සියක් සියපත් 21

කහවණුගොඩ මන්දිරයේ දෙවන මහලේ ටෙරසයෙහි වන සුදු ප්ලාස්ටික් මේසය මතට බීර බෝතල හා අයිස් කැට බඳුනක් ද කටගැස්ම හා අනුපාන වර්ග ද සැපත් වී තිබිණ. රෑ මැදියම තෙක් ද ඇතැම් විට ඊටත් වඩා ද දීර්ඝ විය හැකි කතා බහක් සිදු වනු ඇති බව සනාතන ට දැනෙමින් තිබිණ. සමහර වෙලාවට එහෙම ය. හදවතේ ඉතා තදින් හිර වී ඇති යමක් පිටතට එන්නට දිගු වෙලාවක් ගත වේ. ඒ සඳහා අවශ්‍ය අඩුම කුඩුම සැපයිය යුතු ය. පරිසරය සකස් කොට දිය යුතු ය. හැම දවසක ම උදා වෙන සූර්යයා වුව දවසේ ප්‍රථම වරට උදා වෙත්දී ඒ සඳහා කාලය ගනී. වෙහෙසක් දරයි. තැතනීමක් කරයි. දරුවෙකු ලෝකයට බිහි වන්නේ ද යම් කිසි වෙර දැරීමකට පස්සේ ය. එ් කාලය සැපයීම අනිවාර්යයෙන් කළ යුත්තකි. ඒ ඉවසීම වඩා සුන්දර වූ යමක් බිහි වන්නට හේතු වේ.

“අපි පොඩ්ඩක් සියපත්ව බයිට් කරමු”

මීට මඳ වෙලාවකට පෙර සනාතන එසේ කියමින් දුරකතනය අතට ගත්දී සදාතන තුළ ගැස්මක් ඇති විය. එය වූ කලී පිටතට පෙන්විය නො හැකි ගැස්මකි. විරුද්ධ වෙන්නට හෝ එකඟ වෙන්නට හැකියාවක් නැතිව සදාතන මඳහසින් බලා සිටියේ ය.

“අයියෙ…”

ඒ වෙලාවේ සියපත් සිටියේ මංජරී ගේ ලියන මේසය ළඟ පුටුවේ හිඳ මේසයට කම්මුලක් තියා ගෙන යූ ටියුබයෙන් ගීතයක් විඳිමිනි. හෑන්ඩ්ස් ෆ්‍රී කට්ටලය නිසා පාඩම් කරනා පංකජී ට බාධාවක් වූයේ නැත.

“මතක ලන්තෑරුම් අඳුර මැද ඔබේ හුස්මක සුවඳ දැනුණා…අහම්බෙන් වට මුරුගසං වැහි මැද්දෙ මම තනියෙන් ම තෙමුණා…කියන්නම මග බලාගෙන උන් වචන අමතක වෙලා රිදුණා…දැනුණෙ නැතුවට මගේ කඳුළෙන් කමිස උරහිස තෙමිල තිබුණා…”

අභිශේකා ගේ හඬ සියපත් ගේ ස්ත්‍රී හැඟුමන් කීරි ගස්වා තිබිණ. පියා ගෙන උන් ඇස් කෙවෙනියක් අස්සෙන් හිතුවක්කාර ලෙස ගිලිහී ගිය කඳුළක් මේසය මත රහසේ ම පතිත විය. මනස් රූප වල ඇඳෙමින් හිටියේ සදාතන ය. කොහොමත් ඇය රූප රචනා නොමැතිව තමන්ගේ ම මනස් රූප සමග හඬින් පමණක් ගීත විඳිනට කැමැත්තියකි. යතුරු පුවරුවේත්, ගිටාරයේත්, බට නලාවේත් සවන් පිරිමදිනා මෘදු ස්වර දිග ඇය වෙන් වෙන් ව පා වෙමින් සිටියා ය.

“මතක ලන්තෑරුම් අඳුර මැද හුස්ම නො තියා ඉන්න තිබුණා…අහම්බෙන්වත් මුරුගසං වැහි නොදී ඈතට යන්න තිබුණා…කියන්නම ගිය වචන අමතක වුණත් මගෙ හදවතට දැනුණා…නො දැනුණා වාගේ ම උන්නට සුදු කමිස උරහිසට රිදුණා..”

දිවුල්ගන ගේ හඬ ස්වර සංයුතිය සියපත් ගේ පපුව හූරමින් ද පාරමින් ද රිදවමින් ද තවන්නට විය. පිරිමදින්නට විය. ඒ ගී හඬ නතර වී දුරකතනය නාද වෙන්නට ගත්තේ ඒ වෙලාවේ ය. සනාතන ගේ නම තිරය මත දිස් ව තිබිණ. සියපත් ඉක්මන් ඇස් පිය කිහිපයක් ගැසුවා ය. නන්නාඳුනන බියක් ඇයට දැනී නො දැනී ගියේ ය. ඔහු එක්ක පිළිසඳරකට නො යා ඉන්නට ඇය වැඩිපුර කැමති ය. සදාතන වෙනුවෙන් වචන වලින් පවා පේ වී ඉන්නට ඇය ඉත සිතින් සූදානම් ය. නමුත් මේසය ළඟින් නැගිට ගෙන සියපත් දුරකතනය සවනේ රඳවා ගත්තා ය.

“අයියෙ…”

මේසය මත දිළිසුණ කඳුළු බින්දුව දෙසත් සියපත් දෙසත් පංකජී මාරුවෙන් මාරුවට බැලුවා ය.

“අපි හොඳට බොන්න යන්නෙ. හොඳ බයිට් ටිකක් එවන්න සියපත්. දැං ඉතිං අපි ඔයාටනෙ කියන්න ඕනෙ. මිසිස් අමදෝරු නෑනෙ”

සදාතන ගේ මුහුණේ ක්ෂණික සිනහවක් ඇඳිණි. නළල රැලි නංවා ගෙන සනාතන ඒ සිනහව දෙස බලා සිටියේ ය.

“අනේ…මට අක්ක ඔය වගේ දෙයක් ගැනනං කිව්වෙ නෑ අයියෙ. සො…රි…මං දැං…මොකද්ද කරන්න ඕනෙ…”

“කරන්න ඕනෙ ඉතිං…කිචන් එකට කතා කරල අපිට ඕනෙ කරන දේවල් සප්ලයි කරවන එක තමයි”

“අ…හරි අයියෙ…ඒත්…මොනාද…”

සනාතන හඬ නගා සිනහ වූයේ ය.

“ඔහොමනං බෑ හරිද…කොල්ලො බොනකොට බයිට් එකට හදන්න ඕනෙ මොනාද කියල දැනගෙන ඉන්න ඕනෙ. නැතුව කොහොමද මේ ගෙදර මේට්‍රන් වැඩේ කරන්නෙ”

සියපත් මොහොතක නිහැඬියාවක ගිළුණා ය. කියන්නට යමක් සිහිපත් කර ගන්නට ප්‍රමාද ව සිටියා ය.

“හරි හරි මේ. මං ජෝක් එකක් කළේ. එහෙනං තියනව ආ”

සනාතන බීර වීදුරුවට බීර වත් කළේ ය. ඔහු එය කරන්නේ හුරුපුරුදු බේබද්දෙකු ගේ හුරුබුහුටු බවින් යයි සිතුණ සිතිවිල්ල සදාතන ගේ මුහුණට මඳහසක් ගෙනාවේ ය. රන් පැහැති බීර මත සිරි සිරි ගාමින් පෙණ බුබුළු නැගී බිඳෙන්නට විය. 

කහ පාටින් ලා සඳක් පායා ගෙන ආවේ ය. හවස වතුර දැමීම නිසා ප්‍රාණවත් වූ පළතුරු ගස් වල පත්‍ර මතට තඹ පාට සඳ පාන වැටී විචිත්‍ර රටා මවමින් තිබිණ. ටෙරස් එකට ආලෝකය දෙන්නට පෑයූ එක ම කහ පාට මන්දාලෝකී විදුලි පහන ඒ පසුබිම හා මොනවට මුහු වූයේ ය. සුළඟ හමා විත් බීර සුවඳ වැළඳ ගන්නට විය. අයිය මලෝ සීතල බීර උගුරක් දෙකක් තොල ගාමින්, හදවත් රහස් ගුහා වල නිදන් ගත වූ රිදුම් හා පිරිමැදුම් සොයා කල් මරමින් සිටියහ.

සනාතන ට ගුඩ් නයිට් කියන්නට හෝ අමතක වූ බව සිපපත් ට සිහි වූයේ පසුව ය. යළිත් ගීතය අසන්නට ගත්තා ට ඒ සඳහා සුදුසු සන්සුන් මනසක් වූයේ නැත. ඒ නො සන්සුන් කමට නිශ්චිත වූ හේතුවක් ඇය දැන සිටියේ ද නැත. තවමත් විවෘත වී ඇති කුඩා ලෑලි ජනේල පියනෙන් ඕ පිටත බලා ගත්තා ය. ඔවුන් මේ ජනේල පියන රෑ වන තුරු නො වසන්නේ කාමරයේ උණුහුම තුනී කරනා සුළං රැල්ලක් ඒ අතරින් ගොඩ වන හින්දා ය. නමුත් මදුරුවන් ගහන කාලයට කලියෙන් ම එය වැසී යයි. එතකොට කෘතිම සුළඟක් ඇති කරන්නේ ඩක ඩක ගාමින් කැරකෙන පරණ ස්ටෑන්ඩ් ෆෑන් එක ය. 

දැන් සියපත් වැඩි වෙලාවක් කඩයප්පන් විකුණන තැන රැඳෙන්නේ නැත. ඊට එක හේතුවක් නම් සුපුන් වැඩිපුර එතැන ගැවසීම ය. අනික ශාන්ත ආප්ප බාස් කෙනෙකු සොයා ගෙන තිබේ. ඔහු මීට පෙර පොඩි පොඩි හෝටල කිහිපයක කොත්තු බාස් කෙනෙකු ලෙස වැඩ කොට පුරුදු ඇත්තෙකි. හන්දියේ අලුතෙන් ඉදි වන ගොඩනැගිල්ලක කඩ පේළියෙන් කඩයක් වෙන් කොට ගන්නට ශාන්තට හැකි විය. එහි අත්‍යාවශ්‍ය වැඩ කිහිපයක් තවමත් කෙරී ගෙන යන අතර තව සතියකින් පමණ කෑම කඩය විවෘත කිරීමට සූදානම් ය. එතැන කොත්තු කවුන්ටරයක් ද දමනා බලාපොරොත්තුවෙන් ශාන්ත මේ කොත්තු බාස්ව වැඩට කතා කර ගත්තේ ය. ඔහු ට ආප්ප දමන්නට ද පුළුවන් වීම විශේෂ වාසියකි. දැල්වෙන නිවෙන බල්බ් වැල් වලින් වියනක් ගසා, ඇතුළේ ද මිදුලේ ද ඉඳගෙන කන්නට හැකි ලෙස මේස දෙකක් දැමීම ශාන්ත ගේ බලාපොරොත්තුවයි. ආප්ප හා කොත්තු දැමීම වෙනුවෙන් බාස් කෙනෙකු සිටීමෙන් ඔහු මුළුමනින් ඒ වැඩෙන් නිදහස් වේ. එතකොට ඔහු ට කැශියර් කූඩුවේ වැඩ බලා ගෙන පාර්භෝගිකයන් ගේ අවශ්‍යතා ඉටු කළ හැක. සුජීවා පුරුදු පරිදි වඩේ හා තෝසේ සාදන්නී ය. පිටින් කෑම හදනා අයගෙන් ඉඳි ආප්ප ටිකක් ද ගැනීමට ඔවුහු බලාපොරොත්තුවෙන් සිටිති. ඊට අමතරව ‘රයිස් එකක් ගැසිය යුතු යයි’ ශාන්ත මුමුණමින් සිටී.

“එතකොට සුදු මැණික එන්න ඕන නෑ කඩේ වැඩට. ඔයා වැඩ ඇරිල ඇවිත් ගෙදරට වෙලා ඉන්න නංගි එක්ක”

සුජීවා දැනට ම කියා තිබේ.

“ඔව් ඔව් අපිට කර ගන්න පුළුවන්. දන්නැද්ද හන්දියෙ ඔහොම තැනක කොල්ලොයි බල්ලොයි බීපු මිනිස්සුයි ඔක්කොම ගැවසෙනව. අපිට එන්න එපා කියන්න බෑනෙ”

ශාන්ත ද සුජීවා අනුමත කළේ ය.

“පේනව නේද…මේගොල්ලො හොඳ කඩයක් පටං ගත්ත විතරයි මාව කැපුව”

සියපත් විහිළුවක් කළා ය. නමුත් ඔවුන් ගේ වචන අතරේ ද හදවත් අතරේ ද ආදරය දෝරෙ ගලමින් තිබිණ.

නො සන්සුන් කල්පනාවක ගිලී උන් සියපත් එක වර ම ජනේලය ළඟින් මෑත් වී දුරකතනය අංකනය කොට එය සවනට ගනිමින් කාමරයේ අනිත් කොනට ඇවිද ගියා ය. මේ කාමරයේ කොතැන සිට කතා කළ ද පංකජී ට නෑසී කතා කළ නො හැකි ය. නමුත් කාමරයෙන් පිටතට යනවා කියන්නේ කඩයප්පන් විකුණන ආලින්ද කොටසට යනවා කියන එකයි.

සදාතන ගේ දුරකතනය තිබුණේ මේසය මත ය. රන්වන් බීර උගුර බැගින් වීදුරුවෙන් අඩු වෙත්දී ඔහු ගේ ඇස් වල දීප්තිය වැඩි වෙන්නට විය. හඬක් නගන්නට පෙර ම මේසය මත වූ දුරකතනයේ තිරය ආලෝකවත් වනු ඔහු දුටුවේ ය. සියපත් යන නම ඉංග්‍රීසි අකුරෙන් ඒ මත සනිටුහන් වූයේ ඉනික්බිති ය. සදාතන වහා  එය අතට ගනිමින් නැගිට්ටේ ය. නමුත් ඊට පෙර සියපත් යන නම සනාතන ට දැකිය හැකි විය.

“හෙලොහ්”

කියමින් සදාතය ටෙරසයේ පියවර කිහිපයක් ඈතට ගියේ ය.

“සර්”

සියපත් ඉතාමත් සියුම් සරකින් සිය හඬ සුසර කළා ය.

“කියන්න සියපත්”

සදාතන ඇගේ නම කීවේ මඳක් හඬ අඩු කොට ය.

“සර්…මේ…ඩ්‍රිංක්ස් ගන්නවද ඔය…”

ඔහු ට වහා සිනහ ගියේ ය. ඒ සිනහව මතු වන්නේ සියපත් සම්න්ධ කාරණයකදී පමණක් බව දැන් අවස්ථා කිහිපයක දී සනාතන විසින් තහවුරු කොට ගෙන තිබේ.

“නෑ…මේ සනාතනයි මායි විතරයි…පොඩි.. බියර් එකක්…”

“අනේ මන්ද”

“බියර් එකක් බිව්වට මුකුත් වෙන්නෑ ළමයො. කාල බීලද ඉන්නෙ දැන්…”

“ඕ”

“එහෙනං ඉතිං නිදියන්න. ම්…”

‘වැඩිය බොන්නෙපා සර්’ කියා කියන්නට තිබුණා නම් හොඳ ය. නමුත් සියපත් හිත ගිල ගෙන “ගුඩ් නයිට් සර්” කියා කීවා ය. සදාතන හෙමි හෙමිහිට විත් සනාතන ඉදිරියේ හිඳ ගත්තේ ය.

“සියපත් නේද…”

ඒ ප්‍රශ්නය මග හැර යන්නට සදාතන ට හැකි නොවිණ. සියපත් ‘කැමති කෙනෙක් ඉන්නවා’ කියා කීවේ සදාතන ගැන යයි දැන් සනාතන ට ස්ථිර ය. ඔහු තුළ මහත් පසුතැවීමක් වේ. ඒ තරම් ඉස්සර නොවී මඳක් කල් බලන්නට  තිබුණා යි  දැනෙනා හැඟීම හදේ සීරීමක් ඇති කරයි.

“ඔව්”

සදාතන සොයුරා ගෙන් ඇස් හංගා ගැනීමේ උත්සාහයක් ගත්තේ ය.

“මට දැනෙන විදිහට…සියපත් කැමති කෙනා ඔයා”

සදාතන ට අර ලස්සන සිනහව නැඟිණ. එය වූ කලී සියපත් වෙනුවෙන් ම පමණක් උපනා හෘදයාංගම වූ සිනහවකි. 

“එදා මට කියන්නනෙ තිබුණෙ”

“කොහොමද එහෙම කරන්නෙ…සනාතන එයාට කැමතිනං…”

“පොඩි කාලෙ සෙල්ලම් බඩුවක් දීල නිකං හිටිය වගේද තමං කැමති කෙල්ලව දීල පැත්තකට වෙන එක..”

“එක කෙල්ලෙක් හින්ද අපි දෙන්නට මරා ගන්න බෑ සනාතන”

“අයිම් සොරි ඕයි”

සනාතන සදාතන වෙතට ගොස් ඔහු වැළඳ ගත්තේ ය. ඔවුහු දැඩි සහෝදර බන්ධනයකින් උනුන් වැළඳ ගෙන මඳ වෙලාවක් සිටියහ.

“සියපත් අපේ ගෙදරට ඕනම කෙල්ල කියල විතරයි මං හිතුවෙ. ඇත්තටම වෙන හැඟීමක් නෑ. දැං කොහොමත් නෑ. එයා මට මගෙ නංගි”

“කොහොමත් එයාගෙ අයියනෙ තමුසෙ”

“ඉතින් තමුසෙට ජෙලස් නේ”

ඔවුන් වියානා ගැන කතා නොකර සිටියේ උවමනාවෙන් ම ය. එක අතකට ඒ ඔවුන් ට කතා කොට විසඳා ගත හැකි සීමාවෙන් එපිට වන මාතෘකාවකි. සමහර කාරණා කතා කළා කියා ඇති පලක් ද නැත. ඒවා සිදු වෙන්නට හැර ඒ ඒ තත්ව වලට මුහුණ දිය යුතු වේ!

මැදියම් රැය ද පසු වී යහනට වැටුණු සදාතන නිකමට සියපත් ගේ දුරකතනය අංකනය කළේ ය. නමුත් එන වරක් නාද වෙත්දී ම අනිත් පසින් සම්බන්ධ විය.

“සර්…”

“නිදාගෙන නෙවේද හිටියෙ…මං හිතුව නිදි කියල”

“නෑ. ඉවරද පාටි එක..”

ඒ හඬේ හුරතල් නෝක්කාඩුවක් තැවරී තිබිණ. සදාතන ගේ සියපත් සිනහව පිපුණේ ය. සියපත්, යහනේ පසෙක නිදන පංකජී දෙස බැලුවා ය. ඇය බොරුවට නිදි යයි හැඟවූවා ය.

“දෙයක් කියන්නද…”

“මං දන්නෝ”

“දන්නව…මොකද්ද…”

“මට අක්ක කිව්ව. ලබන සතියෙ වියානා මිස්ල එනව කියල”

තත්පර කිහිපයක කෑලි කැපිය හැකි නිහැඬියාවක් රජ විය. සදාතන ලොකු හුස්මකින් පිරුණේ ය.

“මං කියන්න ගියේ…මං වියානා ගැන ප්‍රපෝසල් එකට කැමති වෙන්නෑ කියල”

ගිනි කන්දක උණුහුමත්, හිම කන්දක සිහිලසත් සියපත් එක ම මොහොතක අත්වින්දා ය. ඇස් වල තෙතමනයක් දැවටී ඇති බව ද ඇයට දැනිණ. නමුත් ඕ කිසිවක් ම කියා ගන්නට අපොහොසත් වූවා ය.

“එහෙනං ඔයා දැං නිදියන්න. උදේට හම්බවෙමු”

“හ්ම්”

ඒ තරම් සුවදායී බවකින් මින් පෙර කිසි දාක සියපත් නිදන්නට නෙතු පියා ගෙන නැත. පංකජී යන්තම් ඇස් හැර හොරෙන් බැලුවා ය. සියපත් ගේ දෙතොල් අතරේ මන්දහාස මලක් පිපී හිනැහේ. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles