මතක දිගහැරුම 116 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය දහසයවන දිගහැරුම ,

සමහර මිනිසුන් ඔවුන්ගේ මිතුරන් ලෙස තෝරා ගන්නේ සහ ගැවසෙන්නට ආසා කරන්නේ සමාජයේ පිළිගැනීමක් තිබෙන , මුදල් සහ තරාතිරම් අතින් ඉහළ තැනක සිටින අයව පමණි. එසේත් නැතිනම් අදාල පුද්ගලයන්ගෙන් තමන්ට කුමක් හෝ ප්‍රයෝජනයක් වාසියක් ඇත්නම් පමණි .නමුත් මා කිසි දිනක එසේ නොවේ. මා කිසිම මිතුරකු ආශ්‍රය කරන්නේ කුමක් හෝ වාසියක් නැතහොත් ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නොවේ.වරක් මගේ හිතවතෙකුට සහයෝගය ලබා ලබා දීම පිණිස ව්‍යාපාරයක් ආරම්භ කළෙමි.ඒ අවස්ථාවේදී එයට සහයෝගය දැක්වූයේ ඔවුන් හට ඒ මොහොතේ දී තිබූ යම් අසීරුතා දුටු නිසාවෙනි .නමුත් කාලය ගත වෙත්ම එය මට සුදුසු නොවන වග මා වටහා ගත්තෙමි . ඒ නිසා බොහොම සුහදව මා එම ව්‍යාපාර කටයුත්තෙන් ඉවත් වූයෙමි.මා හට ඕනෑ තරම් මිතුරන් සහ හිතවතුන් සිටින නිසා ඒ ඕනෑම අයකු සමග අවස්ථාවද ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීම මට කල හැකිය .මා එවැනි අරමුණු පෙරටුකරගෙන කිසිදිනක මිතුරු සබඳතා පවත්වන්නේ නැත.කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් කිසිවකුත් ඇසුරු නොකරන මා හැකි සෑම අවස්ථාවකදීම වචනයකින් හෝ අන් අයෙකුට උදව් කිරීමට කැමැත්තක් දක්වමි. පවතින ආර්ථික තත්ත්වය අනුව මට හැකි අයුරින් හෝ අවශ්‍ය අයෙකුට මුදල්වලින් උපකාර කිරීමටද මා පැකිලෙන්නේ නැත .කුමක් හෝ ආකාරයකින් තවත් අයෙකුට උපකාරයක් කිරීමෙන් මා අසීමිත සතුටක් සහ තෘප්තියක් ලබමි.අප යම් යහපත් දෙයක් කිරීමෙන් ලබන සතුට ” පින ” ලෙස මා දකිමි .

මා පෙර කීවා සේම මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් පවත්වන සම්බන්ධතා වලට බොහෝ දුර යා හැකිය.ඔබ යම් සීමාවක් සහිතව සෑම කෙනෙකුවම ඇසුරු කරනවා නම් ඔබට ඒ සෑම කෙනෙකු අතරම දේදුන්නක් සේ බැබළි ය හැකිය.මා බොහෝ වේලාවට මාගේ මිතුරු මිතුරියන් මිතුරියන්ට දුරකථන ඇමැතුම් දෙමින් බොහෝ වේලාවක් වේලාවක් කතා බහ කරමින් සිටින්නේ නැත.එසේ කතාබහ කරන්නේ ද ඉතාම සීමිත පිරිසක් සමග පමණි.කාගෙවත් සිත නොරිදෙන පරිදි , මධ්‍යස්ථව , එකිනෙකාව විවේචනය නොකරමින් සිටින විට මිතුරන් බොහෝ පිරිසක් අතරේ වුව ද සහයෝගයෙන් සිටිය හැකිය.එවිට ඔබට හැමදෙනාගේම ආදරේ හිමිකර ගත හැකිය.

ඉතා ලස්සනට අඳින පළඳින මිතුරු මිතුරියන් දකින මා හට කිසිම දිනක ඔවුන් පිළිබඳව ඉරිසියාව මුසු හැඟීමක් දැනී නැත.කුඩා කල සිටම බොහෝ දේවල් පිළිබඳව අවබෝධයෙන් යුතුව , ධර්මාවබෝධය ද සහිතව ජීවත් වූ නිසා කිසිදු කෙනෙකු පිළිබඳව ඉරිසියාවක් මා හට දැනෙන්නේ නැත.ඉතා සුන්දර විලාසිතා අනුගමනය කරන මාගේ මිතුරු මිතුරියන් දකින විට ඔවුන්ව අගය කිරීම තුළින් මා සතුටක් ලබමි.නමුත් එසේ නොකරන බොහෝ දෙනා මට මුණගැසී ඇත.මා නිරත වූ රැකියාව අනුව සෑම දෙනා සමඟ සිනාසීමේ පුරුද්දක් මා සතුව තිබෙන අතර ඇතැම් අවස්ථාවලදී මා දෙස බලා සිටින අය සමඟ මා සිනාසීමට උත්සාහ කරන විට ඔවුන් සිනා නොවී මා අපහසුතාවයට පත්වූ අවස්ථාද ඇත.අප සෑම විටම අය සමඟ සුහදව සහ මිත්‍රශීලීව කටයුතු කළ යුතුය.කෙදිනක හෝ අප ජීවිතයේ අසීරු අවස්ථාවකට පත් වූ විට අපට සහයෝගය සහ ආදරය ලැබෙන්නේ එවිට යැයි මා සිතමි .

අපගේ ජීවිතයේ විවිධ සම්බන්ධතා ගොඩනැගෙන්නේ කුමක් හෝ අරමුණක් සහිතව ය.සමහර සම්බන්ධතා ජීවිත කාලය පුරාවටම පවතින අතර සමහර සම්බන්ධතා ජීවිතයේ අතරමගදී මග හැරී යයි.ඒ සියල්ලටම කුමක් හෝ හේතුවක් අනිවාර්යයෙන්ම තිබේ.මා සෑම විටම උත්සාහ කරන්නේ මගේ ජීවිතයට සම්බන්ධ වී සිටින සැමදෙනා සමගම ඉතා හොඳින් සහ සහයෝගයෙන් ජීවත් වීමටය. ඒ සඳහා මා ඔවුන්ගේ තත්ත්වය සහ තරාතිරම කුමක් දැයි සලකා බලන්නේ නැත.මා රැකියාවට යන විට රැකියා ස්ථානයේ ආරක්ෂක අංශයේ සේවය කරන අයගේ සිට විවිධ තරාතිරම්වල අය අයගෙ ආදරය හිමි වන විට මා හට දැනෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ සතුටකි.මා දුටු විට ඔවුන් මුව පුරා සිනා සී කතාබහ කරන විට , සැමදෙනා සමගම හොඳින් ගනුදෙනු කිරීමේ වටිනාකම මා හට වඩාත් හොඳින් දැනේ.

මා නිරතවන රැකියාව අනුව මා විශාල දරුවන් පිරිසකගේ ආදරය ලබමි.පුතුන් තිදෙනෙකුගේ මවක් වන මගෙන් ඇතැම් අවස්ථාවලදී , මා හට දියණියක් සිටියානම් මොනතරම් හොඳ දැයි සමහර අය ඇසූ අවස්ථා ඇත.මා හට ද එසේ සිතුණු අවස්ථා ඇත.නමුත් මේ වන විට මා හට සතුටු වීමට ඇති විශාල ම කාරණාව නම්,මගේ රැකියාව අනුව අපේ රට තුළ සිටින විශාල දූවරුන් පිරිසකගේ මව ලෙස ආදරය ලැබීමට මා හට ලැබී ඇති අවස්ථාවයි .එවැනි ආදරයක් ලැබීමට තරම් මා මොන තරම් වාසනාවන්ත දැයි වරෙක මට සිතෙයි.

ඉතා කලාතුරකින් කෝප ගන්නා මා මාගේ සිත තුළ තබාගෙන කිසිවෙකුටත් වෛර කරන්නට පෙළඹෙන්නේ නැත.කෝපය පාලනය කර ගැනීමට හුරු වී සිටින මා කිසිවෙකුටත් බැන වදින්නේද නැත.විවිධ සිදුවීම් සිත තුළ තබාගෙන , අන් අයට වෛර කරමින් මා පලි ගන්නට වෙර දරන අයෙකු නොවෙමි.එම නිසා කෙලින් කතා කිරීමට මා පුරුදු වී සිටිමි.

කෙනෙක්ව දුටු පමණින් ඔහු හෝ ඇය කුමන ආකාරයේ පුද්ගලයෙකු දැයි වටහා ගැනීමේ හැකියාවක් මා සතුව තිබේ.සමහර පුද්ගලයන් අප වෙත පැමිණෙන්නේ කුමක් හෝ අරමුණක් ඇතිව යැයි මා හට පෙන්නුම් කෙරුනු අවස්ථා ද තිබුනි.තවත් සමහර අවස්ථාවලදී එවැනි පුද්ගලයන් පිළිබඳව මා හෂාන් හට පවසා තිබෙනවා මෙන්ම පසුකාලීනව හෝ ඒවා සැබෑ වූ අවස්ථාද ඇත.මා හට ඒ ආකාරයට බොහෝ මිනිසුන් පිළිබඳව ඉතා ඉක්මනින් වටහා ගන්නට හැකි වී ඇත්තේ තරුණ වයසේ සිටම හිත තරාතිරම්වල බොහෝ පුද්ගලයන් මා ඇසුරු කර ඇති නිසා වෙන්නට පුලුවන.කෙසේ වුවත් මගේ ජීවිතය තුළ නරක පුද්ගලයන්ට වඩා ඉතා හොඳ, ධර්මාවබෝධයෙන් යුතුව ජීවත් වන පුද්ගලයන් ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබී තිබේ.ඇත්ත වශයෙන්ම අප හොඳ මාර්ගයක ගමන් කරනවා නම් අපට මුණගැසෙන්නේ ද හොඳ පුද්ගලයන් බව මා විශ්වාස කරමි.

වරෙක ක්‍රිකට් වැඩසටහනක් සඳහා මා හෂාන් සමග සහභාගි වූ විට මෙරට ව්‍යාපාරික පවුලක පුත්‍රයෙකු වන අසිත ගම්ලත් නැමැති හෂාන්ගේ හිතවතෙකු මා හට මුණ ගැසුණි.එදින මා හට මුණ ගැසුණු ඔහුව, පසුව මා ඇසුරු කළේ මාගේ ම සහෝදරයකු මෙන්ය.අප නිතරම මුණ ගැහෙන්නේ නැති නමුත් අප අතර ඉතා හොඳ සුහදත්වයක් පවතී. ක්‍රිකට් වලට වැඩසටහන් වලට මා සම්බන්ධ වන විට පොළොන්නරුව ප්‍රදේශයට ගිය හොත් මා අනිවාර්යයෙන්ම නවාතැන් ගන්නේ ඔවුන්ට අයත් හෝටලයක ය.බොහෝ අවස්ථාවන්වල දී මා එවැනි ගමන් වලට තනියම සහභාගී වන නිසා දන්නා හඳුනන තැනක නතර වීම බොහෝ ආරක්ෂාකාරී හැගීමක් මට ගෙන දෙයි. අසිත මල්ලීගේ දෙමව්පියන් සහ හෝටල් වල සේවය කරන සේවකයන් පවා මා සමඟ බොහොම හිතවත් ය.

දිනක් මා එවැනි ගමනක් යන විට මාගේ ලොකු පුතාව ද කැටුව ගියෙමි.ඒ අවස්ථාවේදී මාගේ ලොකු පුතා අසිත මල්ලි සමග ඉතාම හිතවත් වූ අතර අප පොලොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ පිහිටි පුරාණ විහාරස්ථානයක චෛත්‍ය ඉදිකිරීම සඳහා දායකත්වය ලබාදීමට කටයුතු කළෙමු . ඒ සඳහා ප්‍රධාන දායකත්වය ලබා දුන්නේ ලක්ෂ්මන් අබේගුණරත්න මහතාය.කෙසේ හෝ අප ඒ පිළිබඳව කතා කරමින් සිටින අවස්ථාවේදී එම විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ මුණ ගැසීමට අපගේ වැඩිමහල් පුතු ද කැටුව යන බව අසිත මල්ලි පැවසුවේය.

කෙසේ හෝ අසිත මල්ලීගේ මාර්ගයෙන් ප්‍රණීත් නැමති තවත් මිතුරෙකුව මගේ පුතුට මුණ ගැසී තිබුණි .ඔහුද ඉතා ධර්මාවබෝධයෙන් කටයුතු කරන තරුණයෙකි.ජීවිතයට අහඹු ආකාරයෙන් යහපත් පුද්ගලයන් මුණ ගැසෙන්නේ ඒ ආකාරයටය. ඔවුන් දෙදෙනාගේ මාර්ගයෙන් මගේ පුතුට අසිත මල්ලි පෙරදී කී ස්වාමීන් වහන්සේව මුණ ගැසී තිබුණි .එහිදී අපිට මල්ලි විසින් අපගේ පුතුව හෂාන් තිලකරත්නගේ වැඩිමහල් පුතු ලෙස හඳුන්වා දී තිබුණි .ඒ අවස්ථාවේදී ” අප්සාරි ට කොහොමදැයි ” ස්වාමීන් වහන්සේ විමසා තිබුණි .පුදුමයට පත්වූ මගේ පුතු මා හඳුනන්නේ කෙසේදැයි ස්වාමීන් වහන්සේගෙන් පෙරළා විමසා තිබුණි .එවිට උන්වහන්සේ පවසා තිබුණේ මා ගුවන් සේවිකාවක වීමට පෙර සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තාවකාලිකව සේවය කළ කාලයේ දී උන්වහන්සේද , උන්වහන්සේගේ ගිහි ජීවිතයේ දී එහි සේවය කළ බවයි.ඉන්පසුව පිටරටක රැකියාව කර උපාධි ලබාගත් උන්වහන්සේ දෙමව්පියන් හමුවීම පිණිස ලංකාවට පැමිණි ගමනේදි නිවසේ තිබූ පොතක පිට කවරයේ තිබූ ” කියන්නම් සෙනෙහසින් ,යන්නෙපා හිස් අතින් ” යන වදන් පෙළ දැක එම පොත කියවා ජීවිතයේ ඇති යථාර්ථය වටහා ගෙන පැවිදි දිවියට එළඹි ඇත.ජීවිතය වෙනමම මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමට වහන්සේට හේතු සකස් වූ ආකාරය පුදුම සහගත බව මා හට සිතේ.පසුකාලීනව උන්වහන්සේගේ දෙමව්පියන්ද පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.වර්තමානයේ දී උන්වහන්සේ ආරණ්‍යවාසී ව ඉතා දැහැමි ජීවිතයක් ගත කරයි.

මගේ වැඩිමහල් පුතුන් දෙදෙනා ඉතා හොඳ ධර්මාවබෝධයකින් යුතුව ජීවත් වන දරුවන් දෙදෙනෙකි.එයට හේතුව වන්නේ කුඩා කල සිටම අප ඔවුන් දෙදෙනාව හුරු කළේ ආගමානුකූලව ජීවත් වීමටය .බොහෝදෙනාට ජීවිතයේ අවසාන කාලයේදී ධර්මාවබෝධය ලැබූවත් අපගේ පුතුන් දෙදෙනා ඉතාම තරුණ වයසේදී ධර්මාවබෝධය ලබා ගත්හ.මා ඉහත කී ස්වාමීන් වහන්සේ සමග මාගේ පුතුන් සුළු වේලාවක් කතා කිරීම මගින් ,ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබී ඇත.උන් වහන්සේගේ ඇසුර සහ කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර දිගින් දිගටම පැවැත් වීම හේතුකොටගෙන මගේ වැඩිමහල් පුතුන් දෙදෙනා මේ වන විට ජීවිතය පිළිබඳව විශාල අවබෝධයක් ලබා ගෙන තිබේ.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles