පතිදම්වැල් 26

අනුප ෂෝබිතාට අමතන්නට කොතෙක් උත්සාහ කලද ඇය උන්නේ ඒ කිසිවකට සවන් දෙන්නට නොකමැත්තෙනි. අනෙක් අතට තමා ඔහුව හැරදා පැමිණියායින් පසුව හෝ ඔහු තමාව දික්කසාද කරනු ඇතැයි කියා සිතුවද ඒ ගැන කිසිදු කාරණාවක් ඔහුගෙන් අසන්නට නොලැබීම ගැන ෂෝබිතාට ඇත්තෙ පුදුමයකි.

“මට හිතාගන්න බෑ ඇයි අනුප ඩිවෝස් එකක් ෆයිල් කරන්නෙ නැත්තෙ කියලා”

රෑ කෑම වේලාවේදී ෂෝබිතා එසේ පැවසුවේ දමිත් ටය. 

දමිත් විසින් පෙර මිල දී ගෙන තිබුණ ගාලු මුවදොර පිටිය ඉදිරියේ ඇති මහල් නිවාස පේලියකින් එකක ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගෙවුවද ෂෝබිතා උන්නේ අනන්ත පාලුවක ගිලීය.

තමාට මෙහි නවාතැන් සැපයුවද දමිත්ට තමා සමග මෙහි හිඳින්නට වන කාලය ඉතා අල්පය. උදෑසනම අවදි වී දමිත් ට රාජකාරි කටයුතු සඳහා යාමට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ද, ආහාරද සකසා අවසන් වූ පසු ෂෝබිතාට තනිවම, පාලුවේ හිඳින්නට සිදු වේ.

දමිත් ආපසු එන්නේ රාත්‍රියේය. අනෙක් අතට ඇතැම් විට ඔහු කෙලින්ම තම මවගේ නිවස බලා යන බැවින් සමහර දිනයන්හි මේ මූද අද්දර නවාතැනේ ෂෝබිත කාලය ගෙවන්නේ තනිවමය.

අන්ධකාර රාත්‍රීන්වල දීප්තිමත්ම තාරකා දකින්නට හැකි බව පැවසුවද එකදු දීප්තිමත් තාරකාවක්වත් දැකිය නොහැකි, අන්ධකාරයම පමණක් වන අනාගතයක් ෂෝබිතා ඉදිරියේ විය. එහෙත් ඒ අන්ධකාර අනාගතය නොදකින අන්දමේ තිමිර පටලයකින් ෂෝබිතගේ දෑස් වැසී තිබුණාය.

“මිනිහ ඔයාට ආදරේ නිසා වෙන්නැති ඩිවෝස් එක නොදෙන්නෙ?”

දමිත් කියූ වදනට කෝපය ඇවිස්සුණද ඒ වෙනුවෙන් ප්‍රතිඋත්තර බඳින්න අවශ්‍යතාවයක් ෂෝබිතාගේ සිත ඇතුලේ නැත.

පාලුව සහ තනිකමද, අනුප දික්කසාදය සඳහා අවශ්‍ය කටයුතු ලෑස්ති කරන බවට තිබූ බලාපොරොත්තු ද බිඳ වැටීමෙන් සිත හටගත් වේදනාවද සිත පිළිසිඳ ගෙන ඇත.

“ආදරේ? පිස්සුනේ”

“නැත්තම් ඉතින් මේ තමන්ගෙ කසාද ගෑණි තමන්වයි දරුවයි දෙන්නම දාලා ආවට පස්සෙත් ඩිවෝස් කරන්නෙ නෑ කියන්නෙ උගෙ තියෙන නෝංජල් කම තමයි”

දමිත් එය එසේ සරලව සැහැල්ලුවෙ ගත්ත ද එසේ සිතා මෙය අත හැර දැමිමේ අදහසක් ෂෝබිතගේ සිතේ නැත. මෙතෙක් දවස් මග හරිමින් තිබූ ඔහුගේ දුරකතන ඇමතුමකට පිළිතුරු දෙන්නට සිතුවේ ඒ නිසාය

අනුපගේ අංකය දුරකතන ඇමතුම් පොතෙන් ගෙන ඔහුගේ දුරකතනය නාද වන හඬ ෂෝබිතා අසා සිටියේ සිත තිගැස්සෙද්දිය.එසේ තිගැස්සෙන්නට හේතුව එපා යැයි අත හැර දමා ආ මිනිසාට යලි අමතන්නට වීමද යන සැකය ෂෝබිතාගේ සිත තුළද විය.

දුරකතනය නාද වන වාරයක් පාසා ඒ නාද රටාවට අනුව තිගැස්සුණ සිතෙහි චංචල රේඛාව මදක් නැවතුනේ අනුපගේ ගැඹුරු හඬ එහාපසින් ඇසෙද්දීය. තමා ඔහුව ඇමතුවද ඔහු දුරකතනයට සම්බන්ධ නොවනු ඇතැයි බලාපොරොත්තුවක් සිත තුල තිබෙන්නට ඇති බව ෂෝබිතාට තේරුම් ගියේ ඒ මොහොතේය.

“හෙලෝ”

“හෙලෝ මට පොඩ්ඩක් කතා කරන්න ඕන”

කොහෙන්දො එක පාර සිත මතට ආ ශක්තියක් ගෙන ෂෝබිතා වචන ගලපන්නට විය

“ඔව් කියන්න මම අහගෙන ඉන්නෙ”

අනුපගේ වදන් වල අමුතුම ශක්තියක්, තමන්ව ගණන් නොගන්නා ස්වභාවයක් ඇති බව තේරුම් ගන්නට ෂෝබිතාට අපහසු වූයේ නැත. ඒ වචන වල තිබූ පිරිමි බව වෑහෙන රිද්මයාත්මක බව සිතට ගෙන එන්නේ කෝපයකි.

එවන් කෝපයක් ඔහු කෙරේ ඇතිකරගන්නට හේතු කාරණාවන් තමාට නොවුවද තමන් විසින් අත හැර දමා ආ පිරිමියෙක් වුවද තමා කෙරේම ආශක්ත වී හිඳිය යුතු බවට හැඟීමක් ඇතැම් ගැහැණුන් තුල වේ. ෂෝබිතා උන්නේද එවන් මනෝභාවයකිනි.

අනුපව හැරදමා දමිත්ගේ ජීවිතයට ආවේ තමාය. එහෙත් අනුප වුවද තමව අත හැරි යාන ගැන වේදනාවකින් සිටිය යුතු බවටත්. ජීවිතයේ ඉදිරි ගමනක් ගැන නොසිතා තමා මත්තේම වැළපෙමින් හිඳිය යුතු බවටත් අදහසක් සිත තුලට ආවේ ඇයිද හෝ කොහෙන්ද යන්න ගැන ෂෝබිතාටවත් සිතා ගන්නට නොහැක.

“දැන් මොකද්ද ඔයා ප්ලෑන් කරගෙන ඉන්නේ?”

ඒ කෝපය සිත අස්සේන සඟවාගෙන ෂෝබිතා අනුපගෙන් එසේ ඇසුවේ මේ ප්‍රශ්නට ඉක්මනින් විසඳා ගන්නට කටයුතු සුදානම් කරගත යුතු නිසාය.

අතීතයේ අත හැරුණ පෙම්වත දෛවයේ කුමනාකාරයේ ආශිර්වාදයක් නිසාවෙන් හෝ නැවත හමුවිය. ඉතින් ඔහු සමග හැකි සෑම අයුරකින්ම බැඳෙනවා හැරෙන්නට අතැර දමා ආ අයෙකු ගැන සිතමින් තැවෙන්නට හෝ කෝපගන්නට අවශ්‍ය නැත.

“මොකක් ගැනද?”

එහෙත් සිදු වූ කිසිවක් හෝ තමා අතර වූ කිසිදු කතා බහක් ගැන හෝ මතකයක් නැති පරිද්දෙන් වචන ගලපන අනුපගේ හඬ දුරකතනයේ එහා අසින් ඇසෙද්දී ෂෝබිතා උන්නේ පුදුමාකාර කේන්තියකිනි.

“මම කතා කරන්නෙ ඩිවෝස් එක ගැන. නිකන් මේ හැමදේම අමතක වුනා වගේ කතා කරන්න එපා අනුප”

ඒ කෝපය වචන හරහා පිටවීම ඉතින් වළක්වා ගන්නට හැටියක් ෂෝබිතා නොදනී.එහෙත් එකී කෝපය හමුවේ වුවද අනුප උන්නේ සමච්චලයට මෙන් හින වෙමින් දුරකතනය ඔස්සේ සමච්චල්සහගත හඬ මෙපසට එවමිනි.

“ආයෙ ඒක ගැන ඉතින් මොනව කතා කරන්නද? මම කලින්ම කිව්වනේ මම ඩිවෝස් එක දෙන්නෙ නැති බව”

“ඩිවෝස් එක නොදී ඉඳල ඔයා හිතන්නෙ මම ආපහු ඒවි කියලද?”

“අපෝ නෑ, එන්න ඕනත් නෑ. ඒ වුණාට තමන්ගෙ දරුවට මොකද වෙන්නෙ, ඒදරුවගෙ අනාගතේට මොකද වෙන්නෙ කියල හිතන්නෙවත් නැතුව තමන් ගැන විතරක් හිතල තීරණ ගත්ත තමුන් වගේ ගෑණියෙක් ආය මෙහෙ එන්න ඕනත් නැ.

හැබැයි දැන් ඔය ඔක්කොම තනියෙන් හිතල කරගත්ත වගෙ ඩිවෝස් එක ගැනත් මොකක් හරි කරගන්න බලන්න.

හැබැයි මම ඩිවෝස් එක දෙන්නෙ නැති බවත් මතක තියාගන්න”

දෑස්වලට කඳුලු පිරෙන්නේ දුකට නොව තරහටය. අනුප වන් බොහෝ ඉවසිලිවන්ත මිනිසෙකුගෙන් මෙවන් දෙයක් කිසිදිනක බලාපොරොත්තු වූයේ ෂෝබිතා නොවේ. එහෙත් ඒ ඉවසිලිවන්ත බව උරගා බලන්නට තමා ගත් තීරණය මැද ඔහු මෙසේ දරදඬු තීරණ ගන්නට ඇතැයි යන්නට ගැන ෂෝබිතාට ඒ කිසිදු මොහොතක සිතුනේ නැත.

“මම තමුසෙව මරනව අනුප දැනගන්නව ඒක”

“ඔව් ඉතින් අලුත් මහත්තය එක්ක ඔයාට ඒකත් මහ ලොකු වැඩක් නෙවෙයි කියල මම දන්නවා”

සමච්චල් සහගත සිනහවක් සමග දුරකතනය ඔස්සේ පා කර එවූ ඒ වදන් හමුවේ කෝපයෙන් දුරකතනය පොළොවේ ගැසූ ශබ්දයට දමිත් හිස හරවා බැලුවේ නෙත් කුඩා කරගෙනය.

“මොකද මිනිහ කියන්නේ? ඩිවෝස් එක දෙන්න බෑ කියනවද?”

කට කොණකට මද සිනාවක් නංවාගෙන එසේ අසන දමිත්ගේ මුහුණට කමින් උන් කෑම පිගානෙන් දමා ගසන්නට බැරි නිසාවෙන් “බරාස්”යන හඬින් පුටුව පිටුපසට කර ෂෝබිතා නිදන කාමරයට ගියාය.

එහෙත් දමිත් උන්නේ ඇය පසුපස ගොසින් කෝපයක වෙස් මුහුණු පැළඳ එළියට එන්නට තනන වේදනාවට හේතු කාරණා අසන්නට උවමනාවෙන් නොවේ.

අනෙක් අතට දුරකතනය ඔස්සේ සම්ච්චල් සහගත වදන් තෙපලුවද අනුපගේ සිත තිබුණේ තිගැස්සීය.

පළමුවෙන්ම කුමනාකාරයේ අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගියද ෂෝබිතා කිසිදිනක මෙසේ දියණියව හැරදමා යනු ඇතැයි යන සිතුවිල්ලක්වත් අනුපගේ සිතෙහි තිබුනේ නැත.

එහෙත් මේ සිතන දේවල්ම මෙලොව නොවන වග අනුප තේරුම් ගත්තේ නොකියාව ෂෝබිතා කුලගෙය හැරගොසින් ඇති බව දැනගත් මොහොතේය.

තමා හැරගියද ඇය දුලන්‍යව හැර ගියේ කෙසේද, එසේ කරන්නට හිත හදාගත්තෙ කෙසේද යන පැනය කෙටි පණිවිඩ ඔස්සේ ෂෝබිතාගෙන් දස දහස් වරක් ඇසුවද එයට පිළිතුරු දෙන්නට තරම් වත් කාරුණික නොවූ ෂෝබිතා දික්කසාදය ඉල්ලා මෙසේ තර්ජනය කරන්නට වීම ගැන අනුපගේ සිතේ ඇත්තේ තිගැස්සුමකි.

“එයා ද කෝල් කරේ?”

පසුපසින් ඇසෙන අම්මගේ හඬ පිළිතුරක් දිය නොහැකි පැනයකට තුඩු දෙන ගැටලුවකි.

වෙනදා ආදරයෙන් දූ කියා කල ආමන්ත්‍රණය අද වෙනස් වී ඇත්තේ අම්මාගේ සිතේද මේ සිදු වූ දේවල්වල අලු දුහුවිලි තැන්පත් වී ඇති නිසාවෙන් විය හැක.

“හ්ම්ම්”

“දැන් මොකද කියන්නේ?”

“ඩිවෝස් එක ඉල්ලනවා”

“අර මනුස්සයව බඳින්නද?”

“හ්ම්ම්” හඬින් වාතලයට මුසු කල අම්මාගේ සුසුම් තුල වූයේ වේදනාවක් ද කලකිරීමක්ද යන්න ගැන අදහසක් අනුපට නොවුණි. එහෙත් අම්මා මෙන් සුසුමක් හෙලා මේ පැනය මගහරින්නට හැකියාව තමන්ට නැත. දික්කසාදය දෙන්නට සිතුවිල්ල සිත තුල තිබුනේ නැති වුවද ආදරය කල අයෙකු සමග මෙසේ රණ්ඩු සරුවල් කරගනිමින් දෙපසකට වී වේදනා විඳින්නට අදහසක් අනුපගේ සිතේ ද නැත.

එහෙත් කෙදිනක හෝ දුලන්‍ය ඇයි අම්මට යන්න දුන්නෙ කියා ඇසුවහොතින් දෙන්නට පිළිතුරක් තිබේද?

ජීවිතයේ තිත්ත ඇත්ත මේ මොහොතේ ඇයගෙන් සඟව ගෙන තිබුණද කෙදිනක හෝ ඇය ඉදිරියේ විවර කරන්නට වන බව අනුප නොදන්නවා නොවේ. එහෙත් එසේ කියා ෂෝබිතාට පහසුවෙන් දික්කසාදය දිය හැකිද?

“අනේ මන්ද පුතේ, මට හිතාගන්න බෑ මොකක් කරන්නද කියල. මගෙ හිතේ තියෙන වේදනාව මටවත් කියන්න තේරෙන්නෙ නෑ අර පොඩි දරුව දකිද්දි. කවද වෙනකම් අපි බොරු කියන්නද? අම්මා ගමනක් ගිහින් කියල කිව්වට කවදද එන්නෙ කියල දැන් අද හැන්දෑවෙත් ඇහුවා

අනික ෂෝබිතා කෝල් එකක්වත් දීලා දරුව ගැනවත් අහන්නෙ නෑ. දෙයියනේ මට හිතාගන්න බෑ අම්ම කෙනෙක් නේද?

කොහොමද මේ තමන්ගෙ බඩෙන් වදාපු දරුවව මෙහෙම විසි කරල වගේ දාලා ඔහොම ගමනක් ගියේ මං අහන්නේ.

දැන් ඒ ජෝඩුව මොකද කියන්නෙ දෝණියන්ද කල දේ ගැන?”

අම්මා කුමක්කීවද, කුමක් ඇසුවද අනුප උන්නේ ඒ කිසිවක් ඇසෙන මානයක නොවේ. මෙතෙක් දිනක් එක් අතකින් දුලන්‍යාවත් අනෙක් අතින් ෂෝබිතාවත් අල්ලාගෙන එකට ආ ගමන් නිමා කරන්නට කාලය පැමිණ ඇති බව ෂෝබිතා හඟවයි.

එහෙත් ආදරයෙන් අල්වා ගත් අතක් එසේ පහසුවෙන් අතැර දමාලිය හැකිද?

වසර හයකට ආසන්න විවාහ දිවියකට එසේ පහසුවෙන් නිමාවක් සනිටුහන් කරන්නට හැකිද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles