දෙහිතක කතාවක් අවසන් කොටස

දික්කසාදය ලැබුනේ සිතුවට වඩා ඉක්මනිනි. ඒ දික්කසාද සමගින් මෙතෙක් ජීවිතය පුරා රැඳී තිබුන බරක් හෑල්ලු වූ බවක් කැලුමිනීට දැනුනි. දික්කසාදයක් වනාහී ගැහැණියකට වේදනාවක් සහ අනාරක්ෂිත බවක් ගෙන එන්නට හේතුවක් වුවද තමා විශයෙහි එය අසත්‍ය බව කැලුමිනී තේරුම් ගනිමින් හුන්නේය.

පබෝදාත්, අරවින්දත් උන්නේ කැලුමිනී වෙතම නැඹුරු වූ කල්පනාවෙන් සහ දෙනෙතිනි. කාර්‍යාල වෙලාවෙදී කැලුමිනීව දෙනෙතින් සහ හදවතින් රස විඳින අරවින්ද කැලුමිනී තරමටම ආසාවෙන් ඇගේ දරුවා මෙලොව එලිය දකින තුරු බලා උන්නේය.

මිනිසුන් සිතන්නේ කියන්නේ කුමක්ද කියා ගැන අදහසක් නොමැතිව, විවාහයකින්ද තොරව අරවින්ද තාත්තා කෙනෙකුගේ යුතුකම් සහ වගකීම් උහුලමින් උන්නේ ආදරයෙනි.

“මහත්තය දැන් නෝන කෙනෙක් නැතුවම තාත්තා කෙනෙක් වෙලා නේද?”

පබෝදා එසේ කියද්දී පවා එය උස් සිනහවකින් ආදරයෙන් පිලිගන්නට අරවින්ද සූදානම්ව උන්නේය. එහෙත් ඒ වචන හිත මත හීසර දහසක වේදනාවකින් පතිත වන බවක් දැනෙද්දි කැලුමිනී අහක බලාගත්තාය. නැන්දාගේ ඒ වදන් අවසානයේ අරවින්ද තමා දෙස බලන බවත්, තමාට කිසිසේත් ඒ බැල්මට මුහුන දෙන්නට බැරිබවත් දැන උන්නේ කැලුමිනී පමණකි.

අරවින්ද පොරොන්දු වූ අයුරින්ම ඉන්පසු කිසිම දිනයක එදා ඔහු අසන්නට යෙදුන දේ ගැන කතාබස් කරේ නැති නමුත් තවමත් ඔහු තමා දෙස බලන්නේ සිත අස්සේ සඟවාගෙන පුරවාගෙන උන් ඒ ආදරයේ රැලි කැරලි මැදින් බව දන්නා බැවින් මේ සියල්ල වචන පමණක් යැයි කියා අහක දමන්නට හැකියාවක් කැලුමිනීට තිබුනේ නැත.

“මං නම් ඒකට කැමතියි. මං ඇත්තටම බලාගෙන ඉන්නෙ බබාව අතට ගන්නකම්. මම කවදාවත් එච්චර චූටි බබෙක්ව අතට අරගෙන නෑ”

අරවින්ද ඉන්නේ පුදුමාකර සතුටකිනුත් උද්‍යෝගයකිනුත් බව ඔහුගේ මුව එකලු කරමින් ඇදී අවුදින් තිබෙන සිනහව මොනවට දෙස් දෙයි. එහෙත් එය තමාට සතූටු විය හැකි කාරණාවක්ද යන්න කැලුමිනී සිතෙන් අසමින් උන්නාය.

“මං ගැන බලාපොරොත්තු තියාගන්න එපා” කියමින් මේ මිනිසාව නිවසින් පිටමං කරන්නට හැකියාව තිබුන නමුත් සිත ඇතුලෙන් ඔහු නොමැති හෙටක් ගැන තමාට හිතන්නට බැරි බව කැලුමිනී දැන උන්නාය. එහෙත් ඒ හැඟුමන් “ඒ මනුස්සය ගැන එහෙම හිතන එක පවා මං එයාට කරන වරදක්” යන සිතුවිල්ලෙන් වසාගත්තේ එය දරාගන්නට අපහසු තැනමය.

පබෝදා නිවස ඇතුලට ගියේ අරවින්දට ගෙන යන පිණිස රාත්‍රී කෑම සකසන්නටය. දරුවා ලැබෙන්නට නියමිත දින ලංව ඇති බැවින් කැලුමිනී උන්නේ නිවාඩු පිට නිවසේය. අරවින්දගේ තේ වත්තේ කාර්‍යාලයේ රාජකාරිය කරන්නට ගත්තයින් පසු ලැබෙන මුදල් ප්‍රමානය අවශ්‍යතා ඉටු කරගන්නට ප්‍රමාණවත් බව වැටහුන නිසා කැලුමිනී ප්‍රසූතිය ලං වෙද්දී මෙතෙක් කලක් කරමින් හුන් විදේශ ආයතන වල වැඩ කටයුතු කිහිපයකට සමුදෙන්නට තීරණය කරාය.

එය ගතට මෙන්ම මනසටද සුවපහසුව ගෙනෙන්නක් වූයේ රාත්‍රී කාලයේ පවා නැගිටගෙන වැඩ කරන්නට සිදුවීමෙන් වැලකී රාත්‍රිය සුවසේ නිදියන්නට අවකාශ ලැබීම නිසාවෙනි/

දරුවා ලැබුනු පසු කොහොමත් රාත්‍රියට නින්දක් ලැබෙන්නෙ කලාතුරකින් බව කීවේ වත්තේ වැඩ කරන ගැහැණුන් ය. කැලුමිනී දෙස වපරැසින් බලන අය කොතෙක් උන්නද අරවින්දගේ තේ වත්තේ වැඩ කරන බොහෝ කාන්තාවන් කැලුමිනීව භාරගත්තේ අදරයෙනි. සතුටෙනි. ගෞරවයෙනි

ඒ ආදරය කැලුමිනී වෙත ආවෙ තැම්බූ බඩ ඉරිඟු කරලක්, බත් මුලක් ලෙසය. ඇතැම් විට කාර්‍යාලට උදෙ එද්දී ලැබෙන ඒ කැමෙන් කොටසක් අරවින්ද සමගත් බෙදාගන්නට කැලුමිනී අමතක කරේ නැත.

“මටත් බබෙක් හම්බෙනව මෙහෙම කෑවොත්?”

තැම්බූ වට්ටක්කා කැබැලි කිහිපයක් පොලුත් ලුණු මිරිසුත් සමග කමින් උන් කැලුමිනීට අරවින්ද කියූ දේ එක්ක සිනාසී බතල කෑල්ල ඉස්පොල්ලේත් ගියාය. මේසය මත වූ වතුර වීදුරුව අතට ගෙන අරවින්ද කැලුමිනී වෙත ආවෙ ඉක්මන් ගමනිනි.

“ඕකනෙ ඉතින් හිරකරගන්නව තව ටිකෙන්”

කැස්ස මග ඇරගනිමින් වතුර බොන කැලුමිනි දෙස බලමින් අරවින්ද කීවේය. කැලුමිනි යටැසින් අරවින්ද දෙස බැලුවේ සිනා මල් වත්තක් දෙතොලතර රඳවා ගනිමිනි.

“දැන් මං කිව්ව මොකටද ඔයාට හිනා ගියේ?”

“ඇයි සර්ටත් බබෙක් හම්බෙනව කියල කිව්වේ”

“ඔව් ඉතින් මං කිව්වෙ මෙහෙම එක එක ජාති දවසින් දවස කාලා බීල, කොහෙවත් යන්නෙ එන්නෙ නැතුව නිකන්ම මේ ඔෆිස් එකෙන් ගෙදරටයි ගෙදරින් ඔෆිස් එකටයි යන්න තියාගත්තම මගෙත් බඩ එයි කියල. නැතුව මේ නරක දෙයක් කිව්වෙකක් නෑ මම”

“මට ඉතින් හිනා ගියා සර් ඒක කිව්ව විදියට”

“දැන් ඔය ප්‍රෙග්නන්ට් උනාම කට්ටියට කන්න ආස හිතෙන් දේවල් තියෙනව කියනවනෙ. ඔයාට මුකුත් එහෙම කන්න ආස දෙයක් නැද්ද?”

අරවින්ද එය ඇසුවේ නිකමට වුවත් කැලුමිනි යටැසින් බලා නැගු සිනහව මෙතෙක් කිසිවෙකුට නොකී කතාවක් කියන්නකි. 

“කියන්න කියන්න, මොනවද ඔයා කන්න ආස” අරවින්ද කැලුමිනී ඉදිරියේ වූ අසුන ඇද වාඩිවෙමින් ඇයගේ දෙනෙත් අස්සට එබුනාය. එහෙත් කැලුමිනී සිනාසෙමින් උන්න හැර කිසිවක් කීවා නොවේ.

“කියන්න ලමයො. මටනෙ කියන්නෙ. එහෙම හොඳ නැතුවැති ආස දෙයක් නොකා ඉන්න”

“කොත්තු කඩල”

“අහ්? කොත්තු කඩල?”

“ඔව් ඉස්සර කොළඹ ඉද්දි ප්‍රභාත් සමහර දවසට අරගෙන එනව. පාක් රෝඩ් එකේ තියෙනව රාජයියගේ කඩේ කියල එක්ක. බිත්තර දාලා හදන්නෙ. හරිම රසයි. ඒක කන්න තිබුනනම් හොඳයි කියල හිතුන. ඒ උනාට මං හදන්න දන්නෙ නෑනෙ. නැන්දට කරදර කරන්නත් හිතුවෙ නෑ”

ඒ ඉල්ලීමක්ද කියා අරවින්ද ඇසුවේ නැත. එහෙත් ඉන් දින කිහිපයකට පෙර කොහෙන්දෝ සකසා ගෙන උණු උණු කොත්තු කඩල පාර්සලයක් කැලුමිනීගේ මේසය මත තබන්නට අරවින්ද සමත් විය.

දින ගෙවුණේ සතුට සැනසුම කෙමෙන් පබෝදාගේ නිවසට ගෙන එමිනි. නිවස තිබුනේ තව දින කිහිපයකින් නිවසට එන අලුත් අමුත්තා පිලිගන්නට බලාපොරොත්තුවෙන් හැඩවෙමිනි. ප්‍රභාත් ලඟ නැති අඩුව නොදැනෙන්නට මෙන් අරවින්ද නිතර දෙවෙලේ එහි රැඳුනේය. නොඑසේනම් කාර්‍යබහුල දිනක රාත්‍රියට දුරකතන ඇමතුමක් දී සැප දුක් විමසන්නට අරවින්ද අමතක කරේ නැත.

කැලුමිනී උන්නේ මුලුමනින්ම ප්‍රභාත්, නිම්න සහ කෝසලගෙන් මිදුණු සිතුවිලි වලින් යුතුව තේරුම් කරගන්නට නොහැකි සැනසුම් ගංගාවක ගිලීය. විටෙන් විට ඒ සැනසුම් ගංගාව දිගේ එන මද පවන් එවන්නේ අරවින්ද බව දැන උන්නද සිතැඟි කිසිවක් අරවින්ද සමග බෙදා නොගන්නට කැලුමිනී තම සිතුවිලි සීරුමාරු කරමින් උන්නාය.

අරවින්ද වනාහී අපූරු මිනිසෙකි. ඒ අපූරු මිනිසා හමුවුයේ තමාට වුවත් හිමිවිය යුත්තේ තවත් එවන් අපූරුවතම ගැහැණියකට මිස දරුවෙකු සමග දික්කසාද වූ තමා වන් අයෙකුට නොවන බවට කැලුමිනි සිතුවිලි වලින් තමා පිරික්සමින් උන්නාය.

දින ගෙවුණේ වේගයෙනි. එහෙත් බලාපොරොත්තු මල් පොකුරු පුබුදුවාලමිනි.

සීතල දෙසැම්බර් මාසයේ නත්තලට දින කිහිපයකට පෙර උදෑසන ශාරීරික අපහසුතා පෙන්වූ කැලුමිනීව දෙණීයාය රෝහලට ගෙන යන්නට පබෝදාත්, විශ්ව විද්‍යාලයෙන් නිවාඩු ලබා පැමිණ උන් සඳරුත් කටයුතු කලහ.

අරවින්ද ඒ ඇමතුම එද්දී උන්නේ කොලඹ මධ්‍ය පරිමාන තේ වගා කරුවන්ගේ සම්මේලනයකට සහභාගි වෙමිනි. සඳරු විසින් දුන් ඇමතුම ඒ මොහොතේ අමතන්නට නොහැකි වුවත් සඳරු විසින් අනතුරුව එවා තිබූ කෙටි පණිවිඩය අරවින්දව මදක් තිගැස්මකට ලක් කරන්නක් විය.

තමා හිඳිය යුත්තේ එහි බව මතක් වෙද්දී අරවින්ද පුදුමාකාර නොසංසුන් බවක ගිලෙමින් උන්නේය.

සම්මේලනය අවසන් වූ වහා යලි නිවස බලා යන්නේත් නැතුව අරවින්ද ජීප් රිය ගෙන දෙණියායට ඉගිල්ලුනේය. ඒ යන ගමන පුරා කෙතරම් වාරයක් කැලුමිනීවත් නොදුටු දරුවා ගැනත් අපමණ සිතුවිලි හදවත පුරා පුබුදුවාගන්නට අරවින්ද සමත් වූවේය.

අරවින්ද රෝහලට එද්දී හොඳටම රෑ බෝ වී තිබුනි. කැලුමීනී උන්නේ නින්දක් නැතුවය. ප්‍රභාත්ව අමතක කර උන්නද මේ මොහොතෙ තරම් ප්‍රභාත්ව මතක් වූ මොහොතක් කැලුමිනිට පසුගිය දින කිහිපයේ තිබුනේ නැත. පොඩිත්තා සුවපහසුව නිදා උන්නේය. ඒ මේ කිසිත් දෙයක් ගැන හරියාකාර අදහසක් නොමැතිවය.

තමා සැමියෙකු නොමැතිව හිත හදාගෙන ජීවිතයේ ඉදිරියට මුහුන දෙන්නට ගත් තීරණය දරුවාගේ පැත්තෙන් කොපමන සාදාරණද යන්න කැලුමිනී මේ මොහොතේ සිතමින් උන්නාය. මේ දරුවා තාත්තා නැති දරුවෙකු ලෙස සමාජය කෙසේ භාරගනීවිද කියන පැනය සිත අස්සෙන් නිරත්තරයෙන් නැගෙමින් තිබුනාය.

අරවින්ද ආවේ කැලුමිනී ඒ වේදනාවේත්, අවිනිශ්චිතතාවයේත් ගිලි ඉද්දීය.

“පුතේ” කියා මුමුණමින් කැලුමිනීට පසෙකින් නිදා උන් ඒ සිඟිති පුතා අරවින්ද දුටුවේ තමන්ගේ දරුවෙකු විලසමය. එය එසේ නොවේයැයි කියා කවුරු කීවද නොපිලිගන්නා තරමේ ආදරයක් අරවින්ද ඒ මොහොතේ මුදාහරිමින් උන්නේය.

සිනාමල් වැස්සක් සමග කැලුමිනී දෙස බැලුවද දරුවා ලැබෙන්නට විඳි වේදනවට යටින් නොකී කතාවක සුලමුල සොයාගන්නට අරවින්ද තැනුවේය.

“ඇයි?”

අරවින්ද ඇසුවේ දෑසිනි. දරුවා අවදිවේය යන බියෙන් මුවින් එය වදන් කරන්නට අරවින්ද නොසිතුවේය.

මුකුත් නෑ කියා හිස සැලුවද කැලුමිනීට කියන්නට යමක් තිබෙන බව අරවින්ද දැන උන්නේය. මව් සෙනෙහසේ උණුසුමින් පිරී තිබුනු කැලුමිනීගේ දෙ අත් මතට අරවින්දගේ සීතල දෙඅත බර වූයේ මහමෙරක් ආදරය සමගිනි.

“ඇයි?”

“මම හස්බන්ඩ් කෙනෙක් නැතුව ජීවත් වෙන්න හිත හදාගත්තත් තාත්තෙක් නැතුව මේ දරුවට හොඳින් උස් මහත් වෙන්න පුලුවන් වෙයිද කියල මට හරි බයයි”

“බය වෙන්න එපා මම ඉන්නව. හැමදාම. ඔයා හිතනවනම් තාමත්…තාමත් මට මේ දරුවට තාත්තා කෙනෙක්ගෙ ආදරේ දෙන්න බැරි වෙයි කියල, කැලුමිනී ඔයා නොදන්න කතාවක් මම කියන්නද?”

“මොකද්ද?” අරවින්දගේ විසල් දෙනෙත් මත නෙතු රඳවාගෙන කැලුමිනී ඇසුවේ කෙඳිරිල්ලකිනි.

“මමත් අරන් හදාගත්ත දරුවෙක් කැලුමිනී. අපෙ අම්මටයි තාත්තටයි දරුවො දෙන්නෙක් හම්බෙන්න ගිහින් ඒ දෙන්නම නැතිවෙලා. එහෙම ඉද්දි තමයි දවසක් තාත්තා කොළඹ ඉඳල වත්තට එද්දි මාව පාරෙ දාලා ගිහින් තියෙන්නෙ.

මගෙ අම්ම තාත්ත කවුද කියල මම අදටත් දන්නෙ නෑ. ඒ මිනිස්සු දන්නෙත් නැතුව ඇති තමන් අතෑරල දාලා ගිය දරුව දැන් අවුරුදු හතලිහකට කිට්ටු වෙච්ච මනුස්සයෙක් බව. අරන් හදාගත්ත දරුවෙක් කියල අපෙ අම්මල තාත්තල මට කිසි වෙනසක් කරල නැති බව මම ආයෙ ඔයාට අමුතුවෙන් කියන්න ඕන ද? 

එහෙම මට ඔයාගෙ දරුවට තාත්තා කෙනෙක් වෙන්න බැරි කමක් නෑ මැණීකෙ.

ඔයා කැමතිනම්, තාමත්, මේ දැනුත් එදා ඔයාගෙන් අහපු දේ මගෙ හිත ඇතුලෙ ඒ විදියටම තියෙනව.

ඔයා කැමතිනම් මේ මොහොතෙ උනත් ඒ උත්තරේ බාරගන්න මම ලෑස්තියි

දරුවට විතරක් නෙවෙයි ඔයාටත් දෙන්න කාටවත්  නොදුන්න තරමෙ මහ මෙරක් ආදරේ මං ගාව තියෙනවා.

ඉතින් කියන්න…

හා ද?”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles