මල් තුහින -48

දෙමිතුරියන්ගෙන් සමුගත් පසු උත්පලා මුණ ගැසෙන්නට යන්නට තුහින තීරණය කළේ ය. ඔහු ඒ ගැන පැවසුවේ මලිතිගේ නිවසින් එළියට බසින්නට මොහොතකට පෙර ය.

“මම හිතනවා ඔයා එහෙම කරන එක හොඳයි කියලා. මොකද දන්නවද මොනවා වුණත් හැම කෙනෙකුටම ජීවිතේ දෙවැනි අවස්ථාවක් තියෙනවා. ඒක පාවිච්චි කරන එකේ කිසිම නරකක් නැහැ.”

මලිති එසේ පැවසුවේ ඒ තීරණය අගය කරමිනි. තුහින කිසිවක්ම නොකියා මන්දහාසයක් නඟා පිටව ගියේ ය. ඔහුගේ මෝටර් රථය ගේට්ටුවෙන් පිට වූ වහා රුවිනි මිතුරියගේ අතකින් අල්ලා ගත්තා ය. ඒ වැරෙන් අල්ලා ගැනීම උසාවියක ප්‍රශ්න නැගීමක ආරම්භයක් බව මලිති දන්නී ය.

“ඇත්තටමද අර කිව්වේ? වෙස්සන්තර පන්නේ වැඩ කරලා රෑ නිදි මරාගෙන අඬන්න නම් තියාගන්න එපා. මං හැරිලවත් බලන් නෑ.”

උත්පලාට තුහින කතා කරන්නට යාම ඇතැම් විට නැවත ඔවුන්ගේ සමීප වීමට හේතු වන්නට ඉඩ තිබේ. මලිති නවීන්ව අතැර ආවේ තනි වන්නට ය. ඒ තනි වීම සදාකාලික තනිවීමකින් කෙළවර වනවා දකින්නට රුවිනිගේ කිසිම කැමැත්තක් නැත.

” මම තුහිනට ආදරෙයි. ඇත්තටම ආදරෙයි. මට පොඩි කාලෙදි කාලේ  එයාව මඟහැරුණේ ඇයි කියලා හිතෙන තරමට ආදරෙයි.”

මලිති එසේ පැවසුවේ දෑස් මත ලා තෙතක් තැවරෙද්දී ය.

“එහෙනම් මොන මඟුලටද ඒ මිනිහව අර යස්ස ගෑනිව බලන්න යන තැනට මෝටිවේට් කරේ.”

රුවිනිගේ ප්‍රශ්නයට මලිතිට පිළිතුරක් තිබිණ. රුවිනි සහ පැතුම් දෙපසට වෙන් වීම ද මලිති නවීන්ව හැර ඒමද විශාල අර්බුද මතු කළ කතාන්දර නොවේ. මෙතැන කතාව වෙනස් ය. පෙනෙන අන්දමට උත්පලා මානසික රෝගියෙකි. ඇය ඇතැම්විට ඈ වටා හිඳින පිරිස් බලය අහවර වූ දිනයක සමාජ මාධ්‍ය තරුවක වී බැබළීම ඇයටම එපා වූ දිනයක සියදිවි නසා ගන්නට පවා ඉඩක් තිබේ.

“අම්මා මැරෙන තරමටම වැඩ සිද්ධ කරේ තාත්තගේ හැසිරීම කියලා ශේන්යා කවදහරි දවසක තුහිනට චෝදනා කළොත් ඒක හරිම නරකයි. තුහිනට වෙන කවුරු සදාකාලිකව නැතිවෙලා ගියත් කමක් නැහැ. ඒත් එයාට මරණෙන් මෙපිට ශේන්යා නැති වෙන්න ඉඩ දෙන්න බෑ.”

මලිති එසේ කියද්දී රුවිනි පුටුවක් මත සුවපහසුව අසුන් ගත්තේ සෝපහාසයට බර බැල්මක් දෑස් මතට ගනිමිනි. ඇය මලිතිට බිඳුවක්වත් එකඟ වන්නට කැමති නැත.

“මළ විකාර! සමහර වෙලාවට හරිම ඉදිරිගාමීව හිතනව කියලා හිතන උඹත් වෙලාවකට මහ පුදුම විදිහට හණමිටි මනුස්සයෙක්. ගිලිහිලා යන බැඳීම් බලහත්කාරෙන් අල්ලලා බැඳ ගන්න හදන හරිම කැත වැඩක්. උත්පලා බබාවයි තුහිනවයි රිජෙක්ට් කරන්නේ එපා නිසා. ආයේ ආවත් ඔය ගෑනි කරන්නේ සෝෂල් මීඩියාවලට බොරු වීඩියොයි හෑලියි දාලා ඊට පස්සේ දවස තිස්සෙම රණ්ඩු කරන එක. එහෙම පරිසරේක ජීවත් වෙන එක දරුවෙක්ට මොනතරම් අවුලක් ද? හිනාවෙන්න ඕනි වීඩියෝවලට විතරයි කියලා තේරුම් ගත්තහම ඒ දරුවාට තේරෙනවා මුළු ජීවිතේම බොරුවක් කියලා. පොඩි එකෙක් එහෙම හැඟීමක් දෙනවට වඩා අම්මා මැරුණයි කියලා හැඟීම දෙන එක එකක්. අනිත් එක මම හිතන්නේ නෑ උත්පලා කිසිම දවසක ජීවිතය නැතිකර ගනී කියලා. ඔය මනුස්සයා පර්සනල් ඩිසෝඩර් එකක් තියන මනුස්සයෙක්. ඒක එහෙම නිසා අපි එයාට අනුකම්පා කරන්න ඕන. අනුකම්පාව කෙළවර තුහිනයි බබයි දෙන්නා එයාට බිලි දෙන්න ඕනේ කියලා මම හිතන්නේ නෑ.”

 තුහින උත්පලා සමග කතාබහ කර නැවත එක්වන්නට ඉඩ තිබීම ගැන හදවතේ ඇති වී ඇති තුවාලය මිතුරියටවත් නොපෙන්වන්නට මලිතිට ඕනෑ විය. නමුත් ඇය සිටියේ ඉකිබිඳ හඬමිනි. ඒ හැඬීමට හේතු අසන්නට රුවිනිට ඕනෑ වූයේ නැත. ඇය මිතුරිය තුරුලට ගත්තා ය.

“ෆිල්ම්වල තියනව වගේ වෙස්සන්තර වැඩ කරන්න ඕන නෑ. පරිත්‍යාගය ආදරේ කොටසක් වෙන්න ඇති. ඒත් අත ළඟටම එන සැනසීමක් පරිත්‍යාග කරාම උඹයි තුහිනටයි දෙන්නටම ආයේ කිසිදාක සැනසීමක් නැත්තං ඒක කරන්න ඕන නෑ. අනිත් එක අම්මා කෙනෙක් කියන්නේ දරුවා බඩේ තියන් ඉන්න මනුස්සයම නෙවෙයි දරුවා හිතේ දරන් ඉන්න මනුස්සය කියලා උඹ දන්නවනම් මේවා මෙතනින් එහාට කතා කරන්න ඕන කියලවත් මට හිතෙන් නෑ.”

නමුත් ඔවුන්ගේ තීරණය එක්වීම නම් හදවත රිදී බිඳී ගිය ද එයට ඉඩ දෙන්නට මලිතිට ඕනෑ විය. ජීවිතය එහෙම ය. ඇතැම්විට ජීවිතයට අත්‍යවශ්‍යම යයි හැඟෙන සමහර දේ දෑස් මානයේම අහිමි වී යයි. 

මලිති මහාමෙරක් හදවතේ තරමින් තුහිනගේ තීරණය කෙසේ වී දැයි කල්පනා කරද්දී තුහින උත්පලා හමුවන්නට ගියේ ය. දෙවැනි අවස්ථාවක් ගැන ඔහුට විශාල විශ්වාසයක් නොවේ. අනෙක් කාරණාව ඔහු හිසේ කෙස් ගණනට අවස්ථා ඇයට ලබාදුන් බවද ඔහුට අමතක කරන්නට නොහැකි ය.

ඒ නිසා මේ අවසන් අවස්ථාව මිස දෙවැනි අවස්ථාව නොවන බව තුහින සිතුවේ ය. දියුණු මිනිසුන් ලෙස කතාබහ කර සමහර තීරණ තීරණවලට එළැඹීම මිසක මඩ ගසා ගැනීම ප්‍රශ්න විසඳන ක්‍රමය නොවන බව උත්පලා ට කියන්නට ද ඔහුට උවමනා වී තිබිණි 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles