සියක් සියපත් 43

විටෙක කඩිනමින් ද විටෙක මන්දගාමී ව ද දවස් ගෙවෙමින් තිබිණ. සියපත් සඳපිනි සූරියගොඩ දැන්  ගෝල්ඩන් ටී ආයතනයේ සේවයට යයි. ආයතනික පුහුණුවක් ලැබීම ඇය ඉන් බලාපොරොත්තු වන දෙයයි. ලැබෙන වැටුපට වඩා වැඩි සේවයක් කළ යුතු ය යන හැඟීම දැන් ඇගේ ඇට මස් ලේ නහර වලට කා වැදී ඇත්තේ ය. ඒ නිසා ඇය දවස පුරා වැඩ කරයි. ඒ අතරේ ම ඕ විවෘත විශ්ව විද්‍යාලයෙහි ව්‍යාපාර කළමනාකරණ උපාධිය සඳහා අධ්‍යයන කටයුතු වල නිරත වන්නී ය. දුරස්ථ අධ්‍යාපනයක යෙදීම හැම අතින් ම පහසුයි කියා ඇයට සිතේ. 

ජීව විද්‍යාත්මක වශයෙන් වන උරුමකම් ගැන දැන් ඇගේ හිත කරදර නොවේ. සිතිවිලි සීමා වන විට ජීවිතය වඩාත් අසීරු වග ඇය තේරුම් ගත්තේ ශාන්ත සූරියගොඩ හා දියමන්ති ජයකොඩි යන දෙදෙනා ගේ ජීවිත දෙස බැලීමෙනි. ඔවුන් දෙදෙනා ම තම තමන් ට ජීව විද්‍යාත්මක උරුමයක් නොවනා නිවුන් දැරියන් දෙදෙනෙකුට පරිසමාප්ත අර්ථයෙන් ම පීතෘත්වය හා මාතෘත්වය හිමි කොට දුන් සැබෑ මව් පියවරු දෙදෙනෙකි.

“එක දරුවෙක් දෙන්නෙක් නෙවෙයි හැම දරුවෙක්ම තමන්ගෙයි කියල හිතන්න පුරුදු වුණහම අම්මා කියන හැඟීම විශ්වීය හැඟීමක් වෙනව සියපත්”

එදා රාත්‍රිය ඔවුන් සමග ගත කිරීමෙන් පස්සේ සියපත් සමු ගන්නට සූදානම් වෙත්දී දියමන්ති ඈ වැළඳ ගනිමින් කීවා ය. මොහොතක් ඇස් පියා ගෙන උන් සියපත් ට සුජීවා ළඟ දැනෙන උණුහුමත්, සුවඳත් දියමන්ති ළඟ ද දැනිණ. 

“මං ගිහිං එන්නං අම්ම”

අමාරුවක් නැතිව ඇය අම්මා කියන වචනය උච්චාරණය කළා ය. ඊට පස්සේ ඇයට සහනයක් දැනිණ.

“අපි එහෙනං යන්නද අම්ම..”

සදාතන එසේ කියත්දී සියපත් ටික ටික ලොකු හුස්මකින් පෙනහලු පිරෙන්නට හැරියා ය. බිඳෙනවාට වඩා බැඳෙනා එක සුවදායක ය. 

“තාත්තට කියන්න සියපත්…අපි දවසක මුණගැහෙමු කියල. කොහොමත්..අපි තව වැඩි දවසක් ලංකාවෙ ඉන්න එකකුත් නැති වෙයි. ඊට කලින් මුණගැහෙන්න ඕනෙ”

ජිතේන්ද්‍ර එසේ කියත්දී අමුතු රිදුමක් සියපත් ගේ හදවත ට කාන්දු වන්නට විය. ඔවුන් දුරු රටකට නික්ම යනවා කියන පුවත ඇය රිදවූයේ බැඳීමක් ඇති වී ඇති නිසා බව ඇය වටහා ගත්තා ය.

“යන්න කලින් අම්මව දකින්නත් ආසයි”

සියපත් ගේ බඳ මත අත තබා දියමන්ති කීවා ය. සියපත් වහා ඇගේ ඇස් වලින් කිමිදෙන උත්සාහයක් දැරුවා ය. ඒ ඇස් වල ඊර්ශ්‍යාවක හෝ ක්‍රෝධයක සේයාවක් හෝ වූයේ නැත.  ඒ වෙනුවට නිවීමක් ඒවායේ විය. නතර වීමක් හෝ නිශ්චලත්වයක් විය. උදා කර ගත් සුවයක් විය. 

“මං අම්මිව එහෙ එක්කං යන්නං”

වියානා වහා ඉදිරිපත් වූවා ය. 

දියමන්ති ජයකොඩි වූ කලී මුණිවර දැහැන් වැඩූ ස්ත්‍රියක නොවේ. සිය තරුණ වියෙහි දී මුහුණ දෙන්නට සිදු වූ කුණාටු වල ප්‍රචණ්ඩත්වය විසින් ඔරොත්තු දීම කියනා ලක්ෂණය තියුණු කළා වූ ස්ත්‍රියකි. ජීවිතය අභියස ට එන සිදුවීම් වලට ඔරොත්තු දිය නොහැක්කා වූ ජීවීන් වඳ කොට හැරීම ස්වභාව ධර්මයේ සුවිශේෂ ලක්ෂණයකි. ස්වභාවයෙන් ම තැන්පත් ගැහැනියක වූ ඕ සාහිත්‍යයට නැඹුරු වීම ඔස්සේ වඩාත් අධ්‍යාත්මික දියුණුවක් ලද්දා ය. විවාහයෙන් පසු නිසි වයසේ දී දරු සම්පත් නොලැබීමත්, සිය සැමියා තරමක සෙල්ලක්කාරයෙකු බව යම් යම් සිදුවීම් ඔන්සේ ඒත්තු යාමත් නිසා ඇය යම් කාලයක් ගත කළේ කැළඹීමෙනි. ගෙදර වැඩට සොයා ගත් ගැහැනුන් දෙතුන් දෙනෙකු ම දවසින් දෙකෙන් වැඩට එන එක නතර කරත්දී ඇය ඒ ගැන සැක කළා ය. සැකය තහවුරු වෙන සිදුවීම වූයේ සුජීවා ගැබ් ගැනීම ය. ඇයට ඒ ගෘහ සේවිකා රැකියාව අතිශය වැදගත් වූයේ තමන්ගේ කියා කිසිවෙකු නොවූ අසරණ කාන්තාවක වූ බැවිනි. ඇයට අනුකම්පා කළ දියමන්ති ඇය ගෙදර නතර කර නො ගත්තේ ම දුර දිග සිතා ය. නමුත් ජිතේන්ද්‍ර ගෙන් සුජීවා රැක ගත නො හැකි විය!

ඕනේ නම් සුජීවා ට දොස් කියා ඇය සේවයෙන් පහ කොට හරින්නට තිබිණ. නමුත් ඇය කුස්සිය මිදුලේ වමනය කරත්දී ජිතේන්ද්‍ර ගේ ඇස් වල වූ දීප්තිය දියමන්තිගෙන් වසන් කළ හැකි වූයේ නැත.

“මට ළමය ඕනෙ”

කියා ඔහු තරයේ කියා සිටියදී ඇය අනන්ත වූ කළු කුහරයක ගිළුණා ය. නමුත් දින ගණනාවක් එතුළ දුක් විඳීමෙන් පස්සේ දියමන්ති ඊට හිත හදා ගෙන සිටියා ය. ඕනේ නම් ඇයට වෙනත් තීරණයක් ගන්නට තිබිණ. ඒ ජිතේන්ද්‍ර වෙතින් වෙන් වීමට ය. නැතහොත් දරුවා ප්‍රතික්ෂේප කිරීමට ය. නමුත් ඕ දියක ගැඹුරු ම තැනක් වාගේ නිශ්චල හා සාමකාමී වූ එකඟතාවයකට පැමිණියා ය. 

සුජීවා එක් දරුවෙකු ගෙන සැඟවී ගොස් ඇති බව දැන ගත් වේලේ ඇගේ තොල් කොනක සිනහවක් ඇඳිණ. ඒ සුජීවා ගේ වීර ක්‍රියාව අගයමිනි. සුජීවා ජිතේන්ද්‍රගෙන් ගැබ් ගැනීම යනු ප්‍රේමයක ප්‍රතිඵලයක් නොවේ. අතවරයක ප්‍රතිඵලයකි. අතවරයට ලක් වූ අසරණ, නූගත් ස්ත්‍රිය වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතු බවට දියමන්ති ගේ හදවත අරගල කරමින් සිටියේ ය. එසේ සිටියදී සුජීවා කළ මේ අරගලය විමුක්ති අරගලයක් සේ දියමන්ති ට හැඟිණි. මවකට දරුවෙකු කියන්නේ කෙතරම් අසීරු තත්වයකදී වී ද වස්තුවකි. සම්පතකි. එක අතකට අනාගත ආයෝජනයකි. අනිච්ඡානුග ව වී ද සුජීවා ට එය හැඟී යාම ඇයගේ ජයග්‍රහණයකි. ඒ පීඩිත පරපුරේ ගැහැනිය වෙනුවෙන් අයට කළ හැකි උත්තමාචාරය වනුයේ වියානා මිනිස්කම් සහිත දරුවෙකු ලෙස ඇති දැඩි කිරීම සේ ඉනික්බිති දියමන්ති විශ්වාස කළා ය. 

“වියානාගෙ අම්මට අම්මව දකින්න ආසයි කිව්ව. වියානා කිව්ව එයාව දවසක මෙහෙ එක්කං එනව කියල”

කුස්සියට වී සුජීවා රාත්‍රී භෝජන සකසමින් උන් වෙලාවක, හිරමණය මත වාඩි වී පොල් ගාන ගමන් සියපත් සිහිපත් කළා ය. අම්මා තිගැස්සී යතැයි ඇය බලාපොරොත්තු වී ද සුජීවා සන්සුන් ව බත කූරු ගෑවා ය.

“මනුස්සයො අතරෙ ඉන්න දේවතාවක් වගේ මැඩම් කෙනෙක්. මං දාල ආපු දරුව ගැන කවදාවත් ම තැවුණෙ නැත්තෙ ඒකයි”

මඳ කල්පනාවකට පස්සේ ඇය මිමිණුවා ය. අම්මා මේ තරමට උපේක්ෂා සහගත වෙනවා සියපත් දැක නැති තරම ය. ඇයට ද පංකජී ටද උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුණත් ඇය වද වූ තරම අමතක කළ නො හැකි ය. ගැහැනුන් කියන්නේ විශ්වය මත වන බිය, දුක, කම්පාව, අසාධාරණය විඳ දරා ගන්නට ම උපන් ජීව කොට්ඨාශයක් විය යුතු යයි ඇයට සිතිණ.

උපන් ගමන් දරුවෙකු අත් හැරීමේ වේදනාව ගැන දැන් සුජීවා සිතන්නටවත් කැමති නැත. වැඩ කළ ගෙදර මහත්තයාගෙන් සිදු වූ බලහත්කාරයක ප්‍රතිඵලය ලෙස ගැබ් ගනිත්දී සුජීවා ඒ තරම් දැනුම් තේරුම් ඇති තත්වයක පසු වූවා නොවේ. ඇගේ ඒකායන අරමුණ වී තිබුණේ රැකියාවක් කර ගෙන කාටවත් අත නොපා ජීවත් වීම ය. බලහත්කාර දරු ගැබක් යනු ඒ වෙලාවේ ඇයට ඕනෑ වූ දෙයක් නොවේ. මුළු ආත්මයට ම බරක් වූ දෙයකි. නමුත් ගෙදර නෝනා ඒ දරුවා බාර ගන්නට එකඟ වීමත්, දරු ප්‍රසූතිය තෙක් සියල්ල ඇගේ උපදෙස් මත සිදු වීමත් නිසා සුජීවා ඔහේ වෙන දෙයක් බලා ගෙන සිටියා ය. ඊටත් වඩා සිදු වූ වරද වෙනුවෙන් දියමන්ති ගෙවනවා කියූ වන්දිය ගැන ඇය බලාපොරොත්තු සහගත ව සිටියා ය. ඒ මුදලින් බඩු ගෙන බත් පැකට් සාදා කඩ වලට දමනා ස්වයං රැකියාවක් අරඹන්නට සිහින දකිමින් සිටියා ය. නමුත් ප්‍රසූතියෙන් පස්සේ ඇයට ඕනෑ වූයේ ඒ එකක්වත් නොවේ. දරුවා ය!

අම්මා කෙනෙකු ලෙස සුජීවා උපන්නේ දරු ප්‍රසූතියේ දී ය. තමන් වටා වන සියල්ලට වඩා ඒ මොහොතේ පටන් ආදරය කරන්නට ගන්නේ ශරීරයේ ම කොටසක් වූ දරුවාට බව පත පොතින් නොව තමා විසින් ම ඇය දැන ඉගෙන ගත්තේ ඒ වෙලාවේ ය. දරුවන් නොමැති දියමන්ති සිහි නොවන්නට ඇය දියණියන් දෙදෙනා ම ගෙන පළා යනු ඇත. ව්‍යාජ කුසයක් දරා ගෙන දියමන්ති විසින් ඒ නව මස තුළ කළා වූ බලාපොරොත්තු සහගත කැපවීම අමතක කරන්නට ඒ අසීරු මොහොතේ වුව සුජීවා ට හැකි නොවිණි. හිස් වූ දියමන්ති ගේ උකුළ සිය දරුවෙකුගෙන් පිරවීම ගැන, සුජීවා නිරතුරු සැනසුම් සහගත වූවා ය. සැබවින් ඇය එක දරුවෙකු තොටිල්ලේ ඉතිරි කොට ආවේ ජිතේන්ද්‍ර වෙනුවෙන් ම නොව දියමන්ති ද වෙනුවෙනි.

“ගෑනු අපි හරි පුදුමයි මැණික…තාත්ත වගේ සමහර පිරිමිත් එහෙම්ම තමා”

සියපත් අම්මා ගේ මූණ දෙස ම බලා සිටියා ය. ගෙවා ආ දුක් කඳ ගැන කිසිදු තැවුලක් ඇගේ මුහුණේ නැත්තේ ය!

දවසක් කාර්යාලයේ දී සියපත් සනාතන ව කතාවට අල්වා ගත්තා ය. සැබවින් ඇය එහෙම තනි වීමක් වෙනුවෙන් බලා ගෙන සිටියා ය.

“වියානා ගැන මුකුත් හිතෙන්නැද්ද..”

හුරුබුහුටි ලෙස ඇය එසේ විමසත්දී ක්ෂණික පිළිතුරක් සනාතන වෙත සූදානම් වී තිබුණේ නැත. එහෙයින් ඔහු සිනහ වූයේ ය. ඒ ප්‍රශ්නය පසු ගිය දින ගණනාව පුරා ඔහු ඔහු ගෙන් ම කී වතාවක් අසා ගත්තා දැයි සනාතන ට නිනව් නැත. සැහැල්ලු සුළඟක් සේ වූ ඔහු ගේ හිත, එදා රාත්‍රියෙන් පස්සේ අධි පීඩන කලාපයක් බවට පත් ව තිබේ. ඒ එක රාත්‍රියක් කියා එතැන පසු කොට යන්නට බැරි කිමදැයි ඔහු ට වැටහෙන්නේ ද නැත. වියානා වෙනුවෙන් එදා ම ඔහු විවාහ යෝජනාවක් කළේ ය. නමුත් ඇය ඒ ඉතා සැහැල්ලු ලෙස ප්‍රතික්ෂේප කළා ය. ඉතින් වෙනදා සේ ම පාඩුවේ ඉන්න ඔහු ට කිසිදු බාධාවක් නැත. නමුත් එසේ කළ නො හැකි ලෙස හදවත මත පැටවී ඇති මහ කන්දක බර කුමක් දැයි ඔහු නො දනී.

“මං මොනා හිතන්නද..”

සනාතන සියපත් ගේ ප්‍රශ්නය විහිළුවකින් මගහරින්නට හැදුවේ ය. නමුත් ඒ දෙතොල් මත වූ මඳහස ඉකිබිඳුමක් සරි වූයේ ය.

“සදාතන අයිය කියල හිතං හරි එයා කතා කළේ ඔයා එක්කනෙ. පව් නැද්ද…එයා බලාපොරොත්තු තියා ගත්තනං ඒ ඔයා ගැනනෙ අයියෙ”

“මගුලක් කියනව මෙයා”

“ඇයි..”

“එයාට එහෙම සෙට්ල් වෙන්න ඕනකමක් නෑ”

“ඒ කිව්වෙ..”

නො කිවයුතු යමක් කියවෙන්නට ගිය බව සිහි ව සනාතන ඒ ගිල ගත්තේ ය. සියපත් ඇස් පිල්ලමක් හෝ නො හෙලා ඔහු දෙස බලා සිටියේ හැම ඉරියව්වකින් ම ඔහු වටහා ගැනීමේ උත්සාහයකිනි.

“මං හිතන්නෙ වියානා ඔයාට කැමතියි”

සනාතන ගේ කට කොනක් සිනහවකට ඇද විය.

“ඒත් එයා හිතනව ඔයාට එයා ගැන එහෙම ෆීලින් එකක් නෑ කියල. හැබැයි…”

කියන්නට ගිය දේ අතර මග නවතා සියපත් නෙත් කොනෙන් බැලුවා ය. 

“මොකද්ද හැබැයි…”

“මට හිතෙනව…අයිය එයා ගැන හිතනව කියල”

එක වර පුටුව තල්ලු කරමින් සනාතන අසුනෙන් නැගිට ගත්තේ ය. පුටුව කැරකී පසෙකට විය. සියපත් මේසය මත නිකට රඳවා ගෙන ම නෙතු ඔසවා බැලුවා ය.

“මං එයාට කිව්ව මැරි කරමු කියල”

“ඔය ඇත්තමද…”

සියපත් නැගිටගත්තේ ප්‍රීතිමත් සිනහවක් සරැලි නගත්දී ය.

“ඔයාගෙ ට්වින් සිස්ටර් කියල දැන ගන්න කලින්. එයාව අතරමං කරල දාන්න දැන් මට කොහොමත් ඕන්නෑ. හැබැයි එයාට මාව බඳින්න ඕන්නෑ”

“එයාට ඕනෙ ආදරයක් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න. සමහර විට එයා හිතනව ඇති…අයිය එයාට කතා කළේ එහෙම ඇත්ත හැඟීමකින් නෙවෙයිනෙ කියල”

වියානා ගැන ස්ථිර අදහසකට එන්නට සියපත් ට තවමත් නොහැකි ඇය සනාතන ගැන අවංක හැඟීම් කතා කිරීමෙන් වැළකී සිටි නිසා ය. නමුත් දැන් සනාතන ගේ හිත ඈ ඉදිරියේ නිරාවරණය වී තිබේ. සියපත් කළ හැකි යමක් ගැන සිතින් සැලසුමක් ඇන්දා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles