ප්‍රේමයේ අභිමන් – 49

කාලය කියන්නේ සාමාන්‍ය වහරට අනුව ඉගිලෙන දෙයකි. මරණයක් සිදු වුව ද තුන් මස හෝ වර්ෂ පූර්ණය සිදු වෙත්දී කාලය ගෙවී ගිය ඉක්මන කියා සිතෙනු වැළකිය නො හැකි ය. නමුත් ඔරලෝසුවේ තත්පර කටුව නැවතී ඇත්ද කියා සිතෙනා අවස්ථා ද අපේ ජීවිත වලට උදා නො වන්නේ නොවේ. ශල්‍යාගාරයේ දොරකඩ ඒ මේ අත සක්මන් කරමින් සිටි සසංකටත් දේශිකාටත් දැනුණේ එහෙම ය. එක විනාඩියක් තුළ ඇතැම් විට හත් අට වරක් ඔවුන් ගේ ඇස් අත් ඔරලෝසු වෙත යොමු විය.

 “කොහොමත් තව වෙලා තියනවනෙ. ගිහිං කෝපි එකක් බීල එමුද..”

දේශිකා එසේ ඇසුවේ නිකං ම සිටිනු වෙනුවට ඒ වගේ ක්‍රමයකින් කාලය තරමක් ඉක්මන් කර ගත හැකි යයි සිතමිනි. කෝපි තියා කිසිවක් ම කන බොන ප්‍රියක් සසංක වෙත නොවිණ. නමුත් යන්ත්‍රාණුසාරයෙන් සේ ඔහු දේශිකා පසු පස වැටී සිටියේ ය. කෝපි බොමින් ද කෙටි කෑමක් කමින් ද බොරු කතාවක් ඇදගෙන අඩ හෝරාවක් පමණ ගත කළ හැකි යයි දේශිකා සිතී ද ඒ වෙනුවෙන් ගත වී තිබුණේ විනාඩි නවයක් පමණකි. 

“අපි නිකං ඉතියෝපියාවෙ ඉඳං ඇවිත් වගේනෙ කෑවෙ. කන තරං ඉක්මනට සර්ජරි එකක් කරන්න බෑනෙ”

අවසන සසංක ට පසව ඕ අසනෙන් නැගිට ගත්තේ එසේ කියමිනි. 

“තියටර් එක ඉස්සරහ අපි කකුල් කැඩෙනකල් හිටං ඉන්නව කියල අනුකම්පාවට ඩොක්ටර් සර්ජරි එක ඉක්මන් කරන්නෑ. ඒක නිසා අපි මෙතන ඉඳං ඉමු. ඉවර වෙන්න කිට්ටු වෙද්දි යං”

ගිලන් කුටි අතරේ වන රිදී පැහැති පේළි අසනක් දක්වමින් ඉන් පසු ඇය කීවා ය. සසංක ඇය ට එකඟ ව ඒ අසුනකට බර වූයේ ය. දේශිකා ඇගේ කාර්යාලයේ සාමාජිකයන් ගැන විස්තර කියවමින් සිනහ වූවා ය. සසංක සිනහවක් පෑවේ නිකං මූණිච්චාවට සේ ය. සැබවින් දේශිකා කී සියල්ල නොව ඔහු ට ඇහුණේ හෝ ඔහු ගේ මතකයේ රැඳුණේ අතරින් පතර ඉන් ඇතැම් කරුණක් පමණකි. සමහර වෙලාවක ඔහු ද සිය කාර්යාලීය සගයෙකු ගේ සිනහ යන කතාවක් කීවේ ය. නමුත් ඒ හිත යට තවත් කතාවක් තිබියදී ය. ඒ නිසා මුළුමනින් සිය කතාව තුළ ජීවත් වන්නට හෝ ඒ වෙනුවෙන් සම්පූර්ණයෙන් සිනහ වෙන්නට හෝ ඔහුට හැකි වූයේ නැත. 

කාලය ගත වෙමින් යන විට සැත්කම අවසානය කරා ගමන් කරමින් ඇති නිසා දෙදෙනා ගේ ම හිත් වල සැහැල්ලුවක් සේ ම එතෙක් නො තිබි අලුත් ගැස්මක් ද ඇති නොවූවා නොවේ. ඔවුන් දෙදෙනා පමණක් නොව යාබද රෝහල් කුටියක සිය සැමියා ගේ සැත්කම අවසාන වන තුරු බලා සිටි රොෂෙල් ද එබඳු ම දෙගිඩියාවක පසු වූවා ය.

වකුගඩු දායකයා වශයෙන් අපරාජිතා ව සේ ම වකුගඩු ලාභියා වශයෙන් අරවින්ද ව ද සැත්කම සඳහා යොදා ගැනෙනුයේ එක ම වෙලාවක දී ය. සාමාන්‍යයෙන් මේ සැත්කම සඳහා පැය තුනත් පහත් අතරේ කාලයක් ගත වනු ඇති බවට කලින් ම දැනුවත් කොට තිබිණි. දායකයා ගේ සිරුරෙන් ඉවත් කෙරෙන්නේ වම් පස වකුගඩුව ය. කටී ප්‍රදේශයේ කැපුමක් ඔස්සේ විවෘත කිරීමේ සැත්කමකින් සේ ම විශාල කැපුම් නො යොදන ලැපරොස්කොපි සැත්කමකින් ද වකුගඩුව ඉවත් කරන්නට පුළුවන. වේදනාවන් සේ ම පශ්චාද් ආසාධන තත්වයන් ද අවම වන, කැපුම් තුවාල නිසා ශරීරයේ ලොකු කැළැල් ද ඉතිරි නොවන ලැපරොස්කොපි සැත්කම අපරාජිතා සඳහා ශල්‍ය වෛද්‍යවරයා තෝරා ගත්තේ ය. මෙය සම්පූර්ණ නිර්වින්දනයක් යටතේ සිදු වන සැත්කමකි.

කාල වේලාව අනුව අපරාජිතා ව ශල්‍යාගාරයෙන් පිට කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් අඩ හෝරාවක් පමණ එතැන සිට ගෙන උන් සසංක හා දේශිකා යළිත් පේළි අසුන වෙත පිවිසියහ. හෙදියක විත් වෛද්‍යවරයා කතා කරනවා ය යන පණිවිඩය දෙන විට ඔවුන් දෙදෙනා ගේ ම පපු ඇතුළේ බෝම්බ පිපිරීමක් සිදු වූයේ ය. රෝහල් කොරිඩෝරය දිග ශල්‍යාගාර දොරටුව තෙක් ඇවිද යත්දී සිය පා ගැටෙන හඬ පවා ඔවුන් ගේ හදවත් තුළ භීතිය අලුතෙන් වඩවා ලී ය. වෛද්‍යවරයා ඒ ආකාරයෙන් කැඳවා සිටීමක් ගැන හේතුවක් සිතා ගන්නට ඔවුන් ට හැකි වූයේ නැත.

“ඩොනර්ට සිහිය ගන්න ටිකක් අමාරු වුණා. ඒකයි ලේට් වුණේ. දැන් ඔක්කොම හරි. එයාව රූම් එකට එවනව”

රුධිර සංසරණ පද්ධතිය යළි ක්‍රියාකාරී වීම ඇරඹුණේ ඉනික්බිති ය. ඔවුහු අපරාජිතා පිළිගන්නට කුටිය වෙත දිව ගියහ. 

ඇය රැගත් ට්‍රොලිය වෙත අතර මගකදී රොෂෙල් ළඟා වූවා ය.

“අනේ පින් සිද්ද වෙනව මැඩම්”

ඇය වෙනුවෙන් ට්‍රොලිය නතර වූයේ නැත. අපරාජිතා මඳක් ඉදිමුණ ඇස් පියන් යන්තම් හැර කුළුණුබර බැලුමක් හෙළුවා ය. එපමණකි.

ඈ දුටු සසංක ගේ පපුව, මහා පීඩනයක් විසින් හිර කරනා ලදී. ඇස් පිච්චී නාසය බුරුල් වී යමක් සිදු වන බව ඔහු ට දැනිණ. අපරාජිතා ඇස් වලින් සිනහ වූවා ය. ට්‍රොලියෙන් ඇය ව ගිලන් යහනට මාරු කළේ රෝහල් සේවකයන් විසිනි. කිසි ගාණක් නැතිව ඔවුන් එසේ කරත්දී කමිස කොලරයෙන් ඇද ඔවුන්ට පහර දෙන්නට තරම් සසංක තුළ ආවේගයක් ලියලා ආවේ ය. ඇයට රිදීම ගැන ඔවුන්ට වගක් නැත. ඔවුන් ඇගේ කිසිවෙකු නොවේ. ඇයට රිදෙත්දී එය ඊටත් වඩා දැනෙන්නේ ඔහු ට ය. කෙසේ වතුදු සසංක තමන් ව පාලනය කර ගත්තේ ය.

“රිදෙන්නෑ නේද මැණික…”

දේශිකා අපරාජිතා ගේ මුහුණ ළඟ පහත් වී ඇසුවා ය. අපරාජිතා යන්තම් හිස සැළුවේ දෑස් සසංක ළඟ නවතා ගෙන ය.

“මෙයා බය වෙලා හිටිය හැටියට මාත් බය වෙනව අප්ප. මහ පිස්සෙක්. කෑවෙත් නෑ මං හරියට මෙයා නිසා”

දේශිකා ඔහු ගැන අපරාජිතා ට ගතු කීවා ය. තවමත් සසංක ඉන්නේ ගැස්මෙන් බව ඔහු ගේ ඇස් සාක්ෂි දරයි. 

“මං කියන්නද..මං එහෙනං ගිහිං අපිට කන්න මොනා හරි අරං එන්නං. සසංක මොනාද කන්නෙ..”

“මොනා වුණත් කමක් නෑ බං”

දේශිකා දොර වසා ගෙන නික්ම ගියේ ඔවුන්ට තනි වීමේ මොහොතක් උදා කර දෙනු වස් ම ය. පුටුව ගිලන් යහනට වඩාත් ලං කර ගත් සසංක එහි බර වන ගමන් ඇගේ නළල් තලය තදින් සිප ගත්තේ ය.

“බය වෙන්නෙපා…මං කිව්වෙ..මට මුකුත් වෙන්නෑ කියල”

අපරාජිතා පහළ ස්වරයකින් මිමිණුවා ය. සසංක ඇස් වල වූ කඳුළු මිරිකා හළේ ය.

“ඔයා පුදුම ගෑනියෙක්”

බිඳුණු හඬකින් ඔහු එසේ කීවේ ඇගේ අතක් තදින් අල්ලා ගන්නා ගමන් ය. එදා ඒ සැත්කම හා සම්බන්ධ වූ බොහෝ දෙනෙක් ඈ ගැන එසේ කතා කරන්නට ඇත. විවාහ වීමට සිටිනා පුරුෂයා සමග විත් හිටපු සැමියා ගේ දිවි රැක ගැනීම වෙනුවෙන් සිය වකුගඩුවක් ගලවා දුන් ඇය ගැන පුදුමයෙන් සිතිය නො හැකි වූ කෙනෙක් සැබවින් ම එහි වූයේ නැත.

“ඩොක්ටර් කියනව මට සිහිය ගන්න අමාරු වුණා කියල..අනේ මන්දා…ඇස් පියවීගෙන යද්දිත් මං හිතුවෙ ඉක්මනට සිහිය ඇවිත් ඔයාව දකින්න ඕන කියලයි”

“දැන් ඉතින් ඔක්කොම හරි. මෙතනිං එහාට ඔයාව බලා ගන්න හැටි මං දන්නව”

“අරවින්දට කොහොමද කියල දන්නවද…එයාට සර්ජරි එක සක්සස් වුණානං එච්චරයි”

සසංක කියා ගත නො හැකි හැඟීම් සමුදායක ප්‍රහාරයට ලක් ව තිබි සිත දරා ගෙන ඇගේ හිස පිරිමැද්දේ ය. අපරාජිතා ගේ විඩාබර නෙතු ඔහු ගේ පිරිමැදුම් පහසින් සුවෙන් පියවිණ. 

අරවින්ද ට බද්ධ කරන ලද අපරාජිතා ගේ වකුගඩුව ඔහු ගේ සිරුර තුළ දී ඉක්මනින් ක්‍රියා කරන්නට පටන් ගත්තේ ය. ශල්‍ය වෛද්‍යවරයා ඇතුලු කණ්ඩායමේ මුහුණු වලට සිනහවක් නැගුණේ ය. 

මනුශ්‍යයෙකුට සාමාන්‍යයෙන් වකුගඩු යුගලක් පිහිටයි. නමුත් එකක් අහිමි වූ විට දෙකෙහි ම කාර්ය භාරය සියතට ගන්නට තනි වකුගඩුවකට පුළුවන. මෙම සැත්කම සඳහා මුහුණ දුන් වකුගඩු දායකයා ගේ ද ප්‍රදානියා ගේ ද තත්වයන් සතුටුදායක තත්වයක පැවතිණ. අපරාජිතා ව දෙදිනක් නේවාසික ව තබා ගැනීමෙන් පසු රෝහලෙන් නිදහස් කෙරුණේ ඖෂධ සහ උපදෙස් මාලාවක් සමග ය. ඇය ද යම් කිසි කාල වකවානුවක් තුළ යළි යළිත් වෛද්‍ය අධීක්ෂණයට ලක් විය යුතු විය.

අරවින්ද ට ඒ තරම් කෙටි කාලයකින් නිවස බලා පිටත් විය හැකි නොවූ අතර ඔහු තව දුරටත් රෝහලේ නේවාසිකව තබා ගෙන ප්‍රතිකාර කෙරිණ.

අපරාජිතා ගෙදර ගෙන යන්නට පෙර දේශිකා හා සසංක එක්ව ඇනෙක්ස් එක විෂබීජ නාශක යොදා සෝදන ලදහ. අලුත් ඇඳ ඇතිරිලි දමා යහන සූදානම් කළහ. විෂබීජ ආසාධනයන් ට ලක් වීමෙන් ඇය ප්‍රවේසම් විය යුතු බව වෛද්‍ය උපදෙස වී තිබි නිසාවෙනි. රෝහල් ගත ව උන් මුළු කාලය පුරා එහි සිටියෙන් දේශික ඒ රාත්‍රියේ ගෙදර ගියා ය. සසංක උඩු මහලෙහි රැය ගත කරන්නට පොරොන්දු වූයේ ය.

අපරාජිතා ට යහනෙන් බහින්නටත් ඇවිදීමටත් හැකියාව තිබුණේ ය. නමුත් සසංක ඉතා කුඩා යමක් හෝ කර ගන්නට ඇය ට ඉඩ දුන්නේ නැත. වසර ගණනාවක් එකට ජීවිතය බෙදා හදා ගත් ස්වාමි පුරුෂයෙකු සේ අපරාජිතා වෙනුවෙන් පේ වූයේ ය. පිටින් ගෙනෙනා ආහාර නිසා යම් කිසි ආසාත්මිකතාවයක් වූවොත් කියන බිය මත ඔහු කෑම පිසින්නට තීරණය කළේ ය.

“අනේ තේ එකක්වත් හදන්න දන්නැති කෙනා කොහොමද උයන්නෙ…කමන්නෑ කඩෙං මොනා හරි ගේමු”

ඔහු ගැන අසීමිත ආදරයෙන් ද අනුකම්පාවෙන් ද අපරාජිතා යෝජනා කළ ද සසංක ඊට එකඟ වූයේ නැත.

“එහෙනං මං හෙමීට මොනා හරි හදන්නංකො”

ඇය යහනින් බහින්නට හැදුවාට ඔහු ඊට ඉඩ දුන්නේ ද නැත. ඒ අනුව අපරාජිතා යහනේ සිට ම ව්‍යාංජය වලට දමනා මිරිස් පහේ ගැන කීවා ය. සසංක කුස්සියේ සිට ඒවා එකතු කරමින් බතක් හා එළවළුවක් ද මාළුවක් ද පිසුවේ ය. 

“රස නෙමේනෙ වැදගත්…මොනා වුණත් දැන් මේවට බඩේ අමාරුවක් හැදෙන්නෑ කියල ශුවර්නෙ”

ඔහු බත් පත බෙදා ගෙන විත් ඇයට කැව්වේ ය. වතුර එක ළඟට දුන්නේ ය. නාන කාමරය තෙක් පරිස්සමට අල්ලා ගෙන ගියේ ය. ‘මට කර ගන්න පුළුවන්’ කියා කීව ද ඒ ආදරය අපරාජිතා ගේ යටි හිත අපේක්ෂා කරමින් තිබිණ.

“ඔයාට ලෙඩෙක්ට සාත්තු කරන්නයි වුණේ”

ඇය මිමිණුවා ය. නමුත් ඔහු ළඟ ලෙඩෙකු වී සිටීමට ආශා කළා ය.

ඒ රාත්‍රිය අපරාජිතා ගේ තනිවට සසංක උඩු මහලේ නතර වූයේ ය. ඔහු සෝෆාව කාමරයට ගෙන එන්නට හැදුව ද ‘මෙතනිං ඉන්න’ කියා අපරාජිතා යහනේ ඉඩක් දුන්නා ය. සසංක ගේ අත් බාහුව මත හිස රන්දා ගෙන ඔහු ගේ පපුව සමීපයේ මුහුණ තියා ගෙන ඕ සුව නින්දකට එළඹෙන තෙක් ඇගේ හිස පිරිමදින්නට තරම් සංයමයක් ඔහු ට තිබුණේ කෙසේද කියා සසංක පවා නො දැන සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles