අම්මා..

“දසුන් එක්ක නේද ආවේ පුතේ..”

අම්මා මම ගෙට ගොඩ වෙනකොටම ඇහුවා.ඒ දසුන් ගේට්ටුව ළඟින්ම හැරිලා ගිය හින්දා වෙන්න ඇති කියලා හිතුනු මම අම්මා දිහා බැලුවේ සමාව අයදින හිනාවකින්.

“අනේ අම්මෙ වැඩ ගොඩක් තියෙනවාලු.අපි මේ වෙඩින් එකේ වැඩ ගොඩ කරගත්ත වැඩිද මන්ද..”

මං එහෙම කියනකොට අම්මා යමක් හංගන තාලේ බැල්මක් මං දිහාට පා කරා.
වෙඩින් එකක් කිට්ටු වෙනකොට මනමාලි ගෙදරටත් මනමාලයාගේ ගෙදරටත් කෝල් කරල එකඑක විසබීජ පතුරන මිනිස්සු සමාජ ජීවත් වෙන නිසා මම අම්මා දිහා බැලුවේ විමසිල්ලෙන්.

“ඇයි අම්මේ?”

මම අම්මගෙන් එහෙම ඇහුවා.අම්මා මගේ අතට තේ එක දීලා එතනින් ගේ මොකුත් නෑ කියාගෙනමයි.හිත ඒ තරම් හොඳ නැති බවක් දැනෙන නිසා මම දසුන්ට කතා කළා.දසුන්ගේ ෆෝන් එක ඕෆ් වෙලා.අම්මගෙ වගේම මුහුණක් දසුන්ගෙ තිබ්බයි කියලා කියලා මතක් වෙනකොට මට දැනුණේ බයක්.ඒත් එහෙම හංගන්න තියෙන්නෙ මොනවද? මම දැන් කී කාලයක් තිස්සේ දසුන්ව දන්නවද?

මම ආයෙම කලබල වුණේ අම්මා ගෙදර වැඩ කරන්නේ කදුළු පිහදාන ගමන් කියලා දැකපු නිසා.අම්මා ඇයි මේ තරම් දුකින් ඉන්නේ? එක අතකට කොච්චර කාලයක් දැනගෙන හිටියත් හැංගිලා හොර වැඩ කරන්න පිරිමින්ට බැරි කමක් නෑ.දසුන් මගෙන් මොනා හරි හංගන්න ඇති.මාව හීතල වෙලා ගියේ එහෙම හිතනකොට.

“අම්මා ඉන්නේ දුකින් නේද?”

මං ගිහින් අම්මව බදා ගන්න කොට අම්මගේ ඇඬුමක් පුපුරා ගියා.තාත්තා වහාම කතාවට මැදිහත් වුණේ ඒ නිසා වෙන්න ඇති.

“එකම දූ මැරි කරනකොට අම්මලා ඉතින් ඔහොම තමයි…පුතා ඕව හිතන්න එපා.මොකද ඈතකට යනවයැ..”

අල්ලපු ගමේ ඉන්න දසුන් ලඟට මාව යවන්නත් අකැමැති වුණු අම්මා,කසාදෙන් පස්සේ අපේ ගෙදරම නවතින්න කියලා දසුන්ට නිතරම කියපු අම්මා එකපාරටම කිව්වේ අමුතු කතාවක්.

“පුළුවන් නම් වෙන රටකට ගිහින් සතුටින් ජීවත් වෙන්න පුතේ.”

ඒ කතාවට මම වගේම තාත්තත් කලබල වෙන්නැති.අල්ලපු ගමට වත් මාව යවන්න අකැමැති වුණු අම්මට එක පාරටම වුණේ මොකක්ද?

“ඔයා හොඳින් ඉන්නව නේද?”

එදා රෑ මට ඇමතුමක් දුන්නු ගමන් දසුන් ඇහුවේ එහෙම.හවස මාව ගෙදරටත් ගෙනත් බැස්සුවට පස්සේ එහෙම අහන්න කාරණාවක් නැති නිසා මම පුදුම වුණා.මේ හැමෝගෙම හැසිරීම හරිම පුදුමයි.අම්මා මට වෙන රටකට යන්න කියන්න ඇත්තෙ දසුන්ගේ වෙන මොකක් හරි සම්බන්ධයක් නිසා.අපි එහෙම වෙන රටකට ගිහින් ජීවත් වෙනකොට දසුන්ගේ ඒ ගෑනු ළමයට අපිට බලපෑම් කරන්න බෑනේ.මම හිත ඇතුලෙන් චිත්‍රපටි පිටපතක් ලියලා රඟපාන්නත් පටන් ගත්තා.

” ඒ ආවේ ඒ ගෑනු මනුස්සයමයි කියලා දසුන්ට විශ්වාසයි ලු ද?”

තාත්තා අම්මගෙන් අහනව මට ඇහුණේ අහම්බෙකින්.මට ඇහෙන එකක් නෑ කියලා හොඳටම සැක හැරලා ඒ ප්‍රශ්නය ඇහුවා කියල මට හිතුණේ තාත්තා කටහඬ නිසා.අම්මාගේ උත්තරය ආවේ හැඬුම් ස්වරයකින්.

“ඒ චිත්‍රා තමයි. දසුන් කියනවා දුවගේ හැඩහුරුකම එහෙමම තියෙන ගෑනු කෙනෙක්ලු..”

දසුන්ගේ වෙන සම්බන්ධයක් ගැන බයෙන් පෙළුණු මට අහම්බෙන් ඇහුණු දෙයින් ඉතුරු වුනේ ප්‍රහේලිකාවක්.

කවුද ඒ චිත්‍රා? ප්‍රහේලිකාව විසඳෙන්න වැඩි වෙලා ගියේ නැහැ.අම්මගේ හැඬුම් හඬ වේගවත් වුණා.

“ආදරෙන් තුරුළු කරගෙන හදපු වස්තුව දසුන්ට දෙන්න මම හිත හදා ගත්තේ ඒක වෙන්න ඕනේ දෙයක් නිසා.ඒ උනාට මගේ වස්තුව ගෙනියන්න චිත්‍රාට දෙන්නෙ කොහොමද?”

මම මෝඩ ළමයෙක් නෙමෙයි උපාධියකුත් තියෙන ගෑනු ළමයෙක් අම්මට හැමතිස්සෙම කියන නිසාද මන්ද මට ඉක්මනින්ම ඒ වචන වල තේරුම තේරුණා.තාත්තාගේ කතාවෙන් පැහැදිලි වුණා.

“දෝනි අවුරුදු විසි හයක ගෑණු ළමයෙක්.එයාව කාටවත් බලෙන් ගෙනියන්න බෑ.අනිත් එක එයා හෙට අනිද්දට යන්න ඕනේ දසුන් එක්ක මිසක් අවුරුදු 26 ක පරණ කතාවක් අරගෙන ආපු චිත්‍රා එක්ක නෙමෙයි..”

අම්මයි තාත්තයි පාටින් අඩු වුණත් මම සුදුම සුදු කෙල්ලක් වුණේ කානුවෙන් අහුලගත්ත ළමයෙක් නිසා කියලා ප්‍රාථමික පන්ති වලදී හිනා වුණු යාළුවෝ මට මතක් වුණා.ඇත්තටම ඒ කතාව ඇත්තක් ද? මාව අම්මටත් තාත්තටත් රෝස කැලෙන් ලැබුණු බබෙක්ද?

ඇත්ත සඟවාගෙන හිඳීම අසීරුයි.දසුන් මට ඇත්ත කියන්න තීරණය කරලා තිබුණා.මම මගේ අම්මා තාත්තාත් අරන් හදාගත් දරුවෙක් බවත් මීට විසි හය වසරකට කලින් මාව මහත් හිරිහැරයක් වුණු අම්මට දැන් මාව අවශ්‍ය බවත් දසුන් කිව්වේ සාංකාමය කටහඬකින්.

“අම්මා ඉන්නේ හොඳටම කලබල වෙලා..අම්මට බයයි ඔයා මේ සේරම දාලා ඒ අම්මත් එක්ක යයි කියලා..”

දසුන් මගේ හිස වගේම හිත පරිස්සමට පිරිමදින ගමන් කිව්වා.

“ඔයා හිතනවද මම යයි කියලා..”

මම ඇහුවේ ඇඬෙන්න නොදී මාව පාලනය කර ගන්න ගමන්.ප්‍රශ්නයට උත්තරයක් නොතිබුණු නිසා වෙන්න ඇති දසුන් අහක බලා ගත්තා.

“එයාට මාව දෙන්න හේතුවක් තියෙන්න ඇති නේද?”

මම එහෙම අහනකොටත් දසුන් මගේ දිහා බැලුවේ නෑ.මාව ජීවත් කරවන්න ඇය ගත්ත තීරණයට මට සතුටුයි.ගබ්සාව වෙනුවට ඇය මට ඉපදෙන්න ඉඩ දීම තෝරාගන්න ඇති.ඊට වඩා මම ඇය ගැන සතුටු වෙන එක කාරණාවක් තියෙනවා.ඒ මාව මගේ අම්මටත් තාත්තටත් බාර දුන්නු එක.

“දරුවෙක් බිහි කරන හැමෝම අම්මලා නෙමෙයි දසුන්.මට මේ වෙලාවේ ඒ අම්මා බලන්න උවමනාවක් නෑ.එයාට මාව අතාරින්න හේතු තියෙන්න ඇති.ඒවා දැනගන්න උවමනාත් නෑ. මගේ අම්මටයි තාත්තටයි මාව බලාගන්න හේතු දාහකට වඩා තිබුණයි කියලා මම දන්නවා..මට අන්න ඒ දේවල් විතරක් දැනගෙන හිටියම ඇති..”

දසුන් මගේ හිස පිරිමැද්දේ මගේ තීරණය පිළිඅරගෙන.හීනයක් වගේ මතුවෙලා ආපු ජීව විද්‍යාත්මක අම්මාව මුණ නොගැසී ඉන්න මම තීරණය කළා.ඇය ළඟ මම දස මාසයක් ජීවත් වුණත් විසි හය අවුරුද්දක් මාව බලාගත් අම්මා විතරක් මගේ කර ගත්තම ඇති කියලා මම හිතුවා.මම ආත්මාර්ථකාමී ඇති.ඒකට කමක් නෑ.ජීවිතේ සමහර වෙලාවට අපිට ඒ වගේ තීරණ ගන්න සිද්ධ වෙනවා.

“අපි ගෙදර යමු දසුන් මට අම්මා බලන්න ඕනේ…” එහෙම කියපු මං දිහා බලපු දසුන්ට මම කතාව පැහැදිලි කරා.

“ලබන මාසේ ඉඳලා මම ඔයාගෙනෙ.අම්මට මාව ඔයත් එක්ක බෙදා ගන්න වෙනවා.ඔයා මාව ඒ අම්මා එක්ක විතරක් බෙදාගත්තම ඇති.මට ඉන්නේ අම්මලා දෙන්නයි.ඒ ඔයාගෙයි මගෙයි අම්මලා විතරයි.”

මම හිත සැහැල්ලු කරගන්න ගමන් කිව්වා.

More Stories

Don't Miss


Latest Articles