සුළි සුළඟක සුසුමක් – 23 වන කොටස

ඒ හැන්දෑවේ මා හිටියේ හයිලන්ඩ් ගෙස්ට් හි ඉදිරිපස මායිමේ ගල් බැම්ම මත හිඳ ගෙන ය. ඒ ගල් බැම්ම බෝ පැරණි එකකි. කළු ගල් එකට සම්බන්ධ කළ බදාම තට්ටුව මත පාසි බැඳී තද කොළ පාටට දිලිසිණි. මම ඒ පාසි තට්ටු මත සිනිඳු ලෙස දබරැඟිල්ල දිවැවීමි.

මට අඩියක් තරම් දුරින් හිඳ උන් සංකල්ප, අත් දෙක ගල් බැම්ම මත තබා තද කර ගෙන යන්තම් පිටුපසට බර වී ගෙන සිටියේ ය.

“අපි පොඩි කාලෙදිත් මෙතන සෙල්ලං කරල තියෙනව. ඔයාගෙ අක්කයි…ඔයයි…මමයි…දවසක් අපි කඹ ඇදල…ඔයා එක පාරට ම ලණුව අතෑරිය. මාව විසි වෙලා ගිහිං වැටුණා. අත ගලක ඇනිල ලේ ගලන්න ගත්තා. ඔයා බය වෙලා හොඳට ම ඇඬුව…මතක ද…”

සංකල්ප පරණ මතකයක් අවුස්සන්නට වූයේ ය. එහෙම සිදුවීමක් ගැන මතකයක් මට වූයේ නැත. නමුත් ඔහු කියා ගෙන යත්දී ඒ දර්ශනය මගේ මනසේ සජීවී ලෙස පෙනී සිටින්නට විය.

“මේ…”

සංකල්ප මවෙත සිය අත්ල පෑවේ ය. වම් අත්ල මත පැරණි වූ තුවාල කැළලක් තිබුණේ ය.

“මැහුම් හතරක් දැම්ම”

“කැළල…”

මම එය ඇඟිල්ලෙන් පිරිමැද බැලුවෙමි.

“සමහර කැළැල් මැරෙනකල් ම අපේ මතකත් එක්ක තියෙනව…තුවාල හොඳ වෙලා ගියත්…”

ඒ කතාවේ තිබූ බර ගතිය මේ මොහොතට නො ගැලපේ යයි සිතුණෙන් මම වට පිට බැලුවෙමි. මගේ නෙත ගැටුණේ කළු ගල් බැම්ම මත වූ සංකල්ප ගේ ගිටාරයයි. ඔහු දිව්‍යමය හඬක් මවනා එය අතට ගත්දී මා තුළ බැතිබර හැඟීමක් ඇති විය.

“මටත් ආසයි ගිටා එක ප්ලේ කරන්න ඉගෙන ගන්න”

ගිටාරය උකුල මතින් තබා, මම වමතින් එහි තත් සුසර කළෙමි.

“මෙහෙමයි අල්ලන්නෙ…”

සංකල්ප මට සමීප වෙමින් ද මගේ පිටුපස සිට දෑත් දෙපසින් යවා, මගේ දෑතින් අල්ලමින් ඒවා ගිටාරයේ නියමිත තැන් වල තබන්නට වූයේ ය. ඔහු ගේ සුසුවඳ මට සමීපයෙන් ම දැනිණ.

“මේ…වම් අත මෙහෙම ස්ට්‍රිංස් වල තියෙන්න ඕනෙ. දකුණු අත මෙහෙම මේ…”

ඔහු මගේ සුරත සිය සුරතින් අල්ලා ගෙන ම තත් කිහිපයක් හැඬවූයේ ය.

අයියා ගේ මෝටර් රථය වාගේ එකක් මා දුටුවේ එතකොට ම ය. වේගය බාල වූ රියෙහි සිට අයියා ඉතා හොඳින් අප දෙස බැලුවේ ය.

“අයිය”

මට කියවිණ. සංකල්ප මගෙන් ඈත් වූයේ ය. මම ගිටාරය ඔහු අතට පත් කරමින් බැම්ම මතින් බිමට පැන ගතිමි.

“ඇයි දන්නෑ අයිය හදිස්සියෙ ආවෙ. මං යනව හොඳේ”

කියා ගෙන මම ඉක්මන් ගමනින් අපේ ගේ දෙසට ආවෙමි. වැරැන්ඩාවේ ඒ මේ අත සක්මන් කරමින් සිටි අයියා මා දැක විපරම් දෑසකින් මදෙස බැලුවේ ය.

“එතකොට ඒකද කොළඹ ඉන්න බැරුව මෙහෙ දුවං එන්න හේතුව…”

ඔහු තරමක් තසින් ඇසුවේ ය.

“මොකද්ද..”

ඔහු අදහස් කළ දේ සැබවින් ම මට වැටහුණේ නැති තරම ය.

“තමුසෙට ලැජ්ජ නැද්ද ඕයි…කොල්ලො බදාගෙන ඔහොම පාරට වෙලා ඉන්න…”

කන් අඩි රත් වී දුම් දමන්නා බඳු හැඟීමකි එය. මම තත්පර කිහිපයක් ගෙවෙන තෙක් නිරුත්තර ව සිටියෙමි.

“මොකද්ද…”

තරමක ගොරෝසු හඬකින් මා එසේ අසා ගත්තේ අනතුරුව ය.

“මං ගිටාර් එක ප්ලේ කරන්න ඉගෙන ගන්න ඕන කිව්වහම ඒ ළමය මට අල්ලගන්න හැටි කියල දුන්න”

“චීප් වැඩ කරන්න එපා හලෝ. අපි අර අච්චර හොඳ ප්‍රපෝසල් එකක් කරල තියෙද්දි…”

“අයියෙ මේ..මං ගැන ඔය විදිහට හිතන්න එපා හරිද…”

ඊළඟට මා කතා කළේ එක්තරා විදිහක කඩා පැනීමකින් සේ තදිනි. මගේ කම්මුල් වලට ලේ පුරා රතු වන බවක් මට දැනුණේ ය. ඔහු ඔහු ගේ කැමැත්තට මට මනාලයන් තීන්දු කරයි. මා පාරේ කොල්ලන් බදා ගෙන ඉන්නවා යි චෝදනා කරයි. ඔහු මගේ අයියා බව හැබෑ ය. නමුත් මගේ අයියාට වුව මා ගැන එහෙව් අයිතියක් දිය හැකි වන්නේ ද?

“එනව යන්න ගෙදර. ලෑස්ති වෙනව”

ඔහු වඩාත් තදින් කතා කළේ ය.

“මං එන්නෙ නෑ. මං පොඩි ළමයෙක් නෙවෙයි. හරිද අයිය..ඔයා මගෙ අයිය වුණයි කියල ඔයාට බෑ මට එහෙම බලපෑම් කරන්න. මාර වැඩක්නෙ මේක”

මම ඔහු ට නො දෙවෙනි ව කෑ ගැසුවෙමි. නීලා බලා සිටියේ බියෙනි. මා තුළ වුවත් තැති ගැන්මක් නො තිබුණා නොවේ. නමුත් මේ වෙලාවේ අසාධාරණ හේතුවක් මත යටත් නො වන්නයි යටි හිත මට කෑ ගසා කියන්නට විය.

“නංගී…තමුසෙ කට ගහගෙන එන්න එපා හොඳේ”

මා ළඟට ම පැමිණි ඔහු මගේ මුහුණට කොට දබරැඟිල්ල දිගු කළේ ය.

“එහෙනං මේකයි මේ රඟපෑම”

පුටුවක් උඩ හිඳ ගත් ඔහු කකුලක් මත්තේ කකුලක් දමා ගත්තේ ය. මම යටැසින් ඔහු දෙස බැලුවෙමි. අයියා සිටින්නේ හැබෑ කේන්තියකිනි.

“අම්මව ගොනාට ඇන්දුවට මාව අන්දන්න බෑ කියල මතක තියා ගන්නව”

මම බිත්තියට හේත්තු වී ඇස් දෙක තද කොට පියා ගතිමි. අයියා හිතනවා වගේ දෙයක් මා සිහිනෙනුදු කරන්න ට ගියේ නැත. ඔවුන් රවටා මට කුමක් ලැබෙනවා කියා ද? හිතට රිදුමක් දැනුණේ වී නමුදු  මගේ ඇසට කඳුළක් ආවා නොවේ.

“නීලත් මෙයාට ඕන නාඩගමක් නටන්න ඉඩ දීල බලං ඉන්නව නේද…”

මා කතා නො කළ නිසාදෝ ඊළඟට අයියා කඩා පැන්නේ නීලා ගේ ඇඟට ය. වසා ගෙන උන් මගේ ඇස් හැරිණ.

“අනේ බේබි මං…”

“නීලාට වචනයක්වත් කියන්න එපා හරිද…මං වරදක් කරලත් නැති එකේ…ඔයා මේ මනුස්සය ට බණින්නෙ මොන එහෙකටද…මදැයි නිදහසේ ඉන්න කියල මෙහෙට ආව…මල වදයක්නෙ අප්ප”

කියා ගෙන මම වේගවත් ගමනින් කාමරය දෙසට ගියෙමි. මගේ ශ්වසනය වෙනදා ට වඩා වේගවත් බව දැනිණ. මම ඇඳ උඩ හිඳ ගෙන ඉක්මනින් හුස්ම ගතිමි.

මා බලාපොරොත්තු වූ දුරකතන ඇමතුම රාත්‍රියේ පැමිණියේ ය. හැන්දෑවේ තවත් ටික වෙලාවක් නීලා ට දොස් කීමෙන් අනතුරු ව අයියා නික්ම ගොස් තිබුණේ මට කියන්නේ වත් නැතිව ය. ඔහු ගේ කේළම මත අම්මා කතා කරන තෙක් මම බලා සිටියෙමි.

“මොනාද උත්තරා මේ අයිය ඇවිත් කියන්නෙ…”

“ඒ හොල්මනට පිස්සු අම්ම. මෙතන ඇවිත් ඩෙඟා නටල ගියා”

මා කතා කළේ ඇත්තට ම කේන්තියෙනි.

“මට ඇවිත් කෑගැහුව. ඔයාව ඉක්මනට ගෙදර ගෙන්නගන්න කියල”

“අනේ මේ…එයා මගෙ අප්පච්චි නෙනෙයිනෙ”

“අප්පච්චි නෙවෙයි වුණාට අයියනෙ පුතේ”

“මේක මාර වැඩක්නෙ. අයිය කියල එයා කොහොමද මේ විදිහට මගෙ ජීවිතේට බලපෑම් කරන්නෙ…මගෙ නිදහසට ඇඟිලි ගහන්නෙ…”

“ඉක්මනට වෙඩින් එකට ඩේට් දා ගන්න කියල මට කිව්ව”

“මං ඒ මිනිහව කසාද බඳින්නෙ නෑ අම්ම”

වීදුරුවක් බිඳී ගියා සේ එක්වන ම සියල්ල නිසල විය. නිහඬ විය. ඒ නිහඬ බව මහා භයානක හඬක් සේ ඊළඟට මගේ සවන් පුපුරා දමන්නට හැදුවේ ය. අම්මා හුස්ම ගන්නා හඬ පවා මට දැනෙන්නට ඇත.

“උත්තරා…ඔයා දැං කලබල වෙලා ඉන්නෙ. පුතේ මේ අහන්නකො. අයිය ඒ ළමයට වචනයක් දීල. ඇත්තටම එයාට කැමති නැති වෙන්න හේතුවක් නෑනෙ. ඔයාට ඕනෙ සිද්ද වෙච්ච දේවල් වලින් ඈත් වෙන්නනං…මැරි කරල සිංගප්පූරු ගියාම ඒකත් වෙනවනෙ…”

“අම්මටත් මං බරක් වෙලාද තියෙන්නෙ…”

මා ප්‍රශ්නයක් ඇසුවා  නොවේ. මා මට ම කියා ගත්තා පමණකි. මගේ හඬ තුළ, ඉතා ම ක්ෂුද්‍ර වූ කැබලි වලට මා බිඳී ගොස් සිටිනා බව ට අනතුරු ඇඟවීමක් විය.

“මොනාද දරුවො මේ කියන්නෙ. මං මේ ප්‍රශ්නෙ දිහා බලන්නෙ අම්මා කෙනෙක් විදිහට. ඔයාට විසි හතක්. මට ඔය වෙද්දි ඔය තුන් දෙනාම හම්බ වෙලා. ඔයා ඉක්මනට පිළිවෙලක් වෙන්න ඕනෙ. අර මිස්ට ජයවර්ධන ගෙ පුතා එක්ක…”

“අම්ම මේ…”

ඒ වචන දෙක තුළ වූ සැර ගතිය හොඳට ම වැඩි යයි හැඟුණ සැනෙන් මම වහා නතර වීමි.

“අම්ම විශ්වාස කරන්නෙ අයියවනං…මාව නෙවෙයිනං…”

“මං දොසක් කිව්ව නෙවෙයි දරුවො”

“මං දැං තියන්නං අම්ම”

මගේ ජීවිතය තුළ මට මුණගැහුණ, දරා ගත නො හැකි ප්‍රථම සිදු වීම අප්පච්චි ගේ වියෝව ය. සියල්ල ඇරඹුණේ එතනිනි. නමුත් ඉනික්බිති ඒ පසු පස පැටලී අනවරත ගැටළු සමූහයක් දැනටමත් මා හඹා එමින් තිබේ. නිදහස් ව හිතුමතේ ජීවත් වූ යුගය අප්පච්චි ත් එක්ක ම අහිමි විණි ද?

මම අප්‍රාණික ව ඇඳෙහි වැතිර ගෙන සිටියෙමි. අයියා ඒකාධිපති ලෙස මා අර දොස්තර වරයා ට විවාපත් කොට දෙනු ඇත් ද? ලෝකය බිහි වූ දා සිට ම සිදු වූ සේ මා ඔහු ගේ පුරුෂාධිපත්‍යයට යටත් ව මා නො කැමති මිනිසෙකු සමග විවා පත් ව නික්ම යා යුතු ද?

“ඔය මුකුත් ප්‍රශ්න නෑනෙ මට කැමති වුණානං…”

රාත්‍රියේ, අපේ තණ පලස මත තැබුණු සුදු කැටයම් බංකුවේ දෙපස හිඳ ගෙන සංකල්පට ඒ දුක් ගැනවිල්ල කියත්දී ඔහු එසේ කීවේ මගේ සිනිඳු හිස කේ රැලි අතින් පිරිමදිනා ගමන් ය.

“අනේ මේ…ඒ ගමන ඔයත් එන්නෙපා හරිද වදයක් වෙන්න”

මම ඔහු ව තල්ලු කරන්නට තැත් කළෙමි.

“සීරියස්ලි කියන්නෙ”

“සීරියස්ලි තමයි මාත් කියන්නෙ මෝඩයො”

“හිත රවට්ටගන්න හදන්නෙපා උත්තරා”

සංකල්ප සිය දෑතින්, මගේ කම්මුල් දෙපසින් තද කොට අල්ලා ගත්තේ මා කිසි සේත් බලාපොරොත්තු නොවූ සේ ය.

“ඇත්ත පිළිගන්න. ඔයා මට ආදරෙයි. එහෙම එකේ නන්නාඳුනන මිනිහෙක්ව බැඳ ගෙන මට ආයෙ කවදාවත් දකින්නවත් නොලැබෙන තැනකට යන්න හදන්නෙපා”

ඔහු තද කොට මගේ කොපුලක් සිප ගත්තේ බලහත්කාරයෙන් ම ය.

“එහෙම වුණොත් මිණී දෙක තුනක් උස්සන්න වෙන එකයි වෙන්නෙ. අන්න ඒක මතක තියා ගන්න”

කියමින් වේගවත් ව බංකුවෙන් නැගිට ගත් ඔහු, ඉක්මන් දිගු අඩි තබා අපේ මිදුල දිගේ ඈතට නො පෙනී ගියේ ය. දෝතින් කොපුල් දෙක අල්ලා ගෙන ම, මම ගල් ගැසී  බලා සිටියෙමි. ඒ හඬේ වූ තර්ජනයටත් වඩා මට මැවි මැවී පෙනෙන්නට වූයේ ඒ ඇස් මත වූ අන්තරායකර බව ය. ප්‍රේ‍මය කියන්නේ ම මරණීය අනතුරක් නො වන්නේ ද?

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content