අඳුරු මතක

අලුතින්ම තීන්ත ගාපු ගේ පුරාම ඇවිදින ගමන් මන්දාකිණි හොඳ හුස්මක් ගත්තා.ඒ හුස්මත් එක්ක අලුත්ම බලාපොරොත්තු ගොඩක් ඇගේ හිතට ඇතුළු වුණා.

” ලස්සනයි ද ගෙදර ? “

සාගර ඇහුවේ ඇහුවෙ මන්දාකිණිගේ අතින් අල්ලගන්න ගමන්

” ලස්සනයි . මං ආසයි “

” මුකුත් අඩුපාඩුවක් තියෙනවා තියෙනවනම් කියන්න.මේ වෙලාවේ අතේ සල්ලි තිබුන හැටියට තමයි මේ ගේ ගත්තෙ.අපිටම කියලා ගෙයක් තියෙන එක ඇත්තටම වටිනවනේ “

” බැන්දට පස්සේ ගෙවල් ගන්න තියා ගත්තා නං අපිට බඳින්න වෙන්නේ නැහැ සාගර. මේ හොඳයි “

” පස්සේ සල්ලි ලැබුන වෙලාවක මේක තව එහා මෙහා කර කරගන්න අපිට පුළුවන් “

” මට කුස්සියේ පොඩි වෙනසක් කරලා ඕනේ “

” මෙච්චර ලස්සනට තියෙන කුස්සියේ මොකක්ද ඔයාට වෙනස් කරන්න ඕනේ මන්දාකිණි ?”

” මට ගෑස් ලිපක් එපා.එළියෙන් දර ලිපක් හදමුද ? “

” මේ කාලේ කවුද ළමයො දර ලිපේ උයන්නේ ? අනික ඒක වෙලාව නාස්ති වෙන වැඩක් නේ “

සාගර එහෙම කිව්වත් ගෑස් ලිපේ උයන වැඩේ මන්දාකිණි තරයේම ප්‍රතික්ෂේප කළා.

” ගමේ ළමයෙක් නිසා වෙන්න ඇති.ඒ උනාට ඉතින් කොළඹට ආවහම ඕවා පුරුදු වෙන්න එපැයි “

සාගරගේ අම්මා කිව්වේ එහෙම.අනුරාධපුරේ හැදීවැඩුණු මන්දාකිණිගේ ගෙදර සාගර කීප වතාවක්ම ගිහින් තියෙනවා.එහේ තිබුණේ ගෑස් ලිපක් කියලා සාගරට හොඳටම මතකයි

” අම්මා ගෙට ගෙවදින්න නැකතක් බැලුවද? “

හවස් වරුවේ සාගර අම්මගෙන් ඇහුවේ දින කිහිපයකින් තියෙන විවාහ මංගල්‍යයේ සංවිධාන කටයුතු වල අඩුපාඩු තියෙනව ද කියලා බලන ගමන්

” හෝම් කමින් එකෙන් දවස් දෙකකට පස්සේ හොඳ නැකතක් තියෙනවා පුතා “

කොළඹ හෝටලයක ඉතාම චාම් අයුරින් සීමිත නෑදෑ පිරිසක් එක්ක සාගරගේත් මන්දාකිණිගේත් විවාහ මංගල්‍යය පැවැත්වුණා.ඊටත් දින ගණනාවකට පස්සේ අලුතෙන්ම මිලදී ගත්ත පුංචි ගෙදරට මනාල යුවළ ගෙවැදුණා

” උයන්න ඇහැරෙන්නේ කීයටද මන්දාකිණි? “

සති අන්තයේ තමන්ගේ පුතාවත් ලේලිවත් බලන්න ආව සාගරගේ අම්මා මන්දාකිණි ගෙන් ඇහුවා

” හතරට විතර ඇහැරෙනවා අම්මේ. අපි දෙන්නම 7:30 වෙද්දි යනවනේ “

” ඔය ළමයට ඕන මාළුවක් උයන්න පුලුවන්ද ? “

” පුළුවන් විදිහට උයා ගන්නවා “

” ඇයි ඔයා ගෙදරදි ඉව්වෙ නැද්ද ? “

” අම්මා ඇක්සිඩන්ට් එකකින් නැතිවුන දා ඉඳන් ලොකු අක්කානෙ ඉව්වෙ. එයාට බැරි දවසට විතරයි මම ඉව්වෙ “

මන්දාකිණි ගැන අපැහැදුනු හිතෙන් තමයි එදා සාගරගේ අම්මා ආපහු ගෙදර ආවේ.

” ගෙදර ඉන්නකොටවත් උයපු නැති කෙනා මොකද දන්නෙ නැහැ මෙහෙ දර ලිපකුත් බැඳගෙන උයන්න තියාගත්තෙ “

හැම දෙයක් දිහාම මධ්‍යස්ථ සිතින් බලන සාගරගේ තාත්තා මන්දාකිණිව විනිශ්චය කරන්න ඉක්මන් උනේ නැහැ

” උදේ පාන්දර ඉඳන් නැගිටගෙන ඔය දුම් පිඹින වැඩේ ඔයාට එපා වෙන්නේ නැද්ද මන්දාකිණි? “

එළිය බැඳලා දුන්න දර ලිපේ උයන මන්දාකිණි දැක්කම සාගරට ඇත්තටම දුකක් හිතුනා

” මම නේ උයන්නේ .ඇයි කෑම රස නැද්ද සාගර ? “

” කෑම නම් මම හිතුවට වඩා රසයි.ඒත් ඔයා දුක් විඳිනව බලන්න මට බැහැ. මෙච්චර පහසුකම් තියන කොළඹ ගෙදරක ඉඳගෙන ඔයා දර ලිපේ උයන එක විහිළුවක් වගේ “

” අපි කරන්න ඕනේ අපිට ලේසි දේ නෙමෙයිද එතකොට? “

එතනින් එහාට සාගර මන්දාකිණි ට මුකුත් කියන්න ගියේ නැහැ.වෙහෙසකර දෙයක් වුණත් හදිස්සියකට පාවිච්චියට ගන්නවත් ගෑස් ලිපක් ගන්න එකට පවා මන්දාකිණි තදින්ම විරුද්ධ වුණා

” ඔෆිස් එකේ එවුන් පාටි ඉල්ලනවා ඉවරයක් නැහැ. අපි ඉතින් වෙඩින් එකට ඉන්වයිට් කලේ නැහැනේ හැමෝටම “

දවසක් හවස සාගර කිව්වේ ඔෆිස් ඇරිලා ආව ගමන්

” ඉතිං සාගර අපි එයාලට ගෙදරට invite කරලා පාටි එකක් දෙමු. වීකෙන්ඩ් එකක් බලලා ඩිනර් එකක් ලෑස්ති කරමු “

” ඔයාගෙ යාළුවන්ටත් කියමු එහෙනම් “

” මට ඉතින් ඔෆිස් එකේ එහෙමට යාළුවෙක් නැහැ. පොඩි කාලේ ඉදන් මගේ යාළුවා ශානිනේ.එයාට විතරක් කියමු “

මිතුරු මිතුරියන්ට මංගල උත්සවයට ආරාධනා කරන්න බැරි වෙච්ච නිසා සාගර ඔවුන් වෙනුවෙන් නිවසේ සාදයක් සූදානම් කළා. අවන්හලකින් කෑම ගෙන්වන්න තීරණය කරපු නිසා මන්දාකිණි ට මහන්සි වෙන්න දෙයක් ඒ හැටි තිබුණෙ නැහැ.මන්දාකිණි ගේ හොඳම මිතුරිය වුණු ශානි කලින්ම මන්දාකිණිගේ ගෙදරට ආවේ කතා කරන්න දේවල් ගොඩක් තියෙන නිසා

” හරි ලස්සන ගේ පොඩ්ඩ මන්දාකිණි . මටත් කවද හරි මෙහෙම ගෙයක් ගන්න ආසයි “

” මෙහෙම හරි ගෙයක් අරගත්තේ වෙඩින් එක පොඩියට කරපු නිසා ශානි “

” අනේ ඒකට නං කමක් නැහැ .ඔව්වා මහා බොරු වියදම් “

කාලෙකින් හම්බුන මිතුරිය එක්ක කතා කරන්න විස්තර බොහෝමයක් මන්දාකිණි ට තිබුණා.

” බලන්නකෝ ශානි අපේ මන්දාකිණි දවසගානේ දර ලිපේ උයනවා. ඔය electric kettle එකත් මගේ වදේට අරගත්තේ “

මන්දාකිණි තේ හදන අතරේ කුස්සියට ආව සාගර ශානිට ඇහෙන්න එහෙම කියද්දි ශානිගේ මූන වෙනස් වුණා.ඒ විතරක් නෙමෙයි මන්දාකිණිගේ මූනත් අඳුරු වුණා

” ඒක තාමත් එහෙමමද මන්දාකිණි ? “

සාගර කුස්සියෙන් පිටවෙලා ගියාට පස්සේ, තේ හදමින් හිටපු මන්දාකිණි ළඟට ආව ශානි හීන් හඬින් එහෙම ඇහුවා.මන්දාකිණි ගේ දෑස් වල කඳුලු පිරිලා තියනවා ශානි දැක්කෙ ඒ වෙලාවෙ

” ඔයා සාගරට කිව්වේ නැද්ද ? “

ශානි අහපු ප්‍රශ්නයට පිළිතුරු විදිහට මන්දාකිණි ඔලුව වැනුවා. ශානිට දැනුනේ කියාගන්න බැරි තරම් දුකක්.අඳුරු මතකයක හෙවනැල්ලක් තාමත් මන්දාකිණිගේ ජීවිතයේ හොල්මන් කරන හැටි ශානිට හිතාගන්න පුළුවන් උනා

පුංචි කාලයේ එක දවසක ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට සිද්ද වෙලා තිබුන ඛේදජනක සිදුවීම සහ ඒ සිදුවීමෙන් පස්සේ මුළු ජීවිතයම කනපිට පෙරළුන හැටි මන්දාකිණි ගේ දෑස් ඉදිරියේ මැවී පෙනුණා

කිසිම අඩුපාඩුවක් නැතුව පැවැත්වුණු සාදයේ අඩුපාඩුවකට කියලා තිබුණෙ මන්දාකිණිගේ හිනාව විතරයි.

” සාගර. මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ “

මන්දාකිණි ටිකක් එහා මෙහා වෙනකන් බලාගෙන හිටපු ශානි සාගරට කිට්ටු උනේ කිවයුතුම යමක් සාගරට කියන්නයි

” මන්දාකිණි දර ලිපේ උයන එක කවදාවත් විහිලුවට ගන්නවත් ඒ ගැන අහිතක් හිතන්නවත් එපා සාගර “

ඉතා බැරෑරුම් හඬකින් ශානි එහෙම කියනකොට සාගරට ඇතිවුනේ කුතුහලයක්

” මන්දාකිණි ගෑස් ලිපට හරි බයයි. අක්කා උයනකොටවත් එයා කුස්සිය පැත්ත පළාතක ගියේ නැහැ .අක්කට බැරි දවසටත් එයා ඉව්වෙ එලියෙ ලිපක් හදන් “

මන්දාකිණි ගේ කුඩා කාලයේ ඉඳලා මිතුරියවුන ශානි කියන කාරණා පිටිපස්සේ මොකක් හෝ ලොකු කතාවක් තියෙනවා කියලා සාගරට වැටහුණා.

” මම නොදන්න මොනවා හරි තියෙනවා නේද ශානි ? “

සාගර ඇහුවෙ නොසන්සිඳුණු කුතුහලයෙන්

” මන්දාකිණි ගේ අම්මා එයා පොඩි කාලෙදි නැති වුණේ ගෙදර ගෑස් එක පුපුරලා “

More Stories

Don't Miss


Latest Articles