නොබිදුණු අපේක්ෂා

“ ඔයාට ලැජ්ජ නැද්ද ඒලෙවල් වලට ආට්ස් කරන්න ”

අම්මා එහෙම කෑ ගහද්දි අපේක්ෂාට දැනුනෙ ඔලුව බිත්තියෙ ගහ ගෙන ගහ ගෙන යන්න තිබුණනම් හොඳයි කියලා.

කොහොමද මේ කෑගැහිල්ල දරාගන්නෙ? මොන කරුමයක්ද මේ? ඇයි මං මැරිලවත් යන්නෙ නැත්තෙ කියල හිතෙද්දි අපේක්ෂාගෙ ඇස්වලින් වැටිච්ච කඳුලු කොට්ටෙට වැටිල නැතිවෙල ගියා.

අම්මා මේ කෑගහන්න ගත්තෙ ඉස්සරහ ගෙදර මාලතී ඒලෙවල් වලට සයන්ස් කරනව කියල දැනගත්තම.

“අපෙ එක්කෙනා නම් බයෝ කරන්නෙ, මෙඩිසින් කරන්න හිතාගෙන ඉන්නෙ”

මාලතීගෙ අම්මා උදේම වත්ත අතුගාන ගමන් ගෙවල් දෙක වෙන්කරන වැට ගාවට ඇවිත් කියනව ඇහුනට මොකෝ ඒ කතාබහ ගින්දරක් වගේ ඇවිත් තමන්ගෙ සැනසීම පුච්චල දාවි කියල නම් අපේක්ෂා පොඩ්ඩක්වත් හිතුවෙ නෑ.

ඕලෙවල් ඉවර වෙලා යමින් උන්නු කම්පියුටර් පංතිය අද නිවාඩු නිසා අපේක්ෂා ඇහැරුනෙත් ටිකක් පරක්කු වෙලා. මූන කට හෝදගෙන අම්මා හදපු කිරිබත් කන්න පල්ලෙහට ආව අපේක්ෂට ඕනන්ං කිරිබත් කටවල් දෙකක් වගේ කන්න පුලුවන් වෙන්න ඇති.

මිදුල අතුගාන එකත් බාගෙට වගේ කරල දාල අම්ම ගෙට ආවෙ මූනත් නරක් කරගෙන.

“මාලතී බයෝ ලු කරන්නේ”

“අහ්”

අම්ම එහෙම කිව්වට අපේක්ෂට නම් ඒකෙ මහ ලොකු දෙයක් තිබුනෙ නෑ හිතන්න. මාලතී ඉතින් බයෝ වලට ආස ඇති. තමන් ආස ආට්ස් වලට සහ තමන් කොහොමත් දක්ෂ ඒ පැත්තට හන්ද තමන් ආට්ස් කරන එකේ වරදක් අපේක්ෂා දැක්කෙ නෑ.

“ඔයාලට තමයි ඉතින් එහෙමවත් දෙයක් කරගන්න බැරි”

“ඇයි අම්ම එහෙම කියන්නෙ”

“හැයි තමයි. උන් මේ බයෝ කරද්දි මොන ලැජ්ජාවක්ද ඔයා ආට්ස් කරනව කියන එක”

“මොකටද ලැජ්ජ වෙන්නෙ ආට්ස් කරන එක ගැන? ලැජ්ජ වෙන්න දෙයක් නෑනෙ”

අපේක්ෂට හිතාගන්න බැරිඋනා ආට්ස් කරන එකේ ලැජ්ජාව මොකද්ද කියල.

මුලු ඉස්කෝලෙම දැනගෙන හිටියා අපේක්ෂා කලාවට, ලියන්න කියන්න මොනතරම් දක්ෂද කියල, “සරස්වතී දේවි වගේ අපිට ඉන්න දක්ෂම ළමේක්” කියල කුලරත්න සර් ඉස්කෝලෙ රැස්වීමෙදි එක එක තරගවලින් තෑගි දිනාගත්ත අපේක්ෂව වර්නනා කල වාර අනන්තයි.

ඉතින් එහෙම මං මොකටද මේ බයෝ කරන්නෙ කියල අපේක්ෂා හිතපු එකේ වරදකුත් නෑ.

“ආට්ස් කරන්නෙ මෙලෝ දෙයක් කරගන්න බැරි උන්. ඔයාගෙ ඔක්කොම යාලුවො කරන්නෙ බයෝ මැත්ස්. ඕලෙවල් ඔච්චර හොඳ රිසල්ට්ස් තියාගෙනත් ආට්ස් කරනව කියල හිතුවම මිනිස්සු හිතාවි පිස්සු කියල”

“එහෙම හිතන මිනිස්සුන්ට පිස්සු තමයි” කියල එවෙලෙ නැගිටල ආවට මොකද අපේක්ෂ හිතපු විදියට ලේසියෙන් අම්මගෙ කෑගැහිල්ලෙන් ගැලවෙන්න එයාට පුලුවන් උනේ නෑ.

අපේක්ෂා උසස් පෙල පංතිවලදි හොඳට ලකුණු ගනිද්දි අම්මගෙ සද්ද බද්ද පොඩ්ඩ පොඩ්ඩ අඩු උනාට නැතිම වෙලා නම් ගියේ නැති තරම්.

“ආට්ස් කරල වගතුවක් තියෙද?

“මෙලෝ දෙයක් බැරි ගොන්නු තමයි ආට්ස් කරන්නෙ” කිය කිය කියවන අම්මගෙ වචන බොහොම මහන්සිවෙලා පාඩම් කරපු අපේක්ෂාගෙ ඔලුවට පුදුම වදයක් උනේ.

නෝනගෙ කෑගැහිල්ල දරුවට පාඩම් කරන්නත් බාධාවක් බව තේරුම් ගත්ත අපේක්ෂගෙ තාත්තා අන්තිමේ අම්මට පොඩ්ඩක් කිව්වට පස්සෙ තමයි ඒ කතාව අඩුවෙලා හරි ගියේ.

ඒත් අම්ම හිතේ ඇතිකරල තිබ්බ බය අපේක්ෂගෙ හිතෙන් නම් එහෙම ලේසියෙන් අයින් උනේ නෑ.

“ඇත්තටම මම මෝඩ ළමයෙක්ද? ඒකද මට ආට්ස් කරන්න හිතුවෙ? මට අනාගතයක් නැතිවෙයිද? කැම්පස් යන්න බැරිවෙයිද” කියල හිතෙන් දුක් වෙවී උන්නු අපේක්ෂා හිත තද කරගෙන පාඩම් කරන්න හිතුවෙ ලොජික් ක්ලාස් එකේ ගුණරත්න සර් එක්ක කතා කරයින් පස්සෙ.

“පුතා දැන් ඔය ගත්ත ඩිග්‍රියෙම රස්සාවල් කරන මිනිස්සු ඉන්නෙ මම හිතන්නෙ දොස්තරල ඉංජිනේරුවො, ලෝයර්ස්ල විතරයි.

ආට්ස් නෙවෙයි මොන ස්ට්‍රීම් එකෙන් උනත් ඒලෙවල් කරල, මොන විදියෙ රිසල්ට් එකක් ආවත් හිත හයිය, උනන්දු ලමයට බය නැතුව හැම බාධකයක්ම බිඳගෙන ඉස්සරහට යන්න පුලුවන්.

මේ වෙලාවෙ ඔයාට පේන එකම ලොකුම කඩුල්ල ඒලෙවල් නේ. අපි ඉස්සෙල්ලා එක හොඳට කරගමු. ඉන්පස්සෙ එන ප්‍රශ්න වලට ඊට පස්සෙ උත්තර දෙමු”

ගුණරත්න සර්ගෙ ඒ කතාව එක්ක හොඳට පාඩම් කරපු අපේක්ෂා විභාගෙට ගියේ මාරම ශක්තිමත්ව.

මාස කීපෙකට පස්සෙ රිසල්ට්ස් එද්දි අපේක්ෂාට අඬන්න තරම් සන්තෝස හිතුන.

A 3ක්!

ඒ විතරක් නෙවෙයි කලා අංශෙන් දිස්ත්‍රික්කෙ පලවෙනියා.

අම්මාත් උන්නෙ සතුට තියාගන්න තැනක් නැතිව. අනෙක් අතට කලින් කිව්ව ඔක්කොම කතා ටිකත් අම්මට අමතකයි රිසල්ට්ස් දැක්කට පස්සෙ.

“මාලතී වැඩ තුනම ෆේල් වෙලාලු. කඩේ අක්ක කිව්වෙ. ඒක වෙන්නැති අරුන්දැ අද එලියටවත් ආවෙ නැත්තෙ. මම ලොකු නැන්දට රිසල්ට්ස් කියද්දි වැට අද්දරටම ගිහින් ඇහෙන්නම කිව්ව ඒ 3ක් කියල”

උජාරුවෙන් වගේ කිව්ව අම්මට ඇහෙන්න අපේක්ෂට කියන්න දෙයක් තිබුනා.

“අම්මෙ, රිසල්ට්ස් එන්න කලින් ඔයා කොච්චර දේවල් මට කිව්වද? ආට්ස් කරල වැඩක් නෑ අරක මේක කියල. මම මොනතරම් හිතේ අමාරුවෙන්ද උන්නෙ කියල අම්ම දන්නෙ නැතුව ඇති.

ඒලෙවල් ෆේල් වෙනව කියන්නෙ මහ ලොකු වරදක් නෙවෙයි. රිසල්ට් එක මොනව උනත් ආයෙ පාරක් ඒලෙවල් ලියල තමන්ගෙ ගමන යන්න මාලතීට බැරිවෙන්නෙ නෑ කියල මට විශ්වාසයි.

ප්ලීස් මගෙ හිත බින්ද වගේම ඒ ලමයගෙ හිත බිඳෙන වැඩ කරන්න එපා අම්මේ.

අම්ම දන්නෙ නෑ ඒ වේදනාව කොච්චර ද කියලා”

අපේක්ෂාගෙ වචන ඉස්සරහ ගල්වෙලා ගිය අම්මා දිහා එක පාරක් බලලා අපේක්ෂා උඩ තට්ටුවට ගියේ හිතේ සතුටටත් එක්ක ෆිල්ම් එකක් බලන්න කියල හිතාගෙන.

More Stories

Don't Miss


Latest Articles