පීතු පාදං නමාමී…..

“ළමයි හෙට ඉස්කෝලෙ එනකොට තාත්තා ගැන රචනයක් හරි කවියක් හරි ලියාගෙන එන්න ඕන.ඔයාල දන්නවනෙ හෙට පියවරුන්ගේ දිනය කියල.නේද? ලස්සනම නිර්මාණයට තෑග්ගක් දෙන්නත් සූදානම් කරලයි තියෙන්නෙ.

ළමයි හැමෝම සතුටින් ගෙවල් වලට යන්න ඉගිලෙනවා.ඒත් එකම එක පුංචි දැරිවියක් කල්පනාවක ගැලිලා ගල් ගැහිලා ඉන්නව ගුරුතුමිය වන සංජනා දකිනවා.හරිම හුරු බුහුටි මේ දැරිවියට සංජනා හරිම ආදරේයි.ඒ ඇය ඉගෙන ගන්න දක්ෂ දරුවෙක් නිසා විතරක් නෙවෙයි.අනික් අය කෙරෙහි ඇය දක්වන ආදරය,කරුණාව ඒ වයසේ වෙනත් දරුවන් ගාව ඇය සුලබව නොදුටු නිසා.අට හැවිරිදි පුංචි දැරිවියගේ නම තාරුකා.දිලිසෙන තාරුකා දෙකක් වැනි දෑසක් එක්ක ඒ නම කොච්චර එයාල ගැලපෙනවාද කියලා තාරුකා නම ඇසෙන,කියන හැම වතාවකදිම සංජනා කල්පනා කළා.

“ තාරුකා,ඇයි පුතේ අද ගෙදර යන්නෙ නැද්ද?”

තාරුකා අසරණ බව රැඳි,කිසියම් රහසක් සඟවාගත් දෑසින් යුතුව සිටිනවා.එහෙත් තත්පර කිහිපයකින් ආයාසායෙන් නගා ගන්නා සිනහවකින් යුතුව කතා කරනවා.

“මම යන්නම් ටීච” එහෙම කියන තාරුකා බෑගය රැගෙන පංති කාමරයෙන් පිට වෙන්නේ කිසියම් බර දෙයක් හදවතින් අමාරුවෙන් උහුලගෙන බව සංජනාට තේරෙනවා.ඒ බර බිමින් තියන්න උදව් කරන්නෙ කොහොමද කියල දන්නෙ නැතිව තැවෙන බැල්මකින් තාරුකා දිහා බලන් සමුගැනීමේ වචනයක් කියන්නටත් අමතකව සංජනා බලා සිටිද්දී තාරුකා ආපසු හැරෙනවා.ඇස් දෙකෙන් කඳුලු පේලි රූටා පහලට ඇදෙද්දී තාරුකා ඉකි ගසමින් කතා කරනවා.

“ටීච,මට තාත්තා කෙනෙක් නෑනෙ.මම කා ගැන ද ලියන්නෙ.මම හෙට ඉස්කෝලෙ නෑවිත් ඉන්නද?මම ටීච දෙන වැඩ ඔක්කොම කරනවා.ඒත් මේක කරන්න විදියක් නැති නිසා මට දුකයි.”

සංජනාගේ හදවත වේදනාවෙන් හැකිලෙනවා.තාරුකී බොහෝ දිනවල අම්මා සහ මල්ලී සමග එන වාහනයේ කඩවසම් පිරිමියා ඇය දැක තිබෙන අතර තාරුකා ඔහුගේ අතේ එල්ලී පංති කාමරයට සතුටින් එනු බොහෝ දිනවල ඇය දකිනවා.ඔහුට තාරුකා තාත්තා කියා අමතනු ඇය අසා තිබෙනවා.සංජනාගේ ප්‍රශ්නය ඉක්මනින් තේරුම් ගන්නට තාරුකා සමත් වනවා.

“ටීච,එයා මගේ මල්ලිගෙ තාත්තා.මගේ තාත්තා නෙවේ.මගේ තාත්තා ගැන විස්තර මුකුත්ම මම දන්නෙ නැහැ.මේ  තාත්තා මට හම්බුනේ ගිය අවුරුද්දේ.එයාට  තාත්තා කිව්වට මම දන්නවා එයා මගේ තාත්තා නෙවේ කියලා.මේ තාත්තා අපිව එයාගෙ ගෙදරට එක්කන් එන්න කලින් අම්මයි මමයි හිටියෙ ආච්චිලගෙ ගෙදර.ඒත් මම කවදාවත් තාත්තා කෙනෙක් ව දැකලා නැහැ.ආච්චිත් කිව්ව මම තම්බලිනා වගේ මලකින් ඉපදුනේ කියලා.ඒත් ඒක බොරු බව මම දන්නවා.කතා වල එහෙම වුනාට ඇත්ත ලෝකෙ එහෙම වෙන්න බැහැ කියලා මම දන්නවා.”

Portrait of father and daughter playing at home together

සංජනා උගුරේ හිරවුණ ඉකි බිඳුම ආයාසයෙන් නවතා ගත්තා.

“ඉතින් පුතේ මේ ඉන්න තාත්තා ඔයාට ආදරෙයි නේද?මල්ලිට වගේම’’

“ඔව් ටීච,මල්ලිට වගේම ආදරෙයි.අම්මා බැන්නත් තාත්තා මට බනින්නේ නැහැ.”

“ඉතින් ඔයාට තාත්තා කෙනෙක් නැහැ කියන්නෙ කවුද”

“අපිව දන්න ගොඩක් අය කියනවා ඇහිලා තියෙනවා ටීච”

තාරුකා ගේ ඉකිය දැන් නැහැ.සංජනා වෙට් ටිශූ කොලයකින් තාරුකාගේ මුහුණ සෙමින් පිස දැම්මා.

“ඉතින් පුතේ ඒත් ඔයාගෙ තාත්තා තමා.අනික් අය කියන දේවල් වැඩක් නැහැ.ඔයාට එයා ආදරේ නම් ජීවිතේ කවදා හම්බුණත් එයා තමා ඔයාගෙ තාත්තා.එයා ඔයාවයි,අම්මවයි,මල්ලිවයි ආදරෙන් බලා ගන්නවා නේද?”

“ඔව් ටීච,එයා හරිම හොඳයි.හැමදාම හවසට වැඩ ඇරිලා ගෙදර ආවම මට ලස්සන කතාවකුත් කියලා දෙනවා.මල්ලිගෙ වැඩ එක්ක අම්මට ඉස්සර වගේ කතා කියල දෙන්න බැරි නිසා තාත්තා තමා මට දැන් කතා කියලා දෙන්නෙත්”

“එහෙනම් පුතේ හෙට තාත්තා ගැන ලස්සන රචනාවක් ලියාගෙන එන්න ඕනා,දැන් හරි නේද?මීට පස්සෙ කවුරුත් කියන දේවල් ඔලුවට ගන්නෙ නැහැ කියලා මට පොරොන්දු වෙන්න ඕන හැබැයි”

තාරුකා තාරුකා දෑස් දල්වමින් සිනා සෙමින් සංජනාගේ අත මත සිය අත තබා සපත කරනවා.එවිටම තාරුකාගේ තාත්තා පංති කාමරයේ දොරටුව අසල පෙනී සිටිනවා.

“දෝණි,මම බලාගෙන ඉඳලා ආවෙ.වෙනදා ඉස්කෝලේ බෙල් එක ගහල ටික වෙලාවකින් ම දුවගෙන එනවනෙ වාහනේ ගාවට.”

“අද අපි හෙට තියෙන වැඩක් ගැන කතා කළා.මගේ ඒ වැඩේට උදව් කරන්නෙ තාරුකා නිසා මම එයාව පොඩ්ඩක් තියා ගත්තා.අනේ සොරි බය වුණා නම්.”

“අනේ කමක් නැහැ ටීච,මට බය හිතුනා එයාට මාව හොයාගන්න බැරි වුනාද කියලා.අද පොඩ්ඩක් එහාට වෙන්න වාහනේ නවත්ත ගන්න පුලුවන් වුණේ.එහෙනම් අපි ගිහින් එන්නම් ටීච”

ඔහු තාරුකාගේ බෑගය කරෙන් මුදවා සිය අතට ගන්නවා.දකුණතින් මහත් රැකවරණයෙන් යුතුව ඇයගේ අත අල්ලාගෙන එලියට බසිනවා.තාරුකා, ආපසු හැරී තාරුකාඇස් දල්වා සංජනා සමග සිනාසී තාත්තා අතේ එල්ලී නටමින් ගමන් කරනවා.සංජනා ඇසින් වැටුනු කඳුලකට සිය කොපුල් තලය මතින් ඔහේ නිදහසේ ගලා යාමට ඉඩ දෙනවා.

More Stories

Don't Miss



Latest Articles