කදෝකිමි ඇස් -අවසාන කොටස

0
4657
කදෝකිමි ඇස්

සඳරැස් කාමරයට පැමිණියේ ද ආරණ්‍යාගේ අතක් අල්ලා ගත්තේ ද කම්පනයක් රැඳුණු මුහුණකිනි.ඔහු අක්කාගේ ජංගමය අතට ගෙන එය ඈ අතින් තැබුවේ ය.

“මේඝ අයියා කතා කරා.ලක්ෂි ආන්ටි..”

සඳරැස් එතැනින් කතාව අවසන් කළේ ආරණ්‍යා සියල්ල වටහා ගත් නිසා ය.ආරණ්‍යා කලබලයෙන් දුරකථනය අතට ගත්තා ය.ඒ මොහොතේ ජාලිය ඇයට සමීප වූයේ දිය යුතු හොඳම අවවාදය සමඟ ය.දියණියකට කළ යුතුම දේ පවසන්නට තාත්තා හැර කිසිවෙකුත් හිඳීදැයි ආරණ්‍යාට සිතුණේ ඒ මොහොතේ ය.

“පුතා,මේඝ දැන් ඉන්නේ කම්පනයෙන්.අම්මාට ඔච්චර ඉක්මනින් ඔහොම දෙයක් වෙයි කියල එයා හිතන්න නැතුව ඇති.ඒ නිසා මේඝගේ ඒ කම්පනය දරා ගන්න ඔයා උදව් කරන්න.”

ආරණ්‍යා දුරකථනය අතට ගෙන නැගී සිටියේ තද හුස්මක් ගන්නා අතර ය.ජාලිය සඳරැස් දෙස බැලුවේ ආරණ්‍යාට කියන්නට අමතකව ගිය කාරණාව ඇයට කියන්නට ය.

“චූටි පුතා,මෝක්ෂ අයියටත් කතා කරන්න.අපි දැන් එහෙට යන්න ඕන.මේඝටත් මහේන්ටත් ඕන තරම් සෙනඟ ඇති.ඒත් දැන් ඒ අපේ පවුලෙ අය.තමන්ගෙ මිනිස්සුන්ට කරදරයක් වුණාම අපි එතන ඉන්න ඕන..”

ආරණ්‍යා නෙතට උනා ආ කඳුළු පිස දා ගත්තා ය.ඒ අප්පච්චිගේ කැමැත්ත ලැබුණු අන්දම ය.අප්පච්චි සමහර කාරණා විසඳන්නට අම්මා තරමට වචන වැය නොකළ ද ඔහු සතුව ඕනෑම ප්‍රශ්නයට පිළිතුරු ඇති අන්දම ආරණ්‍යාටම විමතියක් ඇති කරන තරම් ය.

නමුත් තාත්තා කෙනෙකු කියන්නේ එහෙම මිනිසෙකුට ය.

සත් වසරකින් ඉනික්බිති

ආරණ්‍යා කැන්දාගෙන එන්නට මේඝ තැනූ නිවස ප්‍රීතිය සහ සොම්නස උතුරා යන එකක් වී තිබිණ.ආරණ්‍යා උදෑසනම අමතා පැවසූ කාරණාව අසා මේකලා හුන්නේ හුස්මක් ගන්නට ද අමතකව ය.දියණිය මීට වසරකටත් පෙර දවසක මේඝගේ අත ගත්ත ද ඈ මේකලාට තවම කුඩා දියණියකි.එහෙත් ඇය වැඩුණු ගැහැනියක බව මේකලාට දැනෙන්නේ දැන් ය.

“අම්මා..ඔයාට ලැබෙන්න යන හොඳම අවෝඩ් එකක් ගැන කියන්න කතා කරේ.ඔයා අත්තම්මා කෙනෙක් වෙලා.”

ඒ ආරංචිය ඕනෑම මොහොතක වචන ගලා එන මේකලා ගොළු කරන්නට සමත් වී තිබිණ.ආරංචිය ඇසූ මොහොතේ ජාලිය කඳුළු පිස දා ගන්නා අන්දම බලා සිටි මේකලා ඔහු ආරණ්‍යාගේ ආගමනය අසා එලෙසම දෑස් රත් පැහැ කරගත් දවස සිහි කළා ය.ජීවිතය එහෙම ය.තාත්තලා සීයලා බවට පත් වේ.දියණියන් වැඩුණු ගැහැනුන් බවට පත් වේ.කාලය එහෙව් අරුමයන් කරන්නේ මහත් ප්‍රියතාවයකිනි.

එදින සවස පවුලේම උදවිය කැඳවා කුඩා සාදයක් පවත්වන තරමේ සතුටකින් මේඝ පිරී සිටියේ ය.ඔහු ද සඳරැස් ද සමඟ නොයෙකුත් කතන්දර කියවමින් හිඳින ආරණ්‍යා දෙස මේකලා බලා සිටියේ එක්දාස් එක්වැනි වතාවට ද ඉනු සතුටු කඳුළ පිස ගන්නා අතර ය.අතීතය අතීතයකි.ජාලිය මහේන් සමඟ කතාබහ කරන්නේ රටේ දේශපාලනයේ ඉදිරි ගමන ගැන ය.අරගලයකට පසු ගොඩනැගුණු රටේ ඉදිරිය ගැන කතා කරන්නට ඔවුන්ට ඕනෑවටත් වඩා දේ තිබේ.

“මෝක්ෂ අයියත් ඉන්න තිබ්බෙ.”

සිනමා කර්මාන්තය ගැන වැඩ්දුර හදාරන්නට යුරෝපයට නික්ම ගිය මෝක්ෂව සිහි කරමින් ආරණ්‍යා බිනරි වටා දැවටේ.ආරණ්‍යාට ලැබෙන්නේ දියණියක බවත් ඒ දියණිය වඩා ආදරය කරන්නේ ලොකු මාමාට බවත් පවසා මෝක්ෂ එවූ දිගු ඊමේල් පණිවිඩය කියවන වාරයක් පාසා හැඬෙන්නේ ඇයි දැයි ඇයම නොදනී.නමුත් ඇයට හඬන්නට උවමනා ය.නමුත් ජීවිතය වඩා සුන්දරව ද යහපත්ව ද ගොඩ නැඟෙන්නට මෝක්ෂ ඈ වෙනුවෙන් කළ කී දෑ සිහි වෙද්දී හඬනවාට වඩා ඇය හිනැහෙයි.

“අම්මා ළමයි හදා ගත්තට ඒ ළමයි හචිමක් ඇරියත් මළ කරදරයක් තිබ්බෙ මට.ඒ කරදරේ ආයේ ආයේ වෙන එකයි මට තියන වේදනාව.”

බිනරි එසේ කියන්නේ ආරණ්‍යාගේ කැමතිම සලාදය හදන අතර ය.ඇය හිඳින්නේ ද මේ ජීවිත මෙතරම් සැනසිල්ලට පත් වීම ගැන සතුටිනි.සැනසීමෙනි.

“මහේන් අයියා..”

ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස මහත් කීර්තියක් අත් කරගෙන හිඳින මේඝ ඔහුගේම සැලසුමකට අනුව සිදු කළ නිවසේ පුළුල් බරාඳයට වී හිඳින මහේන් හැරී බැලුවේ මේකලාගේ හඬ ඇසී ය.

“කෝපි එකක්..”

රෑ කෑමට තව කල් තිබේ.ඇය දුන් කෝපි කෝප්පය ඔහු ලබා ගත්තේ සිනාමුසු මුවිනි.කාලය ජීවිත පරිණත කර ඇත.කුළුදුල් මුණුබුරු සිහිනයේ ගිළුණු යුවල අතීතය අමතක කර දමන්නට නිහඬ ගිවිසුමකට පැමිණියා මෙන් ය.

“සුදු දූ හරි කැමතියි මහේන් අයියා මෙහෙ නතර වෙනවනම්..”

තනිව නිවසේ හිඳින මහේන් ගැන මේඝ පමණක් නොව ආරණ්‍යා ද තැවෙයි.මේකලාට ප්‍රාණසරි ප්‍රේමයක් දෙන්නට පුතු ද සැමියා ද හිඳියි.වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්නා සඳරැස් ජීවිත ගමන එක්ව යන තාරකාවක් සොයාගෙන අහවර ය.මේකලාට තනිකමක් නොදැනේ.තනිකම ඇත්තේ මහේන්ට ය.

“ආරණ්‍යා මගේ දුව තමයි දැන්..ඒකි මට ආදරෙයි”

කළුවර අතර එහෙමෙහෙ යන කදෝකිමියන්ගේ ආලෝක පුළිඟු දෙස බලමින් මහේන් කියන්නේ සිනා අතරිනි.මේකලා එයට අභියෝගාත්මක සිනාවක් නැඟුවා ය.ඉතා අතීතයේ දිනෙක මහේන් එන මඟට වී බලා හිඳ නඟන සිනාවට වඩා ඒ සිනාව සුන්දර බව මහේන්ට සිතේ.එය එතරම් නිවුණු සිනාවකි.

“මේඝ මගේ ලොකු පුතා.ඒකෙත් වෙනසක් නෑ.සුදු පුතා චූටි පුතා තරමටම මගේ දරුවා.”

අතීතයේ දවසක දියණියක ආරණ්‍යා විය යුතු බවත් පුතු මේඝ විය යුතු බවත් පොතක පිටුපස ලියූ පරිසරයට අප්‍රමාණ ආදරයක් ඇති දැරියක මහේන්ට සිහිව ඒ.ඇය මේ භවයේ හිමි නොවිණ.එහෙත් මේඝට අනාගත භවයක් ගැන සිහිනයක් දැනේ.ආරණ්‍යා තුරුළට ගෙන මොනවාදෝ කියමින් හිනැහෙන ජාලිය දෙස බැලූ ඔහු වහා ඒ අදහස වෙනස් කර ගත්තේ ය.

“මම හිතන්නෙ අපි ජීවිත කාලෙම කරපු හැම ආදරයක්ම ඔය එන්න ඉන්න ආදරේට පරාදයි.බලන්නකො.අපි එයාගෙ ආදරේ දිනාගන්න ඉස්සරහට දඟලන විදිය..”

ජීවිතය අප බලාපොරොත්තු වන දෙය ලබා දෙන්නේ එහෙමත් වෙලාවක ය.නමුත් ඒ ලැබෙන දේ ඊට වඩා ඉතා සුන්දර වන අවස්ථා ඕනෑවටත් වැඩි ය.මේ එහෙම කතාවක් බව සිතමින් මේකලා පුටුවකට බර වූයේ සැනසුම් සිතකිනි.

ප්‍රේමය කදෝකිම් එළියක් වී දැල්වීම පවා සෑහේ!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here