5th Avenue – 66

0
40

රිහාන් පියාගේ ඉල්ලීම අනුව පැමිණ සෝෆාවේ අසුන් ගත්තේය.  වෙහෙසට වඩා සිතේ යම් දෙයක් තද කරගෙන සිටින බවක් ඔහුගේ මුහුණෙන් රොහාන්ට පෙනුණත්, ඒ ගැන එකවරම ප්‍රශ්න කරන්නට ඔහුට අවශ්‍ය වූයේ නැත. ශ්‍යාමලීද පුතු දෙස බලා සිටියේ ඔහුගේ වෙනසට හේතුවක් සොයාගැනීමට උත්සාහ කරමිනි. සාමාන්‍යයෙන් නිවසට පැමිණි පසු තමා සමඟ හෝ වචන කිහිපයක් කතා කරනා තම පුතු අද එසේ නොකර තරප්පු පෙළ දෙසට ගමන් කිරීමට සූදානම් වූ ආකාරය ඇයට ගෙන ආවේ අමුතු හැඟීමකි. 

“මොකද පුතා, අද හරි මහන්සි පාටයිනේ?”

ශ්‍යාමලී සෘජුවම රිහාන්ගේ මුහුණ දෙස බලා ඇසුවේ වෙනසක් නොපෙන්වමිනි.

“ටිකක් මහන්සියි අම්මා. අද දවසම වැඩනේ “

රිහාන් පිළිතුරු දුන්නේ සුපුරුදු හඬින් වුවත්, ඒ පිළිතුරෙන් පසුව ඔහු නැවතත් නිහඬ වීම නිසා රොහාන් ඔහු දෙස බැලුවේය.

” තේ එකක් බොමුද පුතා? මාත් තාම තේ බිව්වේ නැහැ “

” දැන් එපා තාත්තා. මට කෙලින්ම ඩිනර් ගත්තම ඇති වගේ “

“එහෙනම් අපි ඩිනර් ගන්න ගමන් කතා කරමු “

රිහාන් පියා දෙස බැලුවේ ඒ වචනවල තිබූ බැරෑරුම් බව නිසාය. කතා කරන්නට අවශ්‍ය වූයේ කුමක් ගැනදැයි අසන්නට සිතුණත්, ඔහු එය වචනවලට කරලන්නට ගියේ නැත.

“හරි තාත්තා. මං වොෂ් එකක් දාගෙන එන්නම්”

එසේ කියමින් රිහාන් සෝෆාවෙන් නැගී සිට හෙමින් තීරුවේ තරප්පු පේළිය නැග්ගේය.ඔහු තරප්පු පෙළ නැඟ යන දෙස බලා සිටි ශ්‍යාමලී නැවතත් සැමියා දෙසට හැරුනේ පෙර නොවූ බරැති හැඟීමක්ද සමගය.

“මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ රොහාන් “

“මටත් හිතෙන්නේ එහෙමයි.”

රොහාන් මඳක් කල්පනා කළේය.තරුණ වයසේ පසුවන දරුවන් සමග ගනුදෙනු කළ යුත්තේ ඉතා ප්‍රවේසම් සහගතවය.මෙයද එවැනි අවස්ථාවක් විය හැකි නිසා කලබල වීමෙන් පලක් නැති බව රොහාන් සිතුවේය.

” මේව හරි පරිස්සමෙන් හොයලා බලන්න ඕන දේවල් ශ්‍යාමලි. අපි කලබල වෙලා මොකුත් කරන්න බෑ දරුවොත් එක්ක “

ශ්‍යාමලී හිස සැලුවාය. රිහාන් කුඩා කාලයේ සිටම තමන්ගේ සිතේ ඇති දේවල් හැමෝම සමඟ බෙදාගන්නා කෙනෙකු නොවූ අතර යම් දෙයක් සිතට බරක් වූ විට පවා ඒ ගැන වැඩි යමක් නොකියා නිහඬවම එය දරාගන්නට ඔහු පුරුදුව උන්නේය. මේ මොහොතේ ද රිහාන්ගේ හැසිරීමෙන් දැනෙන්නේ එවැනිම නොකී කතාවක් බව ශ්‍යාමලීට සිදැනෙන්නේය 

නාන කාමරයට ඇතුළු වූ සීතල වතුර මලට මුහුණ ඇල්ලුවේ සිතටත් ගතටත් දැනෙන වෙහෙස මදක් හෝ අඩුවී යතැයි බලාපොරොත්තුවෙනි. මුහුණට වැටුණු සීතල වතුරත් සමඟ මඳ වේලාවකට සිතේ වූ වෙහෙස අඩු වූවාක් මෙන් දැනුණද ,ස්නානය කර අවසන් වූ පසුව පෙර දැනුණු විඩාබර බවම නැවතත් ඔහුට දැනෙන්නට විය.

රිහාන් කාමරයෙන් පිටතට පැමිණ පහත මාලයට පැමිණෙන විට ශ්‍යාමලී රාත්‍රී ආහාරය සූදානම් කර තිබුණු අතර රොහාන් එදිරිසිංහ ද කෑම මේසයට වාඩිවී බලාා උන්නේය. පවුලේ සාමාන්‍ය කතාබහක් සමඟ රාත්‍රී ආහාරය අවසන් වෙද්දී ශ්‍යාමලි මුළුතැන්ගෙය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා නික්ම ගියාය. අසල වූ වතුර වීදුරුව හිස් කළ රොහාන් තම පුතු දෙස බැලුවේ අනතුරුවය.

” අපි පොඩ්ඩක් ගාඩ්න් එක පැත්තට යමුද පුතා ? “

රිහාන් මොහොතක් පියා දෙස බලා සිට එයට එකඟ වී ඔහු සමග ගෙමිදුල දෙසට පියවර එසවූයේය. ගෙමිදුලේ කෙළවරක ඇති සුවිශාල අඹ ගස පාමුල වූ සිමෙන්ති බංකුවේ වාඩි වූ රොහාන් ඒ අසලින් වාඩිවීමට තම පුතුටද ආරාධනා කළේය.

“මොකක් හරි ප්‍රශ්නයක්ද පුතා?”

රොහාන් සෘජුවම කතාවට අවතීර්ණ වූයේය.

රිහාන් පියා දෙස බැලුවේ ඔහු එම ප්‍රශ්නය  බලාපොරොත්තු වූවාක් මෙන් වුවත් ඔහුට දිය යුතු පිළිතුර කුමක්දැයි ඔහුට එකවරම සිතාගත හැකි වූයේ නැත. 

” මං අද මීටින් එකේදී ඔයා දිහා බලාගෙන හිටියේ “

තමාගේ වෙනසක් තම පියා විසින්ම නිරීක්ෂණය කර තිබෙනවා යන හැඟීම රිහාන් වෙත ගෙන ආවේ අපහසුව මුසු හැඟීමකි. තමන් කොතරම් සාමාන්‍ය ලෙස හැසිරීමට උත්සාහ කළත්, තමන්ව හොඳින් දන්නා කෙනෙකුගෙන් ඒ වෙනස සඟවාගැනීම පහසු නොවන බව ඔහුට වැටහුනේ අනතුරුවය.

“වැඩ ටිකක් වැඩියි තාත්තා. ඒක වෙන්න ඇති.”

“වැඩ වැඩි වෙන එක අලුත් දෙයක් නෙමෙයිනේ පුතා. අනික ඔයා සාමාන්‍යයෙන් ඒව හොඳට මැනේජ් කරගන්න කෙනෙක් නේ “

රොහාන්ගේ හඬේ බල කිරීමක් වූයේ නැති බැවින් රිහාන්ට තවදුරටත් කිසිවක් නොකියා සිටීම අපහසු විය.

“මට මේ දවස්වල සමහර දේවල් හිතාගන්න බැහැ තාත්තා “

“ඒ කිව්වේ?”

” මං හිතුවේ මං කරන දේවල් ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා කියලා. මං ගන්න තීරණ ගැනත් මට විශ්වාසයක් තිබුණා. ඒත් දැන් සමහර වෙලාවට මට හිතෙනවා මං මොනවද ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ කියලවත් මං දන්නෙ නැහැ කියලා.”

රොහාන් නිහඬව ඔහුට සවන් දුන්නේය. රිහාන් මෙතරම් විවෘතව තමන්ගේ සිතේ තිබෙන දෙයක් පිළිබඳව විවෘත වන්නේ කලාතුරකිනි.

“ඉශිනි එක්ක මොකක් හරි ප්‍රශ්නයක්ද පුතා?”

“එහෙම ප්‍රශ්නයක් කියන්න බැහැ තාත්‍තා . එයාගේ පැත්තෙන් මට වැරැද්දක් වෙලා නෑ. එයා එයාගේ වැඩ කරනවා. එයාට job responsibilities තියෙනවා. මට ඒක තේරෙනවා.”

“එහෙනම් ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද?”

රිහාන් පියා දෙස බැලුවේය. තමන් දින කීපයක් තිස්සේම උත්සාහ කරමින් හිඳින්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් සොයාගැනීමටය. 

“මං දන්නේ නැහැ තාත්තා. මං බලාපොරොත්තු වුණේ මීට වඩා වෙනස් දෙයක්ද කියලා මට හිතෙනවා. හැබැයි ඒ මොකක්ද කියලා මටවත් හිතාගන්න බැරි තැනක මම ඉන්නේ ” 

රොහාන් මොහොතක් කල්පනා කළේය.

“පුතා, කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්නකොට අපි හිතන දේවල්ම හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඔයාට ඒ සම්බන්ධය ඇතුළේ මොකක් හරි අඩුවක් දැනෙනවා නම්, ඒක නොසලකා ඉන්නත් එපා. ඒ වගේම ඒ අඩුව මොකක්ද කියලා හරියටම තේරුම්ගන්න කලින් ඒ සම්බන්ධය ගැන තීරණ ගන්නත් එපා.”

රිහාන් හිස පහත් කරගත්තේය. පියා පැවසූ දේවල් තමන්ගේ සිතේ ඇති ගැටලුවට සම්පූර්ණ පිළිතුරක් නොවූවත්, තමන් මෙතෙක් උත්සාහ කළේ ඒ හැඟීම්වලට පිළිතුරු සොයනවාට වඩා ඒවා යටපත් කිරීමට බව ඔහුට වැටහිණි. 

“මං ඉශිනිට අසාධාරණයක් කරන්න කැමති නැහැ තාත්තා “

“එහෙම කරන්න ඕනේත් නැහැ පුතා. ඒත් ඉශිනිට අසාධාරණයක් කරන්න කැමති නැහැ කියලා ඔයා ඔයාට දැනෙන දේවල් නොසලකා හරින්නත් එපා. සම්බන්ධයක් ඇතුළේ දෙන්නෙක්ම ඉන්නවානේ. ඒ නිසා දෙන්නා ගැනම හිතන්න ඕනේ “

රිහාන් පියාගේ වචනවලට පිළිතුරු දුන්නේ නැත. තමන්ට අවශ්‍ය වූයේ ඉශිනිට හොඳ සහකරුවෙකු වීමට පමණක් නොවේ. ඇය සමඟ ස්ථාවර අනාගතයක් ගොඩනඟා ගැනීමත්, සම්බන්ධය තුළ විශ්වාසයෙන් ඉදිරියට යාමත්ය. එහෙත් ඒ විශ්වාසය තමන් තුළ තවමත් සම්පූර්ණයෙන්ම ගොඩනැඟී නොමැති නම්, එයට හේතුව ද තමා විසින්ම සොයා ගත යුතුය. 

“තාත්තා හිතන්නේ මං ඉක්මන් වුණා කියලද?”

රොහාන් පුතු දෙස බැලු අතර ඔහු වෙතින් පෙනෙන්නට තිබුණේ දෙගිඩියාවකි.

“මං එහෙම කියන්නේ නැහැ. ඔයා ගත්ත තීරණය ඔයාගේ තීරණයක්. ඒකට හේතුත් ඔයාට තිබුණා. මං කියන්නේ දැන් ඔයාට දැනෙන දේවල් ගැනත් අවංක වෙන්න කියලා විතරයි “

රොහාන්ගේ වචනවලින් පසුව රිහාන්ට දැනුණේ මෙතෙක් සිතේ තද කරගෙන සිටි යම් බරක් මඳක් සැහැල්ලු වූවාක් වැනි හැඟීමකි. සියල්ල විසඳී නොතිබුනද තමන් මේ මොහොතේම තීරණයක් ගත යුතු නැති බව ඔහුට පැහැදිලි වී තිබිණි.

“ඔයාට ඕනෙම දෙයක් ගැන මාත් එක්ක ඕනෙම වෙලාවක කතා කරන්න පුළුවන්. ඒක අමතක කරන්න එපා පුතා “

රොහාන් තම පුතුගේ උරහිසට අත තැබූ අතර රිහාන් ඔහු දෙස හැරී මඳ සිනහවක් පෑවේය. පියා සමඟ මෙසේ කතා කිරීමෙන් තමන්ගේ සිතේ තිබූ සියල්ල පැහැදිලි කරගැනීමට නොහැකි වුවද බොහෝ දේවල් පිළිබඳව තනිවම සිතමින් සිටිනවාට වඩා එය පහසු හැඟීමක් බව ඔහුට සිතිණි.

රාත්‍රී 11ට පමණ නැවත නිදන කාමරයට පැමිණි රිහාන් දුරකථනය අතට ගෙන ඉශිනිගෙන් පණිවිඩයක් පැමිණ තිබේදැයි බැලුවේ පුරුද්දට මෙනි. 

“Sorry රිහාන්. අද හදිසියේම වැඩක් වැටුණා. ඔයා තරහ වෙලාද?”

රිහාන් පණිවිඩය කියවා මඳ වේලාවක් එදෙස බලා සිටියේය. ඇය තමන් පිළිබඳව සිතා ඇත.අවම වශයෙන් හමුවීමට නොහැකි වූ නිසා තමන් අමනාප වී ඇත්දැයි දැනගැනීමට හෝ ඇයට අවශ්‍ය වී තිබිණි. එය ඔහුට නොසලකා හැරිය හැකි දෙයක් වූයේ නැත.

“නෑ ඉශිනි. It’s okay. ඔයාගේ වැඩ ටික කරගන්න.”

පිළිතුර යවා දුරකථනය පසෙකින් තැබූ රිහාන් යහනේ දිගාවී දෑස් පියා ගත්තේය. ඉශිනි සමඟ තිබෙන සම්බන්ධය අවසන් කරන්නටවත්, ඇයගෙන් ඈත් වන්නටවත් ඔහුට අවශ්‍ය නොවූ අතර ඇය කෙරෙහි සිත තුළ මුල් දිනවලදී ඇතිවූ හැඟීම ඒ වන විටත් එලෙසම ඔහු තුළ තිබිණි.

දෑස් පියාගෙන කල්පනා බරව සිටි රිහාන්ගේ සිතට හදිසියේ ශෙනෝලි පැමිණියේ අහඹු ලෙසය. ඇය පවා තමාගේ වෙනස හඳුනාගෙන තිබුණු අයුරු පුදුම සහගතය.

” උඹ කා එක්ක හිටියත්, කොහොම හිටියත්, ශෙනෝලි කැමති උඹට “

පෙර දිනයක රාත්‍රියේදී අශේන් විසින් පැවසූ එවදන් රිහාන්ට සිහි වූයේ නිරායාසයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here