දෙහිතක කතාවක් 41

කෝසල ගැන ආයෙ වොරි වෙන්න එපා”

අරවින්ද කැලුමිනීට කිව්වේ එදා රැයේ රාත්‍රී ආහාරයෙන් පසුව පබෝදා සූරියබණ්ඩාර මහත්මිය සමගින් පහල තට්ටුවේ කතා කරමින් ඉද්දිය. අරවින්ද නිවසින් පිටත විසල් ගෙඋයනට ආවේ කැලුමිනී සමගිනි. කොළඹ වුවත් සඳ කිරණ වැටී තිබුණ ගෙඋයන කැලුමිනී දුටුවේ මන බන්දනීය ලෙසිනි. දෙණියාය තරම් සිහිලසක් නොවුනද ගලා යන මද සුලඟ ගත විඩා නිවාලන්නකි.

“ඒ උනාට කෝසල සතෙක් වගේ මනුස්සයෙක් සර්. මනුස්සකම් නොදන්න කෙනෙක්. එහෙම කෙනෙක් සද්ද නැතිව ඉඳිවි කියල සර් හිතනවද?”

“ඔයාගෙ බය තියෙන්නෙ ඌ ඔය ලඟ තියෙනව කියල වීඩියෝ යූස් කරල ඔයාට කරදරයක් කරාවි කියලනම් ආයෙමත් ඒ බය තියාගන්න එපා. මම ඒක බලාගන්නම්”

“මගෙ ප්‍රශ්න වලට සර් මැදිහත් වෙලා අන්තිමේ මට මිසිස් සූරියබණ්ඩාරගෙන් බැනුම් අහන්න වෙයිද දන්නෙ නෑ’

“ඒක මම බලාගන්නම්කො. අනික මම දෙයක් කියන්න ඉඳියෙ. ඔයා තරහ වෙන්න එපා. ඔයා මට අකමැති වෙච්ච එක කමක් නෑ. ඒකට මම තරහ නෑ.

ඒ උනාට මෙයාට නම් මට අකමැති නොවී ඉන්න බෑ. මොකද මම එයාට මේ ලෝකෙ කවුරුවත් නොදෙන තරමෙ ආදරයක් දෙනව. ඒ හන්දා එයාට මට කැමති වෙන්නම වෙනවා”

අරවින්ද කිව්වේ කැලුමිනීගේ කුස වෙත නෙත යොමු කරවමිනි. බැගෑබර සිනාවක් පෑවද කැලුමිනී උන්නේ හිත රිද්දාගෙනය.

“මම අකමැතියි කිව්වේ ඒක වරදක් හන්දා” කියා කියන්නට තිබුණානම්?

“ඔයා කැමති පුතෙක් ලැබෙනවටද දුවෙක් ලැබෙනවටද?”

“ම්ම්ම් අනේ මන්ද කවුරු හම්බුනත් මං එයාට කියල දෙනව ජීවිතේ මොන ප්‍රශ්න ආවත් අපි මූණ දෙන්න ඕන හිතේ හයියෙන් කියල. වෙච්ච දේවල් අපිට වෙනස් කරන්න බැරි උනත් වෙන්න තියෙන දේවල් වල ඉම්පැක්ට් එක අඩු කරගන්න අපිට අපි ගන්න තීරණ වලින් පුලුවන් කියල. 

පුතෙක් හම්බුනොත් මං කියල දෙනවා හැම ගෑණියෙක්ටම තමන්ගෙ අම්මට සහොදරීට වගේ ආදරෙන් ගෞරවෙන් බලන්න කියල. 

මෙයා කැමති දෙයක් ඉගෙන ගනීවි. කැමති රස්සාවක් කරාවි. ඒව මට වෙනස් කරන්න බැරි වෙයි. ඒත් එයා හොඳ දරුවෙක්, හොඳ මනුස්සයෙක් කරන වගකීම තියෙන්නෙ මං අතේනෙ සර්”

කැලුමිනී ඒ කිව්වේ කඳුලු බිඳුවක්වත් නොසලා, හඬ මදක්වත් නොවෙනස්වය. ඒ හඬේත්, ඇය කියූ දේවල තිබුනේත් අපිරිමිත ශක්තියකි. ඒ අනන්ත අප්‍රමාණ දුක් ගංගාවක් පසු කර ආ ගැහැණියක විසින් පසුගිය කාලය පුරාවටම ඒකරාශී කරගත් දරාගැනීමේ ශක්තියයි. මවක් තම දරුවන් වෙනුවෙන් ඇති කරගන්නා ඉහිලීමේ ශක්තියයි.

අරවින්දගේ ඉල්ලිම අනුව මිලින්ද කෝසලව දඩයම් කරගැනීම මග හදමින් උන්නේය. කෝසල උන්නේ මේ කිසිවක් නොදැන නමුත් යම් කිසි ව්‍යසනයක් හෙට අනිද්දාම විය හැකි බවට තේරුම්ගනිමින්‍ ය. එදා කැලුමිනී වෙනුවෙන් කතා කල මිනිසා කවුරුන් නමුත් අප්‍රමාන ශක්තියක් සහ බලයක් ඇති මිනිසෙක් බවට ඔහු විසින් හෙලූ එකම බැල්මකින් පවා කෝසල තේරුම් ගෙන උන්නේය. ප්‍රභාත් විසින් ද නිම්න විසින් ද අත හැර දමන ලද, දික්කසාද ගැහැණියක වූ කැලුමිනී අසල එවන් බලයක් ඇති මිනිසෙකු නතර වී ඇත්තේ කෙසේද යන්න කෝසලට පැනයක් විය.

අනෙක් අතට ඒ පැනය පැමිණ තිබුනේ කෝසලට පමණක්ම නොවේ. ප්‍රභාත් උන්නේද තිගැස්සීය. දික්කසාදය සඳහා සියල්ල සූදානම් කරද පලමු වරට කැලුමිනීව උසාවියේදි දකිද්දී ඇයව අත හැර ගත්තේ අපරාදේය යන සිතුවිල්ල සිතට නොආවා නොවේ.

එහෙත් දැන් හැරෙන්නට නොහැකි බව නොදන්නවා නොවේ. ඒ අමීශා නිසාවෙන් නොවේ. අමීශාව මේ මොහොතේ වුවත් අත හැර දමන්නට හැකියාව තිබුණත් ඒ වූ කලී තමා විසින් ගොඩනගා ගෙන ආ ප්‍රතිරූපය බිඳ වට්ටා ගැනීමකි. අනෙක් අතට කැලුමිනී නිවස හැරගියායින් පසු දැනුන තනිකම මකාගනු පිණිස අමීශාට ලං වූ බව සැබෑවකි. එහෙත් කැලුමිනී විසින් ඇති කර දමා ගිය හිස්කම ඇයගෙන් පිරුණාද යන සැකය සිත කෙලවරක හිඳිමින් නිරත්තරයෙන් තමාව ප්‍රශ්න කරයි.

එහෙත් මේ ගමන දැන් මග නතරවෙන්නට නොහැකි එකකි. අනෙක් අතට තමා ඇයව හැර දැමූ පසුව ඇය අසරණ වෙතැයි සිතුවද මේ ගෙවුණ මාස කිහිපය පුරාවට ඇය ඒ දුක් අන්ධකාරය මතින් විසල් රුකක් මෙන් නැගී සිටින යුරු දකිද්දී එයට හේතුව එදා ඇය වෙනුවෙන් පෙනී සිටි ඒ විසල් මිනිසා බව තේරුම් ගන්නට ප්‍රභාත්ට අපහසු වූයේ නැත.

මිලින්දගේ පිරිස කෝසලගේ නිවස බලා ආවේ කෝසල රැකියාවට ගොස් සිටි මොහොතකය. අනුරාදි උන්නේ තිගැස්සීය.

මිලින්ද සමග ආ අනෙක් ආරක්ෂක අංශ නිලදාරීන් සෝදිසි වරෙන්තුවක් පෙන්වා මුලු නිවසම අස්පස් කරද්දී කෝසලට කෙටි පණිවිඩයක් යවා මේ බව කියන්නට ශක්තිය අනුරාධි කොහෙන්දෝ සොයා ගත්තාය.

කෝසල උන්නේ සිත ගිනි තබාගෙනය. ඒ ගින්න ඔහුගේ වාහනය වේගයෙන් ධාවනය කරන්නට උදව්වක් විය. කෝසල කාර්‍යාලයේ සිට හුලඟක් මෙන් නිවස අසලට එද්දිත් මිලින්ද ඇතුලු පිරිස උන්නේ කෝසලට අයත් පරිගණක, ටැබ් යන්ත්‍ර ආදී සියල්ලේම දත්ත පරීක්ෂා කරමින් අදාල තරුණියන්ගේ වීඩියෝ පට සහිත ගොනු තමන් සතු කරගනිමිනි.

කෝසල සියල්ල දුටුවේ විනාස වීමක් ලෙසය. මිදුලේ නවතා තිබූ පොලිස් වාහන අසල්වැසි නිවෙස් වල කුහුලින් බර දෙනෙත් කෝසලගේත් අනුරාධිගේත් නිවෙස වෙත එල්ල කරන්නට සමත් වූවකි.

අනවසරයෙන් කාන්තාවන්ගේ නිරුවත් දර්ශන සහිත ජායාරූප සහ වීඩියෝ පට ලඟ තබා ගෙන තිබීම යන කාරණාව පදනම් කරගෙන පොලිස් රියක නැගී යද්දී අනුරාධි එකදු කඳුලු බිඳක් නොසලා බලා හිඳි බව කෝසල දුටුවේය. මේ අපහසුවෙන් ගොඩනගා ගත් සියල්ලක අවසානය බව තේරුම් යද්දී කෝසලට අතීතයට ගොස් සියල්ල වෙනස් කිරීමට තිබුනා නම් අපූරුය යන්න නොසිතුනා නොවෙ.

අයියාගේ ගෙස්ට් හවුසියේ තිබුනි ඒ වීඩියෝ පට අයියා කුමකට යොදාගත්තේද යන්න කිසිදාක කෝසලට දැනගන්නට ලැබුනේ නැත.මක්නිසාද යත් කෝසල පවා ඒ සියල්ල දුටුවේ අයියා මිය ගිය පසු ඔහුගේ පෞද්ගලික භාණ්ඩ පිරික්සද්දීය. ඒ සියල්ල මකා දමන්නට හැකියාව තිබුනත් මේ තම ජාගර සිතැඟි ඉටු කරගැනීමට විවර වුණ මගක් යන්න සිතෙන් ඉවත් කරගන්නට කෝසලට හැකි වූයේ නැත.

කැළුමිනී ප්‍රභාත් විවාහය බිඳ දමන්නට අදහසක් නොතිබුන නමුත් පාසල් කාලයේ සිටම සුන්දරව පිපී හුන් කැලුමිනීව ප්‍රභාත් හිමිකරගෙන තිබීම කෝසල භාරගත්තේ ඉරිසියාව සමගිනි.

ජීවිතය වෙනස් වූයේ ඒ සිතුවිල්ල සමගිනි.

අරවින්ද කැළුමිනීට මේ කිසිවක් දැනගන්නට ඉඩ තැබුවේ නැතුවා වුවද නිරත්තර ආරක්ෂාවකින් සහ රැකවරණයකින් කැළුමීනී ලඟම රැඳී සිටින්නට අරවින්ද නිරතුරුම කටයුතු කලේය. සේවා ස්තානයේදී පවා කැලුමිනී වෙනුවෙන් පෙනී සිටින්නට අරවින්ද දෙවරක් නොසිතුවේ නැත. 

සූරියබණ්ඩාර මහත්මිය තම පුතුගෙ දෙනෙත් අස්සේ රැඳී තිබුන ඒ කතාව නොදැන උන්නේ නැත. 

අනුන්ගේ ඕපාදූප සොයන මිනිසුන් බොහෝමයක් තවම ගම්වල ඉතුරු වී හිඳින බව පසක් කරමින් කොළඹ රොස්මීඩ් පෙදෙසේ සූරියබණ්ඩාර නිවසට ආ ඇමතුම අරගත්තේද සූරියබණ්ඩාර මහත්මියයි.

ඒ ඇමතුමට අනුව අරවින්ද වරදකරුවෙකු නොවේ.කොළඹ සිට ආ කෙල්ලක අරවින්දව දපනේ දමාගෙනය. අරවින්ද දැන් ඇයව වත්තේ රාජකාරිය සඳහාත් අරගෙන ඇති බවත් මේ සියල්ල අරවින්ද මෙතෙක් කල් ගොඩනගාගත් යහපත් ප්‍රතිරූපයටත් සූරියබණ්ඩාර කීර්ති නාමයටත් හානි පමුණුවන්නක් බව ඒ ඇමතුම සූරියබණ්ඩාර මහත්මියට පැවසීය.

“අනේ මන්ද මැඩම් ඉතින්මම අර හිතවත් කමට කතා කරේ. ඒ කෙල්ල කොළඹ ඉඳන් ඇවිත් තියෙන්නෙ. අම්මෙක් අප්පෙක්වත් හරියට නැතිලු. කොටින්ම කසාදෙත් කඩාගෙන ඇවිත් තියෙන්නෙ. මොන මනුස්සයද මැඩම් තමන්ගෙ දරුවෙක් හම්බෙන්න ඉද්දි ගෑණිව ඩිවෝස් කරන්නෙ. අපි නොදන්නව උනාට මොකක් හරි ලොකුම ප්‍රශ්නයක් වෙලා ඇති.

මිස්ට අරවින්දව පරිස්සම් කරගන්න කියල තමයි කියන්න තියෙන්නෙ”

ඇමතුම එසේ නතර වුවද සූරියබණ්ඩාර මහත්මියගේ සිතට පිවිසි බිය නම් එසේ නතර වූයේ නැත. සූරියබණ්ඩාර මහත්මිය එසැණින්ම ඇමතුම ගත්තේ අරවින්දටය. අරවින්ද උන්නේ රාත්‍රී ආහාරය ගෙන ලැප්ටොප් පරිගණකය හසුරුවමිනි.

“හෙලෝ”

“පුතා බිසී ද?”

“නෑ අම්මෙ කියන්න හදිසියක් ද?”

“හදිසියක් කියන්නෙ පුතා මට කෝල් එකක් ආවා. කවුද කියල මං කියන්නෙ නෑ. කිව්ව දේ සහමුලින්ම බොරුවක් කියල මං කියන්නෙ නෑ. ඒ උනාට මට පිට මිනිස්සුන්ගෙන් දේවල් අහන්න කැමති නෑ. මම ඒකයි පුතාට කතා කරේ

පුතාගෙයි අර පබෝදාගෙ ගෙදර ඉන්න ගර්ල්ගෙයි සම්බන්ධයක් තියෙනවද?”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles