ප්‍රේමයේ අභිමන් -07

ඒ වෙලාවේ සසංක ජය පාරෙන් හැරී මඳ දුරක් මහරගම දෙසට ගියා පමණකි. ඔහුට දැනුණ පසුතැවීම කෙතරම් ද යත් හෙතෙම අතුරු පාරකට දමා රිය හරවා ගත්තේ ය. සියල්ලට වඩා ඒ තැවීම දැඩි වූයේ කුළීකාරිය රණ්ඩුවෙහි නො පැටලී සන්සුන් වූ නිසා ය. 

ඔහු සිය රිය වත්තට ගන්නේ නැතිව, පාර අයිනේ නවතා ගෙමිදුලට ඇතුළු වන විටත් අපරාජිතා හා දේශිකා සිටියේ ගෙයින් පිටත ය. දේශිකා මිදුලේ, පිය ගැට පෙල නැගෙනා තැන වූවා ය. අපරාජිතා සඳැල්ලට ගියා පමණකි. 

“රියලි සොරි”

සසංක එසේ කීවේ දේශිකා ට ය. මේ ඔහු මතු මහලට කුළියට පැමිණි අය දකිනා ප්‍රථම අවස්ථාව ය. පසෙක වූ හෝස් එක ගෙන වතුර දමා සසංක ගිනි ගොඩ නිවා දැමුවේ ය.

“මං රඹුටන් ගහ කප්පල දාන්නං. මේක නිසා මේ කොළ වැටෙන කරදරේ”

“අපරාදෙනෙ එහෙම කරන්නෙ”

වෙන කියන්නට දෙයක් දේශිකා ට සිහි වූයේ නැත. තණකොළ ගලවන්නට වෙන කරදරය නිසා ඔහු මිදුලට ඉන්ටලොක් ගල් ඇල්ලුවේ ය. එද මල් පාත්ති සඳහා අම්මා තාප්ප අයිනට වන්නට වෙන් කොට තිබූ ඉඩ එසේ ම තබමින් පාත්ති වල දාර ගල් වලින් සීමා කරමිනි. දැන් ඒ මල් අතරින් පතර ඉතිරි ව තිබෙන්නේ සාත්තුවක් නැති කමින් ඉතිරි ඒවා මැරී යමිනි. කරදර අඩු වෙන්නට නම් කරදර ඇති කරනා හේතු ඉවත් කළ යුතු යයි සසංක සිතයි.

දේශිකා මතු මහල දෙස, අපරාජිතා දෙස බැලුවේ ‘මේකෙං මාව ගලෝගන්නවකො’ වැනි ඇස් දෙකකිනි. ඇගේ ඇස් හැරවුණ දෙසට සසංක ගේ ද ඇස් හැරිණ. දෙපා ඉදිරියේ බෝම්බයක් පුපුරා ගියා සේ ය ඔහු ට දැනුණේ. ස්ත්‍රීන් දෙදෙනෙකි. එතකොට ඔහු ගෙන් නිවස කුළියට ගත්තේ හා ඔහුට කතා කරන්නේ කවුරුන් ද? 

“ම්..මං යන්නං එහෙනං..රියලි සොරි”

ඔහු කලබලයකින් හැරී රිය වෙත ගියේ ය. යළි රිය පණ ගන්වා ගත්තේ ද අවුල් වූ සිතකිනි. ඒ වෙලාවේ අපරාාජිතා සිටියේ රාත්‍රියේ නිදා ගත් පිජාමා ඇඳුම පිටිනි. හිස කේ නො පීරූ අවුල් වූ ඒවා ය. කම්මුල් දෙපසින් සේද කෙහෙ රොද ඉහිරී වැටී තිබිණ. මොකක්දෝ මතකයක් හදවත පහුරු ගානවා වාගේ ඔහු ට දැනිණ. ආනන්ද සමරකෝන් එළිමහන් රඟහල ආශ්‍රිත ව සින්දු කියූ මිනිසා ට පහත් වී මුදල් දුන් තරුණිය…මාර මලක් ඇහිඳ එය අමතක වී දුරකතන සාප්පුවේ දමා ගිය ඇය, පීටර්ස් පෙදෙසේ දී ඈතක නතර වී සිටි තරුණිය, තෙත් බිම් උද්‍යානයේ ව්‍යයාම පථයේ දී පිටුපා උන් එකියගේ සුවඳ…මේ සියල්ල එකට පැටලී අපැහැදිලි චිත්ත රූප සමූහයක් ඔහු ගේ මනසේ විකාරයක් ඇති කරනා ලදී. මේ වෙලාවේ ඇය සිහි වන්නේ ඇයි දැයි ඔහු දැන සිටියේ නැත. ඒ කිසිදු අවස්ථාවක ඇය ව කෙළින් දැක ගන්නට ඔහු ට ඉඩක් ලැබුණේ නැත. නමුත් දැන් ටිකකට කලින් මතු මහලේ සඳැල්ලේ සිට පහළ බලා උන් තරුණිය නිසා ඒ මතක සියල්ල සිත තුළ ඇවිස්සී තිබේ. ඇය හා මතක වල සිටිනා තරුණිය අතරේ වන සම්බන්ධය කුමක් ද? 

එදා දවසේ දහසක් වැඩ කටයුතු අතරේත් සසංකට විටින් විට ඈ සිහි විය. එය වූ කලී ගැස්මක් හද තුළ ඇති කරන්නා සුන්දර වූ මතකයකි. පහදා ගත නො හැකි හේතුවක් මත එදා සසංකට වේලාසන ගෙදර එන්න ම සිතිණ.

අපරාජිතා එදාත් මල් පාත්ති වලට වතුර දැම්මා ය. වයළී පරඬැල් ව යමින් ද මියෙන්නට පණ අදිමින් ද උන් ඒ පැළ, හදිසියේ ලැබුණා වූ මේ පැන් පොදින් යළිත් ජීවිතය ගැන අලුත් බලාපොරොත්තු ඇති කර ගෙන සිනහ වෙන්නට පටන් ගෙන තිබිණ. අපරාජිතා ඒ පැළ වලට එබී පෙරලා සිනහ වූවා ය. අන්තිම මොහොතේත් ජීවිතයේ එල්ලී බලාපොරොත්තු අත් නෑර සිටිය යුතු යයි කතාවක්, ඇගේ ඇස් දෙස හොඳින් බැලුවා නම් ඒවායින් කියවා ගත හැකි වනු ඇත. 

ටික දවසක් තිස්සේ  බෑගයේ තිබූ සීනියාස් ඇට අහුරක් ද ඕ ඒ පාත්ති අතරේ විසිරුවා හැරියා ය. මලක් නම් කොහේ පිපුණාම මොකදැයි ඒ අතරේ ඇය සිතුවා ය. ඒ මල් ඇට, පැපිලියානේ මහ ගෙදරින් කඩා කඩදාසි කැබැල්ලක ඔතා ඇය බෑගයෙහි ඔබා ගත්තේ වෛද්‍ය පාරේ ගෙදරින් නික්මෙන්නට පිඹුරුපත් සැකසූවාටත් පස්සේ ය. කොහෙන් හෝ ඉතා කුඩක් ගෙයක් කුළියට ගෙන එය හීන නිවහනක් කර ගැනීමේ ආශාවක් යටි හිතේ කොනක විය. නමුත් බලන්නට ගිය කිසිදු නිවසක් ඒ හීනය හා සසැඳුණේ නැත. මඳක් හෝ ඊට සමපාත වූයේ මෙතැන පමණ ය. එද මතු මහලකි. පහළ කුණු බාල්දිය තබනවාට හෝ අකමැති ගෙහිමියා ගැන ඇය දැන ගත්තේ පසුව ය. ඔහු ගේ අවසරයකින් තොර ව සීනියාස් මල් ඇට පාත්ති වල ඉසීම ගැන සිතත්දී අපරාජිතා ගේ මුව ඉසිහින් සිනහවකින් හැඩ විය. ඒ දුෂ්ට නපුරා මල් පැල වලට ගිනි තබන්නට වුව බැරි නැත!

ඈ ඔහු ව ප්‍රථම වතාවට සජීවී ව දුටුවේ අද උදයේ ය. ගිනි ගොඩෙන් ඇති වූ දුම නිසා හට ගත් සිද්ධිය මත කලබලයෙන් සිටියදී පවා ඇය ට සිතුණේ එක දෙයකි. මේ කොල්ලා මේ තරම් නීතිකාරයෙකු වූයේ කොහොමද?

පාත්ති වලට වතුර දැමීමෙන් පස්සේ අපරාජිතා පොතක් සමග පහලට ආවා ය. රඹුටන් ගහ මුල සවි කළ කොන්ක්‍රීට් බංකුවකි. එය වූ කලෟ මේ ගිනිගහන නගරයේ කදිම සෙවනක් ඇත්තා වූ තැනෙකි. එතැන බංකුව අසල, කලයක් ඉණ තබා ගත් ගැහැනියකගේ පැරණි සිමෙන්ති ප්‍රතිමාවකි. ආශ්‍රතව හිස් මල් පෝච්චි කිහිපයක් එක මත ගොඩ ගසා තිබේ. ඒ කේන්තිකාරයා ගේ බිරිඳ මල් වලට ප්‍රිය නැති තැනැත්තියක විය යුතු යයි අපරාජිතා සිතුවා ය. ඇතැම් විට ප්‍රිය වී ද ඇය එවැනි කටයුතු වලට විවේකයක් නැති කෙනෙකු වන්නට පුළුවන. දිවා දවසේ ම ඇය ගෙදර නැත. අපරාජිතා තව ම ඇය දැක නැත. වෛද්‍ය පාරේ ගෙදර මල් වලටත් මේ ඉරණම ම අත් වනු ඇත. කාලයක් තිස්සේ ම ජීවිතය අතර මැද මහා තනියක් දැනෙත්දී ඇය කළේ අනන්‍යා වෙනුවෙන් ඇප කැප වෙන එක ය. ඉතිරි වෙලාව මිදුලේ මල් එක්ක කතා කරන එක ය. 

රෝලර් ගේට්ටුව විවර වූයේ අපරාජිතා පොත අතේ තබා ගෙන කල්පනා ලෝකයේ කිමිද සිටියදී ය. ඇය තිගැස්සී ගියා ය. දුෂ්ට මිනිසා ඇය පහල බංකුව පාවිච්චි කිරීම ගැන පරල වී කෑගසන්නට වුව බැරි නැත. ඕනෑ ම දේකට මූණ දෙන්නට අපරාජිතා හිත හදා ගත්තා ය. බැන්නොත් බණින්නට දැන් ඈ සූදානම් ය. 

රිය ගෙවත්තට හරවත්දී ම සසංකගේ කකුල් වල සීතල ගතියක් ඇති වෙමින් තිබිණ. කොංක්‍රීට් බංකුව මත ග්‍රීක දේවතාවක සේ ඇය සිටියා ය. හෘද ස්ඵන්දනයේ ද වෙනසක් ඔහු ට දැනිණ. ඔහු රියෙන් බැස්සේ ම ඇදෙස බලා ගෙන ය. කන්‍ය මරිය තුමිය ගේ ශාන්තිදායක ප්‍රතිමාවක බඳු සෞම්‍ය මඳහසක් ඇගේ දෙතොලතර ඇඳිණ. ඔහු සිටියේ ඇතුළාන්තයෙන් පාෂාණිභූත වෙමිනි. යමක් කතා කරන්නට සසංක ට අවැසි විය. නමුත් ඔහු තුළ මේ වෙලාවේ ඊට අවැසි දිරිය නොමැති සෙයක් දැනිණ. යන්තම් හිස සලා ඇගේ සිනහවට ප්‍රතිචාර දැක්වූ ඔහු යතුර ගනිමින් දොර ඇරියේ ය. අපරාජිතා නැගිට පියගැට පෙළ දෙසට ඇවිද ගියා ය. දොර අරින ගමන් සසංක ගේ ඇස් එදෙසට හැරවී තිබිණ. ටික දිනක සිට ඔහු ගේ ඇස් වල පැටලි පැටලී සිටි ඇය සිය වහල යට ම සිටි බවක් විශ්වාස කළ යුතු ද නො කළ යුතු ද කියා ඔහු ට හිතා ගත නො හැකි ය. 

සසංක දිය නෑවේ ද වෙනත් ග්‍රහ ලොවකින් කඩා වැටුණ ජීවියෙකු සේ තෝන්තුවාවෙනි. ඇය වූ කලී ස්ත්‍රීත්වයේ ප්‍රතිමූර්තියක් වන් සියුමැළි පෙනුමක් ඇති තරුණියකි. දුඹුරුවන් සිනිඳු තුනී වරලක් ඇත්තේ ය. ඇස් වල වන්නේ නිවී සැනැහුණ ශාන්තියකි. බැල්මක් පවා ඉවසිලිවන්ත ය. එහෙව් තැනැත්තියකට දුරකතනයෙන් කතා කළා වාගේ සැර කටක් හිමි වූයේ කෙසේ ද? 

“ඒ අර අනිත් එක්කෙනා වෙන්න බැරිද…”

ක්ෂණික ව ඔහු ට අදහසක් ආවේ ය. එය එසේ ම යයි ඔහු සිතට අවධාරණය ද කළේ ය. 

සාළුවෙන් තෙත පිසිමින් හෙතෙම ඉස්සරහාට ආවේ තවමත් ඇය දෙවඟනක සේ බංකුව මත වැඩ සිටිනවාද කියා බලන්නට ය. නමුත් බලාපොරොත්තු සුන් වී ගියේ ය. සසංක සාළුව වැලට දමන්නට විත් බොරුවට මිදුලේ ළත වූයේ ය. අදත් පැළ වලට වතුර දමා තියේ. ඔහු නිකමට සඳැල්ල දෙස බැලුවේ ය. ඇය එහි වූවා ය. අපරාජිතා දෑත් බැල්කනි තාප්පයට බර කොට ගෙන ඊට නැඹුරු වී ඈත බලා ගෙන සිටියා ය. 

“ම්..මේ…මට ෆෝන් එකෙන් කතා කරන්නෙ කවුද දන්නෑ නේ..අර..උදේ හිටිය මිස්ද…”

සසංක අමාරුවෙන් හඬ අවදි කළේ ය. අපරාජිතා ට සිනහවක් නැගිණ.

“අපි හිතුවෙ ගේ ගිනිගන්නව කියලයි”

ඇය ඔහු ගේ ප්‍රශ්නය මගහැරියා ය. සන්සුන් වූ ද ශාන්තිදායක වූ ද ඒ රුව තරුණයා ගේ ඇස් කාන්දම් බලයකින් සේ ඇය වෙත ම රඳවා ගන්නට සමත් වූයේ ය.

වතුර කේතලය උතුරනා බවට ඉඟි ලැබුණෙන් අපරාජිතා පිටුපස හැරී බැලුවා ය. යළිත් සසංක දෙස බලා ඔහු වෙතට විනීත සිනහවක් පෑවා ය.

“මං යන්නං”

ඔහු ට දැනුණේ ඈ එතැන ඔහු ව ගල් කොට තබා ගියා සේ ය. 

තේ එක සාදා නිම වන විට ම අපරාජිතා ට අරවින්ද ගෙන් දුරකතන ඇමතුම ආවේ ය. ඇය ගේ ඇමතුම පෙර දා මග හැරීමෙන් පස්සේ ඔහු කතා කරන්නට හිත හදා ගෙන තිබුණේ ය.

“මොන එහෙකටද මගෙ අකවුන්ට් එකට සල්ලි දාල තිබුණෙ ආ..හිතුවෙ මං හිඟන්නෙක් කියලද..කරුණාකරල අකවුන්ට් නම්බර් එක එවන්න. මට මෙහෙම වදයක් වෙන්න එපා අරවින්ද”

“බණින්න බණින්න. ඇති වෙනකල්ම බණින්න”

ඔහු දිගු සුසුමක් අත්හැරියේ ය. ඇය ට හදා ගත් තේ කෝප්පය බීමේ පිරිය ද නැතිව ගියේ ය.

“දෙය්යංගෙ නාමෙට දැන්වත් මට සැනසිල්ලෙ ඉන්න දෙන්නකො. ඔයා දන්නවනෙ කොහොම ජීවිතයක්ද මං ගෙව්වෙ කියල. සල්ලි වලින් වැහුවත් සතුට සැනසිල්ල කියන දේ ගෑනියෙක්ට දෙන්න බෑ. මං දැං ඒක හොයං යන ගමන්. ප්ලීස්…ඔයා මගෙ පාර ඉස්සරහට එන්නෙපා. මට ඔයාගෙ සල්ලිවත් අනුකම්පාවවත් ඕනත් නෑ”

ඇය දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. අරවින්ද කියන්නේ කවදත් ඇගේ හිතට වද දුන් පිරිමියෙකි. මුල දී ඒ ගැන ඇය ශෝක වූවා ය. කෝප වූවා ය. කෑ ගසා ගත්තා ය. රණ්ඩු දබර වූවා ය. පසුව නිශ්චල වූවා ය. දීර්ඝ කාලීන වූ ඒ නිශ්චල බවෙහි අවසන් ප්‍රතිඵලය වූයේ දික්කසාදයයි. ඇය ට අවසන අවශ්‍ය වූයේ ශාන්තිදායක ජීවිතයකි. බැඳීම් වලින් හිර නොවූ ද රැවටීම් වලින් ගහන නොවූ ද බොරුවෙන් තොර වූ ද අවිනිශ්චිත බවෙන් දුරු වූ ද සදාකාලික සැනසිල්ලකි. ඇය ඒ මාර්ගයට පිවිසෙමින් සිටින සෙයක් අපරාජිතා ට දැනෙයි. නමුත් අරවින්ද යළි යළිත් සිය ජීවිතයට එබී බලමින් ඒ සැනසිල්ල දෙදරවාලන්නට හදයි. 

විදාරණය වන්නට ගිය හිත එකලාස කර ගෙන ඕ තේ එක බීවා ය. නමුත් එහි කිසිදු රසයක් විඳිත හැකි වූයේ නැත. 

සිය සැනසිල්ලට කුමක් වී ද කියා ඒ රාත්‍රිය පුරා ම සසංක ට වටහා ගත හැකි වූයේ නැත. නින්ද අහලකට නො එනා තැන හෙතෙම පරිගණකය විවර කර ගෙන ඉංග්‍රීසි චිත්‍රපටයක් සෙව්වේ ය. නමුත් බලන්නට ගත් එකක් හෝ හිත් ගත්තේ නැත. අන්තිමට ඔහු ඒ දමා ගසා, ආදර ගීතයකට ඔහු විසින් නිර්මාණය කරන ලද රූප රචනාවක් යළි යළි බලන්නට වූයේ ය. 

“මේක හදන්න කලින් එයාව දැකල තිබුණනං මේ වීඩියෝ එක මීට වඩා වෙනස් වෙන්න තිබුණ”

ඔහු පශ්චත්තාපයකින් සිතුවේ ය. 

එදා උදේ ම ඔහු ට ගුවන් විදුලි නාලිකාවකට යන්නට තිබිණ. ඒ වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කිරීමේ කටයුත්තක් ගැන කතා බහකට ය. ඒ වෙළෙඳ දැන්වීම සඳහා හඬ පටිගත කිරීම් කෙරෙනා ස්ටූඩියෝවයක් අවශ්‍ය ය. නාලිකා ප්‍රධානියා සමග පැවති කෙටි සාකච්ඡාවකින් අනතුරු ව සසංක ඔහු සමග ස්ටූඩියෝ සංකීර්ණය දෙසට ඇවිද ගියේ ය. දොරකඩ පාවහන් ගලවා තබා තද නිල් පැහැති කාපට් ඇතිරූ බිමට ඇතුළු වී ස්ටූඩියෝ වලට එහි වීදුරු දොරෙන් එබිකම් කරමින් යන ගමනේ, නාලිකා ප්‍රධානියා එක් පාලක කුටියක දොර විවර කළේ ය.

“එක්ස්කියුස් මී ඉන්දික”

ගුවන් විදුලි නාට්‍යයේ නිෂ්පාදක වරයා නැගිට දොර වෙතට ආවේ ය. සසංක ගේ ඇස් පමණක් නොව හදවත පවා මොහොතකට නතර වූයේ ඒ තුළ සිටි සියුමැලි ස්ත්‍රී රුව දැකීමෙනි.

 ස්ටූඩියෝව පාලක කුටියෙන් වෙන් කරනා වීදුරු බිත්තිය ඔස්සේ  සිය පිටපත ට හඬ පණ පොවනා හඬ ශිල්පීන් දෙස ම නෙතු දල්වා උන් අපරාජිතා, ඒ පැත්තට කතා කරනා බොත්තම ක්‍රියා කරවා “ටිකකින් ගමු” යි කීවා ය. ඒ නිෂ්පාදකවරයා අසුනෙන් නැගිටීම නිසා ය. දොරෙන් එබී බැලු නාලිකා ප්‍රධානියා ව ඇය දුටුවා ය. නමුත් ඔහු ට මඳක් එපිටින් සිටි සසංක ව, දොරට මුවහ වූ නිසා ඇය ට පෙනුණේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles