ප්‍රේමයේ අභිමන් -48

අපරාජිතා හැඬුවේ නැත. සසංක ගේ දෑත් හා පපුව අතරේ කිටි කිටියේ හිර වී ඇය රහසින් සිනහ වූවා ය. ඈ තනියෙන් ම ජීවත් වූ මායාමය ලෝකයක් තිබිණි. ඒ ලෝකයෙහි ඈ හීන මවා ගෙන හිටි ආදරය ඒ වාගේ ය. එවන් වූ ආදරයක් මොහොතකට හෝ විඳ මිය ගියත් කම් නැතැයි රහසිගත සිතිවිල්ලක් ද ඈ තුළ වූයේ ය. මේ මන්දස්මිතය ඒ වෙනුවෙනි. ඒ හීන සිතිවිල්ල හැබෑ වී තියේ. දැන් ඉතින් මිය ගියත් කම් නැත!

ඒ විනාඩි පහ හය තුළ සසංක පණස් හැට වරක් වත් ඇගේ හිස සිප ගන්නට ඇත. සිඹ සිඹ ඈ වත පෙමින් සරසා ඈ හිස ඒ වගේ ළඟින් තියා සදා කල් සුරකින ඕනෑකමක් ඔහු තුළ බුර බුරා නැගිණ. අවුරුදු හතළිහක් ඉක්ම යන තනිකඩ දිවිය පුරා දැනුණ දැවැන්ත පාළුවක අඩුව පුරවා ගන්නට ඈත් එක්ක ඉතිරි ජීවිත කාලය ම වුව මදි විය හැක. නමුත් ඔහු ඇය දෝතින් වැළඳ ගත් ගමන් ම ඈ මහා බියකරු ගමනක් යන්නට හදයි. 

“මට මොනාත් වෙන්නෑ කියල විශ්වාසයක් තියෙනව. ඒක නිසා ඔයා බය වෙන්න එපා”

සෝෆාවේ හිඳ අපරාජිතා ඔහු ගේ හිස කේ අතරින් සිය සිහින් දිගු අතැඟිලි යවා හිස පිරිමැද්දා ය. ඉටි පහන් වල කහ දැල්ල විසින් ඇති කරන්නා වූ දුක්බර මන්දාලෝකය නිසා ද මන්දා අපරාජිතා සසංක ගේ ඇස් වල බොර පැහැයක් දුටුවා ය. 

“මට මේක නොකර ඉන්න බැරි හේතුවක් තියෙනව සසංක. අරවින්ද ගෙ කන්ඩිශන් එක හරිම සීරියස්. කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ටේශන් එකකට නොගියොත් එයාගෙ ජීවිතේ වැඩි කාලයක් අල්ලල හිටින එකක් නෑ. අරවින්දට මොනා හරි වුණොත් කඩං වැටෙන්නෙ අනන්‍යාගෙ ලෝකෙ. එයාට සෑහෙන කාලෙකට ඒ මානසික බලපෑමෙන් ගොඩ එන්න බැරි වෙයි. අපිට කියන්න පුළුවන් ජීවිතේ හැටි එයා ඉගෙන ගන්න ඕන කියල. ඒත් සසංක..මේ වයසෙදිත් මට හිතා ගන්න බෑ මගෙ තාත්තගෙ අම්මගෙ මරණයක් ගැන. මං හැම මොහොතකම හිතන්නෙ එයාල තව වයසට යන්න එපා කියල. වයසට ගියොත් එයාල මට නැති වෙලා යයි කියන බය වතුර යට ඔබං ඉන්න රබර් බෝලයක් වගේ හිත යට තියනව. මේ වයසට ඇවිත් මටත් එහෙම දෙයක් දරා ගන්න බෑ වගේනං…අනන්‍යා කොහොමද අවුරුදු දහ අටක කෙල්ලෙක් විදිහට එයාගෙ තාත්ත සදහටම නැති වෙනව කියන දේට මූණ දෙන්නෙ….මගෙ කිඩ්නි එකකින් හරි අරවින්දට ජීවිතේ ගැට ගහ ගන්න පුළුවන්නං…අනිත් එක එයාටත් මහ ලොකු වයසක් නෑනෙ…පණහක් වෙන්නත් තව අවුරුදු කීපයක් තියෙනව. අනික අර ඉපදුණේවත් නැති දරුවටත් තාත්ත කෙනෙක් ඕනෙ. මං මේ බුදු වෙන්න බලාගෙන දාන පාරමිතාවක් පුරන්න හිතුවා නෙවෙයි. දරුවන්ට අම්ම තාත්ත දෙන්නම ඕන කියන දේ හොඳටම දන්න නිසා කරන දෙයක්. රොෂෙල්ට වගේම මටත් අරවින්ද ජීවත් වෙනව දකින්න ඕන. අනන්‍යා වෙනුවෙන්…”

සසංක වැඩිහිටි පිරිමියෙකු සේ ඒ සියල්ල අවබෝධ කර ගන්නත් උපේක්ෂාවෙන් ඒ දෙස බලන්නත් උත්සාහ කළේ ය. මේ ඔහු ගේ දිවියෙහි සුවිශේෂ ම උපන් දිනයකි. ඔහු සිය ජීවන සහකාරිය තෝරා ගැනීමෙන් පසු උදා වෙන ප්‍රථම උපන් දිනය මෙය වේ. මෙතෙක්, අම්මා හා තාත්තා මිය ගිය පසු කිසිවෙකු ඔහු ගේ උපන් දිනය වැදගත් දෙයක් සේ සලකා නැත.  විශේෂ භෝජන සංග්‍රහයක් ලැබෙන දිනයක් නිසාවෙන් පමණක් එය ඔවුන්ට වැදගත් වේ. නමුත් අපරාජිතා ඔහු වෙනුවෙන් අවිහිංසක ලෙස වෙහෙසී තිබෙන හැටි සසංක දුටුවේ ය. ඔහු වෙනුවෙන් එවැන්නක් කළ එක ම එක තැනැත්තිය ඇයයි. 

ප්‍රකට කේක් ආයතනයකින් මිල දී ගෙන ආ කුඩා චොක්ලට් ගැටෝ එක අපරාජිතා සසංක ට කපන්නට දුන්නා ය. ඉන් පසු ඔහු වෙනුවෙන් මිල දී ගත් රත්රන් අත් පළඳනාව ඔහු ගේ සුරතේ පැළඳුවා ය.

“මට මොකක් හරි වුණත්…ඔයා මේක දාගෙනම ඉන්න. ඒ මතකය විතරක් තියා ගන්න. හැමදාම තනියම ඉන්නෙපා. ඔයාට කවුරුහරි ඕන. තනි වුණහම ජීවිතේ හරි අමාරුයි. ස්පෙශලි…වයසට ගියාම තනිකමට මූණ දෙන්න ලේසි නෑ”

“ඔයාට මුකුත් වෙන්නෑ. අපි බෙල්ලන්විල පන්සල් ගිහින් එමු”

“දැන්…”

“ඔව්”

“ඇවිත්ද කෑම කන්නෙ…”

“හා”

රාත්‍රිය හරි ගුප්තයි කියා අපරාජිතා ට සිතිණ. ඒ වෙලාවේ පාරේ ඒ හැටි රථ වාහන තිබුණේත් නැත. සසංක රිය පැදවූයේ ඇගේ අතැඟිලි පටලවා උන් අත අතාරින්නේ නැතිව ම ය.

 වොක්ස්වැගන් රිය ඉක්මනින් ම පන්සල ආසන්න මග අයිනට කොට නැවතිණ. කවුරුන් හෝ ගෙන යන්නට එන තෙක් පර වෙන්නට අවසර නැතිව වතුර පහරට ලක් වෙන මල් ,කඩවල ලෑලි තට්ටු මත පෙරුම් පුරමින් බලා සිටී. පර මල් වලින් විහිදෙනා මලානික ශෝබර සුවඳ හද සන්තානයේ අමුතු සංකාවක් ජනිත කරනා බවක් අපරාජිතා සිතුවා ය. ඔවුන් පන්සලට ගොඩ වූයේ මල් තෙල් හඳුන්කූරු කිසිවක් ම නැති හිස් අතිනි.

බෝ මළුවේ හිඳ ගෙන ඔවුන් එක ම ගාථාවකුදු කීවේ නැත. ඉස්සර දහම් පාසලේ දී ඉගෙන ගත් ගාථා කිසිවක් ම මතක් කර ගත නො හැකි ලෙස අපරාජිතා ගේ හිත අවහිර වී තිබිණ. සසංක නම් කොහොමටත් විශ්වාස කළේ සිය හදවතේ ප්‍රාර්ථනය ගැන ය. නො දන්නා පාලි ගාථා කියනු වෙනුවට මිනිසුන් තමන් දන්නා භාෂාවෙන් ආගමික කටයුතු කරන්නේ නම් ආගම තවත් මිනිස් හදවතට සමීප වනු ඇති බවක් ඔහු විශ්වාස කරයි. 

බෝ පත් දිස් වූයේ අඳුරු ගුලි සේ අපැහැදිළිව ය. ඒ අලුතෙන් පහන් දැල්වෙන වෙලාවක් නොව දැල්වූ පහන් නිවෙමින් යන වෙලාවකි. නිවෙනා පහන් වලින් විහිදෙන කර වූ පොල් තෙල් සුවඳ අපරාජිතා උවමනාවෙන් ආඝ්‍රාණය කළා ය. ඒ හා මුසු වී එන මලසුන් මත පර වෙන මල් සුවඳ, අස්ථීරත්වය ගැන මහා පාඩමක් සන්සුන් ව මුමුණා කියයි. ඒ අස්ථිර බව අවබෝධ කොට ගනු වෙනුවට, මිනිස්සු මෙතැනට විත් ලෞකික සැප සම්පත් තව තවත් ඉල්ලා සිටිති!

කිසිදු ආමිස පූජාවකින් තොර ව සසංක හදවතින් පැතුමක් පැතුවේ ය. ඒ අපරාජිතා ට සැත්කමේ දී කිසිදු අනතුරක් සිදු නොවෙනා ලෙසයි. අපරාජිතා වෙත වූයේ ඔහු ගේ හිත සන්සුන් කර දෙන ලෙස ඉල්ලීමක් පමණකි. රෑ බෝ වන තුරු ම හිඳ බෝ මළුවෙන් නැගී සිට පන්සලෙන් නික්මෙත්දී සසංක මඳක් සන්සුන් ව සිටියේ ය. නමුත් ඔහු ඇගේ අත අත්හැරියේ නැත. ඒ ග්‍රහණය තද වන තරමට ඔහු ගේ නො සන්සුන් බව අපරාජිතා ට මිනුම් කර ගත හැකි විය. උණුන් ගේ සිරුරු වල උණුහුම ද සිතිවිලි වල බර ද දෙදෙනා ගේ ස්පර්ශයන් අතරින් උනුන් වෙත සම්ප්‍රේෂණය විය. ඉනික්බිති දෙදෙනා ම හැසිරුණේ සිය චිත්ත කම්පන අනෙකාට නොදැනෙනු වස් ය. 

ආපසු එන ගමනේ දී සසංක සිනහ වෙමින් දවසේ තොරතුරු කීවේ ය. කාර්යාල සගයන් ට උපන් දින සාදයක් නොදී පැන ගැනීමේ අසීරුව ගැන අපරාජිතා ට මැවෙනා ලෙසට විස්තර කළේ ය. ඔවුන් ගෙදර ආවේ සිනහ වෙමින් සැහැල්ලුවට පත් ජීවීන් දෙදෙනෙකු සේ ය. 

“කවනවද…”

කෑම කන්නට සැරසෙත්දී සසංක ඉල්ලීමක් කළේ ය. අපරාජිතා මඳකට පාෂාණිභූත ව සිටිය ද එසැනෙන් සිහි එළවා ගෙන ඔහු වෙනුවෙන් බත් බෙදා ගත්තා ය. ඇය අනමින් ඔහු ගේ මුවෙහි බත් පිඬු ලූවේ අනන්‍යා ට කැවූ දයාවෙන් ම ය. 

“අම්ම නැති වුණාට පස්සෙ මේ කවුරුහරි බත් කැව්වමයි. එයා ඉන්න කාලෙනං…උදේට මං පරක්කුයි කියල කාල යන්නෙ නැති වෙයි කියන බයට..මං ලෑස්ති වෙන අතරෙදි පස්සෙං ඇවිත් ඇවිත් කවනව. ඔයා උදේට තේ එක අරං පහළට එන දවස් වලට මට ඒ සිද්දි මතක් වෙන එක නතර කරන්න බෑ”

“අනන්‍යාටත් එහෙමයි…එයා උදේට ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන අතරෙ මං පස්සෙං ගිහිං ගිහිං කවන්නෙ. නැත්තං කාල යන්නෙ නෑ”

“අනන්‍යා කැමති වෙන එකක් නෑ මට කවනවටනං”

සසංක අඩ සිනහවකින් කීවේ ය. අපරාජිතා මඳහසක් නගා ගත්තා විතර ය. සසංක වාගේ තාත්තා කෙනෙකුට ඈ කැමති යයි එදා අනන්‍යා කීවා ය. තව දුරටත් ඒ ගැන වදනක් හෝ දොඩා ගත නො හැකි ලෙස ඒ වෙලාවේ අපරාජිතා ගොළු වූවා ය. 

“ඇයි උඹට තාත්ත කෙනෙක් ඉන්නෙ…”

කියා පසුව යළි ඈ විමසූයේ දේශිකා ය.

“මට තාත්ත කෙනෙක් ඉන්නව තමයි. ඒ වුණත් එදා අම්මි අසනීප වුණ වෙලාවෙ දේශි පුංචාට වුණත් ඔෆිස් එකෙන් ලීව් ගන්න පුළුවන් තත්වයක් තිබුන්නෑනෙ. මාත් නොහිටියනං අම්මි කොච්චර අසරණ වෙන්න තිබුණද..අම්මිටත් කවුරු හරි ඕනෙ…ජීවිතේ ශෙයා කරගන්න කෙනෙක්”

අනන්‍යා  සාධාරණ පිළිතුරක් ලබා දෙන්නට සමත් වූවා ය.

එදා සසංක යළි පහළ මහලට ගියේ අපරාජිතා කෑම පිසූ භාජන සියල්ල සෝදා ගේ අස් පස් කිරීමේ කටයුතු ද නිමා කළ ඉක්බිති ය. 

“හොඳට නිදියන්න. රෙස්ට් එකක් අරගෙනයි හෙට හොස්පිට්ල් යන්න ඕන”

සමු ගන්නට පෙර ඔහු ඇය සිප වැළඳ ගත්තේ ය. මේ මුළු රාත්‍රිය ම ඇයත් එක්ක ගත කරන්නට තිබුණා නම් කියන සිතිවිල්ල හිත යට ඔබා තබන්නට තරම් අපරාජිතා අරබයා ඔහු හික්මීමකින් කටයුතු කළේ ය. 

“මං හිටියොත් ඔයාට නිදියන්න වෙන්නෑ”

ඔහු සවන ළඟ මුමුණත්දී අපරාජිතා රතු වූ වත බිමට හරවා ගත්තා ය.

උදා වූ දවස සෙනසුරාදාවක් වීම සසංක ට සහනයක් විය. කාර්යාලය එතකොට හිතට බරක් නොවෙනා බැවිනි. අපරාජිතා ගෙදර එන තුරු ම ඈ ළඟින් නො සෙල්වෙන්නට හිතා ගෙන දේශිකා පැමිණ සිටියා ය. 

“මං තියටර් එකේ ඉන්න අතරෙ කෙල්ල කෝල් කරයිද දන්නෑ. ඒ නිසා ෆෝන් එක ඕෆ් කරල තියන්න. මේක එයා දැන්ම දැනගන්න ඕන නෑ. නැත්තං එයා කලබල වෙයි”

ඇය ට නියමිත කුටියට ඇතුළු වීමට ප්‍රථම අපරාජිතා ඉල්ලීමක් කළා ය. පෙර කවදාකවත් නො තිබි සන්සුන් කමක් ඒ වෙලාවේ ඇය වෙතින් දැකිය හැකි විය. සසංක හිටියේ අඩු කතා බහකින් යුතුව කලිසම් සාක්කු වල දෑත් ඔබා ගෙන සක්මන් කරමිනි. රෝහල ඔහුට තුළ මහා ගුප්ත හැඟීමක් දනවමින් තිබිණ. රෝහලත් එක්ක බැඳී අම්මා ගැන මතකය හිතට එන එක නතර කර ගත නො හැකි ය. සදහට ඇය නික්ම ගියයුරු මතක් වෙන එක නතර කර ගත නොහැකි ය. සසංක කුටියෙහි කුඩා බැල්කනියට ගොඩ වී ඉදිරියෙන් පෙනෙන මාර්ගය දෙස නොසන්සුන් දෑස් දල්වා ගත්තේ ය.

“හිත කලබල කර ගන්න එපා සසංක. දැන් මට ඇස් අරින්න බලාපොරොත්තුවක් තියනව. ඒ ජීවිතේ ගැන පුදුම ලෝබ කමකුත් එක්කයි මගෙ සිහි නැති වෙන්නෙ. මං එනවමයි”

අපරාජිතා ඔහු පසු පස වූවා ය. ගැඹුරු වූ ඇස් දෙකකින් ඇදෙස බැලුවා ට යමක් කියා ගන්නට බැරි තරමට ඔහු හැඟීම් අතරේ හිර වී  සිටියේ ය.

“තියටර් එකට ගන්න ලෑස්ති වෙමු. පේෂන්ට් ඉඳල අනිත් අය පොඩ්ඩක් එළියට යනවද…”

සසංක අඩියක් පෙරට තැබුවේ බර වූ හදකිනි. අපරාජිතා යන්තම් ඔහු ගේ ඇඟිල්ලක් සිය ඇඟිලි දෙකකින් ඇල්ලුවා ය. ඇස් වලින් යමක් පවසන්නට උත්සාහ කළ සසංක කුටියෙන් පිට ව කොරිඩෝරයේ උන් දේශිකා වෙතට ගියේ ය.

රෝහලට අයත් සුදු පැහැති සැත්කම් ඇඳුම් ආයිත්තම් වලින් හෙදිය විසින් අපරාජිතා ව සරසවනු ලැබුවා ය. සාත්තු සේවකයන් දෙදෙනෙකු ට්‍රොලියක් ගෙන ආ අතර අපරාජිතා ව එහි නංවා කාමරයෙන් පිටතට ගැනිණ. සසංක ත් දේශිකාත් වහ වහා ට්‍රොලිය වෙත සමීප වූහ. අපරාජිතා ගේ ඇස් වල ශාන්තියක් විය. නිවීමක් විය. ආශා සහගත බලාපොරොත්තුවක් ද විය. සියල්ල සිදු වන්නේ කාලයට සමානුපාතික ව ඉක්මනිනි. ශල්‍යාගාරය ලෙස සිංහලයෙන් ද තියටර් ලෙස ඉංග්‍රීසි අකුරෙන් ද ලියා තිබූ තැනෙකදී හෙදිය සසංක දෙස සිනහවෙන් බැලුවා ය.

“මෙතනිං එහාට එන්න බෑ සර්”

එක මොහොතකට ඔහු අපරාජිතා ගේ අතැඟිලි අල්ලා ගෙන අත් හැරියේ ය. ශල්‍යාගාරයේ දොර විවර වී ට්‍රොලිය ඇතුළට ගියේ ය. අනතුරුව දොර වැසිණ. සසංක නළල පිරිමැද ගනිමින් තත්පරයකට ඇස් පියා ගත්තේ ය. දේශිකා ඔහු ගේ අතකට හෙමිහිට තට්ටු කළා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles