රෑ සාදයට රසම රස කෑම වට්ටෝරු

2024 අවුරුද්ද පිළිගන්න කලින් මේ උදාවෙලා තියෙන සීතල දෙසැම්බර් මාසෙ කියන්නෙ පවුලෙ හැමෝම, යාළු මිත්‍රයො වගේම අසල්වැසියො හැමෝම එකට එකතුවෙන කාලයක්නෙ.

මේ හමුවීම් වලදි ආදරණීයව සහ උණුසුම්ව පිළිගැන්වෙන රාත්‍රී ආහාර වේලට හිමිවෙන්නෙ විශේෂ ස්ථානයක්.

ඔබේ නිවසට එන අමුත්තන්ට රාත්‍රී ආහාර වේලට පිළිගන්වන්නෙ මොනවද කියල ඔබත් කල්පනා කරමින් ඉන්නව නම් ඔන්න අද අපේ ලිපිය ඔබට හුඟක් වැදගත් වෙයි.

බලන්නකො මේ කෑම වර්ග කොච්චර පහසුවෙන් පිළියෙල කරගන්න පුළුවන්ද කියල.

Garlic Mushroom Pasta

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඔබ කැමති හැඩයකින් පාස්තා 200g ක්
  • බොත්තම් බිම්මල් (button mushroom) 280g ක්
  • ඔලිව් තෙල් මේස හැඳි 01 ක් (ඔබ කැමති තෙල් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්)
  • බටර් මේස හැඳි 02 ක්
  • කුඩාවට කපාගත් සුදුළූණු බික් 01 ක්
  • කුඩාවට කපාගත් තයිම් කොළ තේ හැඳි 02 ක්
  • ගාගත් ලෙමන් පොත්තේ කුඩු මේස හැඳි 01 ක්
  • පාමසාන් හෝ වෙනත් චීස් වර්ගයක් කෝප්ප ¼ ක් 
  • ලෙමන් හෝ දෙහි යුෂ ස්වල්පයක් (අත්‍යාවශ්‍ය නැත) 
  • ලුණු සහ ගම්මිරිස් කුඩු රසඅනුව

සාදාගන්නා ආකාරය 

මුලින්ම පැකැට්ටුවේ ඇති උපදෙස් අනුව ඔබේ පාස්තා ටික තම්බාගන්න. පාස්තා තම්බාගන්න යොදාගන්න වතුරද තෙල් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් එකතු කරන්න අමතක කරන්න එපා.

තම්බාගත් පාස්තා වල වතුර ඉවත්වන ලෙස පෙරා පසෙකින් තබන්න.

පාස්තා තැම්බූ වතුර කෝප්ප 01 ක් පමණ වෙන්කර තබාගන්න.

දැන් බිම්මල් පෙති හෝ තීරු ලෙස කපාගන්න.

භාජනයක් ලිප තබා එයට ඔලිව් තෙල් දමා රත්වූ පසු සුදුළූනු එක්කර ටික වේලාවක් තබා කපාගත් බිම්මල් එක්කර ගන්න.

ඔබේ රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු එක්කර බිම්මල් ටික හොඳින් පිසගන්න.

බිම්මල් වල දෙපැත්ත හොඳින් බැඳී පිසගත් පසුව එයට තම්බාගත් පාස්තා දමා හොඳින් කලවම් කරගන්න.

චීස් සහ ඔබ කැමති ප්‍රමාණයට පාස්තා තම්බාගත් වතුර එක්කර තරමක් උකු සෝස් ද්‍රාවණයක් ලෙස සෑදී පාස්තා වල හොඳින් ගෑවෙන තුරු හොඳින් මිශ්‍රකර ගන්න.  

ලිපෙන් ඉවතට ගෙන තයිම් කොළ සහ ඔබ කැමති නම් ලෙමන් හෝ දෙහි ස්වල්පයක් එක්කර උණුසුම්ව පිළිගන්වන්න. 

Pork bites

අවශ්‍ය ද්‍රව්‍ය

  • අඟලක පමණ දිගින් සහ උසින් යුතුව කොටු කපාගත් කටු රහිත ඌරු මස් 500 g ක්
  • ලුණු කුඩු
  • මිරිස් කුඩු
  • කෑලි මිරිස්
  • ගම්මිරිස් කුඩු
  • තුනපහ කුඩු (අත්‍යාවශ්‍ය නැත)
  • කුඩාවට කපාගත් සුදුළූනු මේස හැඳි 02 ක්
  • සෝයා සෝස් මේස හැඳි 01 ක් 
  • බටර් මේස හැඳි 02 ක් 
  • වතුර මේස හැඳි 03 ක් 04 ක්
  • දෙහි යුෂ මේස හැඳි 01 ක්
  • තෙල් මේස හැඳි 03 ක් 04 ක්

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ගෙන එයට ඌරු මස් කැබලි, තෙල් ස්වල්පයක්, ගම්මිරිස් කුඩු, ලුනු කුඩු, කෑලි මිරිස් සහ මිරිස් කුඩු ඔබේ රස අනුව එක්කර හොඳින් මිශ්‍රකර ගන්න.

දැන් තරමක් පැතලි භාජනයක් ලිපතබා එයට තෙල් ස්වල්පයක් එක්කර තෙල් ටිකහොඳින් රත්වීමට තබන්න.

රත්වූ තෙල් වලට ඌරු මස් කැබලි ටික එක්කර පැත්තෙන් පැත්ත හරවමින් හොඳින් බැඳගන්න.

බැඳගත් ඌරු මස් කැබලි ටික භාජනයෙන් ඉවත්කර වෙනම තබාගන්න.

ඌරු මස් බැඳගත් පසු ඉතිරි වූ තෙල් භාජනයේම තියෙන්නට හැර එයට බටර් සහ සුදුළූනු එක්කර හොඳින් මිශ්‍රකර එයටම දෙහි යුෂ, වතුර සහ සෝයා සෝස් එක්කර කලවම් කරගන්න. 

දැන් මේ සෝස් මිශ්‍රණයට බැඳගත් ඌරු මස් කැබලි ටික දමා සෑම කැබැල්ලකම සෝස් තැවරෙන සේ හොඳින් මිශ්‍රකර විනාඩියක් පමණ තබා ලිපෙන් ඉවත්කර පිළිඟන්වන්න.

ඔබට අවශ්‍ය නම් කොත්තමල්ලි, පාස්ලි හෝ තයිම් වැනි කොළ වර්ගයක් වගේම තල ඇට එක්කර පිළිගන්වන්නත් පුළුවන්.

Coconut balls

අවශ්‍ය ද්‍රව්‍ය

  • ගාගත් පොල් 250 g ක් 
  • ටින් කිරි ටින් 01 ක් / 395 g ක්
  • ආමන්ඩ්, කජු, රටකජු හෝ මුද්දරප්පලම් 40 g ක්

සාදාගන්නා ආකාරය

මුලින්ම ගාගත් පොල් සහ ටින් කිරි හොඳින් මිශ්‍රකර ගන්න.

ඔබ ආමන්ඩ්, කජු හෝ රටකජු භාවිත කරනවනම් ඔබේ කැමැත්ත අනුව රත්වූ තැටියක දමා ලිපේ, අවන් එකේ හෝ air fryer එක භාවිතයෙන් තරමක් බැඳගන්නත් පුළුවන්.

දැන් රටකජු ඇට දෙකක් හෝ තුනක්, කජු මදයක්, මුද්දරප්පලම් දෙකක් හෝ තුනක්, ආමන්ඩ් ඇටයක් මැදිකර සාදාගත් පොල් සහ ටින්කිරි මිශ්‍රණය බෝල ආකාරයට සකසා ගන්න.

සාදන විටම පිළිඟැන්වීමෙන් නැවුම් රසයකින් යුතුව ආහාරයට ගන්න ඔබට පුළුවන්.

ඔබ කැමති නම් මයික්‍රොවේව් උඳුන භාවිතයෙන් හෝ ඩබල් බොයිල් ක්‍රමය භාවිත කර දියකරගත් චොකලට් ද්‍රාවණයක ගිල්වා සවිවීමට ශීතකරණයෙ තබා හෝ පිළිගන්වන්නත් පුළුවන්.

ඉතිං මේ අවුරුද්දේ රාත්‍රී සාදයට පැමිණෙන ඔබේ අමුත්තන්ටත් මේ කෑම වර්ග පිළිගන්වමුද?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles