කදෝකිමි ඇස් -54

0
3323
කදෝකිමි ඇස්

මේඝ නික්ම ගියේ මේකලා සැහැල්ලුවක ද මහා බරක ද අතැර දමා ය.ආරණ්‍යාට හොඳ ප්‍රේමවන්තයෙකු ලැබී ඇතැයි සිතද්දී ඇයට දැනෙන්නේ සැහැල්ලුවකි.නමුත් ඒ මේඝ වීම ද ඔහු දැන් මේකලාට අම්මා කියන තරමට සමීප වීම ද මේකලාගේ හිත බර කරන්නට සමත් ය.තමන් ආදරය කරන තරුණයා හිමි වීමේ සංතෘෂ්ඨිය දියණියට හෝ ලැබීම ම ඇයට එක්තරා අන්දමක ජයග්‍රහණයකි.නමුත් ඒ ජයග්‍රහණය සම්පූර්ණයෙන් ම ඇයට හිමි වී නොතිබිණ.ජාලිය සමඟ මේඝගේ හමුවීම ගැන කතා කරද්දී මේකලාට ඒ බව වැටහිණ.

“මම ඒ යෝජනාවට අකමැති.”

ජාලිය ඔහුගේ අකමැත්ත එක එල්ලේම පැවසී ය.ජාලියගේ මේ වචන ඇසුණේ නම් ආරණ්‍යා මේඝට අකමැති වන්නට දෙවතාවක් නොසිතන බව මේකලා දන්නී ය.ඇය එපමණකට අප්පච්චිට සමීප ය.ඔහුගේ සතුටම පතන්නියකි.

“ඔයත් තාත්තට ඔච්චර ආදරේ කරානම් මහේන් මත්තෙ නැහි නැහී තාත්තට දුක් දෙන එකක් නෑ.”

ආරණ්‍යා සහ ජාලිය අතර වන අසීමාන්තික ආදරය ගැන කෝප ගන්නා සමහර මොහොතක මේකලාට ඇගේ අම්මා එසේ පැවසුවේ එනිසා ය.මහේන් ගැන සිතමින් හඬමින් විනාශ වී ගියේ තමන් පමණක් නොවන බව මේකලාට සිතෙන්නේ එවන් මොහොතක ය.

“ඔයා අකමැති වුණොත් සුදු දූ ඒකට කොහොමටත් අකමැති වෙනවා.”

මේකලා ජාලියට පැවසුවේ උස් ස්වරයකිනි.ඈ උස් ස්වරයකින් යමක් පැවසූ විට එයට නිහඬවම එකඟ වීම ජාලිය වසර ගණනාවක සිරිතක් කරගෙන සිටියේ ය. මේ එවැනි මොහොතක් නොවේ.

“මහේන් වගේ ඕනෑම වෙලාවක මේඝටත් වෙනස් වෙන්න පුලුවන් කියල ඇයි ඔයා නොහිතන්නෙ”

ජාලිය අසන්නේ සැරෙනි.මේකලා ඔහු හා විවාහ වද්දී මොනතරම් බිඳුණු රිදුණු කෙල්ලකදැයි ඔහුට අමතක නොවේ.වේදනාවත් එනිසාම ය.

“එයාට මේඝව නැති කරලා ඔයා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ.ජීවිතේ පුරාම බොරුවට හිනා වෙන්න සිද්ධ කරන එකද? බොරුවට රඟපාන්න සිද්ධ කරන එකද? එහෙම නැත්නම් මොකක්ද? සැනසීමෙන් ජීවත් වෙනවා කියලා රඟපාන්න වෙන එකම මොන වෙහෙසක් කියලද ඔයා හිතන්නෙ..”

ජාලිය මේකලාගේ මුහුණ දෙස බලා සිටියේ වේදනාවෙනි.දුර නෑකම ද පවුලේ හිතවත්කම ද හන්දාම ඔහු යොවුන් මේකලා ගැන අපමණ බලාපොරොත්තු තබා ගත් අතීතයක් තිබේ.ඈ මහේන්ට දිවි දෙවැනි කර ආදරය කරන බව දැන ගත් මොහොතේ හිත හදා ගත් අතීතයක් ද තිබේ.

“දූ කැමතියි ඔයාව බඳින්න පුතේ.”

ඒ වචන කිහිපය මේකලාගේ අම්මාගේ මුවඟින් හදිසියේ නැඟුණු මොහොතේ අප්‍රමාණ ප්‍රීතියක් වින්දාට වඩා කල්පනාකාරීව කටයුතු කළා නම් මීට වඩා සර්ව සම්පූර්ණ ජීවිතයක් හිමි වන්නට ඉඩ ඇති බව ඔහුට නොසිතෙනවා නොවේ.නමුත් දියණිය මේකලා මෙන් හිතට විරුද්ධව ජීවත් වීම පවා ඔහුට ඉවසිය හැකි ය.අසීරු වන්නේ මේඝගේ රැවටීමකට දියණිය හසු වේදැයි බියට පත් වීම ය.

“මට ඇත්තටම තියන බය මේ විදියට ළං වෙන්න යන එකෙන් ආපහු ඔයාවත් අවුල් වෙයි කියලා.”

මේකලා ආදරය කළ ද නොකළ ද ඇයට ආදරය කිරීම තම යුතුකමත් වගකීමත් කරගත් ජාලිය එසේ කියන්නේ සංවේගයෙනි.නමුත් මේකලා නොසැලී බලා සිටියා ය.

“මං අවුරුදු පනස් ගාණක ගෑනියෙක්.ආපහු මහේන්ට ආදරේ කරන්නෙ නෑ මම..”

එසේ පැවසූ ඇය ජාලියගේ දෑස දෙස බලා සිටියේ එක එල්ලේ ය.

“ආදරේ නැති තැනක ගෑනු රැඳෙන් නෑ ජාලිය.මං ඔයාට ආදරේ නෑ කියන අදහස දැන්වත් අමතක කරන්න.ඔයාට මං ආදරේ නිසයි මං ආයේ කිසිම කෙනෙකුට ආදරේ නොකළේ.මං ඔයාට ආදරේ නිසයි මං පණ යනකං බේත් බිබී දරුවෙක් හදාගන්න දැඟලුවේ.මං ඔයාට ආදරේ නිසයි මෙහෙම ජීවත් වෙන්නෙ..”

එතැනින් එහා මේකලාගේ වචන කතා නොකළේ ය.ඉකි ගසමින් හඬන ඈ තුරුලට ගත් ජාලිය නිරුත්තරව බලා හුන්නේ ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here