සියක් සියපත් 45

සනාතන හා වියානා විවාහ වීමට එකඟතාවය දැනුම් දීමෙන් පස්සේ අවුරුදු ආවා වන් කලබලයක් ඔවුන් හා බැඳුණු හැම හදවතක ම ඇති විය. මයිකල් ට සේ ම ජිතේන්ද්‍ර ට ද එය සව්දිය පුරන්නට තරම් සුබ ආරංචියක් වූයේ ය. ඔවුන් ගේ මිතුරුකම් ද නෑදෑකම් ද යළි යළිත් තහවුරු වන්නා වූ බැවිනි. මේ වන විටත් මදිරා ගේ හා මනුල ගේ විවාහය වෙනුවෙන් සියලු කටයුතු සංවිධානය වී තිබුණ බැවින්, එය නිම වූ වහාම හෝ ඒ සමග ම සනාතන වියානා හා සදාතන සියපත් යන විවාහයන් දෙක ද සිදු කරන එක කාලයකට අමතක නොවන සිදුවීමක් වෙතැයි කාගේත් අදහස විය. 

“අනේ මට දැන්ම එහෙම දෙයක් ගැන හිතන්න බෑ. අපි හෙමිහිට වෙඩින් එක කරමුකො”

සියපත් සදාතන ට කන්කෙඳිරි ගෑවා ය. සැබවින් ඇගේ ඇස් වල ඒ තරම් ඉක්මන් විවාහයක් සඳහා සූදානමක් වූයේ ම නැත.

“ඇයි…මට වඩා හොඳ කොල්ලෙක් ඉස්සරහට හම්බ වෙයිද කියල ටිකක් බලන්න ඕනද…”

සදාතන විහිළු කළේ ය. සියපත් ඔහු ගේ අත් ගොබයක මූණ හංගා ගත්තා ය.

“මං තාම පොඩීනෙ..තාම බඳින්න බෑ වගේ”

එවර සදාතන ගේ මුව මත පිපුණේ සියපත් නිසා පමණක් ම ඔහු ගේ මුහුණට එන සියපත්මය සිනහවයි. 

“ගණං උස්සන කෙල්ලන්ට දෙන්න ඕන හොඳම පනිශ්මන්ට් එක තමයි සනාතන දුන්නෙ. එහෙම තමයි කරන්න ඕනෙ”

“හිතේ ඇති මෙයාගෙ”

“හිතේ තිබුණත් මාමණ්ඩිගෙ ඇඩ්වයිස් එක මතක් වෙනවනෙ”

සදාතන හඬ නගා හිනැහිණි. සියපත් ඔහු ගේ අතක් පාර හිටින්නට සැපුවා ය.

“ඇත්තට ඒ දෙන්න කොහොමද අපිට පේන්න ඇක්ට් කළේ නේ…හැම දේම කරගෙන…”

“බෙස්ට් ඇක්ටර් ඇන්ඩ්‍ ඇක්ට්‍රස් අවෝඩ් විනර්ස්ල”

ඉක්මන් විවාහයක් සඳහා සියපත් ගේ වන පසුබෑම ගැන වග උත්තර බඳින්නට සිදු වූයේ සදාතන ට ය. 

“සියපත් තාම මැරේජ් ලයිෆ් එකකට රෙඩි නැත්තං අපිට බල කරන්න බෑනෙ. ඔක්කෝටම ඉස්සෙල්ල එයා ඒකට සූදානං වෙලා ඉන්න ඕනනෙ. මටත් හදිස්සියක් නෑ. අපි අක්කගෙයි සනාතනගෙයි වෙඩින් දෙක එකට ගමු”

ඒ අනුව කටයුතු සූදානම් වූයේ එහෙම ය. වියානා ගැබ් ගෙන බව දැන ගත් මොහොතේ සිට ම සියපත් ඇය වෙනුවෙන් අච්චාරු හැදුවා ය. පළතුරු කඩ ගානේ යමින් හොඳ පළතුරු සෙව්වා ය. ගෙදර කැටිව විත් ඇය කැමති කෑම ජාති හදා දුන්නා ය. ඒ අතරේ විවාහ උත්සව දෙකකට ද සූදානම් වන්නට සිදු විය. සියපත් හා පංකජී ද සදාතන ද යහළු මනාල මනාලියන් ලෙස සිටිය යුතු විය. 

දවසක් වියානා සමග දියමන්ති සියපත්ලා ගේ ගෙදර ආවා ය. ඒ හමුවීම සිදු වූයේ වසර විසි ගණනකට පස්සේ ය. ඒ මොහොත සුජීවා ගේ හදවත කෙතරම් හැඟුම් බර වී ද යත් ඇය දෝතින් මූණ වසා ගෙන අතීතයේ රළ බිඳී ගිය නිමේශය තරණය කළා ය.

“මේ ලෝකෙ හරි පොඩියි සුජීවා. මේ තරං ඉක්මනට අපි ආයෙ මුණගැහුණෙ ඒකයි”

දියමන්ති අතීතයේ දයාවෙන් ම සුජීවා වැළඳ ගත්තා ය.

“අනේ මැඩම්…”

“දැං මැඩම් කියන්නෙ මොකටද…දියමන්ති කියන්න බැරිනං ඔයාට පුළුවන් අක්ක කියල මට කතා කරන්න. අපි එක දරුවෙක්ගෙ අම්මල දෙන්නනෙ. වියානාගෙ වෙඩින් එකේදි අපි දෙන්නට ම එයාගෙ අත් දෙක අල්ලගෙන ගිහින් සනාතනට බාර දෙන්න පුළුවන් වෙන එක මොන තරං දෙයක්ද…හැමදාම මගෙ හිතේ කටුවක් වගේ ඇනි ඇනි දෙයක් තිබුණා. ඒ අපේ ගෙදරදි සුජීවාට වෙච්ච වරදට වන්දි ගෙවන්න මට බැරි වුණා කියන එක”

“අනේ මැඩම්”

“අක්ක”

ඒ මතක් කිරීම කළේ වියානා ය. හැම ඇසක ම කඳුළු මුසු මඳහසක් විය.

“මගෙ කුසෙන් වදාපු දරුවව මේ තරං ආදරෙං උස් මහත් කරපු එක තරං වන්දියක් තව කොහෙද…ගෑනු අපි ජීවිතේට ගෙවන වන්දිය තමයි දරුවො හදන එක. එයාල හොඳ තැන් වලට අපිව පහු කරගෙන යනව බලල සතුටු වෙන එක…”

ඒ දවස අම්මලා දුවලා ගේ එකක් වූයේ ය. සුජීවා පොළොස් රතුවට උයා කිරි මාළු හදා ගොටුකොළ සම්බෝල ද ලුණු දමා බැද්ද වියළි මිරිස් ද සමග වියානා ට දොළදුක් බතක් පිසුවා ය. ඒ බතෙහි තිබී අතීත රසයක් දියමන්ති ගේ හදවතට දැනිණ. ඒ නොස්ටැල්ජියාවේ තනි වී ඇයට ඒ හැටි වෙලා ඉන්නට ලැබුණේ නැත.

“මට මැඩම් ගැන තියන අන්තිම මතක මේ දෙන්න බඩේ තියං හිටිය කාලෙ..ගෙදර උයන ගෑනි මං වුණාට මං ආස දේවල් අහ අහ උයල කන්න දුන්නෙ මැඩම්. ඇත්තමයි මේ මනුස්ස ලෝකෙ මං දේවතා රූපයක් දැක්කනං ඒ මැඩම්…”

විවාහ උත්සවයේ දී ඔවුන් දෙදෙනා ම එක ම විදිහේ සාරි වලින් සැරසී සිටීම වියානා ගේ ආශාව විය. ඒ අනුව ඇය සියපත් ද සමගින් අම්මලා දෙන්නා ට සාරි තෝරන්නට සාප්පු සවාරියේ ගියා ය. රන් පැහැයෙන් වැඩ දැමූ ඇත් දල පැහැති සාරි දෙකක් අවසාන වශයෙන් තෝරා ගැනිණ. සිය කලිසම් කෝට් මස්සවනා තැනින් සදාතන ශාන්ත ගේ ඇඳුම් මැස්වූයේ ය. 

විවාහ උත්සවය ආසන්න වන විට මදිරා බොහෝ දුරට සුවපත් ව සිටියා ය. ආධාරක නොමැති ව සැලකිය යුතු වෙලාවක් ඇවිදින්නට හෝ සිටගෙන සිටින්නට ඇය ශක්තිමත් වී සිටියා ය.

ඒ විවාහ උත්සවය තනිකර ම සිහිනයක් වාගේ එකකි. සියපත් ඒ සිහිනය ආදරයෙන් ම විඳ දරා ගත් තැනැත්තියයි. මනාලයෙක් වාගේ කඩවසම් සිය පෙම්වතා අතින් මල් කළඹ ගත්දී ඇගේ ඇස් වල ආඩම්බරයට ඉනූ කඳුළක් විය.

“ඒ…මොකද ඉතිං මේ කඳුළු…අපි කිව්වෙ නෑනෙ ඔයාට බඳින්න එපා කියල…දැං ඉතිං කරන්න දෙයක් නෑ”

සියපත් සදාතන ගේ පපුතුර වැළඳ ඇස් පියා ගෙන සිටියා ය. 

“ඔය මේකප් එකයි හෙයාස්ටයිල් එකයි ඩැමේජ් වෙයි ළමයො”

සදාතන ඇය තුරුළු කොට ගෙන ම මිමිණී ය. නමුත් සියපත් අත්හැරීමේ ලෝභකමක් ඔහු ට ද නො දැනුණා නොවේ.

“කමන්නෑ”

ඇය තව දුරටත් නෙතු නො හැර ම මිමිණුවා ය. 

“මට ලෝබයි…මෙච්චර හැන්ඩ්සම් කොල්ලෙක් මගෙ හස්බන් වෙනව කියල හිතනකොට”

“මටත් එහෙම තමයි ඉතිං”

“එදා මුල්ම දවසෙ එස්ඕ මාව ඔෆිස් රූම් එක ළඟට එක්කං ගිය වෙලාවෙ මගෙ බොස් මේකාද කියල හිතනකොටත් මං ගැස්සිල ගියා. බුම්මට්ට වගේ මූණ පුප්පගෙන කතා කරනකොට…මට ඕළුද මානෙල්ද කියල නමත් මතක නැති කරල කතා කරනකොට…ඊට පස්සෙත් මාව සත පහකටවත් ගණං ගන්නැතුව ඉන්නකොට…මං කොච්චර තනියම ආදරේ කළාද…”

“එහෙම තනියම ආදරේ කරනවද කොල්ලන්ට…බැරි වෙලා ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියනං එහෙම..”

සදාතන සැහැල්ලු සිනහවක් නගා ගත්තේ ය.

“ඒ හිටියත් ආදරේ කරන්නැතුව ඉන්නනං බැරි වෙයි”

ඡායාරූප ගැනීම සඳහා ඇද ගෙන යන තුරුත් ඔවුන් සිටියේ ඔවුන් ගේ ලෝකයක ය. මදිරා සේ ම වියානා ද සුන්දර මනාලියන් සේ හැඩ වී සිටියහ. ඒ පුදුම ලස්සන දවසකි. සියපත් නම් වැඩිපුර ම ආසා වූයේ ඒ පවුලේ ඡායාරූපයට ය. පවුලේ ඡායාරූපය විශාල සාමාජිකයන් ගණනකින් යුතු එකකි. මනාල යුවළ දෙක ද යහළු මනාලයා හා මනාලියන් දෙදෙනා ද අම්මලා හතර දෙනෙකු හා තාත්තලා හතර දෙනෙකු ද ඒ සේයාරුවට අන්තර්ගත වූවෝ ය. මනුල ගේ මව් පිය දෙදෙන ද සුජීවා හා ශාන්ත ද දියමන්ති හා ජිතේන්ද්‍ර ද හැරුණු විට මයිකල් අසලින් සුදර්ශනී ගොඩකුඹුර සිටියා ය. ඒ මායා ගේ මිය යාමෙන් පසු මයිකල් ගේ ජීවිතයට සමීප වූ ගැහැනියයි.

මයිකල් ගේ දරුවෙකු ගේ විවාහ උත්සවයකට යන්නට හෝ පවුලේ සේයාරුවකට පෙනී සිටින්නට හැකි වෙතැයි ඇය සිහිනයකින් හෝ සිතා තිබුණේ නැත. හැමදාමත් ඔහු ගේ ජීවිතයේ අප්‍රකට ගැහැනිය ලෙස ජීවත් වූ ඇය, ඇතැමෙකුට අනුව කපටි කෛරාටික ස්ත්‍රියක වූවා ය. ගෝල්ඩන් ටී ආයතනයේ සේවය කරමින්, වැන්දඹු ආයතන හිමිකරුව රවටා ගත්තා යි ඇගේ මූණට ම කී අය සිටියහ. නමුත් එය රවටා ගැනීමක් නොව සැබෑ ස්නේහයක් බව දැන සිටියේ සුදර්ශනී හා මයිකල් පමණකි. ඒ ප්‍රේමය නිසාවෙන් ඇය ට විවාහයක් හෝ නීත්‍යානුකූල සැමියෙකු අහිමි ව ගියේ ය. සදහට ම ඇගේ කුස හිස් ව ගියේ ය. දෙවියන් ඉදිරියේ මිස ලෝකය ඉදිරියේ ඇය ඔහු ගේ බිරිඳ නොවූවා ය. ඇතැම් විට උවමනා වී ද ඔහු ට ඇය වෙනුවෙන් පෙනී සිටිය නො හැකි වූයේ ය. ඒ සිය දරු තිදෙන නිසාවෙනි. සුදර්ශනී තනි හිතකින් ඒ සියල්ල උහුලා දරා ගත්තා ය

මේ විවාහ උත්සවයට වුව ඇය කැඳවීමේ අදහසක මයිකල් සිටියා නොවේ. ඔහු ට එසේ කළ නො හැකි බව සුදර්ශනී ද දැන සිටියා ය. නමුත් මේ අහම්බය සිදු වූයේ හරි පුදුම විදිහට ය.

“තාත්ත”

කියාගෙන මෑත දිනෙක මදිරා මයිකල් වෙත ගියා ය. ඇය සිය විවාහයට සූදානම් වෙමින් සිටි නිසා, මයිකල් දියණිය වෙත යොමු වූයේ ම ඒ අදහස සිත් හි තබා ගෙන ය. 

“කියන්න දුව”

“තාත්ත…වෙඩින් එක දවසට… මනමාලිගෙ නළල් පටිය තියන්න ඕන අම්මලු…”

මදිරා ගේ ඇස් වල අපේක්ෂා සහගත බවක් විය. ක්ෂණික දැවීමක් මයිකල් ට දැනිණ. මුළු ලෝකය ම ගෙනැවිත් දුන්නත් ඔහු ට දරුවන් වෙනුවෙන් යළිත් ඔවුන් ගේ අම්මා ගෙනැවිත් දිය නො හැකි ය.

“අනේ පුතේ ඉතින්…අම්ම නැති දුවෙක්ට එතකොට ඕක කරගන්න විදිහක් ඇත්තෙම නැද්ද… තාත්තට බැරිද ඒක කරන්න…ඇයි දෙයියනේ…අම්ම නැතුව මට මගෙ පොඩි උන් තුන් දෙනා මේ තරමට ලොකු කර ගන්න පුළුවන් වුණානං…මේ පොඩි දේ කරන්න බැරි ඇයි…ඒක හරි අසාධාරණයිනෙ…”

මදිරා ගේ මුවග ඉසිහින් සිනහවක් නළියෑවේ ය.

“එහෙම නෙවේ තාත්ත. ඒව සිරිත්නෙ. දුවෙක්ගෙ ඒ වැඩ කරන්නෙ අම්ම. අම්ම නැති වෙලානං වැඩිමල් සහෝදරියක් හරි නෑදෑවෙන ගෑනු කෙනෙක් හරි තමයිලු ඒක කරන්න ඕනෙ”

“පුතාට ඉතිං අක්ක කෙනෙක් නෑනෙ. අපි එහෙමනං…ඔය කවුරුහරි රිලේශන් කෙනෙක්ට කතා කරල තියාගමු. ඔයා බලල කියන්නකො”

“තාත්ත…”

මදිරා යමක් කියන්නට තතනමින් සිටියා ය. සැබවින් මේ ඇගේ අතින් පමා වූ යුතුකමක් බව දැන් ඇයට දැනේ. පසු ගිය දින වල දියමන්ති ගැන ද ශාන්ත ගැන ද දැනගත් දේවල් මත දුරට දිගට සිතත්දී, තමන් ගැන ඇය තුළ ලැජ්ජාවක් වැනි හැඟීමක් ඇති විය. අම්මා මිය ගියාට පස්සේ තාත්තා ගේ ජීවිතයට පැමිණි ගැහැනිය වෙනුවෙන් ඇය සිය පවුල තුළ කිසි දාක දොරටු විවර නොකිරීම ගැන සංවේගයක් ද පසුතැවීමක් ද ඇයට දැනෙන්නට විය. තාත්තාත් මනුලත් දෙදෙනා ම අවස්ථා දෙකකදී එක ම සිදුවීමකට මූණ දුන් බවත්, එක ම වෙනස මනුල ගේ දරුවා මව් කුස දී ම මිය යාම බවත් මදිරා ට පසක් වී තිබේ. ඇය මනුල ට දුන් අවස්ථාව සුදර්ශනී සිය පියාට දී ඇති බව වටහා ගන්නට දැන් ඇයට බැරි නැත. නමුත් අතීතයේ දී ඇය සිතුවේ ඊට වඩා පටු වූ රාමුවක් තුළ හිඳ ය.

“කියන්න පුතේ මොකද්ද වෙන්න ඕනෙ..”

“තාත්ත. මං ආසයි…අම්ම වෙනුවෙන් සුදර්ශනී අම්ම මගෙ නළල් පටිය තියනවනං”

මයිකල් ට ඒ ඇසුණ දේ එක වර විශ්වාස කර ගත නො හැකි වූයේ ය. මුළු පපුව ඇතුළු ශ්වසන පථය ම හිර වී ගියා වැනි සංවේදනයක් ඔහු අත්වින්දේ ය. ටික වෙලාවකට පස්සේ ඔහු සිය දියණිය සිය පපුව මත තුරුලු කොට ගෙන සිටියේ ය. මයිකල් ගේ ඇස් වලට කඳුළු උනා තිබිණ.

අවුරුදු විසි ගණනකට පස්සේ “අම්මා” කියා අමතන්නට කෙනෙකු එදා මදිරා ට හමු විය. සුදර්ශනී මදිරා ගේ නළල් පටය තැබුවේ අසීරුවෙන් කඳුළු ඉවසා දරා ගනිමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles