ප්‍රේමයේ අභිමන් -05

අතෙහි වන දුරකතනය වයිබ්‍රේට් වූ බව දැනෙත්දී අපරාජිතා සිය ගමන බාල කරමින් වට්සැප් පණිවිඩය විවර කළා ය. 

‘යූ ආ මෝස්ට් වෙල්කම් ආන්ටි’ 

ඇය ‘ආන්ටි’ යන වදන සිතින් වුව මිමිණුවේ වඩාත් බර කොට ය. 

“හහ්..ආන්ටී..”

දිව එළියට දමා එක ඇසක් වසා ගත් කහ පාට ඉමෝජි මුහුණත් සමග ඇය ‘පුතා’ කියා ලියා සසංක ට සෙන්ඩ් කළා ය. ඒ වෙත්දී ඇය සිටියේ රේල් පාර හරහා යමිනි. වහා සිය මනස වෙනස් කර ගනිමින්, ඇය දුරකතන අමතර කොටස් අලෙවි කරනා සාප්පුවක් තිබේ දැයි වට පිට බැලුවා ය. දුරකතනය තව ම අලුත් ය. ඇය ඊට කිසිදු ආරක්ෂිත ආවරණයක් යොදා ගෙන නැත. ටිකකට කලින් ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨ පරිශ්‍රයේ එය අතින් ලිස්සා බිම වැටී කිසිවෙකු විසින් අහුලා දෙත්දී ඇගේ පපුව හෝස් ගා දා ගියේ එහි තිරය බිඳී ගොස් ඇත්ද යන සිතිවිල්ලෙනි. වාසනාවකට එසේ වී තිබුණේ නැත. නමුත් තවත් පමා නොකොට එය ආරක්ෂා කර ගත යුතු ය.

වට්සැප් පණිවිඩය දුටු සසංක අලුත් සිනහවක් නගා ගත්තේ ය. නිකමට පාර දෙසට පිය නැගු ඔහු ට ඈතින් යන තරුණිය දක්නට ලැබිණ. බේජ් පැහැති කලිසම හා සිහින් කෙටි කොණ්ඩ කරල ඔහු ගේ මනසේ ඇගේ රුව සලකුණු කරනා ලදී. දුරින් ඇය දකිමින් ඔහු අරමුණකින් තොර ව හෙමිහිට පා තැබුවේ ය.

දුම්රිය නැවතුම්පළ ආසන්නයේ විසල් මාර ගහකින් නටුවෙන් ගිලිහී කැරකී ආ කහ පාට මාර මලක් අපරාජිතා ගේ දෙපා ඉදිරියේ ම පතිත විය. එක පෙත්තක් හෝ නො ගිළුහුණ ඒ මාර මල, ඇය පහත් වී අහුලා ගත්තා ය. සසංක ට සිනහවක් නැගිණ. ඇය අමුතු කෙල්ලකි. පාරේ වැටෙන මලක් වුව කිසිදු වගක් නැතිව දෙනෝ දාහක් මිනිසුන් අතරේ දී ම ඇහිඳ ගන්නට තරම් අනුන් සිතනා විදිහ නොතකන තැනැත්තියකි. තමන් ගේ හදවතට එකඟ ව ජීවිතය විඳිනා ගැහැනියකි.

එක අතක රතු පාට මුදල් පසුම්බිය හා දුරකතනය ය. අනිත් අතේ අත්ල මත ඇය පරිස්සමෙන් මල තියා ගෙන දුරකතන සාප්පුවට ගොඩ වූවා ය. සසංක ද ඔහු නො දැනුවත්ව ම ඊට ඇතුළු වී තිබිණ.

කහ පාට මාර මල කවුන්ටරය මත තබා ඇය රතු පාට බැක් කවර් එකක් තේරුවා ය. සිය දුරකතන චාජරයේ වයරය කැඩී ඇති බව සසංක ට සිහි විය. හිස හරවන ගමන් ඇය සසංක දෙස බැලුවා ය. ඔහු වහා මුහුණ ඉවතට හරවා ගෙන චාජරයක් ඉල්ලා සිටියේ ය. මුදල් ගෙවා අපරාජිතා යන්න ගියේ මාර මල කවුන්ටරය මත අමතක කොට දමා ය. ඕනේ නම් කතා කොට ඇය ට එය දෙන්නට තිබිණ. නමුත් සසංක චාජරය ගෙන පිට වෙන ගමන් ඒ කහ පාට මාර මල ද අතින් ගත්තේ ය. ඇය ගියේ කොයි අතට දැයි නො විමසා ම ඔහු සිය රිය වෙත ගියේ ය.

සසංක මේ පැරණි පන්නයේ වොක්ස්වගන් බීට්ල් රිය පාවිච්චි කිරීම සමහර මිතුරන් ට සිනහවට කාරණයකි. නවීන මාදිලියේ රියකට මාරු වන්නට ඔහු ට මුදල් නැතිවා නොවේ. නමුත් එවන් අවශ්‍යතාවයක් නො දැනෙන තරමට ඔහු පැරණි මෝටර් රථ වලට පෙම් බැන්දේ ය. එහි ඩෑශ්බෝඩ් එක මත රඳවා තිබූ කුඩා රෝස තිරුවාන බුදු රුව ඉදිරියේ ඔහු කහ පාට මල ස්ථාන ගත කළේ ය. මඳ වෙලාවක් එදෙස බලා උන් ඔහු ට සිනහ ගියේ ය. පිටු පා යන ඇගේ ඡායාව ඔහු ගේ මනසෙහි එහෙ මෙහෙ විය.

“පිස්සු කෙල්ලෙක්”

ඔහු රිය පණ ගන්වා ගත්තේ ය.

අපරාජිතා සරසවි පොත් හල තුළට වී පොත් අතරේ හෝරාවක් පමණ ගත කළා ය. ඇය වඩා රිසි වූයේ එක්සත් රාජධානියේ ලේඛිකා බාබරා ටේලර් ගේ ද ඉන්දියානු ලේඛක චේතන් භගත් ගේ ද බ්‍රසීල ලේඛක පාවුලෝ කොයියෝ ගේ ද ලිවීම් අතරේ ජීවත් වෙන්නට ය. ඔවුන් තිදෙනා ම ලියන්නේ ආදරය හා ජීවිතය ගැන ය. නමුත් ඒ එක එක කෝන වලින් ඒවා දෙස බලමිනි. ඒවා ඉතා සරල ය. ඒ වුණත් ඉතා සංකීර්ණ ය. හරියට ජීවිතය හා ප්‍රේමය වාගේ ම ය. ඈ සන්තකයේ නැති එම ලේඛක තිදෙනගේ පොත් තුනක් තෝරා ගත් ඕ කලබල වී හිඳිනා නුගේගොඩ පුරා සන්සුන් ව ඇවිද ගියා ය. ඈ ඉදිරියට එන හැම මිනිසෙකු ගේ ම මුහුණ දෙස ඇය උවමනාවෙන් බැලුවා ය. ඔවුන් ගේ ඉරියව් නිරීක්ෂණය කළා ය. කියන්නට හා ලියන්නට කතාවක් ඒ හැම තැනක ම තිබේ. 

ඇය යළි ගෙදර එන විට අඳුරු වැටී තිබිණ. අපරාජිතා රියෙන් බසිනා විට අසේල දොරකඩ සිටියේ ය. 

‘පුතා’

අපරාජිතා ගේ සිත එසේ කීවේ ය. ඇය මහ හඬින් නැගෙන්නට ආ සිනහව හිර කර ගත්තේ අසීරුවෙනි. නමුත් දෙතොල් තෙරපා ඇය සිනහවක් පෑවා ය. ඇය සිතුවේ ගෙහිමියා හෙවත් එස්. විදානගමගේ ඔහු කියා ය.

දම් පාට වොක්ස්වැගන් රියෙහි ඩෑශ්බෝඩ් එක මත රෝස පාට කුඩා බුදු පිළිමය ඉදිරියේ වූ කහ පාට මාර මල ඇය දුටුවේ විදුලි ආලෝකයෙනි. පපුවට මොකක්ද වෙනවා ඇය ට දැනිණ. 

මේ මැයි මාර මල් වාරයේ, ඒ මල් වලට පෙම් කරනා මිනිසුන් ඕනෑ තරම් සිටිති!

“සසා”

අසේල පිටුපස හැරී බලා කෑ ගෑවේ ය.

“උඩ තට්ටුවෙ ලේඩි කින්ඩි හිනාවක් දාල ගියානෙ බං”

සසංක ට ද සිනහවක් නැගුණේ ය. ඒ සිනහවේ අමුත්තක් මිතුරා ට දැනිණ.

“මොකද්ද මොකද්ද දැන් ඔය හිනා වල තේරුම…මොකද්ද මෙතන සිද්ද වෙන්නෙ…”

“මොනා වෙන්නද යකෝ…මං තාම දැකලත් නෑ උඩ ඉන්න ෆැමිලි එක. ඒ කෙල්ල මට තෑන්ක් කරල එවල තිබුණ ඩස්පින් එක ට්‍රැක්ටරේට දැම්මට. ඒකෙ ෆොටෝ එකකුත් ගහල. ඒකයි මට හිනා ගියේ”

“මේ මේ මේ..දැකලවත් නැත්තං උඹ කොහොමද ඒ කෙල්ලෙක් කිව්වෙ…”

“ආ…ඒ ඉතිං…ඔය වගේ දෙයක් කරන්නෑනෙ කෙල්ලෙක් නෙමේනං. හරි ඉතිං මැරීඩ් වෙන්නැති. හැබැයි යං ඇති. මෙතන ඉඳං කෑ ගහන්නැතුව හිටපං ඒකි ගැන කියෝ කියෝ…යකෝ මිනිහට ඇහුණොත් ඇවිත් අම්බානක නෙලයි”

සසංක ගෙතුලට වැදුණේ ය. එදා පහල මහල දෙසින් වෙනදාට වැඩිය සද්ද බද්ද ඇසුණේ ය. අපරාජිතා කඩෙන් ගෙනා පරාටා කමින් පොතක අතරමං ව හිටියා ය.

පසු දා කළුබෝවිල රෝහලේ යාළුවෙකු ගේ ලෙඩ බලා එන ගමන් අපරාජිතා ගේ රිය කොහුවල දී නතර විය. එංජින් ප්‍රශ්නයක් සේ දැනුණෙන් ඇය පුරුදු ගරාජයට ඇමතුමක් ගත්තා ය. දෙහිවල වෛද්‍යපාරේ සිටින කාලයේ සිට ම ඇගේ මෝටර් රථයේ නඩත්තු කටයුතු සිදු කළේ කරගම්පිටියේ ගරාජයක් කර ගෙන යන අතුල ය. ඔහු සිය සහකරුවෙකු ද සමග වෑන් රියකින් පැමිණ පරීක්ෂා කොට බලා රිය ඇදගෙන යාමට තීරණය කළේ ය. දේශිකා ද ඇය සමග සිටි නිසා එහි ඒ තරම් අසීරුවක් අපරාජිතා ට දැනුණේ නැත. කාර් එකේ තිබූ අත්‍යවශ්‍ය ලට්ට ලොට්ට ටික බැක් බැක් එකට එබූ ඕ එය එක උරයක එල්ලා ගත්තා ය. 

“මට සව්සිරි බිල්ඩින් එකට යන්නත් ඕන. පීටර්ස් ප්ලේස් එකෙන් ගිහින් නුගේගොඩින් එකසිය දහ නවය ගමු”

යෝජනාව දේශිකා ගෙනි. ඔවුන් දෙදෙන ඇවිද ආවේ ගෙහිමියා කුණු බාල්දිය කෙරේ දැක්වූ ප්‍රතිචාරය ගැන කියවමින් හා සිනහ වෙමිනි. 

“මොනා වුණත් මරු පොරක් වෙන්නැති. ගෙදර ගෑනි එක්කත් රණ්ඩු වෙලා සද්ද දාල අන්තිමට ගෑනිට ඕන දේම කරනව ඇති”

“ඊයෙ කට්ටියක් ඇවිත් ඉන්නව වගේ සද්දෙ ඇහුණා. නිකමට ඉන්ට්‍රඩියුස් කරන්නවත් එකෙක්වත් ආවෙ නෑනෙ. මහ ඔළුව ඉදිමිච්ච පවුලක්ද කොහෙද..”

“වයිෆ්වත් කතා කළේ නැද්ද..”

“මො…න…”

එසේ කියත්දී ම උරහිසේ එල්ලා ගෙන උන් ලෙදර් බෑගය යමෙක පැටලෙනු දැනිණ. අපරාජිතා ට යමක් සිතා ගැනීමට හෝ ඉඩක් නො තබා ම, කොහුවල දෙසට ධාවනය වෙමින් පැවති කැබ් රියක පැටලී බෑග් එක ඇගේ උරහිසින් ගැලවී කැබ් රියේ එල්ලී ගෙන ඉදිරියට යන්නට විය.

“අනේ මගෙ බෑග් එක…”

අපරාජිතා ට මන්ද්‍ර ස්වරයකින් කියවිණ. දේශිකා ට නතර කර ගත නො හැකි ව සිනහ යන්නට විය. නමුත් ඇය සිනහ වෙමින් ද අත් දෙක ඔසවමින් කැබ් රිය දෙසට කෑ ගෑවා ය.

“බෑග් එක…බෑග් එක…ගෝනිබිල්ල වගේ බලන් ඉන්නැතුව කෑගහපංකො”

ඔවුන් පසු කොට කොහුවල දෙසට යන්නට වූ මෝටර් රථයක උන් තැනැත්තෙක් ඒ සිදුවීම දැක නලා හඬවා කැබ් රිය නතර කර ගත්තේ ය. දේශිකා සිනහ වෙමින් ම දිව ගොස් බෑග් එක ගලවා ගත්තා ය. ඉන් පසු නුගේගොඩට එන තුරු ම ඔවුන් කළේ සිනහා වන එක ය.

කැබ් රිය තුළ සිටියේ සසංක ඇතුළු දැන්වීම් ප්‍රචාරක ආයතනයේ තරුණයන් කිහිප දෙනෙකි. කැබ් රිය පිටුපස වූයේ ඔවුන් විසින් නිර්මාණය කරන ලද කටවුට් එකකි. සිනහ වෙවී රිය වෙත දිව එන කෙල්ල වෙත නොව ඔහු ගේ ඇස් නතර වී තිබුණේ ඈත නතර වී බලා ඉන්නා කෙල්ල වෙත ය. මෝටර් රථය හෝන් ගැසූ නිසා නතර වූවා ට සිදු වූයේ කුමක් දැයි කැබ් රියෙහි උන් කිසිවෙකු දැන සිටියේ නැත. දේශිකා පැටළුම ලිහා බෑග් එක ගෙන “තෑන්ක්ස්” කීවා ය. එතකොට ය සසංකට සිදු වී ඇති දේ වැටහුණේ. ඔහු ගෙන් සිනහව පැන නැංගේ ය. රිය තවත් ටිකක් දුරට යන තෙක් ඔහු ට ඒ සිනහව නතර කර ගත නො හැකි විය. 

රාත්‍රියේ ගුවන් විදුලි නාට්‍යයේ තිර පිටපත ලියමින් ද අපරාජිතා සිහි කළේ හවස වූ ඒ සිදුවීම ගැන ය. ඒ වෙලාවේ වික්ෂිප්ත ව සිටිය ද මේ වෙලාවේ ඇගේ මුවග මඳහසක් විය. අවුරුදු දහසයක දහ අටක නව යොවුන් දැරියක ගේ බඳු චමත්කාරයක් ඇය අත්විඳිමින් සිටියා ය.

අරවින්ද ගෙන් දුරකතන ඇමතුමක් ආවේ එතකොට ය.

“දැන් මට කෝල් කරන්නෙපා කියල කියලනෙ තියෙන්නෙ”

තනිව මුමුණමින් ම ඇය ඒ සවනට ගත්තා ය.

“කා එකේ බ්‍රේක් ඩවුන් එකක්ද..”

ඔහු පිළිවිසියේ ය.

“හ්ම්”

ඇය උදාසීන වූවා ය.

“ගරාජ් එක ළඟින් යද්දි දැකල මං නතර කරල බැලුව. දැන් ඕක හදනකල් මොකද කරන්නෙ…”

“ගානක් නෑ. බස් වල යනව. ඕන්නං ට්‍රයිශො එකක් ගන්නව”

“රෙන්ට් එකට කා එකක් ගන්නවද..”

“නෑ”

“මං එවන්නං”

“එපා අරවින්ද එපා”

” ඔයා කොහොමද බස් වල රස්තියාදු වෙන්නෙ…”

උදරයෙහි හට ගත් ගින්දරක්, ගිනි බෝලයක් සේ ඉහළට එන හැටි ඇය පිටත සිට බලා සිටියා ය. නීතියෙන් වෙන් කළ විවාහයක වුව බැඳීම එක හෙළා බිඳ දැමිය නො හැකි ය. වසර දහ අටක් දුක සැප සොයා බලමින් එක ජීවිතයක් ගෙවූ දෙදෙනෙකුට එක වර මුළුමනින් වෙන් ව යා නො හැකි බව අපරාජිතා සංවේදී හදකින් යුතුව සිතුවා ය.

“සැපවත් ජීවිතයක් නැති වෙයි. ඒත් මං ආස විදිහෙ ජීවිතයක් මට ලැබෙයිනෙ. මං මේ කියන්නෙ ඔයාගෙම හොඳට. වෙඩින් එකෙන් පස්සෙත් ඔයා මේ විදිහට මට කතා කරන්නයි මං ගැන හොයල බලන්නයි ගියොත් අනවශ්‍ය පවුල් ප්‍රශ්නයක් ඇති වෙයි. එක කසාදයක් කැඩිල බිඳිල ගිය එකේ…අනිත් එක හොඳට පරිස්සං කර ගන්න අරවින්ද. කිසිම වයිෆ් කෙනෙක් කැමති වෙන්නෑ ඔයා ඔය කරන වැඩේට”

අපරාජිතා උගුර යටින් කොඳුරා ගත්තා ය. නාඬා සිටින්නට ඇය ට උවමනා විය.

“ඔයා මගෙ දරුවගෙ අම්ම”

“මං තියන්නං අරවින්ද”

වැරදුණේ කොතැනදැයි සිතා ගත නො හැකි ය. නමුත් නැවත ද වරක් වැරදිය යුතු නැත. අපරාජිතා ලිවීම පසෙක තබා කොට්ටයේ මූණ තියා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content