පියාගේ වැඩි ආදරය නිසා මානසික රෝගී වූ දියණියක්.

දරුවන්ට අතිශය ආදරේ කිරීම හැම අම්මා තාත්තා කෙනෙක්ම කරන දෙයක් .ඒත් මේ ආදරේ ඔවුන්ට අනවශ්‍ය පීඩනයක් වන වේලාවන් තියෙන බව ඔබ විශ්වාස කරාවිද?දරුවන්ගෙ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගහන බනින එක වගේම අවශ්‍ය තරමට වඩා කැපවීමත් පුංචි දරුවන්ට පීඩනය ගෙන එන්න පුළුවන්.

අද මනෝ උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඔබට කියන්නේ එවැනි කතාවක් ගැනයි.

සෙනුරි ශිෂ්‍යත්ව පන්තියේ ඉගෙන ගන්න පුංචි ගෑනු දරුවෙක්.ඉතා ආදරය පිරුණු පරිසරයක ඇය ඇතිදැඩි වෙන්නේ.සෙනුරිට අවශ්‍ය හැමදේම පුංචි කාලෙදි අතටම ලැබුණා.පුංචි සෙනුරි ඉගෙනීමට හරිම දක්ෂයි.සෙනුරිගේ අම්මා මාලතී සෙනුරිගේ උපතෙන් පස්සේ රැකියාවට නොගොස් ගෙදර නතර වෙනවා. තාත්තා වුණු අසේල රැකියාව කරන්නේ විදේශයක.

ආසා කරන හැමදෙයක්ම අතට ලැබෙන, අම්මා තාත්තා අසීමිතව ආදරය කරන පුංචි සෙනුරි ඇත්තටම හරිම වාසනාවන්ත දරුවෙක්.

සෙනුරිගේ ශිෂ්‍යත්ව විභාගයට දෙමසක් තිබියදී අසේල ලංකාවට එනවා.

“මං තාත්ති එක්ක තරහම තරහයි.තාත්තා හුඟක් කාලෙකින් ආවේ..”

ලැබුණු ඔක්කොම තෑගි අහකට තල්ලු කරලා සෙනුරි තාත්තා එක්ක හුරතල් වුණා.

“සුදු මැණික දන්නවද ඇයි තාත්තා ආවේ නැත්තේ කියලා..”අසේල සෙනුරිව වඩාගෙන රවුමක් කැරකෙනවා.මාලතී මේ ආදරය දිහා බලාගෙන ඉන්නේ ආසාවෙන්

“මට ඕන වුණා සුදු දූගෙ විභාගෙ කාලේ සුදු දූ එක්කම ඉන්න.තාත්ති ඒ නිසා කලින් වැකේෂන් ඔක්කොමගෙම වැඩ කළා.දැන් තාත්ති පුතා ගාවම ඉන්නවා.හොඳට පාඩම් කරන්න ඕන හරිද?”

අසේල කියන්නේ පුංචි සෙනුරිව තුරුළු කරගන්න ගමන්.

“අපි එක්සෑම් ඉවර වුණාම නුවරඑළියට ට්‍රිප් එකක් යං..සුදු දූ ආසම ට්‍රිප් එකනෙ..”

මාලතීත් කතාවට එකතු වෙනවා.

තාත්තා ආව නිසා සෙනුරි හිටියේ හරිම සතුටකින්.පාසල් ගිහින් තාත්තා ගෙනාව චොකලට් යාලුවන්ට බෙදන්නත් එයා අමතක කළේ නෑ.

“අද දවසම මට තාත්ති ගැන කිව්වනෙ..” සෙනුරිගේ ගුරුතුමී රුවිනිත් මාලතී එක්ක එහෙම කියලා හිනා වුණා.

සතුටින් ඉපිලෙමින් හිටිය පුංචි සෙනුරි හිටිහැටියේම වෙනස් වෙන්න ගත්තා.පාඩම් මේසයේ ඉන්න සෙනුරි වැඩක් නොකරන බවත් ජනේලයෙන් එලියේ බලාගෙන ඉන්න බවත් දැක්කේ මාලතී.

“පේපර් එක පුරාම බලි ඇඳලා තිබ්බා.”

මාලතී අසේලට කිව්වේ බයෙන්.

“ඇයි මගේ පුතේ..” මහ රෑ එකපාරටම අසේල අහන හඬට මාලතී අවදි වුණා.සෙනුරි ඇඳ මත ඉඳගෙන අම්මා තාත්තා දිහා බලාගෙන ඉන්නවා.මේ වගේ දිග දවස් ගෙවෙන්න පටන් ගත්තා.

“නෝනා, බේබි කිරි එක ඇල්වෙනකම්ම කල්පනා කළා..”

ගෙදර අත් උදව් කාරිය සෙනුරි පාසල් යනකන් ඉඳලා පැමිණිලි කළා.හීනෙන් ඇවිදීම,අරමුණකින් තොරව ඔහේ බලාගෙන ඉඳීම,බත්පත අනමින් කෑම නොකා ඉඳීම වගේ බොහෝ දේවල් සෙනුරි කරන්න පටන් ගත්තා.

“දරුව හොඳට ඉගෙන ගන්නවනෙ. මම හිතන්නේ ඉරිසියාවට කවුරුහරි ගුරුකමක් කරල.” මාලතීගේ අම්මා එහෙම කිව්වා.ඒත් අලුත් පරම්පරාවට අයිති මාලතීත් අසේලත් ඒවා විශ්වාස කළේ නෑ.

“දුව ඉස්කෝලෙදි වැඩ කරනවා හොරයි.හෝම් වර්ක් කරන්නෙම නෑ.යාලුවොත් එක්ක සෙල්ලම් කරන්නෙත් නෑ.පේපර්ස් වලටත් ලකුණු හොඳටම අඩු වුණා..”

මාලතී ගෙන්වා ගත්තු ගුරුතුමිය රුවිනි පැවසුවා.දරුවකුට මෙහෙම වෙන්න හේතුවක් තිබෙන බව රුවිනි අම්මට පැහැදිලි කළා.අපයෝජනයක් හෝ මානසික පීඩාවක් නිසා දරුවෙක් මෙවැනි තත්වයකට පත්වෙන බව රුවිනි පැහැදිලි කර දුන්නා.තාත්තා එක්ක ගෙදර වාහන පාසල් යන එන, අම්මාගේ රැකවරණය මැද හැදෙන රුවිනිට අපයෝජනය වීමට ඉඩක් නෑ.ඇගේ පාසලත් බාලිකා පාසලක්.මෙතැන වෙනත් ගැටලුවක් ඇති බව අම්මා සහ ගුරුතුමිය තීරණය කළා.

“දුවව ළමා උපදේශනයකට අරගෙන යමු..” ගුරුතුමිය තීරණය කළා.ශිෂ්‍යත්ව විභාගයත් අත ළඟ නිසා අසේල මාලතී යුවල එයට එකඟ වුණා.රත්නා මහත්මිය වෙතට ඔවුන් එන්නේ ඉන්පසුවයි.

ශිෂ්‍යත්ව දරුවන්ට තියෙන විශාලම ගැටලුව තමයි දෙමාපියන්ගේ පීඩනය.පාස් නොවුනොත් දඬුවම් කරන තර්ජනය කිසිම දවසක සෙනුරිට ලැබී නෑ.ගුරුතුමියත් දරුවන්ට ආදරය කරන, නවීන අධ්‍යාපන ක්‍රම අනුගමනය කරන තැනැත්තියක්.සෙනුරි එක්ක කතාබහ කරද්දී ඇයට කිසිම වාචික,කායික අපයෝජනයක් නොවුණු බවත් තහවුරු වුණා.

“තාත්තා හුඟක් කල් ලංකාවට එන්නේ නැතුව ඉඳලා මේ ආවේ මං හින්දනෙ.දැන් මට ලකුණු එකසිය අනූවක්වත් ඕනි.තාත්ති පව් නැත්නම්..”

අන්තිමේදී ගැටළුව හෙළිදරව් වුණා.මහන්සියෙන් එකදිගට රැකියාව කරලා දිග නිවාඩුවක් තමන් වෙනුවෙන් ගත් තාත්තාට යුතුකම ඉෂ්ට කරන්න සෙනුරිට අවශ්‍යයි.ඇය ඉන්නේ ඒ පීඩනයෙන්.

ආදරණීය දෙමාපියනි,

ඔබට මුලින්ම කියන්න ඕනෑ කාරණාව දරුවන් බලාගත් අත බලා සිටිනවා නම්,සිහිනෙන් බියට පත්වෙනවා නම් ,කෑම අරුචිය ඇත්නම් ඔවුන් සිටින්නේ මානසික පීඩාවකින්.එය මුල්ම අවධියේ හඳුනාගන්න.උපදේශනයට රැගෙන එන්න.කුඩා සිත් ඉක්මනින් සුවපත් කරන්න එය හේතුවක් වෙනවා.අනිත් කාරණාව දරුවකුට දඬුවම් කරන තරමටම එක්වරම අතිශය ආදරයක් දක්වමින් විශේෂ සැලකිල්ලක් දැක්වීම ඔවුන්ට ගැටලුවක් වෙන්න පුළුවන්.විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගයට සැරසෙන දරුවාගේ සාමාන්‍ය පරිසරය වෙනස් කිරීම පවා ඔවුන්ට ගැටලුවක් වෙන්න පුළුවන්.තමන් වෙනුවෙන් තාත්තා විශේෂ කැපවීමක් කළා යන හැඟීම මෙතනදි මේ දැරියට ගැටලුවක් වුණා.ඔබේ දරුවා ශිෂ්‍යත්වයට සැරසෙන විට විශේෂ දේවල් කරන්න උත්සාහ කරන්න එපා.අලුත් නිල ඇඳුම් සැකසීම පවා ඇත්තටම අනවශ්‍යයි.ඔවුන්ට සාමාන්‍ය හැසිරෙන්න ඉඩහරින්න.දරුවා තමන්ගේ ජීවිතය පළවෙනි කඩඉමකට ලෑස්ති වෙනකොට ඔබත් ඒ වෙනුවෙන් විශේෂයෙන් බලාගෙන සිටින බව දැන්වීම දරුවාට දරාගන්න අපහසු වෙන්න පුළුවන්.
දඬුවම තරමටම අතිශය ආදරය සහ සැලකිල්ලත් ගැටළුවක් වෙන්නේ අන්න එහෙම වෙලාවට.

“පුතා කොහොමද දක්ෂ ළමයෙක් නේ.තාත්තා ආවේ මේ දවස් ටික පුතා ලඟින් ඉන්න.ගන්න පුළුවන් ලකුණු ගානට උත්සාහ කරනවා මිස වැඩියෙන් බයවෙන්න එපා.” රත්නා මහත්මිය සෙනුරිට ආදරයෙන් පැහැදිලි කළා.
ඇය උසස් ලෙස ශිෂ්‍යත්වය සමත් වී කොළඹ බාලිකා පාසලක ශිෂ්‍යාවක් වූයේ ඒ පීඩනයෙන් මිදීමට හැකි වූ නිසායි.

නොසලකා හැරීම වගේම වැඩිපුර පොහොර වතුර යොදන්නට යාමත් පැළයක වර්ධනයට බාධාවක්.අන්න ඒ කාරණය මතකයේ තියාගන්න.

Related Articles

Don't Miss


Latest Articles