අංගාර – 69

0
796

චරකට කිසිවක් පවසාගන්නට හැකි වූයේ නැත. උගුර සිරව ගොස් ඇති බව දැනෙයි. ඇය තම පවුල තුළ කෙතරමක සිරකාරියක වී ඇතිදැයි චරකට එක්වරම එක හුස්මක පමාවෙන් සිහි වූයේය. ඇයට චායාට පිටුපාන්නට නොහැකි වන්නට ඇත්තේ ඇයිදැයි වටහා ගන්නට තමාට නොහැකිවා නොවේදැයි චරක කල්පනා කලේය. 

“…. අයියේ … මේ ප්‍රශ්නේ දැන් හෙට අනිද්දාම එලියට ආවම, ඔයා ඒකට මට මෙහෙම එළිපිට බැන වදින්නෙපා අයියේ .. චායා, අම්මලා ඉස්සරහ කොහොමටවත් .. එපා… අම්මලට වුනත් මේ සිද්දිය ඒ බරෙන්ම නොකියා ඉන්න අයියේ … චායාට මම පහදන්නම් … මම තේරුම් කරන්නම් … සස්මිත කොහෙන්, කොහොම මතු වුනාද කියන්න අපි දෙන්නම දන්නේ නෑ අයියේ .. ඒත් මම දන්නවා, ඌ නරකක් කරන්න නෙවෙයි අයියේ ආවේ… දුප්පත් කොල්ලෙක් තමයි. ඒත්, චායාට පපුවෙන්ම ආදරේ කලේ.. කරන්නේ…. පින්සිද්ද වෙයි අයියේ … දෙන්නව ඈත් කරන එක , ලඟින් තියන එක ඔයාගේ තීරණයක් ……. ඒත් , ඉවසලා පොඩ්ඩක් .. වැඩ කරමුද ?.. චායා වුනත්, මේ දේවල් එක පාරින්ම පිලීගන්නේ නෑ අයියේ.. මං දන්නවා.. මම වැරදි .. සස්මිත කැබ් එකේ උන්න පලවෙනි දවසේම ඔයාට මේක කිව්වානම්, මේක මෙහෙම දුර ඇදෙන්නේ නෑ… මම දඬුවම් විඳින්නම් අයියේ … මගේ දරුවාටයි, චායාටයි දෙන්නාට දඬුවම් දෙන්නෙපා .. “

චරක උන්නේ ඒ වෙද්දීද උගුරෙන් හඬ පිට කරගන්නට නොදීය. ඇය හඬන්නේ තම නැගණියගේ ජීවිතය වෙනුවෙනි.

” අයියේ .. චායාගේ ජීවිතේ විනාස වෙන්න ඇරලා මට දිනන්න දේවල් නෑ අයියේ … සස්මිතව අඳුනගෙනත් නිහඬව , මෙහෙම අවධානමක් අරගෙන බලාගෙන උන්නේ, චායාගේ ජීවිතේ සැනසීම සස්මිතගේ ඇස් දෙකෙන් පවා දැක්ක නිසා.. මට වරදින්නැති අයියේ …”

” කා..කාලා..නිදාගන්න විහඟි .. මම රෑ වෙයි …”

” අයි ..යේ මම .. එහෙනම් .. කාමරෙන් ..නිදාගන්නද ?..”

” නිදාගන්න .. චායාට මුකුත් කියන්නෙපා …. මං මේක හෙමින් විසඳගෙන එන්නම් …”

විහඟි ඉන් එහා කිසිවක් නොවිමසුවාය. එවැන්නක් විමසන්නට තරම් සවියක් හෝ අයිතියක් තමාට නොමැති බව ඇය ඒත්තු ගන්වා ගන්නට උත්සාහ කලාය. තමා දැන් චරකගේ ජීවිතය තුල අවලංගු කාසියක් තරම බව ඇයට පැහැදිලිය. ඒ නැතත්, ඔහු තමාට අනුකම්පා කිරීමම ඇරෙන්නට අන් කිසිවක් සිදු කර නොමැති බවද පැහැදිලිය. කොහොමටත් මේ දරුවා සමග තමා තනි ජීවිතයක් වෙනුවෙන් සූදානම්ව උන් බව විහඟි දනී. නොසිතූ ලෙසින් චරක තමා සොයා නේන්නට මේ වෙද්දී, ඩුබායිහී ජීවිතයක් වෙනුවෙන් සියල්ල සැකසෙමින් තිබෙන බවද දනී. ඉතුරුව සිටින හිතවත් නෑදෑයින් කිහිපදෙනාගේ හයියෙන් තමා දරුවා වෙනුවෙන් මේ සියල්ල අතැර විදෙස් ගත වන්නට හිත හදාගෙන සිටීම විය හැකි බවද ඕ දනී. එහෙව් ලෙසින් ගෙවෙන්නට තිබූ ජීවිතය, පවුලක අප්‍රමාණ ආදරය සහ අවධානය සමඟ මාස හයකට ආසන්න කාලයක් ගෙවී ගියේ දරුවාගේ වාසනාව නිසාවෙන්ම බව ඕ සිතුවාය. එහෙවි ආදරණීය පවුලකින් දරුවා ඉවතට රැඟෙන ගොස්, හුදෙකලාතමා හා සමග වැඩෙනු යුතුයැයි විහඟි කිසිලෙසකින්වත් සිතුවේ නැත. බිඳුණු දරුවෙකු වීම, තනි වුණ දරුවෙකු වීම, පියෙකු නොමැති දරුවෙකු වීම කෙතරම් අපහසුදැයි තමා තරම් දන්නා අයෙකු නැතැයි විහඟි සිතුවාය. ඕ නින්දට ගියේ අහේතුකව සහ නොදැනුවත්වම චරකගේ කමිසයක් ගත ලාගෙනය. 

චරක යලි සස්මිත වෙත ගියේය. ඔහු සිටින්නේ කෙතරම් වෙහෙසින්ද කියා පෙනෙයි. සාක්කුවේ ඇති ඔහුගෙ ජංගම දුරකතනයට නැගණියගෙන් එක දිගටම ඇමතුම් එයි.

” නංගිට කතා කරලා කියහං සති දෙක තුනකට නිවාඩු දාලා කොහෙ හරි යනවා කියලා.. ගිහින් ඇවිල්ලා කතා කරනකල් ගන්න එපා කියහං …. එච්චරයි …. ඒ කියලා ඉවර කරහං …”

චරක අසුනේ හිඳ ගෙන සස්මිත වෙත ජංගම දුරකතනා පෙන්වමින් කීවේය. සස්මිත කලේ කම්මුල් පුම්බා හුස්මක් ගෙන, යළි එය පිට කිරීමය. ඉන් පසුව චරක දෙස බලා ඔහු පවසන දෙය තමාට එතරම් වැදගත් නැති ලෙසින් අඟවමින් උන්නේය. එහෙත් චායාගේ ඇමතුම ජංගම දුරකතනයේ පෙනෙද්දී ඔහුට අන් කරන්නට දෙයක් නොමැති වූයේය. සස්මිත එකඟ බව පෙන්වමින් හිස සැලුවේය.

චරක ඇමතුම පීළිගෙන හඬ නඟා දැම්මේය. එක්‍ වරම චායාගේ හඬ වඩා උස්ව ඇසුණේ දෙදෙනාම තිගැස්සී යන්නට හරිමිනි.

” මොන මඟුලක් කරනවාද සස්මිත ?.. මාව සෙල්ලමක්ද ඔයාට ? එහෙම නැත්නම් ටයිම් පාස් එකක්ද ?.. කීයේ ඉදන්ද ගන්නේ?.. ආසාවට එක කෝල් එකක් ආන්සඑ කලේ නෑ … ඒක කමක් නෑ කියමු.. බිසි නම් මැසේජ් එකක් තියන්න බැරිද ?.. මගේ ඇඟේ ලේ වතුර වෙලා හිටියේ … ඒ මදිවාට අයියා ගෙදර ඇව්ල්ලත් ගිහින් … කොයි ලෝකේද ඉන්නේ ?… “

සස්මිත හඬ උපදවා ගන්නට උත්සාහ කලේය. චරක ඔහු දෙස බලා උන්නේය. 

” සස්මිත …”

 යලි උස් හඬින් චායාගේ හඬම ඇසුණි. සස්මිත උන්නේ උගුරේ යමක් සිරවූ ලෙසිනි. ඔහු චරක දෙස නොබලා ජංගම දුරකතනය දෙසම බලා උන්නේය.

” රත්තරං ..ඔයාට මොකක් හරි කරදරයක්ද ?… අයියා මොනවා හරි දැනගෙනද ?… අහන්න සස්මිත ..කලබල වෙන්නෙපා ..මොන දේ වුනත්, මම ඉන්නවා කියලා මම කිව්වානේ… ඉතින් .. මම ඉන්නවාම තමයි .. ඔයා ඉන්න දිහාවක ලොකේෂන් එවන්න මට . මම එන්නම් .. අපි බඳිමු … හෙට උදේම බඳිමු … ඉන් පස්සේ ඕනි දෙයක් .. අයියා දැනගෙනද කියන්න … කතා කරන්නකෝ රත්තරන් …”

සස්මිත චරක දෙස බැලුවේය. දෙදෙනාටම එකිනෙකාගේ හැඟීම් කියවාගන්නට හැකි වූයේ නැත.

” කෙල්ල … කලබල නොවී ඉන්න .. සර් මුකුත්ම දන්නේ නෑ .. ඒත් මොකෙක් හරි මගෙ පස්සෙන් එනවා… මම ෆෝන් එක වෙන තැනක තියලා තිබුණේ.. දැන් මගෙ අතට ලැබුනේ .. මං ෆෝන් එක ඕෆ් කරලා දානවා.. අලුත් නම්බර් එකක් අරගෙන මං ගන්නම් මැණිකේ … කලබල වෙන්නපා .. මට මුකුත්ම වෙන්නේ නෑ.. සර්ගෙන් මාව අහ අහ කලබල කරන්නෙපා.. ඒකෙන් සර් සැක හිතාවි .. මම සති දෙක තුනකට ඉන්දියා පනින්න චාන්ස් එකක් හොයන ගමන් ඉන්නේ මැණිකේ.. මට නිකමට දැනෙනවා මගේ පස්සෙන් මොකක්ම හරි වැටිලා කියලා….”

චායා ඇසුනේ කුමක්දැයි වටහා ගන්නට නොහැකිව මෙන් යහන මතට වැටුණාය.

” කලබල නොවී මම ආයේ කතා කරනකල් බලන් ඉන්න කෙල්ල … පොරොන්දු වෙන්න මට .. මම දැන් මේ සිම් එක අයින් කරන්නෝනා…”

චරක සස්මිත දෙස බලා යළි ඇමතුම දෙස බැලුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here