සීත මාරුතේ -53

මා යළි මිස්ට් ෆීල්ඩ් වෙත පැමිණියේ තවකෙකු පුහුණු කරනා තුරු ය යන්න මම ද අසනා සැමකෙකුට පැවසීමි. ඉන් සිදු වූයේ ඒ පුවත තටු ලැබී ඉගිල යාම ය. මුණිවර යළිත් බුම්මට්ටෙකු සේ සිටියේ ය. ඔහු ගේ මූණේ එක සිනහ පොදක් වූයේ නැත. ඊට හිලව්වට ලොකු තාත්තා නම් සතුටේ පරිසමාප්තිය වින්දේ ය. ධාරා ගේ චිත්ත අභ්‍යන්තරය විමසා බලන්නට මට නො හැකි ය. මා යළි පැමිණීම ගැන ඇය තුටු වූවා කියා සිතිය නො හැකි ය. මා නො සිටියා නම් වඩා පහසුවෙන් මුණිවර දිනා ගත හැකි වනු ඇති බව ඇයට දැනෙනා බව මම දනිමි. එවන් සිතිවිල්ලක් ලඝු කොට සිතන්නට තරම් මා පටු සිතිවිලි ඇත්තියක නොවේ. ආදරයේ ඊර්ෂ්‍යාව යනු පහසුවෙන් ආදරයෙන් වෙන් කළ හැකි දෙයක් නොවේ. අප කෙතරම් සිතිවිලි අතින් උසස් වෙන්නට තැනුව ද ඒ ඊර්ෂ්‍යාව වූ කලී සහමුලින් දුරලිය හැක්කක් නොවේ.

මා නැති දින වල දිගටම ධාරා මිස්ට් ෆීල්ඩ් වෙත පැමිණ ඇත. මුණිවර ගේ ආරාධනයකින් තොරව ම ඇය එහි කටයුතු ගැන සොයා බැලීමේ උත්සාහයක් දැරූ බව ලොකු තාත්තා කීවේ ය.

“ඒ උඩැක්කියට පුළුවන්ද මේ වගේ රාජකාරී ගොඩක් කරට අරං කරන්න… වෙසක් කූඩුවක් වගේ කැරකි කැරකි ඉන්නනං පුළුවං”

“අනේ එහෙම කියන්න එපා ලොකු තාත්තෙ. කෙනෙක් දෙයක් හිතුවොත් එක කරන්න බැරි වෙන්නෙ නෑ. මං වුණත් ජීවිතේටවත් හිතුවෙ නෑ මේ වගේ තැනක වැඩ කරන්න මං පුරුදු වෙයි කියල. ඒත් මටත් හිතා ගන්න බැරි විදිහට මං හැම දේම අල්ල ගත්තෙ..එදා මං හිටපු තත්වෙ තමයි අද ධාරා ඉන්නෙ. අපි කැමති කෙනෙක් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න අපිට පුදුම ශක්තියක් ලැබෙනව. ඒක මං අත්විඳපු දෙයක්”

ආදරේ හැටි එහෙම ය. එය මට හා ධාරා ට කියා වෙනස් වන්නට විදිහක් නැත. මා යළි පැමිණියේ අලුත් සුපර්වයිසර් වරයෙකු පුහුණු වන තුරා යයි දැන ගත් පසු ධාරා මා වෙත පැමිණියා ය.

“ඉතිං මන්දාකිණී මාව ට්‍රේන් කරන්න. පිටින් කෙනෙක් ගන්නවට වඩා ඒක හොඳයිනෙ”

“මට ඒකෙ ප්‍රශ්නයක් නෑ අක්ක..මෙතන වැඩ අවුල් වෙනව කියන එක දරාගන්න බැරි නිසයි මං ආයෙ ආවෙ”

“ඔයා එහෙම කරපු එක හොඳයි. මොනා වුණත් අභිෂේක් හොඳටම ස්ට්‍රෙස් වෙලා හිටියෙ මෙතන වැඩ ටිකත් එක්ක”

ධාරා මා සමග හැම තැනට ම විත් වැඩ කෙරෙනා පිළිවෙල ගැන මගෙන් ඉගෙන ගත්තා ය. නමුත් ඇය ට ඒ ගැන ආශාවක් වන බවක් නම් නො පෙනිණ. 

“මොන විකාරයක්ද අනේ මේක…අපි මැරි කළාට පස්සෙ මේව විකුණල දාල මං එයාව ෆ්‍රාන්ස් අරං යනව. අපිට මේ සල්ලි වලින් එහෙ ලස්සන නිදහස් ජීවිතයක් ගෙවන්න පුළුවන්”

වතාවක් ඇය කීවා ය. කී දේ ගැන පසුතැවීමක් දැනෙන්නට ඇත්තේ පසුව ය. ඇය මොහොතක් මදෙස ම බලා හිඳින්නට වූවා ය.

“නෑ මං කිව්වෙ…අභී ට ආයෙ පරණ මතකය එයි කියල හිතන්න අමාරුනෙ. ඔයා දැනටමත් එයාගෙන් වෙන් වෙලානෙ ඉන්නෙ…ඒකයි”

මම මඳහසක් නගා ගතිමි.

“එයාගෙ ආත්මෙ මේ මිස්ට් ෆීල්ඩ් එක. එයාට ආදරේ කරනවනං මුලින්ම මිස්ට් ෆීල්ඩ් එකත් එක්ක ආදරෙං බැඳෙන්න”

මා මිමිණුවේ සුසුමකිනි.

“ඔයා තමයි එයාව නරක් කරල තියෙන්නෙ. දැං මං එයාව මට ඕන විදිහට වෙනස් කර ගන්නං. හැබැයි කොල්ලගෙ හිත දිනා ගන්න බොරුවට හරි මෙතන වැඩ ඉගෙන ගන්නව කියල අඟවන්න ඕන”

ඇය සිය කෙටි දීප්තිමත් ඝණ කොණ්ඩයෙන් දෙකම්මුල් වසා ගෙන කුඩා දැරියක සේ සිනහ වූවා ය. 

මුණිවර කෑමට යත්දී පෙරදී සේ මට එහි යන්නට හිත හදා ගත හැකි වූයේ නැත. ධාරා ඔහු පසු පස දිව ගියා ය. මම ලොකු තාත්තා සමග පසුව කෑමට ගියෙමි. 

“අපේ එකාට මතකෙන් ටිකක් අමතක වුණාට මොළේ නැති වෙලා ගියෙ නෑනෙ ඇක්සිඩන්ට් එකෙන්. ඌ අර උඩැක්කියගෙ අම්මට කියල දැන්ම කසාදයක් කරන්න ලෑස්ති නෑ කියල”

ලොකු තාත්තා මට ඒ බව කීවේ කෑම කමිනි. කිසිදු අලුත් සතුටක් නො දැනෙන සේ මම හිත හීලෑ කර ගෙන සිටියෙමි. නමුත් ‘එහෙම කියලද..’ කියා නො අසා සිටින්නට මට හැකි වූයේ නැත.

“මූ කොහොමත් පොඩි කාලෙ ඉඳලම අහංකාරකම ඉහටත් උඩින් තිබුණ එකානෙ. ඕන දෙයක් වුණත් කවුරු හරි ඕනද කියල අහුවොත් එපා කියල කියන ජාතියෙ මිනිහ. මෙතන තියෙන්නෙත් ඒකමයි කියලයි මටනං හිතෙන්නෙ. මතකෙ නැති වෙලා බව ඇත්ත. හැබැයි අපේ එකා අර උඩැක්කියට වඩා මේ දුවට දැනුත් කැමතියි. ඒක කියාගන්න බැරි මාන්නෙයි තියෙන්නෙ”

ලොකු තාත්තා හයියෙන් සිනහ වූයේ ය. නමුත් මට සිනහ වන්නට හැකි වූයේ නැත. පොතක පිටුවක් පෙරලා දමනවා සේ ජීවිතයෙන් එක සිදුවීමක් මගහැර යා නොහැකි ය. මුණිවරට මතක අමතක වූවාට මට එසේ වී නොමැත.

එදා කෑමෙන් පසු, හරිතාගාර වල මල් පැළ සඳහා රසායනික පොහොර දැමීමේ කටයුත්ත යෙදී තිබිණ. ඒ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා මා සමග හරිතාගාර තුළට යන්නට ධාරා ද පැමිණියා ය. ඔබට කිව යුතු විශේෂ කාරණය නම් කිසිදු අවස්ථාවක ඇය ගැන මගේ හිතෙහි නො රිස්සුමක් හෝ නො සතුටක් අඅති නොවූ බවයි. ළදැරියක සේ අහිංසක ලෙස ඇය මුණිවර ගේ හිත දිනා ගන්නට දරනා උත්සාහයන් හි දී ඇතැම් විට මට සිනා නැගුණේ ය. නමුත් ඒ අවඥාවකට නොවේ. දැරියක ගේ හැසිරීම් ගැන අනුකම්පා සහගත වන ගුරුවරියක ගේ කරුණාවෙනි.

උදේ මල් කඩා තිබුණේ ය. ඒ නිසා හරිතාගාර වල මල් පැළ දරා සිටියේ පොහොට්ටු ය. මල් හට ගැනීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය පොහොර ලෙස එක් කිරීම තුළින් වඩා විශාල මල් නිසි කලට හට ගැනේ. පත්‍ර වලට පොහොර ඉසීම නිසි පරිදි සිදු වේදැයි පරීක්ෂාකාරී වන ආකාරය ගැන මම ධාරා ට කියා දුන්නෙමි. 

“මන්දාකිණි”

මුණිවර ගේ ගෝරනාඩු හඬ කොහෙන් ඇසුණා දැයි සිතා ගත නොහී මම වටයක් කැරකී බැලුවෙමි. ඔහු ඇස් වලින් ගිනි පිඹිමින් අප වෙත එමින් සිටියේ ය.

“කවුද තමුන්ට පර්මිශන් දුන්නෙ පිට අයව ග්‍රීන් හවුස් ඇතුළට අරං එන්න…”

“පිට අය..”

මන්ද්‍ර ස්වරයෙන් විමසමින් මා වට පිට බැලුවේ ඔහු කියන්නේ කවුරුන් ගැන දැයි වටහා ගත නොහී ය.

“පිට අය තමයි. ඇයි තමුන් දන්නැද්ද මෙහෙ වැඩ කෙරෙන ප්‍රොසීඩියර් එක…”

“අභිශේක් ඔය කියන්නෙ මං ගැනද..”

ධාරා මැද්දෙන් පැන්නා ය.

“තමුන් එක්ක මට කතාවක් නෑ. මං ඇහුවෙ මෙයාගෙන්”

“මිස්ට මුණිවර…ධාරා අක්කට ට්‍රේන් වෙන්න ඕන කියපු නිසයි…”

“ට්‍රේන් වෙන්න…මොනවට ට්‍රේන් වෙන්නද…කවුද තමුන්ට කිව්වෙ ධාරාව ට්‍රේන් කරන්නයි කියල…මගෙ ඕඩර්ස් වලට පිටින් වැඩ කරන්නෙ…කවුරු කියලද හිතං ඉන්නෙ…”

“අභිශේක් ඔහොම කෑගහන්න එපා  මන්දාකිණී ආවෙ කාවහරි ට්‍රේන් කරනකල් කියල කියපු නිසයි මං එයාට කිව්වෙ මාව ට්‍රේන් කරන්න කියල..”

මුණිවර අතක් විදා ධාරා කතා කරනු වැළකී ය.

“මන්දාකිණී ඔෆිස් එකට එන්න”

කියාගෙන හෙතෙම අඩි පොළොවේ හප්පාගෙන නික්ම ගියේ ය. මමත් ධාරාත් මුහුණෙන් මුහුණ බලා ගතිමු. ඇය උරහිසක් හකුළමින් මගේ අතක් අල්ලා ගත්තා ය.

“සොරි මන්දි”

“ඉට්ස් ඕකේ”

මම අනිත් අතට හැරී ඉක්මන් ගමනින් මුණිවර ගේ කාර්යාල කුටිය වෙත පැමිණියෙමි. ඔහු මේසය මත තැබූ දෑතෙහි ඇඟිලි පටලා ගෙන හිස පහළට හරවා ගෙන සිටියේ ය. මම දොරකඩ නතර වී මොහොතක් ගත කළෙමි. මුණිවර හිස එසෙව්වේ නැත.

“එක්ස්කියුස් මී”

මම හඬ සවිමත් ව තබා ගනිමින් ඇතුල් වුණෙමි. ඔහු නෙතු නගා බැලුවේ ය. ඒ ඇස් වල කැළඹීමක් මට නිරීක්ෂණය කළ හැකි විය.

“මොකද්ද ඔයා දැං කරන්න හදන්නෙ…”

මා අසුනට බර වූයේ හිත කඩා වැටෙන්නට ඉඩ නොදී ය.

“මං ඔයාට කිව්වද ධාරාට ට්‍රේන් කරවන්නයි කියල…”

“එයා කිව්වනෙ”

“එයා කවුද…ආ…එයාට ඕන හැටියටද මෙතන වැඩ සිද්ද වෙන්නෙ…”

“ඉතිං එයා…මිස්ට මුණිවර මැරි කරන්න ඉන්න කෙනා නිසා…”

ඔහු මේසයට අතින් පහරක් ගසා ගෙන නැගී සිටියේ ය. මගේ හිත ගැස්සී ගිය බව සහතික ය. ඒ මුහුණේ තිබූ කේන්තිය මට වචන වලින් පැහැදිලි කරන්නට බැරි තරම ය. මහද ගැහෙන ලබ් ඩබ් හඬ මට ම ඇසිණ.

“ඔයා මේක හොඳට මතක තියා ගන්න මන්දාකිණී. මං කියන දේ විතරක් කළහම ඇති. ගොට් ඉට්…”

“යස්”

“ඕකේ. නව් යූ කැන් ගෝ”

මම ඉක්මනින් අසුනින් නැගිට එතැනින් නික්ම ගියෙමි. හිතේ තුනී සතුටක් පා වෙවී නො තිබුණා ම නොවේ. නමුත් එය මට නොව වෙනත් සමාන්තර ග්‍රහ ලෝකයක හිඳිනා මගේ ම තවත් ආත්මයකට දැනුණ සතුටක වෙස් ගත්තේ ය. මේ වාගේ කාරණා දැනෙනවා විතර ය. ඒවා කිසි දා ක කිසිවෙකුට විස්තර කළ හැකි විදිහේ හැඟීම් නොවේ.

මුණිවර ධාරා හා විවාහය දැන් ම සිදු නොවන බව පවසා තිබීම හා මේ ආකාරයෙන් ඇය ට මිස්ට් ෆීල්ඩ් හි කටයුතු ඉගැන්වීමට එරෙහි වීම තුළ, ගැහැනු ළමයෙකු වශයෙන් මගේ හදවතට ඉපිළෙන්නට කාරණා තිබුණේ ය. නමුත් ඒ සතුටත්, මා සිය මතකයෙන් අමතක වීම තුළ ධාරා ට සතුටක් දැනීමත් කියන දෙක දෙකක් නොව එකක් යයි අනිත් අතට මම සිතුවෙමි. එවන් අගාධයක් තුළ සතුටු වීම ප්‍රේමයේ සදාචාර සීමාව ඉක්මවා යන්නකැයි මා සේ ම ධාරා ද විශ්වාස කරන්නට ඇත. නමුත් අප දෙදෙනා ම සාමාන්‍ය පෘථග්ජන කෙල්ලන් ය යන සත්‍යය ඉක්ම යන්නට ද අප අපොහොසත් වන්නට ඇත.

හවස අදීශ් දුරකතනයෙන් කතා කළේ ය. මා යළි මිස්ට් ෆීල්ඩ් පැමිණි බව අසා ඔහු පුදුමයට ද සතුටට ද පත් වූයේ ය.

“ඔයා කරන්න ඕන හොඳම දේ ඒක. ප්‍රශ්නෙකින් පැනල ගිහිං හරියන්නෑ. ඒකට ෆේස් කරලයි උත්තරයක් හොයා ගන්න ඕන. අයිම් සෝ හැපි ෆො යූ”

“මං මොනා කරන්නද කියල මට ම තේරෙන්නෑ අදීශ්”

තව අඩ හෝරාවක් යන්නට පෙර මිස්ට් ෆීල්ඩ් හි පිවිසුම් දොරටුව අභියස යයි ඔහු ඇමතුමක් දී කීවේ ය. මා කලබලයෙන් කුටියෙන් පිටතට එන විට කැබ් රථය එහි විත් නතර වූයේ ය. කේක් පෙට්ටියක් සේ පෙනෙන යමක් ගනිමින් අදීශ් සිනහ වෙවී රියෙන් බැස මවෙත ආවේ ය. මගේ හද ගැස්මේ වෙනසක් ඇති වෙන්නට හේතුව නම් මට නිනව් වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles