කදෝකිමි ඇස් -52

0
3942
කදෝකිමි ඇස්

ඒ මේකලා මායාදුන්න සහ මේඝ සේනාධීර අතර පළමු හමුව ය.මේකලා ඇස පිය නොහෙළා මේඝ දෙස බලා සිටියා ය.

“මහේන්ට පුතෙක් ලැබිලා..”

ඒ ආරංචිය ඇයට ලැබුණේ නිවෙමින් හුන් කාලයක ය.නිවෙමින් හුන් තමන් වඩා තදින් ඇවිලෙන බව ඇයට දැනිණ.කෝපය නොව ඉමහත් ශෝකයකින් ඈ වෙළී ගියා ය.ඇයට දියණියක ඕනෑ වෙද්දී මහේන්ට පුතෙකු ඕනෑ වූ ඒ අතීතය මේකලාට නැවත නැවතත් සිහි වෙන්නට විය.ඇගේ වන්නට තිබූ කුඩා පුතු ලක්ෂි මෙලොවට බිහි කිරීම ගැන සිතමින් මේකලා බොහෝ වෙලාවක් හුන් තැනම ගල් ගැසී හුන්නා ය.

“ඔයාගේ මේඝ ඉපදුණා.”

එසේ සිතුවද ඔහු මේඝ සේනාධීර ම වේයැයි මේකලා නොසිතී ය.මහේන් නව යෞවනයෙකු කාලයේ දුටු සිහින වැඩුණු මිනිසෙකු වී ක්‍රියාත්මක කරතැයි සිතන්නට ඇය නොකැමති වූවා ය.නමුත් එය එසේ වී තිබේ.

නිවසට ඇතුළු වන මේඝගේ රුව මේකලා තිගස්වන්නට සමත් විණ.අතීතයේ දවසක ඈ වඩා ආදරය කළ රූපය බිඳුවකින්වත් වෙනස් නොවූ තරුණයා වෙතින් නෙත් ඉවතට ගන්නට මේකලා අපොහොසත් විණ.මේඝ! ඒ ඇගේ නොවූ පුතු ය.නමුත් දෛවය ඔහු මේකලාගේ පුතු බවට පත් කරගන්නට අවස්ථාවක් දී තියේ.

“ඔයා තාත්තා තරුණ කාලේ වගේමයි.”

ඇය අහිතක් නැතිව කීවා ය.කෙල්ලන් වශී කරගන්නා මුදු බැල්ම තාත්තාගෙන් එලෙසම ලැබුණු බව හඟවමින් යෞවනයා හිනැහිණ.ආරණ්‍යාගේ සේයාරූ කිහිපයක් නැරඹූ තාත්තා ද කීවේ මෙවැනිම කතාවකි.

“අම්මගෙ ෆොටෝකොපියක්.ගතිගුණත් එහෙමනම් උඹට උදේ හවස රණ්ඩු කර කර ඉන්න පුලුවන්.”

එහෙත් ආරණ්‍යා කුඩා හේතු තබා ගැටුමක් ඇති කරගත යුතුම තැනකවත් වචන ඉස්සර කරගන්නියක නොවේ.නිවුණු ස්වරයකින් තමන් ඇමතූ ජාලියව සිහි කළ මේඝ ආරණ්‍යා කියන්නේ තාත්තාගේ දුව විය යුතු බව සිතී ය.

නිහඬතාවය බින්දේ මේකලා ය.ඇය මේඝගේ ආගිය තොරතුරු ඇසී ය.ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස ගෙවන වෘත්තිය ජීවිතය ද වැඩිදුර අධ්‍යාපනය ද ගැන කියන්නට කාලය වැය කළ ඔහු මේකලා දෙස බැලුවේ පැමිණි කාරණාව කියන්නට ය.

“අපේ අම්මා ආරණ්‍යාට කතා කරලා තිබුණා ආන්ටි.”

බොහෝ කාලයකට ලක්ෂිගෙන් ඇමතුමක් පැමිණියේ ය.සියල්ල සිදු වුණේ ඉනික්බිතිව ය.ගිල දැමු බෙහෙත් පෙති සහ විශාදයේ කළු සෙවණැලි යළි යලිත් සිහි වෙද්දී මේකලාට තම දියණිය ගැන ඇති වූයේ බියකි.ලක්ෂිට කුඩා වචන කිහිපයකින් විශාල තුවාල ඇති කළ හැකි බව මේකලා දන්නී ය.බිය ඇත්තේ එතැන ය.

“අම්මා අපේ සම්බන්දෙට කැමතියි ආන්ටි..”

මේඝ සහ මහේන් අතර විශාල වෙනසක් නැතැයි මේකලා සිතී ය.ඔවුන් දෙදෙනාම කියන්නට ඇති දේ ආලවට්ටම් රහිතව කියන්නට සමතුන් ය.එහෙත් මේකලාට මේ කතාව ඇදහිය හැකි සීමාවේ නොවේ.

“පුතා..”

අම්මා ජීවිතය සම්බන්ධයෙන් නිවී සැනසිල්ලේ තීරණ ගත යුතු තැනක පසුවන බව මේකලාට මේඝ හෙළි කළේ වේදනාවෙනි.ලක්ෂිට සදා වේදනා අත් වන්නට පතමින් ජීවිතය හානි කරගන්නට උත්සාහ කළ තුරුණු මේකලා කෙනෙකු මේකලාට සිහි විණ.කර්මය ගැන ඇයට යම් විශ්වාසයක් තිබුණ ද මේ මොහොතේ එය විශ්වාස කරන්නට නොකැමති ඈ ලක්ෂි ගැන සිතුවේ කම්පනයකින් ය.

“අම්මා හිතනවනම් අපි ගත්ත තීරණේ හරි කියලා තාත්තා ඒකට විරුද්ධ වෙන එකක් නෑ.ඒත් ආන්ටියි ජාලිය අංකලුයි මොනවා හිතනවද කියන එකත් මට වැදගත්.”

ආරණ්‍යා මලක් සේ රැක ගත් අයිතිය ඔවුන්ට ය.අම්මාගේ හදිසි වෙනස සියල්ල තීරණය කරන සාධකය විය යුතු නොවන බව මේඝ සිතී ය.ඔහු මේකලාගේ ඕනෑම තීරණයක් පිළි ගන්නට සිත එකඟ කර ගත්තේ ය.

“අම්මා කැමති වුණා කියලා මේ කතාවට හොඳ අවසානයක් ඕන නැහැ ආන්ටි.පරණ කතාවේ වැඩිම රිදුම අයිති ආන්ටිට.තාත්තත් වේදනාවෙන් ඇති.ඒත් එහෙමයි කියලා ආන්ටිගෙ වේදනාව අඩු වෙන් නෑනෙ.මමත් තාත්තමයි කියලා ආන්ටිට හිතෙනවනම්..”

මේඝට එතැනින් එහා කතාවකට ඉඩ නොලැබිණ.මේකලා ඔහු නැවතුවා ය.මේඝ සහ මහේන් සමාන වීම ගැන ඇය නැවත නැවතත් සිතන්නට වූවා ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here