ආදර මල්වල පාට කියන්නද? – 40

0
2571

තාත්තාව බදාගෙන විනාඩි කිහිපයක්ම එකදිගට හිතේ හැටියට අඬපු ආකර්ෂා, හෙමින් නැගිටලා ඇස් දෙක පිහදාගත්තේ තමන්ගේ කඳුළු දැකලා තාත්තා තවත් අසරණ වෙයි කියලා හිතුණු හන්දා.

කොළඹ කවීන්ලගෙ මහ මන්දිරේ මොන තරම් හිත හයිය, හෙන ගැම්මක් තියෙන කෙල්ලෙක් වගේ රඟපපා හිටියත්, තමන්ගේම කියලා තියෙන මේ පුංචි ලෝකය ඇතුළට ආවාම කෙල්ලට දැනුණේ මාරම සැහැල්ලුවක්. ආකර්ෂා විජේන්ද්‍රගේ මූණ දිහා බලලා බොරු කේන්තියක් මවාගෙන, කඳුළු පිසදාන ගමන් ඉණට අත් දෙක තියාගත්තේ ආයෙ වතාවක් තාත්තා ඉස්සරහා අර හුරතල් කෙල්ල වෙන්න හිතාගෙනමයි.

“රැවුලවත් කපලා නෑ හරියට! මං නැති ටිකට ඔක්කොමලා සේරම අතෑරලා දාලා නේද හිටියේ? මං එනකම්ම ඉන්නවා හැමදේටම. බබාලා වගේනෙ අයියෝ ඔයාලත් වෙලාවකට” කියලා  කෙල්ල එහෙම කියලා තාත්තගේ කන අස්සෙන් එළියට ඇවිත් තිබ්බ මයිල් ගහක් ඇද්දෙ වෙනදා වගේම තාත්තව හිනස්සන්න හිතාගෙන. විජේන්ද්‍ර යාන්තම් හිනාවෙන්න උත්සාහ කරද්දී තමයි කෙල්ලට දැනුණෙ තමන් වගේම තාත්තත් හරි ට්‍රැක් එකට ආවෙ දැන් කියලා.

ඊටපස්සේ කෙල්ල කෙළින්ම ගියේ කුස්සියට.

මුළු කුස්සියම පාලුවට ගිහින්, බඩු මුට්ටු ඔහේ විසිරිලා තිබ්බේ මාමා උයනවා කිව්වට මිනිහට මේවා පිළිවෙළකට තියන්න තේරෙන්නේ නැති හන්දා වෙන්නැති කියලා කෙල්ලට හිතුණා. හැමතැනම දූවිලි වැදිලා, කුස්සියේ තිබ්බ පරණ වලං පිඟන් පවා එක එක තැන්වල අතෑරලා දාලා තිබුණා. ඒ මදිවට සමහර තැන්වල මකුළු දැල් පවා බැඳිලා තිබ්බෙ ඒ තරම් පාවිච්චිය හොඳ හන්දා කියන එක කෙල්ලට නොතේරුණා නෙවෙයි.

ආකර්ෂා වටපිට බලලා මුලින්ම හාල් හෝදලා රයිස් කුකර් එකට දාලා ඒක කරන්ට් එකට ගැහුවා. ඊටපස්සේ තාත්තා ආසම කරන විදිහට පදමට තුනපහ, අමුමිරිස් දාලා උකු පරිප්පු හොද්දක් ඒදුවා. ඒ විතරක් නෙවෙයි තෙල් ටිකක් දාලා කරවල කෑල්ලක් මාරම රසට බැදලා ගත්තා. පොල් ටිකක් ගාලා දෙහි ඇඹුල් එක්කහු කරලා අතේ පොල් සම්බෝලයක් හැදුවෙ මෙච්චර දවසක් මාමා හදන ඔය මොකක් හරි එකක් දෙකක් එක්ක කෑව තාත්තට මේ ඉන්න දවස් දෙක තුනේ හරි රසට කන්න හදලා දෙනවා කියලා හිතාගෙන. කොළඹ ගෙදර කන්න බොන්න මොන ජාතියේ රස මසවුළු, ඉහළ පෙළේ කෑම බීම තිබ්බත්, තමන්ගේ මහගෙදර පොඩි කුස්සියේ ඉඳන් තාත්තා වෙනුවෙන් තමන්ගේ අතින්ම උයන මේ සරල කෑම වේලට ගහන්න එකක් ලෝකෙකවත් නෑ කියලා තමයි ආකර්ෂා හිතුවෙ.

පැයකින් විතර කෑම ටිකත් පිඟානට බෙදාගෙන දුං දම දමා ලෑස්ති කරගෙන කාමරයට ආපු කෙල්ල, තාත්තාව හෙමින් ඇඳෙන් වාඩි කරවලා කොට්ටයක් තියලා හේත්තු කළා. ඊටපස්සේ තමන්ගේ අතින්ම බත් කටින් කට අනලා ආදරෙන් කවන්න ගත්තා. තාත්තා මේ තමන් නැති කාලෙට අවුරුදු ගාණකින් වයසට ගිහින් කියලා හිතෙද්දි, තාත්තලා අම්මලා වයසට යද්දි පොඩි බබාලා වගේ වෙනවා නේද කියලා හිතෙද්දි, තමන් නැති ටිකට මේ මනුස්සයා මොන තරම් තනිවෙන්න ඇත්ද කියලා හිතුණාම කෙල්ලට තමන් ගැනම ආවේ ලොකු වරදකාරී හැඟීමක්. හැබැයි ඒ හැමදෙයක්ම කරන්න සිද්ද වුනේ තමන්ටයි තාත්තටයි වැටිලා ඉන්න ඉතුරුවෙලා තියෙන මේ ගේ බේරගන්න ඕන හන්දා නේද කියන එක මතක් කරගෙන තමයි ආකර්ෂා හිත යාන්තං හරි සනසගත්තෙ.

“දැන් ඉතින් ඔය එක එක ජාති කල්පනා කර කර ඉන්නෙ නැතුව මේ ටික ඔක්කොම කන්නකෝ. මං මේ ගෙවල් ටික අස්පස් කරන්න යනවා. නිකන් අපායක් වගේ තියන් ඉන්නවා මේවා. ඇයියනේ තමන් ඉන්න ගේ නේද පොඩ්ඩක් අස්පස් කරලා තියාගත්ත නං මොකද වෙන්නෙ? ඔය ඇඳට වෙලා ඉන්නකොට ලෙඩ වැඩි තාත්තෙ. පොඩ්ඩක් ඇඳෙන් බැහැලා වත්තෙ චුට්ටක් ඇවිද්දනම් ඔය ඔක්කොම හරියාවි. ඔයාගෙත් මේ බොරු ලෙඩ අප්පා තියෙන්නෙ. මාව දැක්කම තමා ඔයාගෙ ඔක්කොම ලෙඩ. මං නැති දවස් ටිකේ දාන්නෝන ඔක්කොම ඩාන්සස් දාන්න ඇති” කියලා තාත්තව පොඩ්ඩක් නග්ගලා ගන්න හිතාගෙන කෙල්ල කියද්දි නං විජේන්ද්‍රත් කැහැ කැහැ හිනාවුනේ මොක උනත් කෙල්ල ගෙදර උන්නා නම් තමන් උනත් මීට වඩා නටලා කරලා ඉඳීවි නේද කියන කල්පනා කරන ගමන්.

“ඔව් ඉතින් මෙතන මාස කීපෙකට පාරක් ඇවිල්ලා මට බැණලා යන්නනෙ උඹ දන්නෙ” කියලා තාත්තා  කියද්දි ආකර්ෂා මූණ අමුතු කරගෙන වගේ තමයි ආයෙ තාත්තා දිහාව බැලුවෙ.

“එව් එව් එහෙම හරි ඇවිල්ලා වැඩ කරන්න ඉන්නෙ මං විතරනෙ නේද? එව්වට එක එක ඒවා කියන්න නම් කට වැඩ කරනවා නේද මිස්ට සෙනෙවිරත්න ඈ?”

“කවුද දන්නෙ ඔය පාට කරන වැඩ කරන්න ගියාය කිව්වට මොනවා කරනවදා කියලා. ඇත්ත කියපං උඹට පවුලක්වත් තියෙනවද ඔය ඉන්න පලාතෙ මං එක්කල ඔව්වයි විස්තර කියන්නෙ නැත්තෙ?”

“අපෝ ඔව් ඉන්නවා මට මේං කියලා පවුලක්. ඉස්සරහට මට අවුරුද්දක් විතර යනකං එන්න වෙන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ”

“ඒ මොකද ඒ?”

“මං මගේ එහෙ ඉන්න පවුල එන්න දරුවෙක් හදාගන්න හිතාගෙන ඉන්නෙ. එන්න වෙන්නෙ දරුවා හම්බුණාට පස්සෙ තමයි”

“එව් එව් උඹ නම් මේ යන විදියට කවදහරි දරුවෙකුත් උස්සගෙන ගෙදරට ඒවිද දන්නෙ නෑ තමයි. කෙල්ලෙ මේ ඔය ඉන්න තැන ගැන විස්තර මගෙන් හැංගුවට කමක් නෑ. මරි මොංගල් වැඩ කරගෙන උඹ ගෙදෙට්ට එන්න හිතාගෙන ඉන්නවා නම් කළින් මට කෝල් එකක්වත් දීලා කියහං හොඳේ මයෙ අම්මා”

“ඒ මොකටද කෝල් කරලා කළින් කියන්නෙ?”

“නෑ ඉතින් ගේ අස්පස් කරලවත් තියන්න”

“අපෝයි ඔව් මේං කියලා අස් කරාවි තමා. පේනවනෙ මට මේ අස් කරලා තියෙන හැටි” කියාගෙනම තමයි කෙල්ල තාත්තා කාල ඉවර වෙච්ච කෑම පිඟාන අරගෙන කාමරෙන් එළියට ගියේ.

ඉන්පස්සෙ කෙල්ලට ලොකුවටම තිබ්බ වැඩේ තමයි ගේ අස්පස් කරන එක. කොස්සත් අතට ගත්තු කෙල්ල මුලින්ම සාලේ ඉඳන් හැම කාමරයක්ම අතුගාලා, දූවිලි පිහදාලා, හැම කොනකම බැඳිලා තිබ්බ මකුළු දැල් කැඩුවේ හරියට ආවේශ වෙච්චි එකියක් වගේ. කෙල්ලගේ හිත ඇතුළේ තිබ්බ හැම නොසන්සුන්කමක්ම, බස් එකේ එද්දී කවීන් ගැන හිතපු හැම නොතේරෙන හැඟීමක්ම අතුගාලා දාන්න වගේ කෙල්ල මාරම මහන්සියකින් වැඩ කළා. වැඩ කරද්දි සිරාවටම ඔලුවෙ තියෙන කරදර අඩුවෙනවා නේද කියන එකත් කෙල්ල ඒ අස්සෙම කල්පනා කරා.

“මනුස්සයෙක්ට ඉන්න පුළුවන්ද අප්පා මෙහෙම? කොහොම උන්නද මන්දා මේ දෙන්නා දූවිලි ගොඩේ” කියලා  කෙල්ල තනියම කියව කියවා, කාමරේ ඉන්න තාත්තටත් ඇහෙන්න ආදරේට බණින ගමන් මුළු ගේම ගානට ක්ලීන් කෙරුවා. සාලේ, කුස්සිය, නාන කාමරේ සේරම එකින් එක හෝදලා, පිහදාලා, ලස්සනට පිළිවෙළක් කරපු කෙල්ල අන්තිමට නැවතුණේ තාත්තා ඉන්න කාමරේ ළඟ. ඒ වෙද්දී මුළු ගේම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා, පරණ ලස්සන මහගෙදර සුවඳ ආයෙමත් හැමතැනින්ම එන්න පටන් අරන් තිබුණා.

කෙල්ල දාඩිය පෙරාගෙන, හති දාන ගමන් තාත්තා ඉන්න කාමරේ ඇතුළට ආවේ අන්තිම හරියත් අස් කරලා දාන්න හිතාගෙනයි. කාමරේ හැමතැනම විසිරිලා තිබ්බ පරණ බඩු මුට්ටු, ඇඳුම් කෑලි එකතු කරන ගමන් කෙල්ල තාත්තා දිහා බලලා හිනාවුණා. හැබැයි කෙල්ල දැනන් හිටියේ nAA, තමන් මේ අස් කරන්න ලෑස්ති වෙන කාමරේ කොනක, තමන්ගේ මුළු ජීවිතේම උඩුයටිකුරු කරන්න බලන් ඉන්න ලොකුම රහසක් හැංගිලා තියෙනවා කියලා.

“තාත්තේ… ඔය ඇඳෙන් පොඩ්ඩක් මෙහාට වෙන්නකෝ, මං ඔය අල්මාරිය පැත්ත පොඩ්ඩක් අස් කරලා දාන්න. නැත්නම් මං ලබන පාර එද්දි මේක දූවිලි මාලිගාවක් වෙලා තියේවි. ඔයාත් මේක අස්සට වෙලා ඉන්න එපා, යන් එලියට. අන්තිමේ ඊටපස්සෙ කැහැ කැහැ ඉඳීවි” කියලා කෙල්ල විජේන්ද්‍රව හෙමින් සැරේ සාලෙට එක්කරගෙන ආවා.

අවුරුදු ගාණකින් හරියට අස්පස් කරලා තිබ්බෙ නැති, අතීත මතක සෙට් එකක්ම එක්කහු කරගෙන උන්න ඒ පරණ ලී අල්මාරිය කෙල්ල අස්කරන්න පටන් ගත්තෙ  මූණට මාස්ක් එකකුත් බැඳගෙන  මාරම හිතේ සැහැල්ලුවෙන්. කෙල්ල තාත්තාගේ පරණ කලිසම්, ෂර්ට් කෑලි වගේම පරණ ලියකියවිලි, පොත්පත් එක එක එළියට අරන් ඇඳ උඩින් තියලා පිළිවෙළකට නමන්න ගත්තා. අල්මාරියේ පරණ ලී සුවඳත් එක්ක දූවිලි සුවඳ මුළු කාමරේම පිරිලා යද්දී, කෙල්ල අල්මාරියේ අන්තිම තට්ටුවත් අස් කරන්න තමයි හිතාගෙන උන්නෙ. ඒ හරියේ පරණ පත්තර කොළ වගයක් දාලා තිබ්බේ පොත්වලට දූවිලි වදින එක නවත්තන්න වෙන්නැති කියලා කෙල්ලට හිතුණා.

හැබැයි, ඒ පරණ පත්තර කොළවලට යටවෙලා හැංගිලා තිබ්බ ටිකක් ඝනකම ෆයිල් එකක් කෙල්ලගෙ අතට අහුවුණේ අන්න එවෙලෙ.

 ඒක සාමාන්‍ය ලියවිල්ලක් නෙවෙයි කියලා කෙල්ලට එකපාරටම හිතුණේ ඒක අල්මාරියේ පතුලෙම කාටවත් හොයාගන්න බැරි විදිහට, කිසිම කෙනෙක්ට ලෙහෙසියෙන් අහුවෙන්නේ නැති වෙන්න හංගලා තිබ්බ හන්දා.

“මොකක්ද මේ පරණ ෆයිල් එක? තාත්තා මෙච්චර හංගලා තියන්න තරම් මේකේ මොනවා තියෙනවද මන්දා” කෙල්ල තමන්ගෙන්ම අහගන්න ගමන් ඒක හෙමින් එළියට ගත්තා.

කුතුහලේ පිරිච්ච බැල්මෙන් ආකර්ෂා ඒකේ තිබ්බ දූවිලි ටික හෙමින් පිහදාලා, ෆයිල් එක තමන්ගේ උකුල උඩින් තියාගෙන හෙමින් දිගහැරියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here