දෙහිතක කතාවක් 40

“ආයෙ මේ ගෑණු ළමයට කතා කරල කරදර කරල තිබුණොත් මේ පොලොව උඩ හුස්ම ගන්න පුලුවන් වෙයිද කියල ශුවර් එකක් තියාගන්නෙ නැතුව කතා කරපන්”

කැලුමිනී උසාවියෙන් එලියට බැස පාර පැන තම වාහනය තිබෙන ඉසව්වට එන අයුරුත් කවුරුන් හෝ පිරිමියෙකු ඇයට තර්ජනය කරන අයුරුත් අරවින්ද නොදුටුවා නොවේ. ඒ පිරිමියා කවුද කියා අරවින්ද නොදැන සිටියාත් නොවේ. 

කෝසල…

අරවින්ද උන්නෙ පුදුමාකාර කෝපයකිනි. නිම්නගෙන් කෝසලගේ කාර්‍යාලයේ විස්තරත් නිවසේ විස්තරත් දැන සිටි නිසාවෙන් මිතුරෙකුගේ උදව්වෙන් ඔහුට හරි වැරැදි පහදා දෙන්නට කටයුතු කලද මේ අමනුස්සයා හිඳින්නේ කැළුමිනී සමග ජන්මාන්තර වෛරයකින් බවත්, අඳුරු රැයක මග වාහනය නතර කර තර්ජනය කිරීමෙන් ඒ වෛරය සංසිඳුවන්නට නොහැකි බවත් අරවින්ද තේරුම් ගත්තේය.

එහෙත් මේ ගැටුමකට අර අදින්නට මොහොතක් හෝ තැනක් නොවේ. කෝපය බුර බුරා දැල්වෙන සිත අරවින්ද පාලනය කරගත්තේ ඒ බව සිතීමෙනි. 

“උඹ ද දැන් මේකිගෙ අලුත් මිනිහා?”

අඩි හයක් පමණ උස දේහදාරී පෞර්ශය සිත මද තිගැස්මකට ලක් කරද කෝසල උන්නේ බියපත් බව සඟවා ගෙනය. අනෙක් අතට හදිසියේම කැලුමිනී ඉදිරියට ආ මේ නාඳුනන මිනිසාගේ ගැඹුරු හඬත්, නිසසල දෙනෙතත් කුතුහලයට ලක් කලේ කෝසලගේ හිතම පමණක් නොවේ. දුරින් හිඳ කැළුමිනී ලුහුබඳිමින් උන් ප්‍රභාත්ද උන්නේ ඒ හා සමාන කුතුහලයක ගිලීය.

“ඔයා ගිහින් වාහනේට නගින්න” කියා කැලුමිනී වෙත දෙනෙත් යා කල අරවින්දගේ සිතේ වූ කෝපය ඒ දෙනෙතේ ඇඳී තිබුණේ බය වෙන්න එපා මම ඉන්නවා කියන හැඟීමක ලකුණුය. එහෙත් සිත විසින් ගිනි දැල් වූ කෝපයක සේයාවන් මුහුණ රත් පැහැ කරමින් මුහුණට ලේ පුරවමින් තිබුණි.

කැළුමිනී ඔහුගේ එක් වදනකට හිස නමා යන යුරු දැකීමම කෝසල විසින් යටපත් කරගන්නට සිතූ කෝපය යලිත් දැල්වෙන්නට විය. 

ඒ කෝපයේ තිබුනේ කැලුමිනී තමා විසින් කියු කිසිවක් ගණන් නොගැනීමත්, තමා විසින් කල ආරාධනාව පිලි නොගැනීමත් නිසාය.

“මචං මං මේ හොඳින් කියන්නෙ. උඹට කැලුමිනී එක්ක තියෙන්නෙ මොන වගේ ප්‍රශ්නයක්ද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මම උඹේ මේ ගේම් එක ලේසියෙන් අතාරින්නෙ නෑ. සද්ද නැතුව ඉන්න කියල මම කියන්නෙ නෑ. ඕන තරම් උඹ සද්දෙ දාපන්. මොකද උඹ සද්දෙ දාන තරමට මට උඹේ සද්දෙ වහල දාන්න හරි ලේසියි

ඒ නිසා පරිස්සම් වෙලා ඉඳපන්.මං ආයෙ මෙහෙම හම්බෙලා උඹට කිසිම දෙයක් කියන්න ඉඩ තියන්නෙ නෑ. මොකද මං අත්වල ජරාව ගාගන්න කැමති නෑ උඹ වගේ. 

හැබැයි මං මේක ලේසියෙන් අතාරින්නෙත් නෑ. මොකද උඹට වැඩක්ම නැති, හැබැයි වෙන කෙල්ලොන්ගෙ මුලු ජීවිතේම විනාස කරල දාන තුරුම්පු උඹ ලඟ තියෙන බව මම දන්නව. උඹ වගේ කසඩයෙක්ට එහෙම ගෑණුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරල දාන්න ඉඩක් තියන්න මට ඕනකමක් නෑ. 

ඒ හන්ද පරිස්සමෙන් ඉඳපන්. උඹට මාව හම්බුනේ නැතත් මාවයි මගෙ අම්මල මුත්තලයි ඉස්සරහට මතක් කරන්න වෙයි”

කියමින් අරවින්ද හැරී ආපසු වාහනයට යන්නට අඩියක් ඉස්සරහට තැබුවද ආයෙ වරක් යමක් කියන්නට මෙන් කෝසල දෙසට හැරුණි. ඒ වියරු සිනහවක් දසන් පෙල මත රඳවාගෙනය.

“උඹේ වයිෆ්ගෙ නම අනුරාදි නේද? ඒකි දන්නවද උඹේ මේ සෙල්ලම්?” කියමින් සමච්චලයට මෙන් කියූ අරවින්ද නැවත වේගවත් පියවරින් වාහනය දෙසට ඇවිද ගියේය. කැළුමිනී උන්නේ කර කියාගන්නට දෙයක් නැතුවය. අද අරවින්ද නාවානම් තමාත් නැන්දාත් මේ නරුමයාගෙන් බේරෙන්නෙ කෙසේද කියා සිතද්දිත් කැළුමිනීට දැනුනේ පුදුමාකාර බියකි.

ඒ බිය දෙනෙත් මත කඳුලක කැලැල් ඉතුරු කරවන්නකි.

“හැමදේටම අඬන්න තියාගන්න එපා. මං කිව්වනෙ බයවෙන්න එපා. අයි විල් සෝට් දිස් අවුට්”

අරවින්ද එපමණක් කියා වාහනය පණ ගන්වා ගෙන නිවස වෙත ගියේ කල්පනා ලෝකයක සිත අතරමං වී තිබියදීය.

“කෝසල මොනවද කිව්වෙ සර්?” කැළුමිනී ඇසුවේ සෙමිනි. අරවින්දගේ මුහුන මත ඇඳී තිබුණ කෝපයක ලකුණු යමක් ඔහුගෙන් අසන්නට පෙර පවා දෙතුන් වරක් හිතන තැනකට කැලුමිනීව පත් කර තිබුනද මේ ප්‍රශ්නය නොඅසා හිඳින්නට බැරිකමක් තිබුණි. වාහනය ඇතුලේ රැඳී තිබුනේ උණුහුමකි. ඒ උණුහුම දැවීමකට මුල් වෙන්නකි.

“ඌ මොනවත් කිව්වෙ නෑ. කියන්න තියෙන දේවල් කිව්වෙ මම. ඔයාගෙත් වරදනෙ. ඔයා ආව දවස්වලම ඕක මට කිව්ව නම් මං හොඳ පාඩමක් උගන්නනව ඔය යකාට. නිම්න ආවයින් පස්සෙ තමයි මම හැමදේම දැනගත්තෙ

ඇත්තටම ළමයො ඔයාට බයක් හිතුනෙම නැද්ද ඒ මනුස්සය මොනව කරාවිද කියල?”

අරවින්ද එසේ කීවාට එවන් දෙයක් නාඳුනන පිරිමියෙකුට කීම ගැහැණියකට කල නොහැක්කක් බව දැන උන්නේ කැලුමිනී පමණකි. ඔහූ තමා දෙස කුමනාකාරයෙන් බලනවාද යන්න ගැන කිසිත් අදහසක් නොමැතිව එවන් දෙයක් කීම කෙසේ කල හැක්කක්ද?

“හරි දැන් ඒක කතා කරල වැඩක් නෑනෙ. ඔයා බයවෙන්න එපා. මම කොහොමහරි ඕක විසඳල දෙන්නම්. ඔයා හිත කරදරෙන් ඉන්න එපා. ඒක අපේ බබාට හොඳත් නෑ”

අඬන්න තිබුනානම් කොච්චර හොඳ ද කියා සිතුනත් කැලුමිනී ආයාසයෙන් දුකත් කඳුලත් වාවගත්තාය. “ආයෙමත් මම මේ ගැන කතා කරන්නෙ නෑ” කියා ඊයෙ රැයේ පොරොන්දු වුවද අරවින්ද සූරියබණ්ඩාර ඉන්නේ තවමත් ඒ සිතුවිල්ල සිතෙන් ඉවත් කර නොගෙන බව වැටහේ.

“අපේ බබා” කියා කිව යුතු මිනිසා තමාව දික්කසාද කරන්නට පෙරම වෙනත් තරුණියකට ආලය කරද්දී තමාගෙන් කිසිත් අනුබලයක් නැතුවම මේ මිනිසා මේ දරුවා තමාගේ යැයි සිතීම දරාගත යුත්තේ සිනහ වීද හඬාද?

අරවින්දගේ රියේ නැගී නිවස බලා යනතුරුම කැලුමිනීත් අරවින්දත් උන්නේ එකිනෙකාගේ ලෝක වල තනි වීය. එහෙත් ඒ ලෝක දෙක තුලම අනෙකාගේ ජායාවන් ඇඳී තිබුන බව දැන උන්නේ ඒ දෙදෙනාම පමණකි.

“කැලුමිනී අපෙ අම්මට කියන්න මම පොඩි හදිසි වැඩකට එලියට යනව කියල. ඔයා කාලා වොශ් එකක් දාල ඉන්න. 

තව දෙයක් නැන්දගෙන් අහන්න, අද රෑ මෙහෙ ඉඳල හෙට උදේ යන්ද කියල ආපහු. මොකද මේ වැඩේ මම අදම ඉවර කරන්න ඕන කැලුමිනි. මම හෙට පුලුවන් තරම් උදෙන් ඔයාලව එක්කගෙන යන්නම්”

කියමින් කැලුමිනී වදනක් කියන්නට පෙර අරවින්ද නික්ම ගියේය. ඒ කොහේද කොයිබද කවුරු හමුවන්නද කියා අදහසක් නොවූ අතර කැලුමිනී තනිව නිවසට ආවේ ඒ විචිකිච්චාව සිතේ රඳවාගෙනය.

“කෝ දූ අපේ කොල්ලා?” රෝද පුටුව අතකින් හසුරුවාගනිමින් ඉදිරියට එමින් උන් සූරියබණ්ඩාර මැතිණිය කැලුමිනිගෙන් ඇසුවාය. නොඇසුවා වුවද පබෝදාගෙ දෙනෙතේත් රැඳී තිබුනේ ඒ ප්‍රශ්නයම බව කැලුමිනී දුටුවාය.

“සර් එලියට යනව කියල ගියා මැඩම්. මැඩම්ට කියන්න කිව්වා. 

සර් එන්න පරක්කු වෙයි කියල අපිට හෙට උදේ ගියාම ඇති ද කියලත් ඇහුවෙ නැන්දෙ?”

“අනේ මන්දා මේ ළමය නම් කිසිම පිලිවෙලක් නෑ. ඔහොම තමයි පබෝදා ඉතින් පිරිමියෙක් හරි වයසකදි කසාද බැන්දෙ නැති උනාම ඔහොම තමයි. අර ආධාරකයක් නැතුව යවපු මල් වැලක් වගේ තමයි. අම්මලට තමයි හිතේ ගින්දර ඉතින් අවුරුදු හතලිහකට කිට්ටු උනත් පුතාලා කසාද නොබැන්දම. 

දැන් ඉතින් එන වෙලාවක එන්නෙ නැතෑ. අපි කාලා ඉමුකො. අද මෙහෙ ඉන්න එකේ කාලා ඉවර වෙලා පොඩ්ඩක් නිදාගන්න බැරිය. මේ දූටත් මහන්සි ඇති උදේ ඉඳල ගමනේමනෙ” කියමින් රෝද පුටුව කරකවමින් සූරියබණ්ඩාර මැතිනිය නිවස ඇතුලට යද්දී පබෝදාත් කැලුමිනීත් නිහඬවම ඒ පස්සේ ඇදුනහ.

මිලින්ද හමුවී කතා කරන්නටත් තීරණය කරන්නටත් වැදගත් යමක් අරවින්දට තිබුණි. පාසල් වියේ දැන හඳුනාගෙන ගොඩනගාගත් මිතුදම් අද දිවයිනේ බොහෝ ඉහල තැන්වල මුලසුන් දැරීම මෙවන් මොහොතක වෙස් වලාගත් ආශිර්වාදයකි.

“දැන් ඔය කියන මෑන් ඒ වීඩියෝ වෙන කොහෙවත් පබ්ලිශ් කරල නෑ කියල උඹට ශුවර් ද?”

“ඔව්, මං හිතනව මිනිහට එහෙම ඒ වීඩියෝස් කොහෙවත් පබ්ලිශ් කරල කැලුමිනිට ලැජ්ජාවක් කරන්න උවමනාවක් තියෙනව කියල. මිනිහට උවමනාව තියෙන්නෙ කැලුමිනීව බ්ලැක්මේල් කරන්න”

“දැන් ඌ හදන්නෙ ඔය කියන කෙල්ලව බ්ලැක්මේල් කරන්න, එතකොට උඹ හදන්නෙ මොකක් කරන්නද?”

මිලින්ද ඇසුවේ මනමාල සිනහවක් මුව මත පිපීගෙන එද්දීය. අරවින්දගේ මුව මතටද ඒ සිනහව පිපී ආවේය.

“මේ මේ ඒව පස්සෙ කතා කරගන්න පුලුවන් දේවල්. මං මේ මනුස්ස කමට තම මනුස්සයෙක්ට උදව්වක් කරන්න යද්දිත් කොහෙද උඹල එක්ක බෑනෙ ඉතින්”

“හරි හරි අම්මේ උඹේ මනුස්සකම ගැන ඉතින් අපි කතා නොකර ඉමුකො. කාට කාට හරි මේවයින් හරි යනවනම් එච්චරයි මචං අපිට වටින්නෙ”

“මට මේකට උදව් කරපන් බං. උඹ දන්නවනෙ මම මට හැන්ඩ්ල් කරගන්න පුලුවන් දෙයක් නම් උඹට කරදර කරන්නෙ නැති බව. මම මේකට අත දාන එක මචං මට වගේම ඒ ළමයටත් තව ප්‍රශ්නයක් වෙනව විතරයි. අනික ඒ ළමයගෙ වීඩියෝ විතරක් නෙවෙයි ඔය මිනිහ ළඟ තියෙන්න පුලුවන්. මම දන්න විදියට ඒ ගෙස්ට් හවුස් එකට ආව ගොඩක් ගර්ල්ස්ලගෙ නියුඩ්ස් ඒ මනුස්සය ස්ටෝර් කරගෙන ඉන්නව”

“නෑ මචං ජෝක්ස් අපාර්ට්, අයි විල් හැන්ඩ්ල් දිස්. ලාස්ට් වීක් අපිට කේස් එකක් ආව ඔය වගේම ඒ ගර්ල් සුයිසයිඩ් කරගෙන එයාගෙ බෝයි නියුඩ්ස් ලීක් කරනව කිව්ව නිසා. ඉස්කෝලෙ යන කෙල්ලෙක්. පව් බං. මිනිස්සු එහෙම රූම්ස් වලට යන්න එපා කිව්වට දැන් කාලෙ ලමයි බං අපිට වඩා ඇඩ්වාන්ස්. උන්ගෙ සෙක්ශුවල් නිඩ්ස් පවා අපි හිතනවට වඩා ඉක්මනට එනව. ඉතින් ඒක බං ඒ ලමයින්ගෙ වරදක් නෙවෙයිනෙ. ඔය බඳින්න කලින් ඕව කරනවද කියල අහන අපේ වයසක අය පවා ඕව නොකරපු මිනිස්සු නෙවෙයිනෙ බං”

“උන් උන් කතා කරල රෙකොඩ් කරගත්තුව නම් මට කමක් නෑ බං. ඒ උනාට හොරෙන් එහෙම කැමරා සෙට් කරල රෙකෝඩ් කරගන්නව කියන්නෙ ඒක වැරදියිනෙ”

“උඹ බයවෙන් එපා. මම මේකට සපෝට් එක දෙන්නම්. ඔහොම දේකට උදව් කරන්න බැරි නම් බං මගේ රස්සාවෙනුත් වැඩක් නෑනෙ”

“තැන්ක්‍යු බං. මං මේක කවදාවත් අමතක කරන්නෙ නෑ”

හිඳගෙන උන් පුටුවෙන් නැගිටිමින් මිලින්දගේ දෑත අල්ලා සහෘදත්වයෙන් සොලවමින් අරවින්ද පැවසුවේය.

ඉතින් මේ ආදරය වෙනුවෙන් කරන කැපවීම් ය.

අරවින්ද මේ සියල්ල ගැන සිතුවේ එලෙසිනි. ලබා ගන්න බැරි වුවද ආදරය වෙනුවෙන් කැපකිරීම් කිරීමට හැක.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles