අනුන්ගේ දේවල්

උදාරි මල් පැළ වලට වතුර දාන්න පටන් ගත්තේ බොහොම සතුටින්.තමන්ගේම කියලා නිවසක අර්ජුන එක්ක ජීවත් වෙන එක ඇය දැක්ක හීනයක් නිසා අලුත් නිවසට ඇය ගොඩක් ආදරේ කලා.

” නංගී “

ගේට්ටුවෙන් එබුණේ කුසුමා.උදාරි ට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් දුවෙක් ඉන්න කුසුමා තමන්ට නංගි කියලා අමතන එක උදාරිට හිනාවක් ගෙනාවා.

” අපේ ගෙදරින් ආවත් හරි ඔයා කෝල් එකක් වත් දුන්නේ නෑනේ ඉතින් “

කුසුමා ගෙවත්තට ඇතුළු වුණේම නෝක්කාඩු කියාගෙන.උදාරි , අර්ජුන එක්ක කලින් ජීවත් වුණේ කුසුමාට අයත් නිවසක.උදාරිලා අලුත් නිවස මිළදී ගත්තෙත් ඒ කිට්ටුවෙන්මයි.

” අස්පස් කරන වැඩ තිබුන නේ අක්කේ දිගටම, මම හෙමිට කෝල් එකක් call එකක් දෙන්න හිටියේ “

උදාරි කිව්වේ බේරෙන්නම බැරි තැන

” මෙහෙ හොඳයි ද ? “

කුසුමා ඇහුවේ වටපිට බලන ගමන්

” අනේ ඔව් අක්කේ.මාර නිදහස්. හොඳට ඉඩත් තියනවා “

උදාරි එහෙම කිව්වේ ඇත්තටම අලුත් නිවසේ පරිසරය ඒ වගේ හින්දා.

” ආ. ඒ කියන්නේ අපේ ගෙදර ඉඩ තිබුණෙ නැද්ද ?”

” අනේ මම එහෙම හිතලා කිව්වේ නැහැ අක්කේ . මම කිව්වේ මේක දැන් ඉතින් අපේම තැනක් නිසා මාර නිදහසක් දැනෙන්නේ “

” මම මේ තේ එකක් බොන්නත් එක්ක ආවෙ අනේ “

කුසුමා එහෙම කිව්වේ ඇදලා පැදලා.ඒක උදාරිට අමුතු දෙයක් නොවෙන නිසා ඇය කුසුමාව මුළුතැන්ගෙට එක්කගෙන ගිහින් තේ හදන්න ලෑස්ති උනා

” ඒ මනුස්සයා ඒ පාර මෙහාටත් එන්න ගත්තද උදාරි ? අපිට නම් බේරිල්ලක් නැති වෙයි වගේ “

කුසුමා ආපු ආරංචිය උදාරි කිව්වට පස්සේ අර්ජුනගේ හිතට දැනුණේ නොරිස්සුමක්

” වෙන කොහේවත් යන ගමන් ආව පාටක් පෙනුනෙත් නැහැ අර්ජුන් “

” අලුත් ගෙදරකටත් හිස් අතින් ඇවිත් කාලා බීලා යන මිනිස්සු. අනේ මන්දා “

කුසුමා දවසකට ගමේ දන්නා අඳුනන ගෙවල් කීපයකටම ගොඩ වෙලා ආගිය තොරතුරු කතා කරලා ,කෑම කාලා තේ බීලා කාලය ගත කරන බව උදාරී දන්නවා.සැමියා මිය ගිහින් ටික කාලයකට පස්සේ ඇගේ විනෝදාංශය වුණේ ඒක

” අපේ එක්කෙනා නැතිවුණා කියලා අපේ කෙල්ලට නම් දැන් ගානක්වත් නැහැ උදාරි “

කුසුමා දවසක් එහෙම කිව්වත් තාත්තා ගේ ආදරය ගැන උත්පලා ෆේස්බුක් එකේ කවි ශෙයා කරන හැටි උදාරි දැකලා තිබුණා

” උත්තරා ඔයාටත් වඩා අවුරුදු දෙකක් වැඩිමල් වුණාට එයාට නම් බඳින්න හදිසියක් නැහැ . එයාට ඕනෙ තව ඉගෙන ගන්නයි.අනික ඉගෙන ගන්න කාලේ කොල්ලො හොයාගන්න මම ළමයි හැදුවේ නැහැ “

කුසුමා ගේ මුහුණේ තිබුන ආඩම්බර පෙනුම උදාරි දැක්කා.ඒත් උත්තරා ගිය සතියේත් පෙම්වතා හමුවෙන්න ගිය හැටි ෆේස්බුක් එකෙන් දැක්කා කියලා උදාරි කුසුමා එක්ක කියන්න ගියේ නෑ.

” දැන් කාලේ ළමයි කිසි කමකට නැහැ නේ. ගිය මාසයේ යාලු වුනොත් මේ මාසේ බැඳගන්නවා “

කුසුමාගේ අගක් මුලක් නැති කතා උදාරිට ගෙනාවේ නීරස හැඟීමක්.

” ඉතින් දැන් ඉන්න ගේකුත් තියන එකේ ළමයෙක් ගැන හිතුවොත් මොකද උදාරි? “

කුසුමා එකපාරටම උදාරිගෙන් එහෙම ඇහුවේ එක එල්ලේම උදාරී දිහා බලාගෙන

” අපි ඒ ගැන හිමීට හිතනවා අක්කේ.එහෙම හදිසියක් නැහැ ඉතින් “

” ඔව් ඉතින් ඔය දෙන්නටත් තව සෑහෙන්න වයස තියෙනවානේ.තාම විසි තුනයිද කොහෙද නේද ඔයාට ? “

” විසි හතරයි “

” මෙච්චර ඉක්මනින් බැන්ද එක අපරාදේ.එක්කෝ රස්සාවක් කරන්න තිබ්බා නැත්තම් තව ඉගෙන ගන්න තිබ්බා “

අනුන්ගේ තීරණ ගැන විනිශ්චය කරන මැදි වයස පහු කරමින් ඉන්න ගැහැණිය ගැන උදාරිට දැනුනේ පිළිකුලක්.

” ඒ මනුස්සයා අඩුම තරමින් අපේ නෑදෑයෙක් වත් නොවෙන එකේ එයාගේ වචන වලට හිත රිද්ද ගන්න නරකයි උදාරී “

” උත්තරාගේ හොයන්න දහසක් දේවල් තියෙද්දි මේ මනුස්සයා අපේ අඩුපාඩු ම හොයන එකනේ අර්ජුන් වැඩේ “

” ඕකට තමයි කියන්නේ උදාරි අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද හොයන මිනිස්සුන්ට තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නෙ නැහැ කියලා “

” එයා හිතාගෙන ඉන්නේ උත්තරාට කොල්ලෙක් වත් නැහැ කියලා. ඒ උනාට හැම weekend එකකම වගේ උත්තරා අර කොල්ලෙක් එක්ක එහෙ මෙහෙ ගිහින් ෆොටෝස් දාන්නෙ “

” මමත් දැක්කා.උත්තරා කොල්ලෝ කීදෙනෙක් එක්ක ඔහොම ෆොටෝස් දැම්මද ? තාත්තා නැති වුණාට පස්සේ ඒ ළමයා තවත් අයාලේ යන්න පටන් ගත්තද මන්දා “

” කුසුමා ආන්ටි ඉතින් එයාගේ දුවගේ දේවල් ඇරෙන්න අනිත් සේරම දේවල් දන්නවනේ අර්ජුන් “

නිතර නිතර කුසුමාගේ පැමිණීමත් , අර්ථයක් නැති කතා වලට නාස්ති වෙන කාලය ගැනත් උදාරි හිටියෙ නොපහන් හැඟීමෙන්.

” Gift from my love ” කියලා උත්තරා ෆේස්බුක් එකේ දාලා තියන රත්තරන් මුද්දක ඡායාරූපයක් උදාරි දැක්කේ ඒ අතරේ

” අපේ කෙල්ල පවු උදාරි. සෑහෙන කාලයක් සල්ලි එකතු කරලා ඊයේ පෙරේදා මුද්දක් අරගෙන තිබුනා.මට ඉතින් අලුතෙන් මොකුත් එයාට හදවලා දෙන්න බැරි වුනානේ “

කුසුමාගේ වචන වල දුකක් තිබුනත් මුහුණේ තැවරිලා තිබුනේ උජාරු පෙනුමක්.

” උදාරි දන්නවා නේද අර සුදර්ශනීව? එහා පාරේ කඩයක් කරන්නෙ ?”

” ඔව් අර දුවලා දෙන්නෙක් ඉන්නෙ ?”

” හහ්.ඔව් ඔව්ව්. ආන් ඒ ලොකු දුව කොල්ලෙක් එක්ක බස් එකේ අන්තිම සීට් එකේ කුටු කුටු ගගා යනවා මම දැක්කා ඊයේ “

කුසුමා සමච්චලයට හිනා වුනා.තරුණ කාලේ ආදරය කරන යුවළක් ජීවිතේ ඔවුන් ආස විදියට විඳින එක මේ තරම් හිනා වෙන්න කාරණාවක්ද කියලා උදාරිට හිතුනා.

” සුදර්ශනී අක්කා ඒ ගැන දන්නවා මම හිතන්නේ.මම කඩේට ගිය වෙලාවක දැක්කා ඒ පිරිමි ළමයා ගෙදරට ඇවිල්ලා ඉන්නවා “

” මොකක් ? බඳින්න කලින් එහෙම ගෙවල් වලටත් එන සිරිතක් තියනවද ? අපෝ. මොන ලැජ්ජ නැති වැඩක්ද ? “

කුසුමා කම්මුලේ අත ගහගෙන කතා කලේ සුදර්ශනී ඇතුලු පවුලේ අය මහා ලොකු වරදක් කෙරුව ගානට.

ඊට පස්සේ දවස් කීපයකින් කුසුමා ආවේ නෑ. මූණ පෙන්නලා එන්න හරි ඒ පැත්තේ ගිහින් එන්න කියලා උදාරි හිතාගෙන හිටියත් ගෙදර වැඩ එක්ක ඒක මග ඇරුනා.

” උදාරි. දන්නවද වැඩක් “

දවසක් හවස අර්ජුන් ගෙදර ආවේ කලබලයකින් වගේ

” ඇයි අර්ජුන් ? “

” අර කුසුමා ආවේ නෑ නේද මේ පැත්තේ දවස් කීපෙකින් ? “

” නෑනේ.ඇයි එයාට මොකුත් කරදරයක් ද අර්ජුන් ? “

උදාරිගේ හිත තරමක් ගැස්සුනේ සිද්ධ වෙලා තියන දේ ගැන තිබ්බ කුතුහලයත් එක්ක

” උත්තරා එයා යාලු වෙලා හිටපු කොල්ලත් එක්ක ගිහින්ලු “

” දෙයියනේ “

” කුසුමා ඒක ගැන දැනගෙන ඒ ළමයට හොඳටම ගහලා.ඔය වයසේ ළමයෙක්ව ගහලා හදන්න පුළුවන් ද අනේ ? එයා මුලු ගමේම මිනිස්සුන්ගේ පවුල් වල විස්තර හොය හොය ගියාට තමන්ගේ දුව ගැන හොයලා නෑ වගේ .අන්න දැන් ගේ අස්සටම වෙලා අඬ අඬා ඉන්නවලු.අපි හෙමින් සැරේ එහෙ ගිහින් බලමු.ඔය මනුස්සයා ලෙඩ උනොත් එහෙම “

අර්ජුන් බැරෑරුම් හඬින් එහෙම කියද්දි උදාරිට සුසුමක් හෙලුනේ ඉබේටම

” අනුන්ගේ දේවල්ම හොයන මිනිස්සුන්ට තමන්ගේ දේවල් මොන තරම් මග ඇරෙනවද ? “

උදාරිට අන්තිමට හිතුනේ එහෙම

More Stories

Don't Miss


Latest Articles