නිබ්බුත ගීත -19

ජීවිතයක් වෙනස් වන්නට එක නිමේශයක් ප්‍රමාණවත් ය. මධාරා අක්කා විවාපත් ව මදුරාපුර මැදුරෙන් නික්ම ගිය මොහොත මට ඒ වගේ නිමේශයකි.

ඇය යන බව මම දැන සිටියෙමි. අන් කවරදාටත් වඩා අප ලං වූයේත් ඒ කෙටි කාලයේ ය. මංගල උත්සවය වෙනුවෙන් මධාරා අක්කා ගේ සූදානම් වීම් වලදී ඇය නිතර ම ළඟ තබා ගත්තේ ද තනිවට කැඳවා ගත්තේ ද මාව ය. මා ඇගේ දෙවන මනාලිය වශයෙන් තෝරා ගෙන තිබීම ඊට හේතුවක් වන්නට ඇත. ඊට අමතරව මේ වන විට අපට  අප සම වයස් යෙහෙළියන් සේ දැනෙන්නට ගැනීම ද ප්‍රබල හේතුවක් වූවා කියා සිතමි. මුලින්  මදුරාපුර මැදුරට යත්දී මා කුඩා කැහැටු කෙල්ලකි. ඇය සුරංගනාවක බඳු නව යෞවනියකි. මගේ නව යොවුන් වියේ දී ඇය සුරූපී තරුණියක ලෙස රැකියාවෙහි නිරත වෙමින් සිටියා ය. ඒ සියලු කල්හි මට ඇය පෙනුණේ අපට අත පෙවිය නො හැකි ලෝකයකට අයත් වීරවරියක සේ ය. නමුත් උසස් පෙළ අවසාන වී වැඩිහිටි ලෝකයට අවතීර්ණ වීමෙන් පසු හා මධාරා අක්කා මට සම වයස් යෙහෙළියකට සේ සලකන්නට වීමෙන් පසු අප බැඳුණු බැම්ම තවත් දැඩි විය. 

මංගල උත්සවය වෙනුවෙන් ඇය සේ ම මා ද මහත් ආශාවකින් සූදානම් වූයේ මේ විදිහට වෙන් ව යන බව දැන ය. නමුත් ඒ වෙන් වීම මේ තරම් වියෝ දුකක් දනවාවියි මට සිතී තිබුණේ නැත.

“අක්කා ළඟ නැති වුණාට මං ඉන්නවනෙ…”

කියමින් ලෝචන මගේ උකුල මත වූ දකුණත අල්ලා ගත්තේ ය. මම ඒ මූණ දෙස බැලුවෙමි. ඒ වෙලාවේත් මගේ ඇස් වල තෙතමනයක් ද, කම්මුල් මත පරණ කඳුළු වල පැල්ලම් ද තිබෙනු ඔහු දකින්නට ඇත. 

අප සිටියේ මධාරා අක්කලාව හෝටලයෙහි නතර කොට ආපසු එන ගමන් ය. මාර්ගය අතිශය තද බද ව තිබුණෙන් රිය එක ම වේගයකින් නිදහස්ව ධාවනය කළ හැකි වූයේ නැත.

“ඉතිං අඬන එක නවත්තල මාත් එක්ක කතා කරන්නකො. අපිට මෙහෙම නිදහස් ගමනක් අක්ක හදල දීපු එකෙනුත් වැඩක් නෑ නැත්තං”

ඔහු මගේ අත අතැර, ඒ අතින් කම්මුලක් පිසදැම්මේ ය. මම කඳුළු අතරින් ම සිනහවක් නගා ගතිමි. අද ලෝචන ඉතා කඩවසම් පෙනුමක් දරා හිඳී. ගෑනු ළමයෙකු ගේ ඇස් ඔහු ළඟ නතර නොවී තිබෙන්නේ නැත. අද මේ විදිහට මගේ අතින් අල්ලා ගෙන හිඳින ඔහු මදෙස උනන්දුවකින් බැලුවේ හෝ නැති යුගයක් තිබිණ. ඒ අහංකාර පිරිමි කම් වලට එදත් මගේ ගැහැනු සිත්හි ලෝබකමක් නො තිබුණා කිව නො හැකි ය. ලෝචන දවසක මදෙස නොබලා සිටියේ වී නම් ඒ ලෝභී හැඟීම මගේ හිතේ රහස් ගුහාව තුළ සදාකාලයට ම සැඟවී යන්නට තිබිණ.

“මොකද…”

ඔහු ආඩම්බර හඬකින් ඇසුවේ ය. මම සිනහ වෙන ඇස් වලින් තව දුරටත් බලා  සිටියෙමි.

“මොනාද ඔච්චර බලන්නෙ…”

මේ සියල්ල හරියට සිහිනයක් සේ ය. මේ සිහිනයෙන් ඇහැරිය යුතු දිනය කවදා කොයි ලෙස උදා වෙනු ඇත්ද කියා මම නො දනිමි. ඒ අවදි වීම ඉතා දරුණු තුවාලයක් හදවතේ ඇති කරනා මොහොතක් වීමේ  ඉහළ සම්භාවිතාවක් තිබේ. නමුත් ඒ මොහොත වන තුරු මේ සිහිනය දකින්නට මා රිසි ය. අවසානයේ වන ශෝක සන්තාප ගැන නොසිතා මේ මොහොත විඳ ගැනීමට මම සූදානමින් සිටිමි. 

ලෝචන මදුරාපුර සමග ඒ විදිහට තනිව පැමිණි හෝරා දෙකක පමණ ගමන මගේ ඉතිහාස පොතේ ලස්සන ම පිටුවක් ලෙස අදටත් පැහැය සුවඳ ක්ෂය නොවී ඉතිරි වී තියේ. ඔහු මාව ගේ ළඟින් ම බස්වනු වස් ගුරු පාරට රිය හරවන්නට හැදුවද මම ඊට ඉඩ නොදී මහ ගෙදර ගේට්ටුව ළඟින් බස්වා ගතිමි.

“ඔසරියත් ඇඳන් කම්බි වැටෙන් රිංගන්න බෑ. පැටලෙයි…”

මා නිදහසට කාරණය ලෙස කීවේ එය වී ද ඇත්තට ම මා වෙත වූයේ අප දෙදෙනා එකට විත් මා රියෙන් බසිනු අම්මා දකිනවාට වන දෙගිඩියාවයි.

“පුළුවන්ද යන්න…”

මා බසිත්දී ලෝචන විමසුවේ ඈතට දිස් වන මහ ගෙදර වත්තට ගලමින් පවත්නා අඳුර දෙස බලමිනි.

“තාම එච්චර කළුවර නෑ. ගානක් නෑ යන්න පුළුවන්”

“අම්ම අහන දේකට බය නැතුව උත්තර දෙන්න. පස්සෙ මං අම්ම එක්ක කතා කරන්නං”

මගේ හිත ලදල්ලක් වාගේ සැලෙමින් පවත්නා බව දැන ගෙන ඔහු එසේ කීවා කියා සිතමි. මම මඳහසකින් පමණක් ගේට්ටුව හැර ගෙන වත්තට ඇතුලු වීමි. ගේට්ටුව ළඟ රියක් නැවතුණ හඬ නිසා මහ ගෙදර ඔළු දොර ජනේල වලින් පිටතට එබිකම් කරනු පෙනුණේ ය.

“මං බැලුව කවුද මේ කාර් එහෙකින් ඇවිත් බැහැපු නෝනා කියල”

ආච්චි මමී කණ්ණාඩි රාමුවට උඩින් මදෙස බලමින් එසේ කීවේ හිතේ වෙන යමක් තියා ගෙන බව මම දන්නෙමි. ලෝචන ගේ රිය නික්ම යනු ඇසුනේ ය. නමුත් මම හැරී නො බලන්නට වග බලා ගතිමි. ආච්චි මමී ගේ ඇස් නම් ඒ රිය පස්සේ දිව යනු දැකිය හැකි විය. 

“නිබ්බුතා මධාරාගෙ මගුල් ගෙදර ගිහිං එන ගමන් වගේ..”

වසන්ති පුංචී සිනහවකින් ඉස්තෝප්පුවට ආවා ය.

“ඔව් පුංචි. මධාරා අක්ක එක්ක හොටෙල් එකට යන්න වුණා…කොණ්ඩ කටු එහෙම ගලවගන්න එයාට උදව් කරන්න”

“කාර් වල දාගෙන රස්තියාදු ගැහුවයි කියල ඉංජිනේරු මහත්තුරු කර ගහයි කියල වෙන්නැති හිතං ඉන්නෙ. වරෙල්ලකො පස්ස බිම ඇනගෙන පස්සෙ”

ගෙතුලින් නීලිකා නැන්දා ගේ ඇනුම් පදයේ හඬ උස් ව නැගුණේ ය. ආච්චි මමී කට කොනකින් සිනහ වූවා ය.

“ලස්සනයි නිබ්බුතා කැන්ඩියන් එකට. ආස නැද්ද ඔහොම ඇඳල හැමදාම උදේට ඉස්කෝලෙ යන්න…මන්නං කියන්නෙ වෙන ජොබ් එකකට යන්නැත්තං ඔයාට තියෙන්නෙ විද්‍යාපීඨ ඉල්ලන්න. එළියට එද්දි ටීචින් ජොබ් එක තියනවනෙ අනේ”

වසන්ති පුංචි මා කෙරේ පතල මහා කරුණාවෙන් මට අලුත් යෝජනාවක් කළා ය. වෛද්‍යවරියක ලෙස වුණත් ඔසරිය හැඳ උදයට රෝහලට යා හැකි බව කියන්නට මට ඕනෑ වූයේ නැත. අඳුර වැටී ගෙන එන නිසා ඉක්මනින් යා යුතු බව කියමින් මම අඩි පාර දිගේ ගෙදර ආවෙමි.

අම්මා උයන කරවල හොද්දේ සුවඳ හමා ආවේ ය. අඳුරත් ලා එළියත් එකට මුහු වී තිබුණ ඒ ගොම්මන් යාමය අමුතු සුන්දරත්වයක් දැරී ය. අහසේ වූයේ රිදී පැහැති දීප්තියකි. හිතේ වූ කලබලයත් පාරේ වූ ගල් බොරළුත් නිසා, මට හුරු නැති පාවහන් වල උස් අඩි කිහිප විටක් ම පෙරළුණේ ය.

“මෙච්චර රෑ වෙනකල් මොනා කළාද සුදූ…”

මා දුටු වන අම්මා ගේ නොසන්සුන් බව පිටතට පැන්නේ ය.

“මොනා කළාද අහන්නෙ…සුදූ මධාරා අක්කා එක්ක හෝටලේට ගියා කියල පණිවිඩේ එව්වනෙ…”

මා පත් වූ අසරණ කමින් මුදවා ලනු වස් ඉදිරිපත් වූයේ මල්ලී ය. අම්මා ගේ හඬ පරයන්නට  මල්ලී ගේ හඬ ලොකු මිනිසෙකු ගේ සෙයින් උස් ව නැගෙන නිසා දැන් ඇය ඔහු කතා කරත්දී නිහඬ වෙයි. වසර ගණනාවක් තිස්සේ පිරිමි ආධිපත්‍යයක් නොවූ ගෙදර මල්ලී දැන් එය සියතට ගනිමින් හිඳී.

ඉන් පසු ඒ ගැන කතා බහක් නොවී ද අම්මා සිටියේ ඒ තරම් හිත් හොඳකින් නොවේ. අපේ පැල්පතේ සතුට සාමය මා නිසා බිඳී යාම ගැන සහේතුක වේදනාවක් හෝ සංකාවක් මා පාරමින් තිබිණ. රෑ කෑමෙන් ද පස්සේ මා දොරකඩ වාඩි වී අහස දෙස බලා සිටියේ වේදනා කැටියක් වූ හිත සමහන් කර ගන්නා හැටියක් ගැන නො දැන ම ය. මා එත්දී රිදී පැහැයක් දැරූ අහස තද සුදකට හැරී තිබිණ. ඒ සුද නිසා ම එක තරුවකුදු දිස් වූයේ නැත. 

“මට ඇත්ත කිහාං සුදූ”

කියමින් අම්මා විත් මා ළඟ බිමින් වාඩි වූවා ය. ඇය ළඟින් ලයිෆ්බෝයි සබන් සුවඳ දැනුණේ ය. මල්ලී ගෙතුල සිට අප දෙදෙනා ට මැද්දෙන් මිදුලට පැන ලෑලි බංකුවෙහි හිඳ ගත්තේ ය. දැන් මෙතැන ඇති වෙන්නට නියමිත කතා බහට මාත් එක්ක මුහුණ දීම ඔහු ගේ ඒකායන අරමුණ බව මම දනිමි.

“චූටි බබා එක්ක උඹේ තියෙන ගනු දෙනුව මොකද්ද…”

මා නිහඬ ව සිටියේ අම්මා ගේ මූණ දෙස බලා ගෙන බොරුවක් කියන්නට කවදාවත් මට නොහැකි නිසා ය.

“උඹල අතරෙ සම්බන්දයක් තියනවද…”

දෙවරක් නො සිතා මම ඔව් යි හඟවන්නට හිස සැළුවෙමි. අම්මා පුන පුනා අසත්දී තවත් මට මෙය ඇයගෙන් රහසක් ව සඟවාලිය නො හැකි ය. මල්ලී ගේ මුහුණේ සිනා රැල්ලක් ඇඳුණු අතර අම්මා හිසේ අත ගසා ගත්තා ය.

“ඇයි දෙයියනේ උඹ ඉගෙන ගත්ත කෙල්ලෙක් නේද සුදූ…මොකද්ද උඹ මේ කර ගත්ත තේරුමක් නැති මෝඩකම…”

අම්මා ගේ හඬ සොවින් බර වූයේ ය. අද දවස මට හඬන්නට ම උදා වූ දවසක් ද කියා නො සිතුණා ද නොවේ. මම බිම බලා ගතිමි.

“කළු ගල් වල ඔළුව හප්පගන්න තරං ඇස් අන්ද කර ගන්න එපා සුදූ…ඔය සම්බන්දෙ නතර කරල දාමු මගෙ පුතේ”

අම්මා හැඬුමකට ආසන්න සරකින් මගේ හිස් මුදුනේ අත තැබුවා ය. මට දැනුණේ කේෂාන්තයෙන් මා ගිනි ගන්නට පටන් ගන්නා සේ ය.

“අනේ අම්මෙ…ලෝචන අයිය බොරුවක් නෙමේ කරන්නෙ කියල මං දන්නව”

“ලෝචන අයිය නරක මිනිහෙක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සෙ මං දන්නවනෙ ඒක”

මල්ලී ද මගේ පැත්තෙන් හිට ගත්තේ ය.

“කවුද බං කියන්නෙ ඒ මහත්තුරු නරකෙයි කියල. ඒ මිනිස්සු දෙයියො බුදුන් වගේ ඈයො. මං ඇස් දෙකෙන් දැකපු දෙයියො බුදුන් තමයි ඒ මිනිස්සු. ඒ උත්තමයො නොවුණනං මේ වෙනකල් අපි පණ ගැටගහගෙන ඉඳීද කියලවත් මං දන්නෑ”

“ඉතින් ඒකනෙ අම්මෙ…”

“එහෙමෙයි කියල ඒ මිනිස්සුන්ට පුළුවන්ද බං රාජ කුමාරයෙක් වගේ හදපු චූටි බබාට වැඩකාරිගෙ දෝණියන්දැව කසාද බැඳගන්න අරින්න…උඹලට අන්දකයිප්පු කැවිලද…කතිකාචාරිය නෝනා හරිම හිත හොඳ ඇත්ති වගේමයි ආඩම්බර මොණරියක් වගේ..ඒ මනුස්සයට පුළුවන් ද බං මං උන්දැගෙ නෑනය කියල ඒ ලොකු ලොකු ඈයොන්ට අඳුන්නල දෙන්න…ඒ මිනිස්සුන්ට පුළුවන් ද අපිත් එක්ක එක මේසෙක ඉඳන් කෑම ටිකක් කන්න…මං කවුද…උඹ දවසක දොස්තර නෝනා කෙනෙක් වෙයි සුදූ…ඒත් මං කවුද…මං එහෙ වැඩකාරි. ඉතිං වැඩකාරිගෙ දුවව පුතාට කසාද බඳින්න අරීද ඒ මිනිස්සු…එහෙම කරන්නයි කියල අපිට කියන්න පුළුවන්ද…එහෙම කියන එකත් මොන තරං වැරදිද…මං නූගත් ගෑනි. ඒත් උඹල ඉගෙන ගත්තනෙ…උඹලට තේරුං ගන්න බැයිද මං මේ කියන සිංහලේ…කවද හරි උඹට ඕක අත් ඇරල ඕව අමතක කරන්න වෙනව සුදූ…කල් ගිහින් එහෙම කරන්න වෙද්දි උඹ මොන තරං දුකක් උහුල ගන්නද මයෙ මැණිකෙ…දුක්ම විඳපු එකී උඹ. බඩ ගින්නෙ ඉස්කෝලෙ ගිහිං හම්බෙන බනිසත් මල්ලිට අරං ආපු අම්ම කෙනෙක්ගෙ හිතක් තියෙන එකී…ඔක්කොම කඩඉං ටික පහු කොර ගෙන ගිහිං අන්තිමට හතර ගාතෙං වැටෙයි සුදූ උඹ..චූටි බබාගෙන් වෙන් වෙන්න වෙච්චි දාට ඒක උහුල ගන්න බැරුව පපුව පැළිල මැරෙයි රත්තරනේ…එදාට…මේ අම්ම කාපු ගින්දර වලින් ඇති පලක් තියේද…අනේ මං වැඳල කියන්නං සුදූ…ඕක නතර කරපං”

අම්මා හඬමින් සිටියා ය. අම්මා පමණක් නොව මම ද හඬමින් සිටියෙමි. නමුත් ඒ ඉකි බිඳුමක් පිට නොවෙන සේ ය. මල්ලී බංකුව මතින් නැගිට මඳක් කළුවර වෙතට ගියේ ය. කඳුළු සැළුවේ නැතිවාට ඔහුත් මේ මොහොතේ හිතෙන් හඬනා බව මම දන්නෙමි. මගේ හදවතෙහි වූයේ පැලෙන්නට ආසන්න නිමේශයක මෙන් රිදුමකි. දෙවියනි මම කුමක් නම් කළ යුතු වන්නෙම් ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles