලා එයා අමාරුවේ වැටුණු වෙලාවේ අපි එයාව තනි කරන්න හොඳ නෑ.”

ඒ අන්තිම තීන්දුව ආවේ එරන්දිගෙන්.මේ මොහොත දරාගන්න විජිනිට උදව් නොකළොත්,ගත යුතු නීතිමය පියවර ගැන ඇයට පැහැදිලි කරලා නොදුන්නොත් බොහෝ නරක දේවල් සිද්ද වෙන්න ඉඩ ඇති බව හැමෝටම තේරුම් ගියා.

“වැරදි හදාගන්න හැම කෙනෙකුටම අවස්ථාවක් දෙන්න ඕනේ.අපි ඒක විජිනිටත් දෙමු.”

මිතුරියන් පිරිස එහෙම කතිකා කර ගත්තේ විජිනි බලන්න ඉක්මනින්ම යන්න සූදානම් වන අතරමයි 

More Stories

Don't Miss


Latest Articles