අධි සුඛෝපභෝගී මෝටර් රථයක් අධි වේගී මාර්ගයේ කටුනායක දෙසට වේගයෙන් ගමන් කරමින් තිබුණේය. එහි ඉදිරිපස රියදුරු අසුනේ රියදුරු දයාරත්නත් , අනෙක් පස අසුනේ මහීල් අමරවංශ නම් වූ තරුණ නීතීඥවරයාත්, දෙදෙනාටම පසුපස අසුනේ නමින් සියත්‍ර සංචරන රන්දෙණිගල වූ ඔවුන් දෙදෙනාගේම ප්‍රධානියාත් හිඳ සිටියේය. ඉදිරිපස රියදුරු අසුනට යාබද අසුනේ ටැබ් යන්ත්‍රයක මත දෑඟිලි එහා මෙහා යවමින් බොහෝ වේලාවක් ඒ මත නෙතු පටළවා උන් තරුණයා හිස ඔසවා මෝටර් රථයේ ඉදිරිපස කණ්ණාඩියෙන් පසුපස අසුනේ සිටින දේහදාරී කඩවසම් තරුණයා දෙසට දෑස විතැන් කළේය. තමා හිඳ සිටි අසුනට හිස බර කරගෙන දෑස පියා උන් තරුණයා සිටින්නේ විසල් කල්පනාවක බව තේරුම් ගත් ඔහු උගුරේ රැල් බුරුල් කරමින් කතාබහකට මුල පිරුවේය.
” මචං…!”
” ම්ම්ම්…”
” ඇයි උඹට අර කිව්වත් වගේ තව දවස් දෙකක් ඉන්න බැරි ?”
” උඹ දන්නවනේ මං ඔය විකාර වලට කැමති නෑ. “
” මචං .., ඒක නිකන් පොඩි පේස්ට්‍රි ශොප් එකක් බං .”
ඉදිරි අසුනේ සිටි මිතුරා පැවසූ දේට දෑස විවර නොකරම ඔහු මුව අඟින් සමච්චල් සගගතව සිනාවක් එළියට දැම්මේය.
” ඔය පේස්ට්‍රි ශොප් එකේ ඕපනින්ග් එක දවසට බලහන්කෝ. මං කිව්වේ මොකක්ද කියලා උඹට තේරෙයි. “
ඉදින් බොහෝ වේලාවක් යන තුරු මෝටර් රථය තුළ පිරී ගියේ දැඩි නිහඬතාවයකින්ය.
” මචං…!”
යළිත් වතාවක් ඇමතුම ඉදිරිපස අසුනේ සිටි මිතුරාගෙනි.
” ගුඩ් නිවුස් එකක් තියනවා “
මහීල්ට පිළිතුරක් නොලැබුණි. තව දුරටත් ඔහුට තම කාරණාව පැවසීමට ඉඩක් ඇති බව ඒ නිහඬ බවින් හොඳින්ම දැනෙන නිසාවෙන් ඔහු නැවතත් කතාවට අවතීර්ණ වූයේය.
” ෆැක්ට්‍රි එකේ අයගේ ළමයි හතළිස් හතක් කැම්පස් සිලෙක්ට් වෙලා..”
පිළිතුරක් වෙනුවට පියා උන් දෑස විවර වූයේය . කඩවසම් උවන පුරා සැනසුම් ස්වරූපයක් ඇඳී ගියේය.
” අම්මට කියපන් බලලා මොනාහරි කරන්න කියලා. “
” හ්ම්ම්.. දැන්ම බෑ. තව දවස් දෙක තුනකින් කියන්නං. මේ වෙනකන් අහගත්තු බැනුම් ටික ඇති. “
මහීල් තව දුරටත් එසේ පවසමින් යළිත් ටැබ් යන්ත්‍රයට හිස බර කර ගත්තේය. හැඟීම් විරහිත උවනකින් පසුපස අසුනේ හිඳි දේහදාරියා යළිත් දෑස පියා කල්පනාවට වැටුණේය .
********************************************
” සුද්දියේ…. සුද්දියේ….!”
ගුරු පාර දිගේ හැල්මේ ඇවිද ආ තරුණිය අසල නිවසකින් නැඟුණු කටහඬත් සමඟම වහා නතර වී ඒ දෙසට හිස හැරවූවාය.
” කොහෙද බං මේ දුවන්නේ ? ”
” අම්මා නයනක්කලෑ දිහා රෙදි කපන්න ගිහින් ලීලා නැන්දේ. මං මේ අඩිය ඉක්මන් කළේ චූටි ගෙදර ඇවිත් ඇති කියලා හිතාගෙන “
” ඇයි සඳමාලි ගෙදර නැද්ද ?”
” නින්ද ගිහින් ඇති නැන්දේ..”
තරුණියගේ පිළිතුරත් සමඟම මැදි වයස් ගැහැනිය වහා කම්මුලක් මත අත තබා ගත්තාය .
” ඈ බං. මේ ගිනි මද්දහනේ නිදා ගන්න වෙලාවක්ද ? සෝ..ක්.. ගෑනු. කසාද බැඳපු මිනිහා හොඳ එකා නිසාම හොඳා. අපේ උන් වගේ උනානං බලා ගන්න තිබ්බා පස්සට පයින් දෙකක් දීලා එළවලා දාන හැටි “
” නැන්දා මට ඉන්නය කිව්වේ ?”
” අහ්.. හප්පොච්චියේ . තව ඩිංගෙන් ඒකත් අමතක වෙනවා. පොඩ්ඩක් හිටහන් “
එසේ පැවසූ ඇය වහා හැරී නිවසේ පිළිකන්න දෙසට අඩියට දෙකට දිව ගියාය. ඉන් පසුව පෝර උරයක වැසූ යමක් දෝතින්ම රැගෙන යළි කඩුල්ල දෙසට ආවාය. ඈටත් පෙර ඇගේ දෑත මත ඇති පොදියේ සුවඳට ඉව ඇල්ලූ තරුණිය මඳ සිනහවක් මුවට නඟා ගත්තාය.
” වරකා ගෙඩියක් බෑවා. ගෙදර ගිහින් පොඩි උන් දෙන්නටත් දීලා කාහන් මයේ අම්මා..”
” පින් සිද්ධ වෙනවා නැන්දේ. “
වැඩිමහළු ගැහැනියට මුව පුරා ස්තූති පුද කෙරූ තරුණිය වහ වහා නිවස වෙත දිව එන්නට පටන් ගත්තාය. කඩුළු ලීය පන්නා දමා ඇති බවත් , කාලිංගගේ යතුරු පැදිය ගෙමිදුලේ නතර කර ඇති බවත් දෑස් කොනින් දුටු ඈ වරකා පළුවද තුරුළු ගන්වා ලමින් පිළිකන්න දෙසින්ම මුළුතැන්ගෙට ගොඩ වූවාය.
සිමෙන්ති පඩිය උඩින් රැගෙන ආ වරකා පළුව තැබූ ඈ පිඟන් රාක්කය යට බහා තිබූ කුඩා මන්නය අතට ගෙන වරකා පළුව තවත් පහරකින් දෙපළු කළාය. ඉන් පසුව ළං කරගත් මැටි කෝප්පය තුළට එකින් එක වරකා මඳුළු ගලවමින් දමන්නට වූවාය.
” ශාහ්.. ගේ පිරෙන්නම සුවඳනේ..”
එක් වරම පසුපසින් ඇසුණු කටහඬට තිගැස්සී ගියද ඒ දෙස හිස හරවා හෝ නොබැලූ ඇය දිගටම වරකා මදුළු ගලවමින් සිටියාය.
පසු පසින් ඇසුණු කටහඬට පසුව ඇසුණේ සිහින් අඩි ශබ්දයකි. ඉන් පසුව කරාමය විවර වන හඬත් , ජෝගුවක් මතට වතුර පිරවෙන හඬත් ගුඩුස් ගුඩුස් හඬින් එය පානය කරන හඬත් , සිමෙන්ති පඩිය මත ශබ්ද නඟා යළි ජෝගුව තබන හඬත් ඇයට ඇසුණාය.
ඉන්පසුව යළිත් ඇසුණේ සිහින් අඩි ශබ්දය ය. ක්‍රම ක්‍රමයෙන් අඩි ශබ්දය තමා අසලට ළං වත්ම ඊලඟ මොහොතේ සිදු වීමට යන දෙය පිළිබඳව ඉව වැටුණු තරුණියගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගැනිණි . මෙතෙක් තම දිවිය තුළ තමා මුහුණ දුන් පිළිකුල්ම සහගත සිදුවීම යළි යළිත් තමා වටාම සිදුවීම හා ඊට මුහුණ දීමට සිදු වීම පිළිබඳව තරුණියට තමා පිළිබඳවම අපුලක් ගෙන දීමට සමත් විය.
ක්‍රම ක්‍රමයෙන් තමා අසලටම පැමිණි අඩි ශබ්දය නතර වූයේය . ඉන් පසුව දැනුණේ ගෙල පිළිස්සී යන තරමේ දුම්වැටි දුර්ගන්ධයෙන් පෙළුණු උණුසුම් සුසුම් රැල්ය. පිළිකුළෙන් මෙන්ම වේදනාවෙන්ද ගෙල හකුළුවා ගත් ඈ තවත් අඩියට පසෙකට තැබුවාය. නමුත් ක්ෂ්ණිකව ක්‍රියාත්මක වූ හැඩි දැඩි අඳුරු පැහැ රෝම කූප පිරුණු අපිරිසිදු අත ඇගේ බඳ වටෙන් ඉදිරියට අත යවා ඇගේ කුස තදින් මිරිකුවේය.
” ආහ්…”
වේදනාවෙන් මෙන්ම දරාගත නොහැකි වූ පිළිකුළෙන් පසෙකට වූ යුවතිය වහා ඔහුගෙන් මිදීමට අනෙක් පසට හැරෙන්නට උත්සාහ කළද , එයට ඉඩ නුදුන් අඳුරු පැහැ අත තවත් ඇගේ කුස තද කරමින් ඈ ඔහු ලඟටම ඇද ගත්තේය.
” අතාරින්න කාලිංග අයියේ.. මං කෑගහනවා.. “
” කෑගහපන් ඉතිං. මං බය වෙයි කියලා හිතුවද ? කෑ ගහපන් . කෑගහල බලපන් මොකද වෙන්නේ කියලා. අර මහ දවාලෙත් ඇඳේ හතර ගාතේ දාලා දපල ඉන්න උඹලෑ අක්කා ඊට පස්සේ මෙතනට දුවගෙන එයිනේ. එතකොට මං කියන්නං වරකා මදුළක් ඉල්ලගන්න ආවම උඹ මගෙ ඇඟේ නඟින්න ආවා කියලා. උඹ පුලුවන්නං කියහන් මායි තොගේ ඇඟේ නඟින්න ආවේ කියලා. කාගේ කීමද ඒකි විශ්වාස කරන්නේ කියලා බලමුකෝ. “
තව දුරටත් කුස මිරිකා ගෙන සිටින අතින් ඈව තමා වෙතට ඇද ගනිමින් තද කරගත් ඔහු ඔහුගේ මධ්‍යසාර ගන්ධය පිරි මුව ඇගේ සවනේ අතුල්ලන්නට වූවේය .
” කියපන් බලන්න. කියපන් ඉතිං. මං එක වචනයයි කියන්න ඕනේ උඹවයි , අර ලෙඩ මහ ගෑනිවයි , පොඩි එකීවයි අරකි මේ ගෙයි එළියට ඇදලා දාන හැටි බලන්න. මොකෝ ඊට පස්සේ අර මහ එකා මැරෙන්න වැටිලා ඉද්දි උගස් තියපු ගෙට ආයේ උඹලා යන්න කියලද ? යන එන මං නැතිව , මගෙම වහලෙ යට වැටිලා , මගෙන්ම කකා බිබී මට ඕන විදිහට ඉන්න බැරි නං තොට පුලුවන් අනිත් උන් තුන්දෙනත් අරන් පාරට බහින්න. ඊට පස්සේ අර තලපතා වගේ ඇඳේ දිගෑදිලා ඉන්න එකීගෙත් පස්සට දෙකක් දීලා ගෙයින් එළියට දාලා මං උඹේ පස්සෙන්ම එවන්නං . “
තරුණියගේ හදවත ප්‍රමාණයට වඩා වේගයෙන් ස්පන්ධනය විය. දෑස් මත්තට නැඟුණු කඳුළු කොපුල් කරා කඩා වැටෙනු නතර කිරීමට ඈ තදින් තොල් පට සපා ගත්තාය. කුස මත මිරිකී තිබූ ගොරගැඬි අත ක්‍රම ක්‍රමයෙන් සියුමැලියගේ කුස මතින් ඉහලට ඇදෙන්නට වූයේය . දරා ගනු නොහැකි වූ පිළිකුලත් සමඟින් ඒ මේ අත ඇඹරෙමින් ඔහුගේ වතින් ගැලවීමට උත්සාහ කළද එක් අතක සහායට අනෙක් අතද ගෙනා ඔහු ඒ අතින්ද යුවතියගේ බඳ තදින් අල්ලා ගත්තේය . කෙතරම් දඟලමින් ඔහුගෙන් මිදෙන්නට තැත් කළත් එකී ගොරෝසු තිරිසන් දෑතට හසු වූ සිටි යුවතිය හට සෙළවීමට හෝ නොහැකි වූවාය .
” සුද්දි අක්කේ… සුද්දි අක්කේ….!”
නිවස ඉදිරිපසින් ඇසුණු හඬ ගෑමට සැනසුම් සුසුමක් හෙළූ යුවතිය වහා රළු දෑතින් මිදී ආලින්දය දෙසට දිව්වාය.
තමාගෙන් මිදී දිව යන ඈ දෙස බලා සිටි රෞද්‍ර දෑස කෝපයෙන් බර වී ගියේය.
” තෝ වරෙන්කෝ…, තෝවත් මගෙ ගෑනි කරගෙන මිසක්කා මං ආයේ පස්ස බලන්නෑ. “
රෞද්‍ර දෑස තමාටම මුමුණ ගත් අතර ඈ විසින් පිරිසිදු කරමින් සිටි වරකා මදුළු කිහිපයක්ම එකින් එක ගිල දමමින් පිළිකන්න දෙසට පල්ලම් බැස්සේය.

